කුමටද සොබනියේ කඳුළු සලන්නේ

අයිරාංගනී ගුණවර්ධන
මාර්තු 14, 2019

එක්දහස් නවසිය අසූවට පමණ මගේ මතකය දිව යන්නේ අප රැගත් වාහනය ගම්පහට දිවෙන අතරය. අඩ අඳුරු කාමරයක ත්‍රිපාද රඳවන මත මොනවාදෝ දිගු පෙට්ටි තුනක් පමණ අටවා තිබේ. ඒවා මෙහෙයවන මාමලා දෙස බලමින් සිටින කුඩා දැරිය මමයි. අනෙක් පිරිස බොහෝ කඩිමුඩියේ විවිධ පසුතල ආදිය සකසමින් සිටින අතර උස මහත මාමා කෙනකු පැමිණ ‘ආ බබා අර බලන්න‘ කියයි. මම බලමි. කණ්ණාඩියෙන් දැක හුරු මගේ රූපය වන් පොඩි කෙල්ලක හතරැස් රාමුවක් තුළ සිටියි. මම නලළ රැලි කර බලමි. ඇයද එසේ කරයි. මම විස්මයෙන් නියපොත්තක් කමි. ඇයද එසේයි. ඇය හැඳ සිටින්නේ මගේ ගවුමමය. ‘දැන් හිනාවෙන්න බලන්න.‘ මාමා කියයි. මම පුදුමය යටපත් කරගෙන අමාරුවෙන් විරිත්තමි. ඇයද විරිත්තයි. මම බයවෙමි. ‘ංහෑ...‘ මම අඬද්දී තාත්තා (සැම්සන් සිල්වා) සහ අම්මා (පෙම්සිරි) සිනාසෙමින් ළඟට එති. ඇයි පුතේ ඒ ඔයානේ. අම්මා මා සනසන්නීය. ජීවිතේ පළමුවැනි වතාවට රූපවාහිනී තිරයක් මත මගේ රුව දුටු දා සිනමා පටයක් සේ මට පෙනේ. එදා මට මට කතා කළ ඒ ‘මාමා‘ දයානන්ද ගුණවර්ධන නම් වූ අසහාය කලාකරුවා බව මා දැනගත්තේ හය හතර තේරෙන වයසට පත් වූ පසුය. රන් ඔන්චිල්ලා නමින් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ වැඩසටහන සඳහා ඔහු සමඟ එක්ව මපට් රූකඩ කතා තනමින් ඒ වැඩසටහනට සංගීතය සපයමින් අම්මාත් තාත්තාත් සහභාගී වූ අවස්ථාවක වුණු විස්මය අමතක නොවන සටහනක් ලෙස මසිතේ තැන්පත් වන්නේ රූපවාහිනිය අප ජීවිතයට විශාල බලපෑමක් කළ මෙවලමක් බවට පත් වූ නිසා විය හැකිය. දෛවෝපගතව මම අද ඒ යුග පුරුෂයාගේ ප්‍රිය බිරිය වූ අයිරාංගනී ගුණවර්ධන මහත්මිය හමුවීමට යමි. පහසුවෙන් පුවත්පත් සාකච්ඡාවලට සහභාගී නොවන ඇය ආචාර්ය නුවන් නයනජිත්ගේ ද උදව් ඇතිව වසන්ත ගුණවර්ධන අප මිත්‍රයා, දයානන්ද ගුණවර්ධනයන්ගේ කනිටු පුත්‍රයාගේ සහායෙන් මේ කතාබහට යොමු කරගත්තෙමු.

‘අයිරාංගනී රණතුංග අයිරාංගනී ගුණවර්ධන වුණ හැටි කියලම පටන් ගමු.‘ මම යෝජනා කරමි.

‘ගුණවර්ධන වෙලා අවුරුදු 52ක් දැන්. අපි බැන්දේ හැටහතේ. යෝජිත විවාහයකින්.‘

‘අපේ ලිපි පෙළේ පළමුවැනි වතාවට යෝජිත විවාහයක් ආවේ.‘

‘ආ... දයානන්ද මාව බලන්න එන්නෙත් නැතුව ඉන්න හදලා තියෙන්නේ නයිලෝන් වගේ ඇඳුම් ඇඳගෙන ඉන්න බෑ කියලා. එයා කිව්වලු රෙදි නැන්දා ආවොත් එනවා නැත්නම් අය්යටම යන්න කියලා. මොකද මෙයාගේ මනමාලියො ඔක්කොම බලන්න ගිහින් තියෙන්නේ අය්යාලු. එයා තමයි ඉතින් කියන්නේ. අපි දන්නේ නෑ ඕවා. වෙලාවට රෙදි නැන්දා ඇවිත්. කපු කමිස ලැබිලා. එයා බලන්න ආපු එකම මනමාලිත් මමයි. මට ආපු පළමුවෙනි යෝජනාවත් එයයි. ඒත් අපිත් මුලින් හිතුවේ අය්යා තමයි මනමාලයා කියලා. අපේ නංගිලා දොර රෙද්ද අස්සෙන් බලලා කීවේ. අය්යානෙ හොඳ ස්ටයිල් එකට ඇඳගෙන ඇවිත් හිටියේ.‘ අප සිනාසුනද ඇය සිනා සිරකරගෙන සිටියි.

