සිනමාවෙන් ලොව දිනන්න සැරසෙන චාරිත ධීරසිංහ

පෙබරවාරි 21, 2019

"මගේ කුලුඳුල් වෘත්තාන්ත සිනමාපටය ලංකාවේදී නිර්මාණය කරන්න සූදානම් වෙනවා"

නව පරපුරෙන් සිනමාවට පිවිසෙන බොහොමයක් තරුණ තරුණියන් දේශිය සිනමාව වෙනුවෙන් කැප වී කටයුතු කරන අයුරු පසුගිය කාලයේ අපට දකින්න ලැබුණා. ඒ සියලු දෙනාගේම බලාපොරොත්තුව වී තිබෙන්නේ සිනමාවේ අලුත් වෙනසක් දැකීමයි. චාරිත ධීරසිංහ නම් යොවුන් සිනමාකරුවා ද මේ සිනමාකරුවන් අතර තවත් අයෙක්. ජාත්‍යන්තරයෙන් දැනුම හා අත්දැකීම් ලැබීමට අවස්ථාව උදාකර ගත් චාරිත මේ වනවිට සිනමා ක්ෂේත්‍රයේ විශාල වපසරියක දැනුම තමන් සතු කර ගැනීමට සමත් වී සිටිනවා. ඒ ඔස්සේ දේශීය සිනමා‍ව වෙනුවෙන් මෙහෙවරක් කිරීමේ සූදානමින් සිටින ඔහු ඒ පිළිබඳ පවසන්නේ මෙවැනි දෙයක්.

"දේශීය සිනමාව ගත් විට අපේ රටේ බොහොමයක් දක්ෂ නිර්මාණකරුවන් රැසක් සිටිනවා. ඔවුන් ජාත්‍යන්තරයෙන් ගෙන ආ ජයග්‍රහණ අප වැනි ක්ෂේත්‍රයට පිවිසීමට අදහස් කරන නවකයන්ගේ උත්සාහයට සවියක්. ඔවුන්ගේ ආදර්ශයන් මෙන්ම ලෝකයේ අලුත් දේ සමඟින් ජාත්‍යන්තර අවධානයට ලක් වූ නිර්මාණ ඉදිපත් කිරීම මගේ බලාපොරොත්තුවයි."

ජාත්‍යන්තරය තුළ දී ලබන පුහුණුව ඔස්සේ දේශිය සිනමාව පෝෂණය කිරීමට පෙරමඟ බලන චාරිත මේ වනවිට ලබා ගෙන තිබෙන ජයග්‍රහණ හා සම්මාන අපට කින්නේ ඒ වෙනුවෙන් වූ සුබ පෙර නිමිත්තයි. සිනමාව පිළිබඳ උසස් අධ්‍යාපනය ලබන සිසුවකුව සිටිය දී චාරිත විසින් ඉදිරිපත් කළ Knight Fall නම් කෙටි චිත්‍රපටය Fell the Reel ජාත්‍යන්තර සිනමා උලෙළේදී හොඳම ශිෂ්‍ය නිර්මාණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. එම උලෙළේදීම හොඳම තිර රචනය වෙනුවෙන්ද එම චිත්‍රපටය නිර්දේශ නාම අතරට ඇතුළත් වූ අතර Globel Shorts සිනමා උලෙළේදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. ඒ A World of Contradiction කෙටි චිත්‍රපටයට ඉන්දියාවේ පැවැති කල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී හොඳම කෙටි චිත්‍රපටයට හිමි රන් සම්මානයත් Mindfield චිත්‍රපට උලෙළේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි ලෝකඩ සම්මානයත් හිමි විය. The Girl & Tree (2017), Trash (2016), Roommates (2016), The Crimson Smile (2019) චාරිතගේ නිර්මාණ අතරින් කිහිපයකි.

චාරිත මේ දක්වා පැමිණි ගමනේ සිනමා අධ්‍යක්ෂණයට පෙර සහය අධ්‍යක්ෂවරයකු ලෙසින් චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා දී ඇති අතර නිශ්චල ඡායාරූපකරණය මෙන්ම සංස්කරණ කටයුතු ද ඔහුගේ සිනමා දිවියේ සුවිශේෂි වී ඇත. තම සිනමා නිර්මාණ සංස්කරණය කිරීමේ කාර්යය ද ඔහු විසින් ඉටුකර ගන්නා අතර එම සියලුම නිර්මාණවල තිරරචකයා වන්නේ ද ඔහුයි.

