සිනමාවේ දීපශිඛාව දැල් වූ කිංස්ලි රාජපක්ෂ

අප්‍රේල් 25, 2019

'මචං උඹ දක්ෂයෙක්. හොඳ අනාගතයක් තියෙනවා චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න. හැබැයි පුතෝ උඹ අධ්‍යක්ෂණය කරන හැම චිත්‍රපටයකම මටත් රඟපාන්න 'පාට්' එකක් දීපන්.' අශෝක කිංස්ලිගේ අත අල්ලා සුබ පතමින් කියා ඇත. කිංස්ලි අධ්‍යක්ෂවරයකු ලෙස කළ බොහෝ චිත්‍රපටවල අසෝකට චරිතයක් රඟපෑමට අවස්ථා දී එදා සුබ පැතූ අශෝකගේ අත මියයන තුරුම අත්හලේ නැත.

'ප්‍රේමේ දිපශිඛා හෝ කාන්ති නඟා
දැල්වේවි රඟා - ආලෝකේ විහිදා'

මේ මෝසම් මඳ සුළඟ හමා
පවසා යන්නේ මේක තමා
ඔබ මගෙ මා ඔබෙ ප්‍රාණෙ සේ
සංසාරේ එන්නට ඕනෑ'

එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ද ලැනරෝල් (ගුණතිලක) ගැයූ මේ යුග ගීත දෙක ඇසෙන විට 'දීපශිඛා' (1963) චිත්‍රපටය අපේ මතකයට එයි. 'දීපශිඛා' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කිංස්ලි රාජපක්ෂය. මා කිංස්ලි රාජපක්ෂයන් හඳුනා ගත්තේ 1972 වසරේදී මරදාන පංචිකාවත්තේ එමෑනුවල් සහ සමාගමේ (මෝටර් රථ අමතර කොටස් විකුණන සමාගමකි) අධිපති කැමිලස් පෙරේරාගෙනි. ඒ වන විට කැමිලස් 'සුහද පැතුම' නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අතර එහි අධ්‍යක්ෂවරයා වූයේ කිංස්ලි රාජපක්ෂය. කැමිලස් හා කිංස්ලි මට හඳුන්වා දෙන ලද්දේ තිස්ස විජේසුරේන්ද්‍ර විසිනි. එවකට නාලන්දයේ ඉගෙනීම ලබමින් සිටි තිස්ස 'නිම්වළල්ල' (1968) චිත්‍රපටයට (ශ්‍රි ලංකාවේ පාසල් සිසුන් (ආනන්දයේ) නිෂ්පාදනය කළ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය) තෝරා ගෙන සිටියෙමු. ඒ වන විට තිස්ස කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ 'කලණ මිතුරෝ' චිත්‍රපටයට තෝරා ගෙන තිබුණි.

ච්ධඵබඪ නම් හින්දි චිත්‍රපටය ඇසුරෙන් තැනු 'කලණ මිතුරෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තිස්සව කිංස්ලි තෝරා ගත්තේ හින්දි චිත්‍රපටයේ රඟපෑ නළුවාට සමීප රූපයක් තිබු නිසාය. කිංස්ලි විසින් සිනමාවට හඳුන්වා දෙන ලද තිස්ස ජනප්‍රිය නළුවකු ලෙස ස්ථාවරය ගොඩනඟා ගන්නේ කිංස්ලි විසින්ම අධ්‍යක්ෂණය කළ 'සුහද පැතුම' චිත්‍රපටයේ මාලිනී සමඟ රඟපෑමෙනි.

කිංස්ලි රාජපක්ෂ නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා හඳුනා ගැනීමෙන් මානව හිතවාදී මිනිසෙකුගේ ඇසුර ලැබීමට මට හැකි විය. ඔහු මිය යන තෙක්ම ඇසුරු කිරීමට ලැබූ මම බොහෝ විට නුගේගොඩ නිවසේදී පැය ගණනක් සිනමාව ගැන කතා කිරීමට අවස්ථාව ලැබිණ.