‘ඒ කියන්නේ අය්යා කියලා හිතාගෙනද කැමති වුණේ‘ මගේ අපබ්‍රංස ප්‍රශ්නය නිසා ඇය සිරකරගෙන සිටි සිනාව එළියට පනිත්ම ආලින්දයම එකම සිනා සයුරකින් වැසී යයි.

‘අපෝ නෑ.නෑ. අපි අඳුනගත්තනේ එදා. දැනගෙන බැන්දෙ. හැමෝම හිතුවේ මමත් කැම්පස් කියලා. මම ගම්පහ හෝලික්‍රොස් එකේ ඉගෙනගෙන, ස්ටැෆර්ඩඩ් ලේඩීස් එකේ ඩිප්ලෝමා කෝස් එකක් කළා.‘

‘යෝජිත විවාහය ආදරයක් බවට පත්වන්නේ?‘ මට මහත් කුහුලකි.

‘ඒ ගැන නම් මටත් අදහසක් තිබුණේ නෑ. මොකද මට 21යි බඳීනකොට. දයානන්දට 32ක් වගේ. දෙමව්පියන් කියන දේට කැමති වෙලා පස්සේ තමයි ඒවා තේරුණේ. හොඳ කෙනෙක් නිසා ඉතින් හොඳයි කියලා හිතුණා. කරුණාවන්තයි. ඒත් අපේ එන්ගේජ්මන්ට් එකෙන් පස්සේ මෙයා කතා කළා ජසයා ලෙන්චිනා බලන්න යං කියලා. අපේ තාත්තා කිව්වා බැන්දට පස්සෙම එහෙ මෙහෙ යන්න කියලා. දයානන්ද ඒකට මුකුත් කීවේ නෑ. එතකොට එයා නාට්‍ය කරනවා. මම දැනගෙන හිටියෙ නෑ. නරි බෑනා මම ඊට කලින් කවදාවත් දැකලත් නෑ. මොකද එක දවසක් බලන්න යන්න ඉඳලා යාළුවෝ යන්නෙ නැති නිසා මමත් නැවතුණා. හැබැයි බලපු ළමයි කිව්වා හරි ලස්සනයි. ගම දුව හිනාවෙනකොට දිලිසෙනවා කියලා. ශ්‍රියානි අමරසේනනේ ඒ දවස්වල ගමදුව. බැන්දට පස්සේ තමයි නාට්‍ය බලන්න ගියේ. ආයේ දරුවො ලැබුණට පස්සේ යන එක නතර කළා. මොකද එයාටත් අපි ගැන බලන්න වෙලාවක් නෑනේ නාට්‍ය අස්සේ. ලොකු පුතා ලැබෙන්න ඉද්දි හරි සතුටුයි. එයා දරුවන්ට හරි ආදරෙයි බලා ගන්න වෙලාවක් නැති වුණාට. අනෙක එයාට දරුවො බලාගන්න දුන්නාම එයා පොතක් කියවන අස්සේ ළමයි බිම වැටිලා. පළමුවැනියා කීර්ති ගුණවර්ධන. දැන් ඉංජිනේරුවෙක් හැටියට වැඩ කරන්නේ. දුව අභිමංගලා ගුණවර්ධන, එයා පැරැණි චිත්‍ර අඳීන්න දක්ෂයි අභිමංගලා බැඳලා ඉන්නේ සුන්දර නිහතමානි ද මැල්ගේ මල්ලි මනරම්.

පොඩි පුතා වසන්ත ගුණවර්ධන. පරිගණක පැත්තේ වැඩ කරන්නේ.‘ එසේ කියද්දී ඔහුගේ දියණිය අමායා සහ කේනුක කුඩා පුතු ඔහුට වඩාත් තුරුල් වී අපේ කතාව අසා සිටිති. එය දකින අයිරාංගනී මහත්මිය පවසන්නේ සනුදි, චිරනි ලොකුපුතාගේ මිනිබිරියන් දෙදෙනා ද මෙවැනිම සුරතලියන් බවයි. වසන්ත කතාවට හවුල් වෙයි.