මෙරටදී මූලික අධ්‍යාපන කටයුතුවල යෙදුණු චාරිත උසස් අධ්‍යාපනය අමෙරිකා එක්සත් ජනපදයේදී ලද අතර එහිදී චිත්‍ර කලාව සහ සිනමාව වෙනුවෙන් ඔහු ඉතා කැපවීමෙන් අධ්‍යයන කටයුතුවල නිරත වීය. චාරිතගේ මව්පියන් මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරතව සිටිය ද තමන් කලා ක්ෂේත්‍රයට පිවිසීම පිළිබඳ චාරිත මෙසේ පවසා සිටියා. "මම ලංකාවේදී මූලික අධ්‍යාපනය ලබන කාලයේත් ගොඩක් ආසා කළේ කලා අංශයට. අම්මා තාත්තා මූල්‍ය අංශයේ රැකියාවල නිරත වුණත් මට මගේ කැමැත්ත පරිදි අනාගතයේ කරන දේ තෝරා ගන්න ඔවුන් මට නිදහස දීලා තිබුණේ. මුලින්ම මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ ව්‍යාපාර අධ්‍යයන අංශයෙන්. නමුත් පළමු වාරය අවසානයේදී එය අතහැර කලා අංශයට යොමු වුණා. ඒ අනුව අමෙරිකාවේ මොන්ට්ගෝමරි විශ්වවිද්‍යාලයෙන් චිත්‍රකලාව පිළිබඳ උපාධියත් මෙරිලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් සිනමාව පිළිබඳ ශාස්ත්‍රවේදි උපාධියත් ලබා ගත්තා. මම පශ්චාත් උපාධිය වෙනුවෙන් තෝරා ගත්තේ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිය යි."

චිත්‍රපට අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිරරචනය, කැමරාකරණය සහ සංස්කරණය පිළිබඳ මනා පුහුණුවක් ලද චාරිත තම කලා ගමනේ ආරම්භය ද සිහිපත් කරන්නේ සෙනෙහසින්. "පුංචි කාලයේ පටන් මම චිත්‍රපට නරඹන්න ආසා කළා. මගේ අම්මත් චිත්‍රපට නරඹන්න ගොඩක් කැමැති කෙනෙක්. මගේ මාමා කෙනෙක් ළඟ ජාත්‍යන්තර උසස් සිනමා නිර්මාණ රැසක් තිබුණා. ඉතින් විවේක වෙලාවට මම මගේ නිවුන් සහෝදරයයි අම්මයි එක්ක ඒ චිත්‍රපට නරඹනවා. ඒ වගේම සිනමා ක්ෂේත්‍රය තෝරා ගැනීමේදී ලංකාවේ සිටින විශිෂ්ට සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් ලබා දුන් මඟ පෙන්වීම සිහිපත් කළ යුතුයි. ඒ වගේම තමයි මගේ මවුපියන්ගෙන් සහයෝගය නොලැබෙන්න මේතරම් දුරක් එන්න මට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සිනමා ක්ෂේත්‍රයේ නිර්මාණ කිරීමට ලොකු පිරිවැයක් දරන්න සිදු වෙනවාත විදෙස් රටකදී එය තවත් ඉහළයි. සිනමා ක්ෂේත්‍රයේ සිසුවෙකුට මේක විශාල අභියෝගයක්. ඒ අභියෝගයේදී මගේ මවුපියන් විශාල සවියක් වුණා."

විදෙස් රටක ලද අධ්‍යාපනයෙන් මෙතක් සම්මානනීය කෙටි චිත්‍රපට රැසක් නිර්මාණය කළත් සිය පළමු වෘත්තාන්ත චිත්‍රපටය මෙරටදී නිර්මාණය කිරීම චාරිතගේ එකම බලාපොරොත්තුවයි. "විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ මම කෙටි චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළා. ඒ නිර්මාණ වෙනුවෙන් එහිදී ආදාළ අංශයන්ගෙන් ඉගෙනුම ලබන අය අපට තෝරා ගත්ත අවස්ථාව ලැබෙනවා. ඒ ඔස්සේ කළ නිර්මාණ ලද සාර්ථකත්වය ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්. ඒ කෙසේ වෙතත් අපේ රටේදී හොඳ නිර්මාණයක් කිරීම මගේ එකම බලාපොරොත්තුවයි. අධ්‍යාපන කටයුතු අවසන් වූ විගස මගේ කුලුඳුල් වෘත්තාන්ත සිනමාපටය ලංකාවේදී නිර්මාණය කරන්න සූදානම් වෙනවා. බොහෝදුරට එය නවකතාවත් ඔස්සේ නිර්මාණය වේවි."

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.