අවධානයට ලක්විය යුතු තාල

මාර්තු 14, 2019

බැලූ බැල්මටම මේ සිනමාපට විෂයෙහි හඳුනා ගත හැකි සමාන ලක්ෂණ කිහිපයකි. මේවා මෙසේ පෙළ ගැස් විය හැකිය. පළමු කොටම ඈත පිටිසර දුෂ්කර පාසලක් මුල් කර ගැනීමයි. දෙවනුව එහි සිටින දක්ෂ සිසුවකු හෝ සිසුවියක නිශ්චය කර ගැනීමයි.

පාලිත පෙරේරා සිය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන 'තාල' සඳහා තෝරා ගන්නේ ද දුක දිනා ජයගත් හපන්නු හා ළමා පරපුර අතර සබඳතා මූලික පුවතකි. ඔහුගේ ද්විතියික ප්‍රයත්නය එය නව්‍ය හා ආකර්ෂණීය අන්දමින් සිනමා තිරය පුරා පතුරුවා හැරීමය. ඒ සඳහා ඔහු විසින් සපයා ගනු ලබන සාධක කිහිපයකි. ඒවා නොතකා 'තාල' විමර්ශනය අසම්පූර්ණය.

පළමු කොටම පාලිත සමාකාලීන ලාංකේය විනෝදාත්මක සිනමාවේ තරුවක් බවට මාධ්‍ය ඔස්සේ පත් කර ඇති හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණයට කැඳවයි. සිනමාපටයට පසුබිම් වන්නේ ඈත පිටිසර ගමක දුෂ්කරතා පිරි පාසලකි. දරිද්‍රතාව ගම පුරාමය. පාසල එහි නිශ්චිත පිළිබිඹුවකි. නූතන ලෝකය පිළිබඳ හැඟීමක් කිසිවකුටත් නැත. දරුවන් පාසල් එන්නේ වැඩිදුර අධ්‍යාපනයක අගය වටහා ගෙන නොවේ. අසේල නම් තරුණ ගුරුවරයා සිය පළමු පත්වීම සේ මේ පාසලට පැමිණෙන්නේ නූතන ලෝකයේ සිතුම් පැතුම් සමඟිනි. ඒ ඔස්සේ ඔහු දරුවන්ගේ ලෝකය පුළුල් කරන්නටත්, ආලෝකමත් කරන්නටත් විකල්ප ක්‍රමවේද භාවිතයට සූදානම්ය. එනිසාම අසේල වීරයකු බවට පත් වේ. මෙසේ අසේල වීරයකු බවට පත්වීම පසුපස හේමාල් රණසිංහගේ වීර ප්‍රතිරූපය ද තිබේ. වීරයකු වීමට පෙම්වතකු, සටනෙහි කෙළ පැමිණි අයකු, දයාබර සොහොයුරකු හෝ දරුවකු, ළබැඳි මිතුරකු පමණක්ම විය යුතු නොවන බව ද ගුරුවරයකුට ද වීරයකු විය හැකි බව ද අසේල හා හේමාල් හරහා පාලිත පවසයි.

හේමාල්, අසේල නමැති වීර ගුරුවරයාගේ චරිතය නිරූපණය කරන්නේ තමාට වඩා සිනමා රංගනයේ ප්‍රවීණතා පෙන් වූ ජයලත් මමෝරත්න හා කෞශල්‍යා ප්‍රනාන්දු අබියසය. කෙසේ නමුත් සිනමාපටය තුළ හේමාල්ට අභියෝගයක් එල්ල කරන්නේ මැදි වියේ සටකපට ගුරුවරයකුගේ චරිතය නිරූපණය කරන ප්‍රියන්ත සිරිකුමාරයි. ලාංකේය සිනමාවේ හැඩ ගැසීම් අනුව ප්‍රියන්ත වැන්නවුන්ට පෙරට ආ හැකි අවස්ථා විරලය. විශේෂයෙන්ම විකල්ප තරු සේ පායා ආ විමල් කුමාර ද කොස්තා, දයා තෙන්නකෝන්, සෝමසිරි දෙහිපිටිය වැන්නන් මෙන්ම ප්‍රියන්තට ද සිදුව ඇත්තේ වීරයන් හා ප්‍රතිවීරයන් අබියස මඳක් පසුපසට යන්නටය.

කැමරාකරණය සම්බන්ධයෙන් තමා සතු පරිචය නිදහසේ මුදා හරින්නට සිනමාකරු පාලිත දරා ඇති වෑයම ප්‍රමාණවත් මට්ටමක පවතී. දුෂ්කර ගමේ දෘශ්‍යමාන සුන්දරත්වය ඔහුට හසු වන්නේ වෘත්තීය මට්ටමෙනි. එසැණින්ම එහි එන දරිද්‍රතාව බඳු පසුගාමී නැඹුරුවීම් ද ඔහුට හසු වෙයි. නමුත් ඒ සමස්තයක් ලෙස තනා ගත් විචිත්‍ර පිට වැස්මට බාධාවක් නොවන පරිදිය.