‘ඒ වුණාට අපිට තාත්තා ඉන්න කාලේ ඉඳන් අභාසය තියෙනවානේ ගෙදර අම්මා කොස්ටියුම් රෙදි දිග ඇදගෙන, මහලා ඔක්කොම කරනවා බලන් ඉඳලා. ඒ නිසා අපිට නාට්‍ය කිරීමත් හුරු වුණා.‘

යළිත් අවස්ථාව අම්මාටය. ‘83 මධුර ජවනිකාවෙන් පස්සේ තමයි මමත් දිගටම යන්න පටන් ගත්තේ නාට්‍ය එක්ක. ඒ නිසා තමයි අදත් නාට්‍යවලට උදව් කරන්න පුළුවන්. දයානන්දට නාට්‍ය ගැන ලොකු දැනීමක් තිබුණා. කොච්චරද කිව්වොත් එයාට එක ඇස් පාරෙන් කියන්න පුළුවන් ඇඳුම් ආයිත්තම් හරි වේදිකා සැරසිලිවල හරි අඩුවක් තියෙනවා නම්.

 

සමහරු පත්තරවල පවා ලියනවා එයාට හරියට අමතක වෙනවා කියලා. මඟුල් ගෙදරකදි අපේම දුවට අර දුවත් හරියට අපේ දුව වගේම නේද කියලා ඇහුවලු කියනවා. තව මාව මඟ දාලා ආවා කියනවා. අනේ මන්දා ඒවා කවුරු කොහොම හැදුවද කියලා නේද වසන්ත අපිට නම් එහෙම කවදාවත් වෙලා නෑ. හොඳ කල්පනාවක් තියෙනවා වැඩකටයුතු ගැන. දවසක් නම් අපි ඉස්සරහා එහෙම කිව්වාය කියලා එක්කෙනෙක් එක්ක කේන්තිත් ගියා.‘

වසන්ත එය තහවුරු කරයි. ‘ඔව් අපිට නම් එහෙම කිසිම දෙයක් ගම්‍ය වෙලා නෑ. අනෙක ෆිල්ම් හෝල් එකකට වුණත් අපිව ගෙනිච්චොත් තාත්තා ළඟටම ඇදලා අරගෙන තුරුල් කරන් ඉන්නවා මිසක දාලා නම් ඇවිල්ලා නෑ. අපේ ඉස්කෝල වැඩ වුණත් එහෙමයි. හැබැයි තාත්තා වැඩ කරකර ඉද්දි එහෙට මෙහෙට මිදුලේ ඇවිදිනවා, තේක නිවෙනකල් බොන්න අමතක වෙනවා. කෑම කන්න අමතක වෙන ඒවා නම් තියෙනවා. 60 ගණන්වල නම් දවසක් තාත්තාට රෝඩියෝ සිලෝන් ස්ටුඩියෝ එකේ යතුර දෙන්න අමතක වෙලා හවස රෙකෝඩින් එකට ඒ ස්ටූඩියෝ එක ඇරගන්න බැරුව අපේ ගෙදරට වාහනයක් එව්වා. ඒ පාර තාත්තා හරි කනගාටුවෙලා ඒ වගේම ලැජ්ජාවෙලා සාක්කුවේ දාගෙන ඇවිත් තිබුණු යතුර දුන්නා. තව එකක් ඔය අමතක වෙන කතාව හදන හේතුවත් අපිට තේරිලා තියෙන්නේ දැන් වෙනකොට නම්.‘

ඒ මොකක්ද? මගේ කුතුහලය ඉහළ යයි. පිළිතුර අම්මාගෙනි. පැහැදිලි කිරීම් පුතාගෙනි.

‘දැන් ඔය එක එක දේවල් වෙනවානේ. තව ටිකක් කතා කරද්දි තේරෙයි.‘

බඳීනකොට නළුවෙක් බව දන්නවාද?

‘රන්සළු, කුරුලු බැද්ද, සිහින හතක් චිත්‍රපටවල රඟපෑවා. හැබැයි බැන්දට පස්සේ රඟපෑවේ නෑ. ඇත්තටම බඳීනකොට මම දන්නෙත් නෑ නළුවෙක් කියලා. හැබැයි කපුමහත්තයා කියලාද කොහෙද ඒත් තාත්තලා කැමති වුණා. මටත් කීවා රැයක් දවාලක් නෑ කලාව කරනකොට එහෙම කියලා. මට එච්චර එවා ගැන තේරුමකුත් නෑ.‘

අමතර කරුණ වසන්තගෙනි. ‘මට මතකයි පත්තරේක රන්සළු පිටරට පෙන්වන වෙලාවක වගේ වැදගත් අවස්ථාවක චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ විවාහ උත්සවය යෙදී තිබෙනවා කියන ප්‍රවෘත්තියත් පළ වෙලා තාත්තා එකතු කරලා තිබුණා.‘

බැන්දට පස්සේ නිර්මාණ කටයුතුවල ගුණදොස් එහෙම අහනවද?