කිංස්ලි රාජපක්ෂ ගැන ලිපියක් ලියන්නැයි මට යෝජනා කළේ ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වන අනුර රත්නායක මහතා මා දැන සිටි තොරතුරුවලට අමතරව තොරතුරු දැන ගැනීමට කිංස්ලි රාජපක්ෂයන්ගේ සහෝදරයකු වූ ගුරුවරයකු ලෙස සේවය කොට විශ්‍රාම සුවයෙන් සිටින ප්‍රේමචන්ද්‍ර රාජපක්ෂ මහතාගේ පුතෙකු වූ ධම්මික රාජපක්ෂ මට හඳුන්වා දුන්නේය. ධම්මික චිත්‍රපට හා ටෙලි නාට්‍යවල ආලෝකකරණය හා සහාය අඳුම් නිර්මාණ ශිල්පියකු ලෙස නුගේගොඩ ජ්ධ්ට් නිෂ්පාදන ආයතනයේ සේවය කරයි. තම ලොකු තාත්තා වූ කිංස්ලි ගැන අප නොදත් තොරතුරු දැන ගැනීමට ධම්මික සහාය දුන්නේය.

කුමාරසිංහ රාජපක්ෂ පසුව කිංස්ලි නම් ඔහු 1934 අප්‍රේල් 09 වෙනිදා වලපනේ උඩමදුර (රිකිල්ලගස්කඩ) උපන්නේය. ඔහුගේ පියා වූ කේ. ඩී. රාජපක්ෂ මහතා මුල් ගුරුවරයකු ලෙස සේවය කර ඇත. මව වීරසිංහ මැණිකේය. ඔහුට සහෝදරයන් හත් දෙනෙකු (විජේවර්ධන රාජපක්ෂ, වික්‍රමරත්න රාජපක්ෂ, ප්‍රේමචන්ද්‍ර රාජපක්ෂ ද ඉන්ද්‍රානි රාජපක්ෂ නම් සහෝදරියක්) විය. මේ අතරින් සිනමාවට සම්බන්ධ වූ විජයවර්ධන රාජපක්ෂ කිංස්ලි අධ්‍යක්ෂණය කළ 'රාං කුරුල්ලෝ' හා 'රතු මකරා' චිත්‍රපට නිෂ්පාදනය කළේය.

කුමාරසිංහ රාජපක්ෂ නම් අප කථානායකයා අධ්‍යාපනය ලැබුවේ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයෙනි. පාසල් යන කාලයේ සිටම සිනමාවට ආදරය කළ ඔහු සිල්වෙස්ටර් විද්‍යාලයේ නේවාසිකාගාරයෙන් හොරෙන් පැන හින්දි හා ඉංග්‍රීසි චිත්‍රපට නරඹා දඬුවම් ලැබූ ශිෂ්‍යයා ලෙස ප්‍රකටව සිටියේලු.

'තමුසේ ඉගෙන ගන්න මිනිහෙක් නම් නෙවේ. අනාගතයේ පික්චර් කාරයෙක් වෙනවා වෙනවා නියතයි' නේවාසිකාගාරයේ විනය පාලක ගුරුවරයා ඔහුට නිතර කියා ඇත.

'පෙරකදෝරු බෑනා චිත්‍රපටයට නවක නළු නිළියන් ඕනෑ - විලී ජයමාන්න'

මේ දැන්වීම (1955) දුුටු කුමාරසිංහ ඉල්ලුම්පතක් යොමු කළේ ගෙදරට හොරාය. එව් ඉල්ලුම්පත් සිය ගණනක් අතරින් සුළු චරිතයක් රඟපෑමට කුමාරසිංහට හැකි විය. ඉන් පසු තමාට අත්විඳීමට වූ කටුක අත්දැකීම් අපට ඔහු විස්තර කළේ මෙසේය.

