කළු සුදු රූපයක් හරහා ජීවිතය විනිවිද දුටු වාමදේවන්

පෙබරවාරි 21, 2019

1935-2019

කිසි විටෙකත් තම සිනමා කැමරාව ඉදිරියේ දුම් වැටියක් දැල්වීමෙන් හෝ මත්පැන් පානය කිරීමෙන් රූප ගැන්වීම්වලට සහභාගිවීමෙන් එයට අගෞරව නොකළ යුතුයැයි ඔහු අවවාද කළේය. වාමා මුළු ජීවිත කාලය පුරාම ඒ ශික්ෂණය පිළිපැද්දේය.

‘ෆිල්ම් එකක සීන් එකක දෙන්නෙක් දවාලේ කතා කරනවා කියමු. ඔරලෝසුවක් නෑ. හැබැයි හරියටම දවල් දොළහයි. උඹ කියපං කොහොමද මචං, සීන් එකේ දොළහයි කියන්නේ

ලාංකික සිනමාවේ බිහි වූ විශිෂ්ටතම සිනමා කැමරා ශිල්පියෙකු ලෙස පතළ වාමදේවන් මගෙන් අසන්නේ අප සතුටු සාමිචියේ යෙදී සිටින අතරතුරය. මචං කිව්වාට ඔහු මට වඩා අවුරුදු තිහකින් වැඩිමහල්ය. මම නොදන්නා බව පැවසීමට හිස වැනුවෙමි.

‘ඇයි බං දවල් දොළහට හෙවනැල්ලක් නෑ. හෙවනැල්ල තියෙන්නේ කකුල ළඟ“

ඔහු පැහැදිලි කළේය. සාමාන්‍ය ජීවිතයේ අත්දැකීමෙන් සිනමාවට නැගිය යුතු දෙයක් ඔහු මට පැවසුවේය. වෛරමුත්තු වාමදේවන් යැයි පැවසුවාට කිසිවකු හෝ දන්නේ නැත. වී. වාමදේවන්යැයි පැවසූ කල චිත්‍රපට රාශියක ඔහු ගේ නම සඳහන් බව කාටත් මතකය. වාමා ඔහුට ආදරයට අමතන නමය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ සිනමා කෘතින් අතරින් පරසතු මල් සහ අන්තිම රැය නැතහොත් මුල්ම සහ අවසාන චිත්‍රපට දෙකෙහි හැර සෙසු සියලු චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂ ඔහුය.

හරියටම අවුරුදු තිහකට කලින් එනම් 1989 වසරේ මැයි මස පස්වැනි දින දහවල් වරුවේ ඔබ කළේ කුමක්දැයි ඇසූ විට කළ දෙය ඔබට මතක නැතුවාට සැකයක් නැත. අවුරුදු තිහකට පෙර දවසක් මතක තබා ගත යුත්තේ අහවල් කාරණාවකට ද ? එම වසරේ මැයි මස හය වැනිදා කළේ කුමක්දැයි ඇසූ කළ මට පිළිතුරක් දිය නොහැකිය. එහෙත් මට මැයි මස පස් වැනි දින මතකය. මම එදින ගිනි මද්දහනේ කොළඹ කොල්ලුපිටියේ මුහන්දිරම් මාවත ඔස්සේ සැරිසැරුවෙමි. ඒ වී.වාමදේවන් ගේ නිවහන සොයන්නටය. මා සරසවිය පුවත්පතට සිනමාව ගැන ලියන්නට ඉඩ ලැබෙතැයි සිතා ලේක්හවුස් ආයතනයේ පඩිපෙළ නැග එවකට ප්‍රධාන කර්තෘධුරය දැරූ ඒ.ඩී.රංජිත් කුමාර මහතා හමුවූ දවස එය විය. මුල්ම හමුව වුව රංජිත් අය්යා අලුත්ම විශේෂාංගයක් මට පැවැරුවේය. ඒ සිනමාවේ කාර්මික ශිල්පින් ගැන ලියන්නටය. මම පස්වනක් ප්‍රිතියෙන් කටයුත්ත බාර ගතිමි. සිනමාවේ සැබෑ වැඩකාරයන් යනු කාර්මික ශිල්පීන් යැයි මා ඇදහූ නිසාය. එහෙත් අවාසනාවකට මුලින් මට සොයා ගන්නට නම් කළ දෙදෙනාම සොයා ගත නොහැකි විය. එක් අයෙක් කොළඹ සිටියේ නැත. අනිත් තැනැත්තා චිත්‍රපටයක රූප ගත කිරීමක් නිසා ‘බිසී ‘ය. මම උකටලී වීමි. රංජිත් අය්යා තවත් නමක් දුන්නේය. ඒ වී.වාමදේවන් ගේ නමය. ඉන්නේ කොල්ලුපිටියේය. කොල්ලුපිටිය යනු ලොකු ප්‍රදේශයකි. බේරේ වැවේ එක ඉස්මත්තක සිට බම්බලපිටිය පන්සල පාර දක්වා විහිද යයි.අනිත් පසින් පුරහල පැත්තේය. අල්ලට වාසනාව ලැබෙන තුරු බලා සිටිනුවා විනා උත්සාහ කිරීම මගේ පිළිවෙත නොවන නිසා මා ගියේ බැරි උනොත් ආපසු ගෙදර යන්නෙමි සිතා ගෙනය. එක හෝඩුවාවක් ලැබිණ. ඒ ඔහු ගේ නිවස කොල්ලපිටියේ මුහන්දිරම් මාවතේ බවය. මම පත්තර අලෙවි වෙළෙඳ සැළකින් විමසා සිටියෙමි. සැණින් ඔහුගේ නිවහන සොයා ගත හැකි විය. වාමදේවන් ගැන නොදන්නා කෙනෙකු ඒ අවට නොමැත . පූර්ව හැඳීන්වීමක් අප අතර නොවිණ. අද මෙන් දුරකතන පහසුකම් ද නොවිණ. වාසනාවටදැයි මා දන්නේ නැත . එහෙත් වාමදේවන් නිවසේ සිටියේය. එපමණක් නොව නාඳුනන ඉලන්දාරියකුට පුවත්පත් සාකච්ඡාවක් ලබා දෙන්නට ද අදි මදි නොකළේය. අපි පැය ගණනක් අතීතාවර්ජන කතාබහක යෙදුනෙමු. මට වාසියට හිටියේ මා වාමදේවන් කැමරාව මෙහය වූ චිත්‍රපට දැක තිබීමය. ඒ සියල්ල මගේ මතකයේ වීමය. හෝරා ගණනකට පසු මා ඔහුගෙන් සමුගත්තේ නැවත එන පොරොන්දුව පිටය. පසුවදාම මම ලිපිය ලියා රංජිත් අය්යාට බාර දුනිමි. මට වාමදේවන් කතා කළා ඔයා ගැන හොද රෙකමන්ඩේෂන් එකක් දුන්නා . රංජිත් අය්යා මගේ ලිපිය අතට ගන්නා විටම පැවසුවේය. අලුත් ලේඛකයකුට එබන්දෙකුගෙන් ලැබෙන ප්‍රශංසා අනාගත ආයෝජන වන බව මා දැන ගත්තේ පසුවය. ඉරට මුවාවෙන් යන නමින් කාර්මික ශිල්පීන් ගැන ලිපි මාලාවක් ඇරඹුණේ එහෙමය. එහි මුල්ම ලිපිය පළවූයේ 1989 මැයි මස 18 වැනි දින සරසවිය පුවත්පතේ පිටුවක් පුරාය. මේ සරසවියේ මගේ ගමනක ආරම්භයයි. ඒ රෙකමදාරුව දුන් වෛරමුත්තු වාමදේවන් අපට නොදන්වාම වැලන්ටයින් දිනයේ එනම් පෙබරවාරි මස 14 වැනි දින රාත්‍රි 9.30 ට පමණ නික්ම ගොස් තිබිණ. සමාජ යුතුකම් නොකිරීම පිළිබඳ හැමවිටම පශ්චත්තාප වන හෘද සාක්ෂිය මෙවර ද මට දොස් පැවරුවේය. පසුගිය දින කිහිපයක් රෝගාතුරව සිටි වාමදේවන්ගේ නිවහනත් මගේ කාර්යාලයත් අතර දුර කිලෝමීටර් ගණන අතින් මැනිය හැකිය. පයින් යන්නට ද බැරි කමක් නැත. චිත්තම්පලම්.ඒ ගාඩිනර් මාවත දිගේ ගොස් ජේම්ස් පීරිස් මාවතෙන් පෙරහැර මාවතට ද අනතුරුව අල්විස් මාවතට ද ඉන් පසු මුහන්දිරම් මාවතට එළැඹිය හැකිය. ඔහු මා එතැයි බලාපොරොත්තු විය. මා පමණක් නොව සිනමාවේ බොහෝදෙනා එනු ඇතැයි විශ්වාස කළේය. පසුගිය වසරේ යාපනය සිනමා උලෙළේ දී යාවජීව සම්මානය දිනූවේ ඔහුය. ගමට පැමිණ සම්මානයක් ලබා ගනු ඇතැයි මා බලාපොරොත්තුවුව ද එහි ඔහු පැමිණියේ නැත. ඒ වෙනුවට පැමිණ සම්මානය ලබා ගත් දියණිය තාත්තා රෝගාතුරව රෝහල්ගත කර ඇතැයි මට පැවසුව ද මිය යන තුරුම ඔහු දකින්නට යන්නට තරම් මට කාලයක් නොමැති වූ වග වැටහුණේ දම්මිත් ෆොන්සේකා වාමදේවන් මිය ගිය පුවත දැන්වූ පසුවය.