'තාල' විචිත්‍ර පිටවැස්මක් සහිත සිනමාපටයක් බවට පත් කරලීමේදී චරිත බහුල රූප රාමු විසින් එල්ල කරනු ලබන අභියෝග වටහා ගන්නට පාලිත සමත්ව සිටී. බොහෝ රූප රාමු තුළ එන්නේ ගමේ පාසලේ සිසු සිසුවියන්ය. නැතහොත් ගුරුවර ගුරුවරියන්ය. එසේ් නැතහොත් ගැමියන්ය. දේශපාලන බලවතුන්ය. අසේල නමැති වීර ගුරුවරයා තනිම සිටින රූප රාමු මෙහිලා නොගැළපෙන බවක් නොපෙන්වන්නේ සංස්කරණය කෙරෙහි ද පාලිත දැක් වූ අවධානය නිසවෙනි.

'තාල' නව්‍ය හා ආකර්ෂණීය සිනමාපටයක් සේ ඔසවා තබන්නට දරන ප්‍රයත්නය විසින්ම කිසියම් සහේතුක සුලබ හැඟීමක් සිනමා ප්‍රේක්ෂකයා විෂයෙහි තහවුරු කරයි. එනම් 'තාල' බඳු සිනමාපට ගණනාවක්ම පසුගිය වසර තුන හතර තුළදී ප්‍රේක්ෂක අවධානයට මෙන්ම විචාරක අවධානයට ද ලක් වී තිබීමය. 'හෝ ගානා පොකුණ', 'හීන හොයන සමනල්ලු', ඒ ලෙවල්', '5 සමත්', 'ගෝල්' ඉන් කිහිපයකි.

බැලූ බැල්මටම මේ සිනමාපට විෂයෙහි හඳුනා ගත හැකි සමාන ලක්ෂණ කිහිපයකි. මේවා මෙසේ පෙළ ගැස් විය හැකිය. පළමු කොටම ඈත පිටිසර දුෂ්කර පාසලක් මුල් කර ගැනීමයි. දෙවනුව එහි සිටින දක්ෂ සිසුවකු හෝ සිසුවියක නිශ්චය කර ගැනීමයි. තෙවනුව නූතන ලෝකය හැඳින ගන්නට ඔවුන් දක්වන කැමැත්තය. සිව්වැනුව ඊට උපකාර කරන පාර්ශ්වයන්ගේ සපැමිණීමය. නූතන ලෝකයේදී මේ ගැමි දරුවන් මුහුණ දෙන අන්තරාය පස්වන කරුණ සේ දැක් විය හැකිය.

ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ 'හෝ ගානා පොකුණ' මෙහිලා හඳුනා ගත හැකි ප්‍රාරම්භක අවස්ථාවයි. 'හෝ ගානා පොකුණ' අනපේක්ෂිත හා තරමක විස්මයජනක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද සිනමාපටයකි. ඇත්ත වශයෙන්ම 'හෝ ගානා පොකුණ' ලාංකේය ළමා සිනමා භාවිතය විෂයෙහි ඉදිරිපත් කළ හැකි හොඳම සිනමපටයකි. නිසැක වශයෙන්ම 'හෝ ගානා පොකුණ' නව්‍ය හා ආකර්ෂණීය සිනමාපටයක් ද වේ. ළමුන්ගේ හැඟීම් හා චර්යා හසු කර ගැනීමේදී සංගීතය හා ගීත ඊට වුවමනා දෑ සකස් කර දෙනු ලැබූ බව පැහැදිලිය. කෙසේ වෙතත් 'හෝ ගානා පොකුණ'ට සමීප වීම හෝ ඒ හා සමතැන් ගැනීමේ අභිලාෂයෙන් යුතුව පෙර කී සිනමාපට හැසිරෙන වග රහසක් නොවේ. මේ හැම සිනමාපටයක්ම විචාරක අවධානයෙන් නොගිලිහීම අමතක නොකළ යුත්තකි.