'අතේ සතයක් නැති කාලයක් ඒ. ගෙදරින් මට කිිසිම උදව්වක් නොලැබුණේ ඉගෙනීම අතහැර හිතුවක්කාර ලෙස සිනමාවට අවතීරණය වූ නිසා. මාව මහ පාරට වැටුණා කිව්වොත් එය නිවැරැදියි. මොනවත් කරගන්නවත් බැරිව සිටි කාලේ මම තවත් යාළුවෙක් එක්ක එකතු වෙලා 'දෛවය' කියන වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඔය ඉන්න කාලේ තමයි මගේ මිත්‍රයා චිත්‍රපට අධ්‍යක්ෂ ටී. සෝමසේකරන් ගාවට එක්ක ගියේ. සෝමසේකරන් මගෙන් ප්‍රශ්න රැසක් ඇහැව්වා. ඒ කාලයේ ඔහු 'සරදම්' කියන චිත්‍රපටය (1956) අධ්‍යක්ෂණයට සූදානම් වෙලා හිටියේ. මට මේ චිත්‍රපටයේ රඟපෑමට මුල්වරට ලැබුණා පමණක් නෙවෙයි එහි දෙබස් ලිවීමටත්, සහය අධ්‍යක්ෂණයටත් මාව තෝරා ගත්තා. මම සිනමාවේ අත්පොත තැබුවේ සෝමසේකරන් නිසා.

අපි 'සරදම්' චිත්‍රපටයේ වැඩ කටයුතු ෆිල්ම් සෙන් චිත්‍රාගාරයේ කරන අතරේ 'සේපාලි' චිත්‍රපටයේ වැඩ වාහිනි චිත්‍රාගාරයේ කරගෙන ගිය නිෂ්පාදක අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ එහි ආවා. මගේ කටයුතු ගැන විමසිල්ලෙන් බලා සිටි ඔහු මට 'සේපාලි' චිත්‍රපටයේ චරිතයක් රඟපාන්නත්, චිත්‍රපටයේ දෙබස් ලියන්නත් බාර දුන්නා' කිංස්ලි ඒ අතීතය අපට හෙළි කළේ එසේය.

'අයිසේ තමුසෙගේ මුල් නමේ කුමාරසිංහ කෑල්ල සිනමාවට හරි යන්නේ නැහැ. ස්ක්‍රීන් එකට ඔබින්නේ 'කිංස්ලි' කියන නම. අද ඉඳලා 'කිංස්ලි රාජපක්ෂ' නම පාවිච්චි කරන්න.' සරදම චිත්‍රපටයේ වැඩ කටයුතු කරන අතරේ ලැබුණු විවේකයේදී සෝමසේකරයන් කියා ඇත. ඔහු එයට එකඟ විය.

කිංස්ලි රාජපක්ෂගේ සිතේ තිබුණේ කවදා හරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමටය. 'සුනීතා' චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් රඟපෑ කිංස්ලි තම අදහස මුල්වරට කියා සිටියේ ඒ චිත්‍රපටයේ රඟපෑ අසෝක පොන්නම්පෙරුමටය. එදා 'සුනීතා' චිත්‍රපටයේදී හඳුනා ගත් අසෝක කිංස්ලි ගජ මිතුරෝ වූහ.

'මචං උඹ දක්ෂයෙක්. හොඳ අනාගතයක් තියෙනවා චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න. හැබැයි පුතෝ උඹ අධ්‍යක්ෂණය කරන හැම චිත්‍රපටයකම මටත් රඟපාන්න 'පාට්' එකක් දීපන්.' අශෝක කිංස්ලිගේ අත අල්ලා සුබ පතමින් කියා ඇත. කිංස්ලි අධ්‍යක්ෂවරයකු ලෙස කළ බොහෝ චිත්‍රපටවල අසෝකට චරිතයක් රඟපෑමට අවස්ථා දී එදා සුබ පැතූ අශෝකගේ අත මියයන තුරුම අත්හලේ නැත.