මට කියනවා අයිරා මේ ටික කියවලා බලන්න කියලා. ඒත් මම ඉතින් හිනා වෙලා ඉන්නවා මිසක් වරදක් දැක්කේ නෑ. මම ඇඳුම් එහෙම නම් මහල කරලා දුන්නා. මට කැත්ලින් ස්කූල් එකේ මැහුම් ටීචර් කෙනෙක් ගෙනල්ලා ඉගැන්නුවානේ තාත්තා. ඒ දවස්වල ලීවලින් හදපු මධුර ජවනිකාවල කැරකෙන සෙට් එහෙම දැන් පුතාලා යකඩවලින් හදලා කරන වෙනස විතරයි. දයානන්දගෙ පාට තේරීම් එහෙම හරිම ලස්සනයි. ඒ නිසා අපි ඒවා වෙනස් කරන්න හිතන්නෙවත් නෑ. පුළුවන් තරම් ඒ විදිහටම තියන්න තමයි අලුතෙන් මහන ඇඳුම්වලදි වුණත් උත්සාහ කරන්නේ. එයාටත් චිත්‍ර හොඳට පුළුවන්නෙ. ඒ නිසා පාට ගැළපීම් ලස්සනයි.‘

‘යුගපුරුෂයන් වුණාට සමහරු නම් ගේදොරවල වැඩත් බලනවා‘

ඔව් මෙයත් හිතුණාම පොළේ එහෙම ගිහින් කැමති දේවල් අරගෙන එනවා. ඒත් වෙලාව නෑනේ. අනෙක මෙයාගේ ආසාව ගෙවල්ම හදන එක. මේ ගෙදරත් එහෙන් මෙහෙන් කෑලි වෙනස් කරලා අන්තිමට හදපු විදිහ තමයි දැන් තියෙන්නේ. ගල්කිස්සේ කලාපුරෙන් හම්බුණු ඉඩමෙත් ගෙයක් හදන කල්පනාව තමයි තිබුණෙ. සල්ලියක් ලැබුණද කරන්නේ ගේ කඩලා හදන වැඩේ තමයි. අය්යලා එහෙම බණිනවා සමහර වෙලාවට ඔය වාස්තු පිහිටවලා තියෙන ඒවා කඩන්න එපා කියලා. හැබැයි එයත් දන්නවා කේන්දර එහෙම බලන්න. නැතිවෙන්න කලින් එයාම කීවා ඒරාෂ්ඨකයක් තියෙනවා එහෙම කියලා. මම නම් ඒවා ඒ තරම් ගණන් ගත්තේ නෑ. නැති වුණාට පස්සේ තමයි ඒ දේවල් බලන්න හිතුණේ. ඒ නිසා එයා නැති වුණාට පස්සේ මම රාහු කාලේ බලලා තමයි නාට්‍යයේ ඇඳුම් එහෙම ඇහිරුවේ. ඒත් එදාම ප්‍රධාන නළුවා බස් එක පරක්කුයි කියලා ගෙදර ගිහින්. අපි කොහොමහරි ඒ ප්‍රශ්නය විසඳගත්තා. ඒත් රාහුකාල බොරුවැඩ කියලා කාලෙකදි මටම හිතුණා. ඉතින් කවදාවත් අපිට නාට්‍යයකදි නරකක් වෙලාත් නෑ. කොහොමහරි බේරෙනවා. එයාම පිහිටට ඉන්නවා ද කියලත් හිතෙනවා වෙලාවකට. දවසක් ආභරණ පෙට්ටියම දාලා ගිහින් ඒත් වෙලාවට ගෙන්නගන්න ලැබුණා. හැබැයි දයානන්ද රාහු කාල බැලුවේ නෑ. අපි නාට්‍ය තියෙන දවසට වැඩිපුර එයාගැන කතාකළොත් මට හීනෙන් පේනවා. එයා කතා කරනවා. කාර් එකේ යමු කියනවා. ඒත් මම අඳීන්න පරක්කුවෙලා කොහොම හරි යන්න ලැබෙන්නේ නෑ. එයා ඉතින් අම්මට සහෝදරයන්ට පුදුම ලැදියාවක් තිබුණේ. එයා අම්මා ලෙඩ වෙනකොට හරි බයෙන් හිටියට එයාට ලෙඩ වෙද්දි ගණන් ගත්තේ නෑ. ලක්ෂ්මන් ජයකොඩි මහත්තයාගේ නෝනා කීප විටක්ම කීවා කකුල ඉදිමෙද්දි බලවන්න කියලා. ඒත් මෙයා බෑ කියලා. ගල්කිස්සේ ගේ හදන නිසයි, මධුර ජවනිකා අලුතෙන් පටන් ගත් නිසයි.’