ආදරණිය වාමා උපන්නේ 1935 වසරේ මැයි මස 22 වැනි දිනය. ඒ යාපනයේ අච්චිවේලි ගම්මානයේය. යාපනය ක්‍රිස්තියානි විද්‍යාලයේ ඉගෙනුම ලබන අවදියේම සිනමාව පිළිබඳ පිස්සුව ඔළුවට ගැසූ වාමදේවන් පාඩම් පොත් අතර චිත්‍රපට සඟරා තබාගෙන ගුටි කෑවේ වරක් දෙවරක් නොවේ. අන්තිමට තම වාසනාව ඇත්තේ සිනමාව මතයැයි වටහා ගත් ඔහු ගෙදරින් පැන ආවේ කෙසේ හෝ ඉන්දියාවට ගොස් මදුරාසියේ සිනමා කර්මාන්තයට දායක වන්නටය. එහෙත් කොළඹ සිටි ඥාතියකු ඔහු ගේ ගමන කොළඹ කිරුළ පාරේ පිහිටි සිලෝන් ස්ටුඩියෝවේ නතර කළේය. ඒ එහි සහාය ශිල්පියකු හැටියට රස්සාවක් ලබා දෙමින්ය. ඒ 1957 වසරයි. ඒ දවස්වල දස්කම චිත්‍රපටය රූප ගත කරමින් සිටි සමයයි. එයින් පසු බි.ඒ.ඩබ්ලිව්.ජයමාන්න නිර්මාණය කළ වනලිය චිත්‍රපටයෙන් සහාය කැමරා ශිල්පියකු හැටියට කටයුතු කරන්නට ඔහුට ඉඩ ලැබිණ. තම සිනමා ගමනේ මුල් ගුරුවරුන් ලෙස වාමදේවන් සැලකුවේ බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්න සහ එම්.ඩී.සුමනසේකරය. සුමනසේකර ලංකා සිනමාවේ මුල්ම සිංහල කැමරා අධ්‍යක්ෂවරයා විය. සිලෝන් ස්ටුඩියෝවේ සිනමාව අතගෑව ද ඉන්දියාවට යෑම හෝ සිනමාව ඉ‍ගෙන ගැනීමේ අදහස වාමදේවන් අතින් කිසි දිනෙක ගිලිහී ගියේ නැත. සිලෝන් ස්ටුඩියෝ සිට අලුතින් සිනමාස් සමාගමේ රැකියාවක් සොයා ගන්නට ඔහු සැලසුම් කළේ එ බැවිනි. ඒ අවදියේ සිනමාස් ප්‍රචාරක කළමනාකරු ශිවනන්දන් හමුවී තම දුක්ගැනැවිල්ල කියා පෑ වාමාට එහි කළමනාකාර අධ්‍යක්ෂ ව සිටි වී.රාමේශ්වරම් හමුවිය හැකි විය. එහි ප්‍රතිඵලය සිනමාස් සමාගමේ දොරටු හැරීමය. එහෙත් ඒ වන විට සිනමාස් සමාගම ද ඉන්දියාවට ගොස් චිත්‍රපට තැනීම නවත්වා තිබුණ අතර ඒ වෙනුවට දැවැන්ත චිත්‍රාගාරයක් හැඳළ ගොඩ නැගෙමින් තිබිණ. ඒ විජයා චිත්‍රාගාරයයි. ඒ වන විට ඔවුන් සංදේශය චිත්‍රපටය නිපදවා අවසන්ය. එබැවින් විජයා චිත්‍රාගාරයේ මුල් පිරිසට වාමදේවන් ද අයත් විය. වාමදේවන් සහාය කැමරා ශිල්පියකු වුව ද චිත්‍රාගාරයේ හැම කටයුත්තකටම ඔහු සහාය දුන්නේය. එකක් අත්දැකීම් උකහා ගැන්මය. අනික සිනමාවට ඇති ඇල්මය. මේ වන විට වාමදේවන්ට අපූරු මිතුරෙකු මුණ ගැසී තිබිණ. ඔහු ගාමිණි ෆොන්සේකාය. ගාමිණි වාමා මිතුදම ඇරඹෙන්නේ සිලෝන් ස්ටුඩියෝවේය. ඒ වන විට ගාමිණි නළුවකු ලෙස නමක් දිනූ අවදියක් නොවිය. ඔහු සිහිනය චිත්‍රපටයේ රගපෑ ටීනා වැලන්සියා සමග පෙම් බඳීන අවදියයි. ටීනා ඒ දවස්වල සිලෝන් ස්ටුඩියෝවේ රූප ගත කෙරුණු ශ්‍රී 296 චිත්‍රපටයේ රඟපෑවාය. වාමා එහි සහාය කැමරා ශිල්පියා විය. ශ්‍රී 296 නිර්මාණය කළේ ගාමිණි රේඛාව හරහා ආචාර්ය ලෙස්ටර්ට හඳුන්වා දුන් ප්‍රේම්නාත් මොරායස්ය. ටීනා හා ගාමිණීට විහිළු කරන්නට පටන් ගත් වාමා ඉක්මනින්ම ගාමිණීගේ හිතවතෙකු විය. ටීනා පසුකලක සුමිත්‍රා ෆොන්සේකා මැතිනියව ගාමිණිගේ සදාදර භාර්යාව වූවාය.

