සමාන්තර සිනමාවට ඉඟි කරන සංගිලි

පෙබරවාරි 21, 2019

සිනමාකරු ලලිත් සංගිලිගේ භූමිකාව මුල් කොට ගෙන යථෝක්ත පුවත ක්‍රමිකව දිගහරින්නේ සිදුවීම් බහුල රීතියකට ප්‍රවිෂ්ට වෙමිනි. ඊට සහය වන කිහිප දෙනෙකි. ඒ සංගිලිගේ භූමිකාව නිරූපණය කරන දුලානි අනුරාධා, සුළු පියාගේ භූමිකාව නිරූපණය කරන සනත් ගුණතිලක හා සුළු මවගේ භූමිකාව නිරූපණය කරන වීණා ජයකොඩිය. ස්වකීය පළපුරුද්ද මැනවින් උපයෝගී කොට ගන්නා සනත් ගුණතිලක හා වීණා ජයකොඩි, දුලානි අනුරාධා ද එතැනට කැඳවන්නේ සිනමාපටයේ සුලබ ලක්ෂණ සඟවමිනි.

සිනමාපට නිෂ්පාදනය හා ප්‍රදර්ශනය අතර ඒකාකාර සබඳතාවක් නොපැවතීම නිසා උද්ගත වන විකෘත තත්ත්වයන් වඩාත් ප්‍රබලව ඉස්මතු වන්නේ සිනමා සම්මාන ප්‍රදානෝත්සව ආදියේදීය. උදාහරණ ද්විත්වයක් වන්නේ සාලින්ද පෙරේරා අධ්‍යක්ෂණය කළ 'ධීවරී' (2011) හා සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ 'බොරදිය පොකුණ (2015) යි. මේ සිනමාපට ද්විත්වයම සිනමා ශාලා කරා පැමිණියේ නිෂ්පාදන කටයුතු නිම වී වසර ගණනාවක් ගතවීමෙන් අනතුරුවය. සම්මාන සඳහා මේවා තරග වැදුණේ අලුතෙන්ම නිෂ්පාදිත සිනමාපට සමඟිනි. මේ තත්ත්වය සිනමාකරුවනට, දායක වූ ශිල්ප ශිල්පිනියන්ට සේම පොදුවේ සිනමාවේ අභිවර්ධනයට පස මිතුරු පසුබිමක්ය යන්න නිශ්චිතව වටහා නොගැනීමේ අවාසනාව තවදුරටත් පැවතීම දෙස උපේක්ෂාවෙන්ම නොබලන්නට වැර දැරිය යුතුය.

ලලිත් පන්නිපිටියගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන 'සංගිලි' ද මෙසේ නිෂ්පාදන කටයුතු නිම වී වසර ගණනාවකට පසුව ප්‍රදර්ශනයට එක් වන 'අලුත්ම' සිනමාපටයක් වීම කෙරෙහි අවධානය යොමු කරද්දී යට කී පසුබිම සිහිපත් වන්නේ නිරායාසයෙනි. විශේෂයෙන්ම ඒ 'සංගිලි' තාවකාලික හා පටු විනෝදාස්වාදයක් නොසපයන, ප්‍රේක්ෂකයා සසල කරන, යම් සමාජ - සංස්කෘතික විවරණයකට බට සිනමාපටයක් සේ ඉදිරිපත් කරනු පිණිස ලිලිත් නොපැකිලව උත්සුක වන හෙයිනි. 'සංගිලි' නියත වශයෙන්ම උත්තම ගණයේ සිනමාපටයක් නොවූවද, අන් අරමුණු කරා යාමට ඇති සුලබ ඉඩකඩ සම්බන්ධයෙන් විද්වත් ප්‍රේක්ෂක සැලකිල්ලට ලක් වන්නේ පළමු වටයේදීමය. කෙසේ නමුදු ඒ ඔස්සේ ඔහුගේ සිනමා භාවිතයේ තවත් අවස්ථා මේ වන විට විද්‍යාමාන නොවේ. ලාංකේය සිනමා කලාපයේ අවවර්ධිත නැඹුරුවීම් පිළිබඳ කතාබහකට නම් ඉන් පිටුබලයක් සැපයේ. එහෙත් උචිත විසඳුම් සොයා ගැනීම නම් මුළුමනින්ම අභියෝගාත්මකය.