‘ගෙවල් හදන්න වගේම අස් කරන්නත් ආසද?‘

‘අපෝ ඔව්. වත්තපිටිය අතුගානවා. මල් වවනවා. රෙදිවල චිත්‍ර අඳීනවා. ඒවට හරි ආසයි. කිරිපැණි, අළුකෙසෙල් කන්නත් ආසයි. මට ඉස්සර උයන්නත් බෑ. කිරිබත් තලිය වගේ උයලා දුන්නත්, වතුරයි බතුයි දුන්නත් අනේ අරගෙන යනවා ඒවා හොයන්නේ නෑ. ඒවාට කේන්ති යන්නේ නෑ. හැබැයි මමම කේලාම් කියලා ළමයි එක්ක තරහ ගියොත් පාර කන්නේ මමමයි. මොකද ළමයින්ට ගහන්න යද්දි මම මැදට පැනලා බේරගන්නවානේ.‘

‘නාට්‍ය කළාට භූගෝල විද්‍යා උපාධිධාරියෙක් නේද?‘

‘56 කැම්පස් අවුට් වෙලා කෑගලු විද්‍යාලයේ පළමුවෙනි පත්වීම භූගෝල විද්‍යා ගුරුවරයකු හැටියට. එහෙදි තමයි ආචාර්ය සොලමන් ෆොන්සේකා පොඩි කොලු ගැටයෙක් හැටියට තාත්තා කොළඹට ගේන්නෙ නරියා විදිහට නේද වසන්ත. ඊටපස්සේ තර්ස්ටන්. එහෙදි තමයි නරිබෑනා කරන්නේ. ඒකෙදි ප්‍රින්සිපල් කැමතිවෙලා නෑ පිටින් ගෑනු ළමයි ගන්නවාට. ඒත් ගෝතමී එකෙන් ට්‍රිලිෂියා(ගුණවර්ධන)ගේ නංගි පුෂ්පා අබේකෝන්, චන්ද්‍රා විජේවර්ධන දෙන්නව ගමදුවටයි අම්මටයි අරගෙන තියෙන්නේ. නරිබෑනා පාසල් නාට්‍යයනේ ජනප්‍රිය වෙලා මිනිස්සු ඒ කාලේ පෝලිමේ ඇවිත් බලලා ප්‍රසිද්ධ වේදිකාවට යන්නේ. ඊට පස්සේ 61 වෙද්දි දර්ශන සීයත් පනිනවා. ඒ අවුරුද්දේ ගුවන්විදුලියට ගියා. ඒකෙ ඉංග්‍රීසි සේවා අධ්‍යක්ෂ වුණාම විට හපන කෙනෙක් ඉංග්‍රිසී සේවයට පත් කළා කියලා ප්‍රචාරයකුත් ගියා. මොකද එයා ඔය පිරිත් දාලා එහෙම වෙනස්කම් කළානේ.‘

‘ඇයි අම්මේ වේදිකාවෙන් ගුවනට එහෙම කළේ. අවුරුදු දවස්වලට එහෙම තාත්තා ගෙදර නෑ. අවුරුදු චාරිත්‍ර ප්‍රචාරය කරන්න දුර පළාත්වල ගිහින්.‘ ඒ වසන්තය.

‘අපිත් ගියා දවසක් ත්‍රිකුණාමලේ ඒ වෙලාවේ ප්‍රේමකීර්තිත් (ද අල්විස්) හිටියා අනේ මට මතකයි. ගුවන්විදුලියේ ඉද්දිම සුදර්ශියෙත් කාලයක් සභාපති එහෙමත් වුණානේ. 83 වෙද්දි ඒවායිනුත් අයින් වුණා. එයා බොහොම කලකිරීමෙන් හිටියේ මේ කලාව කළාට මොකද‘

‘ඇයි?‘

මගේ පිළිතුරට මවත් පුතාත් දෙදෙනා තරගයට මෙන් පිළිතුරු දෙති.