විජයා චිත්‍රාගාරයේ දී ගාමිණි වාමදේවන් මිතුදම දලුලා ගියේය. විජයා චිත්‍රාගාරයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයා වූයේ එම්.මස්තාන්ය. මෙරට සිනමා පරපුරක් හැදූ මස්තාන් වාමදේවන් ගේ සිනමාවට මහත් ආලෝකයක් විය. ධිවරයෝ චිත්‍රපටයේ මාළිගාවේ මහ රැජිණි ගීතය රූප ගත කිරීම අති මහත් අලංකාරයක් පමණක් නොව අභියෝගයක් විය. අති විශාල ජල තටාකයක් ඒ සදහා සකසා තිබිණ. මස්තාන්ගේ උපදෙස් පරිදි දර්ශනය සැලසුම කළ වාමදේවන් එය රූප ගත කළේය. මස්තාන් ඔහුගේ දක්ෂතාව හදුනා ගත්තේ ශිවානන්දන් තැනූ ඔබ දුටු දා නිසාය. ත්‍රාසජනක අභිරහස් පුවතක් වූ ඔබ දුටු දා රූ ගැන්වීමට වාමාට අවස්ථාව ලැබෙනුයේ ගාමිණි ගේ ඉල්ලීම පරිදිය. එහි කැමරා අධ්‍යක්ෂ ලීනි ද කොස්තා එක් දිනක් රූප ගත කිරීමකට සහභාගි නොවිය. වාමදේවන්ට කැමරාව දෙන්න ගාමිණි ඉල්ලීමක් කළේය. වාමදේවන් කටයුත්ත නිසි ලෙස ඉටු කළේය. සූර චෞරයා චිත්‍රපටය රූපගත කරද්දී එහි කැමරා අධ්‍යක්ෂණය වාමදේවන්ට දෙන්නයැයි ගාමිණි මස්තාන්ට බල කළේය. මස්තාන් එයට එකඟ විය. ආචාර්ය ලෙස්ටර් හැරුණු විට ගාමිණිගේ සිනමා ගුරුවරයා මස්තාන් විය.