'හෝ ගානා පොකුණ' සමඟ ගනුදෙනු කළ යට කී සිනමාපට අතරින් 'තාල' මඳක් ඉදිරියෙන් සිටින අන්දම නිශ්චය වන අවස්ථා කිහිපයක්ම වේ. ඉන් පෙරමුණ ගන්නේ පාසල් දරුවන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හා පොදුවේ ඔවුන් මුහුණ දෙන අත්දැකීම් වැඩිපුර නිරූපණයට සිනමාකරු පාලිත උත්සාහ කිරීමය. සිනමාපටය ගලා නොයා එක තැන කැරකැවෙන ස්වභාවයක් පෙන්නුම් කරන්නේද ඒ නිසාවෙනි. යම් අමුත්තක් සිනමාපටය වෙත රැගෙන ඒමට පාලිත දරන වෑයම හුදු මතුපිට ආලේපයක් පමණකැයි කෙනෙකුට වැටහුණහොත් ඒ සම්බන්ධයෙන් පුදුම විය යුතු නොවේ. ප්‍රදේශයේ දේශපාලන බලවතියගේ හා සහචරයන්ගේ අරමුණ ගමේ පිහිටි තල්තලාව බිඳ එතුළ සැඟව ඇතැයි කියන නිධානය සතු කර ගැනීමයි. ඊට ගම්වාසී කණ්ඩායමකගේ ද සහය හිමි වේ. නමුත් මේ ආලේපය නොමැති වුව ද සිනමාපටයට විශේෂ අගතියක් සිදු නොවන බව පෙනේ. මන්ද එය සිනමාපටයේ තීරණාත්මක කාරණයණක් සේ දත නොහැකි හෙයිනි. එසේම දේශපාලන හේතු මත අසේලට ස්ථාන මාරුවීමක් ලබාදීම වුව අතිශයෝක්තියක් බවට පත් වන සුලුය.

ඈත පිටිසර දුෂ්කර පාසල් පාදක වූ දුක දිනා ජය ගත් හපන්නු නිරූපිත සිනමාපට මාදිලියේ එන තවත් ලක්ෂණයක් වන්නේ උද්වේගකර ජයග්‍රහණ ප්‍රේක්ෂක දෑස් සතුටු කඳුළින් තෙමමින් වාර්තා කිරිමයි. 'හෝ ගානා පොකුණ' හි සිසු පිරිස කිසිදා නොදුටු සාගරය දකින්නට පැමිණෙති. 'හීන හොයන සමනල්ලු' හි අවිහිංසක සිසුවාට සවිමත් රැකවරණයක් ලැබේ. 'ඒ ලෙවල්' හි උසස් පෙළ සිසුහු විවෘත මනසකින් විභාගයට මුහුණ දෙති. '8 සමත්' හි ගැමි දරුවා නාගරික පාසලේදී තාඩන පීඩන ලබමින් වුව තම ගමට යහපතක් උදා කර දෙන්නට පෙරමුණ ගන්නෙකි. 'ගෝල්' හි සිසු පිරිස නගරයේ කුමාර පාසල් පරදවා පාපන්දු තරගාවලියක් ජයග්‍රහණය කරති. 'තාල' හිදී සිදු වන්නේ අසේල හා මිතුරිය එරන්දතී විසින් සිසු පිරිස ජාතික මට්ටමේ සංගීත තරගාවලියක් කරා යොමු කරනු ලැබීමයි. එය යම් ජයග්‍රහණයකින් කෙළවර වේ. පාලිත මේ ජයග්‍රහණය උද්වේගකර අන්දමින් නිරූපණයට වඩා මනාප වන්නේ සිසු පිරිස හා අසේල කලකට පසුව සම්මුඛ කරලීමටය.

සමාජ, දේශපාලන හා සංස්කෘතික ප්‍රශ්න ආදියට විසඳුම් ලබා දීම සිනමාකරුවකුගේ කාර්යභාරය නොවේ. මේ අදහස කෙරෙහි සැලකිලිමත් නොවන සිනමාකරුවන් සිනමාපටය තුළදීම ප්‍රශ්න විසඳීමට දරන වෑයම් සිනමා ඉතිහාසය පුරාමය. ඇති නැති පරතරය නොතකා ජය ගත් ප්‍රේම සම්බන්ධතා නිරූපිත සිනමාපට විෂයෙහි මෙය මනාව දැකිය හැකිය. 'තාල' අයත් සිනමාපට මාදිලිය ද ස්වකීය සීමාව තුළ සිටිමින් හෝ එහි අද්දරට පැමිණ ඉඟි කරන්නේ පෙර කී ආකාරයේ ජයග්‍රහණ විසින් සියල්ල යථා තත්ත්වයට පත්වනු ඇති බවයි. ප්‍රේක්ෂකයන් ද 'තාල' නරඹා අවසන සිනමා ශාලාවේ පිටවීම් ද්වාරය වෙත පැමිණෙන්නේ සතුටු කඳුළු වගුරුවමිනි. නමුත් සිනමා ශාලවෙන් පිටත රජයන්නේ නූතනත්වය වැලඳ ගත් හා වැලඳ ගනිමින් සිටින නගරයයි. නුතනත්වය ප්‍රශ්න කරන හෝ නොතකන, සම්ප්‍රදායික පිවිසුම ඔස්සේම ලෝකය සාක්ෂාත් කර ගත හැකි යැයි සිතන ගම නොවේ. 'තාල' හි ගම පිළිබඳ කතිකාව කරා නගරය කැඳවමින් එය අයත් සිනමාපට මාදිලය තවත් අයුරකින් දකින්නට පාලිත දරන වෑයම ද විචාරක අවධානයට ලක් කළ යුත්තකි.

තුසිත ජයසුන්දර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.