‘ගුවන් විදුලියෙන් කට්ටිය අරගෙනනේ ජර්මනියට යැව්වේ රූපවාහිනිය හදන්නේ. දයානන්දත් රට ගියා.‘

‘ඒ වුණාට එතන ප්‍රශ්නයක් වෙලා තාත්තාව රූපවාහිනියට ගත්තේ නෑ. අන්තිමට තාත්තා නැති වෙද්දි රූපවාහිනියේ තාත්තාගේ විෂුවල් එකක්වත් තිබුණෙත් නෑ. සුනිල් සරත් පෙරේරා මහත්තයා ගෙදර තිබුණු නරිබෑනා පොතේ පින්තූරෙන් තමයි ප්‍රවෘත්තිය හැදුවේ කියලා පස්සේ කාලෙක මට කිව්වා.‘

‘පස්සේ බීබීසී එකට රටත් ගියා. මට හරියට මතකත් නෑ මොකටද කියලා. කොහොමහරි බක්මහ දීගේ චිත්‍රපටය කරන්න ගුවන්විදුලියෙන් අස්වෙන්නත් ඇහුවට දුන්නේ නෑ. ඒත් එක එක්කෙනා වැරදි අල්ලන්න ඉන්නවානේ. ඒවා හෙව්වට අහු වුණේ නෑ පස්සේ මාස ගාණක හිඟ පඩිත් එක්ක ආපහු ගත්තා. ආයේ සැරයක් වැඩ තහනම් වුණා රැජින මමයි අපේ රාජ්ජේ සින්දුව දාලා. ඒ කාලේ තමයි ඔය සුදර්ශියට වෙලා හිටියේ. එයාගේ හැම නාට්‍යයකටම වගේ පොතකුත් ලියනවා.‘

එයට අලගු තියන්නේ වසන්තයි. ‘තාත්තා කෙටි නාට්‍යවලට පවා පොත් ලීවා. කාමරේ පොරේ, අම්බජාතකය, විකාරයේ ආකාරය වගේ ඒවා වගේම විශේෂ පර්යේෂණ කරපු ගජමන් පුවත වගේ ඒවායේ නාට්‍ය පෙළත් එක්ක පර්යේෂණ උප ග්‍රන්ථයක් එනව. ආනන්ද ජවනිකා වෙද්දි ඒක විශාල පර්යේෂණ ග්‍රන්ථයක් බවටම පත්වෙලා. ඒවට කරුණු හොයන්න මතකද අම්මට ගාලු කොටුවේ එහෙමත් ගියා.‘

‘සම්මාන ගැන එහෙම මොකද කිව්වේ‘

‘ඒ ඔක්කොම දයානන්ද ඉන්න කාලේ හම්බෙච්චානේ නේද පුතේ. රජයේ චිත්‍රපට අංශයේදි ගජමන් පුවත කරනවා 79 යූමැටික් ලෝ බෑන්ඩ් හැටියට ඒකටත් මොකක්ද සම්මානෙකුත් හම්බුණා.‘

‘අම්බජාතකේ අපිත් රඟ පෑවා අඹ කඩන කොල්ලන්ට. ජීවන වංචාව හෙවත් ඉබිකට්ට, මධුර ජවනිකා, ම්... ආනන්ද ජවනිකා සඳහා හොඳම ස්වීය රචනයට සම්මාන ලැබුණා. ගජමන් පුවත වගේ ඒවා තරගවලට තාත්තා නොදැම්මේ ඇයි අම්මෙ?‘ පුතාගේ විමසුමට අයිරාංගනී ගුණවර්ධන මහත්මිය නිරුත්තරය.

මම සිහි කරමි. මලකින් මලකට ගොස් පැණි බොන්නද, ආදර හැඟුම් ආදර හැඟුම් නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්... ඒ ඔහුගේ ගීතය. කන්ද උඩින් හඳ පායන ලීලා ලන්ද දිගේ රුක්අත්තන පිපීලා මන්ද කොහෝ හඬලනු හැංගීලා එන්න තමා බක්මහ ළංවීලා ගීත ඔහුගේ නොවේද?

‘ඔව්. අදටත් ඉතින් අවුරුදු කාලෙට ඔය සින්දුව ඇහෙන්නැති තැනක් නෑනෙ.‘ වසන්තගේ පිළිගැනීමයි.

‘මෙයාගේ ගෝලයොනේ අද ක්ෂේත්‍රෙය් ඉහළින්ම ඉන්නේ ජැක්සන්ලා අදටත් කියනවානේ මෙයාගේ අවවාද, බන්දුල විජේවීර, රෝහණ බැද්දගේ වුණත් වේදිකාවට මුලින්ම ගත්තේ දයානන්දනේ මධුර ජවනිකාවලදි. ඒත් අර රූකඩවැඩසටහන රන් ඔන්චිල්ලා වුණත් මෙයා කළේ පිටින් ඉඳගෙනනේ. මොකද මන්දා එහෙම වුණේ. එයා කලකිරුණු තවත් අවස්ථා නම් එමටයි. එයා අම්මගේ මරණයත් එක්ක සේදරමන් මහත්තයාගේ බලි හා යාග පොතෙන් බලලා පිරිනිවන් මංගල්ලය කියල සංගීතය ඇසුරින් එකක් සකස් කළා ජාතික අධ්‍යාපන ආයතනයේ තිලෝක සුන්දරී කාරියවසම් එක්ක. ඒත් කොරියාවට යන්න වුණ නිසා ඒකට මොකක්දෝ වුණා.‘