හැමවිටම විවේක වේලාවේදී නළු නිළියන්ගේ මුහුණුවල හැඩරුව ගැන බලා ඉන්න. ඒ මුහුණු නිරීක්ෂණය කරන්න‘

ඉන්දියානු සිනමාවේ මුල් වරට වේලක්කාරන් චිත්‍රපටය හරහා සිනමා කැමරාව එළිමහනේ තබා එරට සිනමා රූපයේ අලුත් යුගයක් සටහන් කළ පසුව විජයා චිත්‍රාගාරයට එක්ව අපේ සිනමාවේ ජනප්‍රිය සලකුණ සටහන් කළ ප්‍රවීණ කැමරා හා චිත්‍රපට අධ්‍යක්ෂ මස්තාන් වාමදේවන්ට උපදෙසක් ලබා දුන්නේය. එමෙන්ම කිසි විටෙකත් තම සිනමා කැමරාව ඉදිරියේ දුම් වැටියක් දැල්වීමෙන් හෝ මත්පැන් පානය කිරීමෙන් රූප ගැන්වීම්වලට සහභාගිවීමෙන් එයට අගෞරව නොකළ යුතුයැයි ඔහු අවවාද කළේය. වාමා මුළු ජීවිත කාලය පුරාම ඒ ශික්ෂණය පිළිපැද්දේය. මධු විත සහිතව කිසිවිටෙකත් කැමරා ඇසට ඇස තැබීමෙන් හේ වැළකී සිටියේය. එමෙන්ම සිනමා රූපය දෙවියන්ගේ කාර්යයක් ලෙස සැලකූ වාමදේවන් දැඩි දේව භක්තියෙන් යුතුව කටයුතු ආරම්භ කළේය.

ආත්ම පූජා, එදත් සූරයා දඅත් සූරයා, සූරයන්ගෙත් සූරයා,හොඳම වෙලාව, හොඳයි නරකයි, හිත හොඳ මිනිහෙක්, කවුද රජා, දෙවියනි ඔබ කොහිද , අප්සරා , චිංචිං නෝනා , උතුමාණෙනි, සබීතා, මයුරිගේ කතාව, බාඳුරා මල්, සක්විති සුවය, සාගරයක් මැද, කොටි වලිගය, සත්‍ය ග්‍රහණය, නොමියෙන මිනිසුන්, ඇතුළු චිත්‍රපට ගණනාවකම වාමදේවන් ස්වකීය විශිෂ්ට කුසලතාව පළ කළේය. වාමාදේවන් ගේ විශිෂ්ටතම නිර්මාණ බිහිවූය් ගාමිණී ෆොන්සේකා සමග එක්ව කළ නිර්මාණයන් ගේ බව නොරහසකි. ලෙනින් හා සෙල්වරත්නම් අනෙක් දෙදෙනාය. වාමදේවන් වරක් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දෙමළ නාට්‍යයක් රඟ දක්වනු බලා සිටියේය. එහි වෙස් ගැන්වීමේ ශිල්පියාගේ කටයුත්ත ඔහුට හිතට ඇල්ලුවේය. ඔහුගේ මග පෙන්වීමෙන් වෙස් ගැන්වීම් ශිල්පියා සිලෝන් ස්ටුඩියෝවට පැමිණියේය .පසුව ඔහු සිනමාවේ සියලු අංග අතැඹුලක් සේ උගත්තේය. මස්තාන්ට පසු ලාංකීය සිනමාවේ ජනප්‍රිය ලකුණ වාමදේවන් සොයා ගත්තේ එහෙමය. ඒ වෙනින් කවුරුත් නොව ලෙනින් මොරායස්ය. ලෙනින් අධ්‍යක්ෂවරයකු වූ පසු ඔහුගේ හැම චිත්‍රපටයකම කැමරා අධ්‍යක්ෂ වාමදේවන්ය. මණික් සන්ද්‍ර සාගරගේ රැම්පේජ් වාමදේවන් ගේ තවත් විශිෂ්ට රූ ගැන්වීමකි. වාමදේවන් චිත්‍රපට නිෂ්පාදකවරයකු වූයේ රෑ මනමාලි චිත්‍රපටයෙනි. ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර ඔහු රඟ නොපෑ එකම චිත්‍රපටය වන රෑ මනමාලි ගාමිණි නිර්මාණය කළේ නොමිළයේය. රෑ මනමාලි ගාමිණී තැනූ වඩාත්ම ත්‍රාසජනක චිත්‍රපටයක් වූ අතර වාමදේවන් ගේ විශිෂ්ට කළු සුදු ඡායාරූපකරණයෙන් යුතු චිත්‍රපටයක් ද විය.