'සරදම්' චිත්‍රපටයෙන් පසු සෝමසේකරන් 1958 වැඩ ඇරැඹූ 'අවිස්වාසය' චිත්‍රපටයේ ද දෙබස් රචනයත් සහාය අධ්‍යක්ෂණයත් පැවරුවේය. ඒ සමඟම ප්‍රේමනාත් මොරායස් 1958 අධ්‍යක්ෂණය ඇරඹූ 'ශ්‍රී 296' චිත්‍රපටයේ කිංස්ලි උප ප්‍රධාන චරිතයක් රඟපෑවේ පුණ්‍යා හීන්දෙනිය, සුමිත්‍රා වැලන්ටිනා (පසුව ෆොන්සේකා) ජෝ අබේවික්‍රම හා හෙන්රි ජයසේන සමඟය. ඉන්පසු කිංස්ලි සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ 'පිරිමියෙක් නිසා' (1960) චිත්‍රපටයේ රඟපෑ අතර 1963 'වෙන ස්වර්ගයක් කුමටද?' චිත්‍රපටයේ රඟපෑ අතර සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කොට ඇත.

ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ අංශයේ ප්‍රචාරක කටයුතු ව්‍යාපාරයක් ද කරමින් සිටි කිංස්ලිට හාපුරා කියා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ ඩග්ලස් කොතලාවලය. ජීවරාණි, සන්ධ්‍යා, කිත්සිරි පෙරේරා ප්‍රධාන චරිත රඟපෑ 'දීපශිඛා' චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් කිංස්ලි රඟපෑවේ දයාබර සොහොයුරෙකුගේ ලෙසය. බිඳුණු පවුලක් එක් කළ මේ සොහොයුරා මත්ලෝලි චරිතයකි. ඔහු චිත්‍රපටයේ ධර්මදාස වල්පොල පසුබිම් ගැයූ මේ ගීතයට අපූරු රංගනයක් ඉදිරිපත් කළේය.

'මං මුළාවෙලා අඳුරෙ මේ

යන්නේ කොහේ දැන් අප සැමා'

දීපශිඛා' චිත්‍රපටයක් ලෙස අතිශය ජනප්‍රිය වුවද එය 'අන්බු එංගේ' ද්‍රවිඩ චිත්‍රපටයේ කතාව උපුටා ගත් එකකි. කිංස්ලි අධ්‍යක්ෂණය කළ එකම ජනපි‍්‍රය සිනමාරූපි චිත්‍රපටය වූයේ 'හඳපාන'ය. සාහිත්‍ය කීර්ති ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්ගේ ජනප්‍රිය නවකතාවක් වූ මේ චිත්‍රපටයේ නිෂ්පාදක වූයේ හර්බට් එම්. සෙනෙවිරත්නය. ඉතා ජනප්‍රිය වූ මේ චිත්‍රපටයේ විශිෂ්ට ලක්ෂණය වූයේ සිසිර සේනාරත්නගේ ගීත හා පසුබිම් සංගීතයයි. 1966 'සරසවිය' සම්මාන උලෙළේදී හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස සම්මානයට පාත්‍ර වූයේ 'හඳපානේ' සිසිරය. ඔහුගේ ගීත ගායනය හා ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණ ගැන ජයවිලාල් විලේගොඩගේ චිත්‍රපට විචාරයෙන් ප්‍රශංසා කොට තිබුණි. එහි එන සිසිර ගැයූ 'ආලෝකේ පතුරා', 'සීත දිය ඇලි' සිසිර හා ඉන්ද්‍රානි ගැයූ 'ඈත අහසේ නැගේ දිනිඳු පායා' ඉන්ද්‍රානි ගැයූ 'මල් මල් මල් මල් වන මල්' හා ඔබ නැති මේ බිම පාලුයි අඳුරුයි' මිල්ටන් ගැයූ 'අහසේ වලාවෝ' ගීත තවමත් සංගීත රසිකයන් අතර ප්‍රකටය.