‘ඇයි අම්මේ නරි බෑනා ජර්මනියේ කළේ. සංස්කෘතික සහයෝගීතා වැඩසටහනකදි ඒ රටේ නාට්‍යයක් සිංහලෙනුත් සිංහල නාට්‍යයක් ජර්මන් භාෂාවෙන් ඒ නළුනිළියන් යොදාගෙනත් කරන්න තිබුණා. ඒකට නරිබෑනා අරගෙන රහසින් ගිහින් තියෙන්නේ වෙන කෙනෙක්. ඒත් තානාපති කාර්යාලයේ කෙනාව දාලා ගිය නිසා රහස එළි වුණා. පස්සේ කොහොම හරි තාත්තා ෆුල් ෆයිට් එකක් දීලා ජර්මනියට ගියාට ඒ රටේදි තාත්තට ලැබිලා තියෙන්නේ සම නිෂ්පාදනය කියලා විතරයි.‘ තවත් හේතුවක් කියන්නේ අයිරාංගනී මැතිනියයි.

‘මධුරජවනිකා නාට්‍ය දර්ශන දෙකයි පෙන්නුවේ ඊළඟ ඉරිදා වැටෙනවා පත්තරේ නාට්‍ය ගීත කැසට් එකක් එළි දැක්වුවා කියලා. දයානන්ද කියනවා රිහසල් වෙලාවේ කට්ටිය වැඩක් තියෙනවා ගගා ගියාලු මෙයාට මුකුත් නොකියා. පස්සේ අහනවලු සර්ට මතක නැද්ද අවසර දුන්නා සින්දු කියන්න කියලා.‘

‘නේද අම්මේ එතකොට තාත්තා කිව්වලු හරි මාත් තෙල් තාච්චියේ අත දාන්නම්. ඕගොල්ලොත් අත දාන්න මම අවසර දුන්නද කියලා එතකොට බලාගත්තැහැකි කියලා. අර තාත්තාගේ අමතක වීම ගැන කතා ලොකුවට පැතිරුවේ මේ අය තමන්ගේ වැරැද්ද වහගන්නයි.‘

‘තමන්ගේ ළමයෙක් වගේ නාට්‍ය හදලා එයාට එච්චර අසිහියක් තියෙයිද වෙන අයට සින්දු ටික දෙන්න?‘ ඇයගේ සිතද කලකිරීමෙන් පිරී යයි. දයානන්ද ගුණවර්ධනයන්ගේ පමණක් නොව මා පියාණන්ගේ ගීතද එම කැසට් පටයේ තිබුණු බැවින් මේ වේදනාව කොතරම්දැයි මම හොඳාකාරවම දනිමි. ඒ කනගාටුව සහ පිළිකුල අපි බොහෝ වේලා බෙදා ගනිමු. අනතුරුව ඇය පවසයි.

“අන්තිමට දයානන්ද කීවා මට ලක්ෂගාණක නළු නිළියන් නැති වුණත් මගේ ජීවිත කාලේ ආයෙ මේ අය සම්බන්ධ කරගන්නේ නෑ කියලා. ඔය දේවල්වලටත් හරියට හිත රිදිලා හිටියේ. අනෙක මෙයා නළු නිළියන්ගේ ඇඟේ හැඩේ පොඩ්ඩක් හරි වෙනස් වෙනවා නම්, උගුර අප්සට් නම් නාට්‍යය නවත්තනවා. ඒවා ගැන හරි කල්පනාකාරියි. එයා රෙකෝඩ් කරපු සංගීතයට කැමතිත් නෑ. මයික් දීලා නළු නිළියන් රඟපානවාට කැමතිත් නෑ. ඇත්තෙන්ම වේදිකාවක රාජකාරියේ වගකීම අපි දැනගත්තේ එයා නැතිවුණාට පස්සෙ.‘ ඇය බොහෝ වේලාවක් කල්පනා සයුරක ගිලී සිටියි. මම බාධා නොකළද වසන්තගෙන් බාධාවකි.