වාමදේවන් සිය සිනමා රූප ගැන්වීමේ දී ලාබ වැඩවලට කෙලින්ම බැහැයැයි පැවසුවේය. කළු සුදු රූපාවලියක එන ආලෝකය සහ අඳුර අතර මැවෙන අපූර්ව විචිත්‍රාලංකාරයට ඔහුගේ රූ ගැන්මේ අපූර්වත්වය විය. එය සම්පූර්ණ කිරීම සඳහා ඔහු වෙහෙස විය.

මෙරට විශිෂ්ටතම කැමරා අධ්‍යක්ෂ කවුදැයි වරක් අප හිතවත් අභාවප්‍රාප්ත සරසවිය කර්තෘ සුනිල් මිහිඳුකුල සම්මානනීය කැමරා අධ්‍යක්ෂ ඇන්ඩෘ ජයමාන්නගෙන් විමසා සිටියේය. ඇන්ඩෘ ගේ පිළිතුර වාමදේවන් බවය. වාමදේවන්ගෙන් එම ප්‍රශ්නය නැඟූ කල එයට පිළිතුර සුමිත්ත අමරසිංහ බවය. මේ තිදෙනාම කළු සුදු ඡායාරූපකරණයෙන් ජීවිතය විනිවිද දුටු අයයි. මේ තිදෙනාම අප අතර නැත. ඔවුන් තිදෙනාම අඳුර හා ආලෝකය හරහා කළු සුදු රුප රාමුවේ විශිෂ්ට කතා මැවූහ.

වාමාදේවන් සරසවිය සිනමා සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයට දායක කරවන්ට වරක මට ඉඩ කඩ ලැබිණ. ඔහුගේ දායකත්වයේ දී ඔහු සතු දැනුම ගාමිණි වේරගම ඇතුළු ප්‍රවිණ සිනමා විචාරකයන්ගේ ගෞරවයට හේතු විය. වර්තමාන සිනමා කැමරාකරණයේ විශිෂ්ටතම කැමරා අධ්‍යක්ෂ ලෙස ගෞරව ලබන එම්.ඩී.මහින්දපාල මුල්වරට සරසවිය සම්මානයෙන් පුදනු ලැබුවේ එවරය. ඔහු මහින්දපාල ගේ කර්තව්‍යය මහ ඉහළින් අගයා හෙතෙම කවුරුන්දැයි විමසා සිටියේ සම්මාන උලෙළෙන් පසුවය. 2010 වසරේ දි සරසවිය සම්මාන උලෙළේ දී ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන රණ තිසර සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේය.

මේ විශිෂ්ට පුද්ගලයා එදා මුල්වරට හමු වූ දවසේ සම්මුඛ සාකච්ඡාවක් නොදුන්නා නම් අරුණ ගුණරත්න නම් මට සරසවියට එක් නොවී චිත්‍රපට නිර්මාණයකට දායක වෙමින් යස අගේට ජීවත් වන්නට ඉඩ තිබිණ. එයින් ද නොනැවතී මා ගැන අපේ ප්‍රධාන කර්තෘතුමන්ට රෙකමදාරු කිරීමයි.

වාමදේවන් සමග අවසන් වනුයේ අපේ සිනමාවේ ස්වර්ණ යුගයේ තවත් පරිච්ඡේදයකි.

අරුණ ගුණරත්න
සරසවිය කර්තෘ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.