මුහුණු පොතෙන් හොයා ගත් ගීතය

හුඟක් කල් මං බලන් ඉන්නැති
මාර්තු 14, 2019

චිරංජය ප්‍රසාද් නම මේ දවස්වල ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ නිතර ඇසෙන නමක්. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු විසින් ගායනා කරනු ලැබූ හුඟක් කල් මං බලන් ඉන්නැති . . .ගීතය නිසාවෙනි. මේ දවස්වල ශ්‍රාවක ප්‍රතිචාර නිසාවෙන් ජනපි‍්‍රයත්වය ලබා සිටින චිරංජය මුල් වරට ගායන ක්ෂේත්‍රයට පිවිසෙනුයේ 2002 වර්ෂයේය.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබූ චිරංජය සංගීතය විෂයක් ලෙසින් හදාරනු ලැබුවේ කිසි දිනෙක ජනප්‍රිය ගායකයකු වීමේ සිහිනය සැබෑ කරලන්නට නෙවෙයි. හුදෙක් තම විමෝදාංශය ලෙසින් ගායනය තෝරා ගත් චිරංජය තමාත් නොදැනීම ගායකයකු වූයේ දෛවය විසින් ඔහුට ලබා දුන් භාග්‍යයක් ලෙසනි.

විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ සමුහ ව්‍යාපාරයක කළමනාකරුවකු ලෙසින් සේවය කරන චිරංජය පාසැල් අධ්‍යාපනය හමාරවීමත් සමඟ සංගීතයට තිබූ ඇල්ම නිසාවෙන් සුපර් සික් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයකු වීමේ භාග්‍ය උදා විය. පණ්ඩිත් අමරදේවයන්ගේ ගී ගායනයේ ආභාසයට වඩාත් ඇලුම් කළ චිරංජය එතුමාණන්ගේ හඬ අනුකරණයක් ලෙසින් ගායනයට සිත් යොමු කරනු ලැබීය. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සේනානායක වේරලියද්ද ආදී ප්‍රවීණ ශිල්පීන්ගේ ගී ගායනයන් වැඩි වශයෙන් ගායනා කරනු ලැබූ ඔහු ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය චරිතයක් බවට පත් විය. පසුව බත්තරමුල්ලේ ඒෂියන් සංගීත කණ්ඩායමට නිත්‍ය ගායකයකු ලෙසින් එක් වූ චිරංජය ප්‍රසාද් 2006 වර්ෂයේදී ගුවන් විදුලි සරල ගී පරීක්ෂණය සමත් වූ ශ්‍රේණිගත ගායන ශිල්පියෙකු බවට පත් විය.

තමාගේ කලා දිවියේ මාර්ගෝපදේශකයා වූ නිහාල් කළුබෝවිල මහතාගේ උපදෙස් පරිදි ගායන ක්ෂේත්‍රයේ දිගු ගමනකට අත්පොත් තැබූ චිරංජය ස්වතන්ත්‍ර ගී හතරක් මුල්වරට ගායනා කරමින් ගී අඹරේ තවත් එක් ඉසවුවක් සොයා යන්නට විය.

සඳ වතුර ගලාන . . ., ඔබේ නෑඹුල් පෙම් පතා . . ., සුරංගනා ලොවින් ගෙනා . . ., සිනහවෙනු මැන . . . ගී සතර ඔස්සේ ස්වතන්ත්‍ර ගී ගායනයට එක් වූහ. මේ ගී තනු නිර්මාණයෙන් නිහාල් ගම්හේවා, නවරත්න ගමගේ, ජානක ෆොන්සේකා පිළිවෙළින් දායක වූ අතර පද රචනයෙන් අංජුල වීරරත්න, පාතේගම ඥානිස්සර හිමි, එස්. ගමගේ හා අංජුල වීරරත්න දායක වූහ.

ඔහු වඩාත් ජනප්‍රිය වූයේ තම දස වැනි ගීතය වූ හුඟක් කල් මං බලන් ඉන් නැති . . . ගීතයෙනි.

මට මේ ගී නිර්මාණය මුලින් ලැබුණේ මුහුණු පොතේ නිසදැසක් හැටියට. මේ ගීපදවැල මුහුණු පොතට රචනාකරලා තිබුණේ ප්‍රසංගි විජේවර්ධන. මම ඇයට කතා කරලා මේක ගීතයක් හැටියට ගායනා කරන්න ඇගෙන් අවසර ඉල්ලා සිටියා. කිසිදු මුදල් ගනුදෙනුවකින් තොරව ඈ මට මේ ගීතය ගායනා කරන්න අවසරය ලබා දුන්නා. එය සංගීතවත් කළේ නවරත්න ගමගේ මහත්තයා.

ඒක රස විඳින රංග ප්‍රේමරත්න මට යෝජනාවක් ගෙනාවා විෂුවල් එකක් එක්කම එළියට දාන්න කියලා.

ඒ අනුව රූප රචනය රංග ප්‍රේමරත්නගේ. පූර්ණි ශහාරා පතිරාජ, ආකාශ් රත්නායක රංගනයෙන් එක් වුණා. චනත් කැමරාකරණයෙන් දායක වුණා. කොළඹ අවට තමයි සියලු රූපගත කිරීම් සිදු කළේ.

මම හිතුවෙත් නැහැ මේ තරම් මේ ගීතය රසිකයන් අතර මේ තරම් ඉක්මනට ජනප්‍රිය වෙයි කියලා. මුහුණු පොතේ වුණත් ලැබෙන ප්‍රතිචාර අති විශාලයි. මම හිතන්නේ මේ ගීතයේ තියෙන අදහස අපි කවුරුත් අත්විඳපු දෙයක් නිසාවෙන් මේ තරම් ගීතය ජන හදවතට සමීප වෙන්න ඇති.

මේ දවස්වල මම අලුත් ගීතයක් සඳහා යොමු වෙලත් ඉන්නවා. රත්න ශ්‍රී විජේසිංහ තමයි මට මේ ගීය ලියල දුන්නේ. කුසුමක් නෙවෙයි එක රැයකින් බිම වැටෙන . . . මේ ගීතය සංගීතවත් කරන්නේ මහින්ද බණ්ඩාර. මම හිතනවා මේ ගීතයත් ශ්‍රාවකයන් අතරට එක්වෙන කොට මගේ හුඟක් කල් මං . . . ගීතයට වගේම ඉහළ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.

මේ ගමන එන්න මට ශක්තියක් වෙච්ච වාදන ශිල්පීන් මාව නිරන්තරයෙන් දැනුවත් කිරීම් කරන කෝලිත භානු දිසානායක, නවරත්න ගමගේ, මහින්ද බණ්ඩාර, නිහාල් කළුබෝවිල කෘතවේදීව සිහිපත් කරනවා.

ගණකාධිකාරීවරියක වන මගේ බිරිය හර්ෂනී ලොකුගේ වගේම සහස් චිරංජය, චන්දු චිරංජය පුතුන් දෙපළත් මට මේ ගමනේ ශක්තියක් වෙලා මට ලබා දෙන මානසික සුවය අතිමහත්.

496/1/4 හල්බරාව, මාලඹේ ලිපිනයෙන් හෝ 0759202936 හෝ 0771633678 දුරකථන අංකයට කතා කිරීමෙන් චිරංජයට සුබපතන්නත් රසිකයන්ට පුළුවන්.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.