‘මධුර ජවනිකා ඉවරවෙලා තාත්තා කට්ටියත් එක්කම පින්තූරයක් ගත්තා ඒක තමයි අන්තිම පින්තූරෙ. ඊට පස්සේ රූපවාහිනියෙනුත් ඒක පටිගත කළා. ඒත් දේශපාලනික කොටස් අයින් වෙලා කතාව වෙනස් වෙලා තිබුණෙ.‘

‘නේද වසන්ත, මධුර ජවනිකා ඉවරවෙලා මම බඩු අස් කර කර ඉද්දි එල්ෆින්ස්ටන් එකේ කවුද මන්දා කිව්වා සර්ට සනීප නෑ වගේ කියලා. මම ගියාම එක අතක් විතරක් උස්සලා බයවෙන්න එපා කියන්නා වගේ අතින් කීවා. ඉස්පිරිතාලේ ගෙනිච්චාම සිහි නැති වුණා. රෑ දොළහට විතර සෝමරත්න දිසානායක මහත්තයා මාවත් එක්කගෙන ගියා. එතකොට මේල්නර්ස් කෙනෙක් ඇවිත් කීවා ඕගොල්ලො වට කරගෙන ඉද්දි බෙහෙත් දෙන්න බෑ කියලා. ඒ පාර සෝමරත්න කීවා මේක වටිනා ජීවිතයක් ඔගොල්ලො කීවානම් අපි තත්පරයක් ඉන්නැතුව යනවානේ කියලා. තොහොමහරි ලොකු පුතා කියනවා මහ රෑ අමාරුවෙන් වගේ ඇඹරුණාලු. මම නම් ඇත්තටම මෙහෙම වෙයි කියලා හිතුවෙම නෑ. කලිනුත් උඩුගම්පොළ ගිහින් එද්දි දවසක් වාහනේ එළවගන්න බැරුව පපුව රිදෙනවා කියලා හිටියා. ඒ අර ඇන්ජයිනා තත්ත්වෙ ලක්ෂණ. දුම්කොළ හොඳත් නෑලු නේ ඒකට. කොහොම හරි ඕපීඩී එකේදිත් හොඳට හිටියා. ඒත් එයා නැති වුණා කියලා දැනුණම ලෝකයක් විනාශ වුණා වගේ. මේ දරුවො එක්කෙනෙක්වත් ඉගෙනගෙන ඉවර නෑ. කසාද බන්දලා නෑ. මොනවා කරන්නද මාස තුනක් අඬඅඬා ඉඳලා ජීවිතේට මුහුණ දුන්නා. මම රස්සාවක් කළෙත් නෑනේ. මේ ගේ කුලියට දීලා අපි වෙන ගෙදරක පදිංචියට ගියා. දයානන්ද මම රස්සාවක් කරනවාට කැමති වුණෙත් නෑ. එයා කීවේ ගැහැනියක් වුණාම එයා එද්දි ගේ දොර අස්පස් කරලා ඉන්න ඕනා කියලා. මමත් මහනවා කරනවා නිසා රස්සාවක් ගැන හිතුවේ නෑ. එයා මට බනිනවා පිං කරගන්නේ නෑ කියලා. එයා නම් දැඩි බෞද්ධ. ළමයි එක්කගෙන පන්සල් යනවා. මම ඉතින් කියනවා මිනිස්සු ඇඟේ වැදි වැදි පිංකරනවාට වඩා මෙහෙම ඉඳන් පිනක් දහමක් කර ගන්නම් කියලා.‘ ඇය ශෝකය මැදින් සිනාසීමට උත්සාහ දරයි.

‘එයාගේ නාට්‍ය වෙනස් කරන්න හෝ විකෘති කරන්න අපි කැමති නෑ. ඒවා ඒ විදිහටම දෙන්නයි අපට ඕනා, සීතයි පරමේෂ්වරී නාට්‍ය ඔස්සේ අපේ නාට්‍ය විකාශනය එයා කරන්න හිටිියේ ඒත් නැති වුණානේ. ඒ ඇසුරෙන් තමයි ජයලත් මනෝරත්න සඳගිර වගේ නාට්‍යයක් හදන්නෙ. තවත් ගොඩක් වැඩ හිතේ තිබුණා.“ ඇය බොහෝ දේ දරා සිටින්නට හැකි ශක්තිමත් සිතක් ඇති ගැහැනියකැයි මට සිතේ. හේතුව එකදු කඳුලක් ඇසින් නොවැටෙන ලෙස විසි හය වසරක් දරා සිටින දුකට ඇය ඔරොත්තු දෙන ආකාරයයි. ඇය මොහොතක විරාමයකින් පසුව කියයි.

‘මට ඕනේ මේවා ඉදිරියටත් කරගෙන යන්න. එයා හොඳ සැමියෙක්. හොඳ තැනක ඇති. ඒකනේ අපිටත් පිහිට ලැබෙන්නේ. සංසාරේ ඒ වගේම කෙනෙක් ලැබුණත් මං ආසයි. පුද්ගලයෙක් හැටියට හරිම හොඳ චරිතයක්.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.