'සංගිලි' හි එන පුවතට වඩා එතුළ පවත්නා හැඩගැසීම් හසුකර ගැනීම වැදගත් වේ. එක අතකට 'සංගිලි' හි පුවත විෂයෙහි සුවිශේෂත්වයක් දැක ගැනීම තරමක් අසීරුය. දෙමාපියන් අහිමිව හැදී වැඩෙන ගැමි යුවතියකි. ඈ සංගිලිය. රැකවරණය සුළු මව හා සුළු පියාගෙනි. පවුලේ පැවැත්ම වෙනුවෙන් සංගිලි සිය ළමා විය ද, යොවුන් විය ද උකසට තබයි. පුරුෂ පීඩනය ඈ වටාය. ආදරය, සෙනෙහස ඇයට ආගන්තුකය. තරුණයකු හා දීග යාමේ - ඉනික්බිතිව මවක වීමේ ඇගේ සිහිනය කිසිදා සැබෑවක් නොවේ. ඈ ගැබ්බර වන්නේ සුළු පියා නිසාය. තම ඉරණම වටහා ගැනීමේ සමත්කමක් ඇයට නැත. ඈ පිළිස්සී මිය යන බව සිනමාකරු ලලිත් පවසයි. ඒ වන විට නම් ඈ අවිඥානකව තම ඉරණම වටහා ගෙන සිටින හැඩය.

සිනමාකරු ලලිත් සංගිලිගේ භූමිකාව මුල් කොට ගෙන යථෝක්ත පුවත ක්‍රමිකව දිගහරින්නේ සිදුවීම් බහුල රීතියකට ප්‍රවිෂ්ට වෙමිනි. ඊට සහය වන කිහිප දෙනෙකි. ඒ සංගිලිගේ භූමිකාව නිරූපණය කරන දුලානි අනුරාධා, සුළු පියාගේ භූමිකාව නිරූපණය කරන සනත් ගුණතිලක හා සුළු මවගේ භූමිකාව නිරූපණය කරන වීණා ජයකොඩිය. ස්වකීය පළපුරුද්ද මැනවින් උපයෝගී කොට ගන්නා සනත් ගුණතිලක හා වීණා ජයකොඩි, දුලානි අනුරාධා ද එතැනට කැඳවන්නේ සිනමාපටයේ සුලබ ලක්ෂණ සඟවමිනි. ප්‍රේක්ෂක ප්‍රශ්න කිරීම් සඳහා ලැබෙන අවකාශය ද ඊට සමගාමීව සීමා කෙරේ. සනත් නිරූපණය කරන්නේ නිසැකවම වීණාට හා දුලානිට ලැබුණු භූමිකා අබිබවා ගිය භූමිකාවකි. එය පරිබාහිර ගනුදෙනු හා පෞද්ගලිකත්වය යන දෙයාකාරය වෙතින්ම දත හැකිවේ. පුංචි බාප්පා හෝ පුංචි අයියා සේ හඳුන්වා දෙන මැදිවිය ද ඉක්මවෙමින් සිටින මෙහු අනවසර රා තිප්පොළක් පවත්වාගෙන යන්නෙකි. ගමේ හැටියට චණ්ඩියෙකි. ආරච්චිලගේ සහය හා අනුග්‍රහය ලබාගනුවස් නිවට නියාලුව හැසිරෙන්නෙකි. බිරිඳගෙන් කම් සැප නොලැබෙන නිසා අන් ස්ත්‍රීන් ඇසුරට පෙලඹෙන්නෙකි. සැර පරුෂ බිරිඳ හමුවේ කරබාගෙන සිටින්නෙකි. සංගිලිට සෙනෙහෙවන්ත සුළු පියෙකි. ඇයව ගැබිණියක කොට ඉන් නොනැවතී කෙසේ හෝ ඇගේ ආරක්ෂා තහවුරු කරන්නෙකි.

ස්වකීය ප්‍රධාන චරිතය සංගිලි වන නිසා ලිලිත්ට සිදු වන්නේ පුංචි අයියාගේ - පුංචි බාප්පාගේ භූමිකාව සතු යට කී සංකීර්ණ හැඩ ගැසීම් නිර්මාණාත්මකව මතු කර ගන්නා පිළිවෙතක් කරා නොපැමිණෙන්නටය. ඇත්ත වශයෙන්ම 'සංගිලි' පුංචි අයියා - පුංචි බාප්පා මුල් කරගෙන නිර්මාණය වූයේ නම් මැනැවිය යන අදහස විද්වත් ප්‍රේක්ෂකයා තුළ ඇති වන්නට වුව ඉඩ තිබේ. සනත් ගුණතිලකට මෙබඳු භූමිකාවක් වෙනුවෙන් සාධාරණය ඉටු කළ හැකි වග රහසක් නොවේ. එය අතිශය අභියෝගාත්මක භූමිකාවක් සේ ඔසවා තැබීමට ඔහු සතු හැකියාව පැහැදිලිය. කෙසේ නමුත් මෙහිලා ලලිත්ට දොස් පැවරිම සුදුසු නැත. මන්ද මේ ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන හෙයිනි. එසේම සංගිලිගේ භූමිකාව මුල් කොට ගෙන සමාජ හා සංස්කෘති විවරණයකට ඔහු උනන්දු වූ හෙයිනි.

ලලිත්ට දිගින් දිගටම සාණුබල සපයනු පිණිස තිර නාටකය ද සූදානම්ය. සිනමාපටය අයාලේ යාම වලකාලන්නට තිරනාටකය මැදිමත් වන්නේ තීරණාත්මක අයුරිනි. කොහොමත් සිනමාපටය අයාලේ යන්නට තිබූ අවකාශය නම් සුළුපටු නොවේ. සිදුවීම් බහුල පුවතක් අනුක්‍රමයෙන් පෙළ ගැස්වීමේදී අයාලේ යාමක් සිදු විය හැකි බව ලලිත් විශේෂයෙන් කල්පනා කරන්නට ඇත. සිනමාපටයේ ධාවන කාලය හෝරා දෙකක් පමණ වුව ද පේ‍්‍රක්ෂකයන් ඉන් විඩාවට පත් නොවන්නේ තිර නාටකය හා සංස්කරණය කෙරෙහි ලලිත් දක්වන අවධානය ද නිසාවෙනි. කාලය හා අවකාශය පිළිබඳ ගැටලු මතු නොවනවාම නොවේ. නමුත් ඒ ඒ භූමිකා හා සිදුවීම් තූලනාත්මකව අදාළ වපසරිය පුරා පතුරුවා හරින හෙයින් විශ්වාසනීයත්වය අන්තර්ගත ප්‍රශ්න කිරීම් අවශ්‍ය නොවන සුලුය.

නගරය හා සබඳතා එහෙමටම නැති පිටිසර ගමක සොබාව මෙසේය යන්න පවසනු පිණිස ලලිත් පිහිටන්නේ විවාදාත්මක පිළිවෙතකයි. එසේම එය සත්‍ය සමඟ ඇයි හොඳයිකම පවත්වයි. කිසිවක් අවධාරණය නොකරන්නට ඔහු ප්‍රවේශම් වන අන්දම ද පෙනේ. ගම්වැසියන්ගේ ප්‍රමුඛ ජීවමෝපාය ගොවිතැනය. පුරුෂ පක්ෂය කැඳවන රා තිප්පොළ දෙකකි. ආරච්චිල ඒ අරබයා අනුගමනය කරන්නේ සුහද පිළිවෙතකි. විහාරාධිපති ස්වාමීන් වහන්සේ උත්සාහ කරන්නේ ගමේ කිසිදු අකටයුත්තක් නොවනු සඳහාය. නිල හා නොනිල ස්ත්‍රී - පුරුෂ සබඳතා ගණනාවකි. මේවා තිගැස්සෙන අවස්ථා දක්වාම ගමන් කිරීමේ තත්ත්වයක් පවතී. ප්‍රචණ්ඩත්වය හා සටකපටකම් ඇති පදමටය.

මෙයින් කියැවෙන්නේ ඒ ඒ භූමිකා, සිදුවීම් හෝ ඒ ඒ කලාප යහපත් හෝ අයහපත් හෝ වර්ගීකරණය අතිශය අසීරු වන්නේය යන්නයි. සංගිලි, සුළු මවගේ තාඩන පීඩන ලබන අයුරු දැක ප්‍රේක්ෂකයා කම්පා වෙයි. එහෙත් ඇයට මනාප තරුණ විවාහකයා දෙස දයාවෙන් බලන්නට ද ප්‍රේක්ෂකයා සූදානම් වෙයි. පුංචි බාප්පා සංගිලිගේ කය පහස පැතීම සම්බන්ධයෙන් උතුරා යන විරෝධයක් ප්‍රේක්ෂකයා තුළ ඇති නොවන්නේ මෙවැනි අවස්ථා බොහොමයකදීම සඟවන හේතුවක් නිසාවෙනි. එනම් පුංචි බාප්පාට සිය නිල බිරිඳගේ පහස අවැසි විට නොලැබීම යන්නය. නොනිල බිරිඳ වුව අත මිට හිඟ වූ පුංචි බාප්පාව ප්‍රතික්ෂේප කරන්නට දෙවරක් නොසිතන්නියකි.

මේ අනුව පෙනී යන්නේ 'සංගිලි' හුදෙක් සංගිලි යන අවිහිංසක ගැමි යුවතියගේ ඛේදවාචකයත්, ඊට අනුබලය සැපයු හේතු ආදියත් නිරූපිත සිනමාපටයක් ලෙසින්ම නොවේ. ලලිත්ටත් නොදැනීම 'සංගිලි' ගැමි කලාප පිළිබඳ විකල්ප විවරණයකට අකමැත්තක් නොදක්වන සිනමාපටයක් ද වෙයි. කෙසේ වුවද සිනමාකරු ලලිත්ට මේ සියල්ල සඳහා හේතු වන දේශපාලනය ප්‍රමාණවත්ව හසු නොවන බව පෙනේ. ඔහු කරන්නේ සියලු ප්‍රතිඵල විවරණයට අවකාශය සලසා දීමය. සිදුවීම් පසුපස හඹා යාම එම අත්වැරදීම හා සම්බන්ධ වේ. එනමුත් ප්‍රේක්ෂක අවධානය නොබිඳෙන සිනමාපටයක් සේ 'සංගිලි' නිර්මාණය කරනු පිණිස දැක් වූ උනන්දුව විෂයෙහි ලලිත් හෙමින් සීරුවේ පවසන්න් තමා නවක සිනමාකරුවකුගේ භූමිකාවක්ම නිරූපණය නොකරන බවය. එසේම අද වන විට සැඟව ඇති පෙරදා කැපී පෙනුණු සමාන්තර සිනමාව කෙරෙහි තමා තුළ කිසියම් ලැදියාවන් තිබෙන බව ඔහු ඉඟි කරයි. නමුත් පළමු කොටම ඔහු ජය ගත යුතු වන්නේ අඛණ්ඩව සිනමා අධ්‍යක්ෂණ කාර්යයෙහි නිරත විය හැකි අවස්ථා සහතික කර ගැනීමය. එසේම එම සිනමාපට කල් නොයවා ප්‍රදර්ශනයට එක් කළ හැකි ආකාර ආදියය. මේ ඔහුට පමණක්ම ජය ගත හැකි දෑ නොවන බව ද සත්‍යයකි.

තුසිත ජයසුන්දර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.