කිංස්ලි රාජපක්ෂ 1965 දී 'හිතට හිත' 1968 'සිඟිති සුරතල්', 'ඉඳුනිල' 1971 'කලණ මිතුරෝ' 1973 'සුහද පැතුම', 'සිනාවයි ඉනාවයි', 'සාධනා', 1977 'සුදු පරෙවියෝ', 1979 'රාං කුරල්ලෝ' චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අතර එහි තිර නාටකය ද රචනා කළේය.

නිෂ්පාදක බල මණ්ඩලයේ පුරෝගාමිකයකු වූ කිංස්ලි චිත්‍රපට උපකරණ සපයන සමාගමක් ද ආරම්භ කොට තිබුණි.

මානව හිතවාදියෙකු වූ ඔහු හිත හොඳ මිනිසෙකු ලෙස ප්‍රකටව සිටියේය. දයාබර සැමියකු සෙනෙහෙබර පියෙකු වූ ඔහු ගැන එඩ්මන් පෙරේරා නම් 'ජනතා' පත්‍රයේ මාධ්‍යවේදියා මෙසේ (1983) සටහන් කර තිබුණි.

'දැනට පහළොස් වසරකට පමණ පෙර (හැටේ දසකයේ) ඔහුගේ දරුවෙක් (ජයන්ත) අසාධ්‍ය රෝගයක් වැලඳී මරු සමඟ සටනක් කළේය. පුතුගේ නෙතඟින් ඇද වැටෙන කඳුළු දෙස බලමින් පියාත් (කිංස්ලිත්) කඳුළු සැලුවේය.

'කිංස්ලි අඬන්න එපා. අපි බෙල්ලන්විල පන්සලට බාරයක් වෙමු' ඔහුගේ කුලුපඟ මිතුරෙකු වන අශෝක පොන්නම්පෙරුම යෝජනා කළේය.

'කිංස්ලි ඉඳලා හිටලා පොඩි අඩියක් ගහනවා නොවැ. ඒකත් සදහටම නතර කරනවා කියා බාරයක් වෙමු' අශෝක යළිත් යෝජනා කළේය.

කිංස්ලි තම පුතා බේරා ගැනීමට බාරයක් වුණේය. ජයන්ත පුතාට සුවය ලැබිණි. කිංස්ලි බීම සදහටම අත් හැරියේය.

කිංස්ලි තම චිත්‍රපටවලට උචිත ලෙස හා ජනප්‍රිය වීම පිණිස ගීත භාවිතයේ හපනෙකි. සිනහා රසයට කැමති ඔහු 'සිනාවයි ඉනාවයි' ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කොට සිනහ රසය මතු කළේය.

කිංස්ලිගේ බිරිඳ අයිරංගණී බුලත්සිංහල (රාජපක්ෂ). ඇය දැනට පදිංචිව සිටින්නේ මොණරාගලය. මා අයිරංගනී රාජපක්ෂ මහත්මියට දුරකතනයෙන් කතා කළෙමි. තමාට තම සැමියා හමු වූ අයුරු ගැන මා ඇසූ විට මෙසේ කීවාය.

'මම ඉගෙන ගත්තේ මහරගම බුවනෙකබා විද්‍යාලයේ. මා සහභාගි වූ පාසලේ විවිධ ප්‍රසංගයක් බලන්න කිංස්ලි නළු නිළියන් කිහිප දෙනෙක් සමඟ ඇවිත් හිටියා. මා ඉදිරිපත් කළ ගීතයක් අහලා වේදිකාව පිටුපසට ඇවිත් කිංස්ලි මට ප්‍රශංසා කළා. එදා අපේ හමුවීම විවාහයෙන් කෙළවර වුණා. අපිට දරුවන් පස් දෙනෙක් ඉන්නවා. ලොකු දුව සමන් රාජපක්ෂ. මේ දුව විවාහ වුණේ මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහතා (ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රි ලංකා තානාපති) හා ඉන්දුමතී කරුණාරත්නගේ පුතෙකු වූ ශාන්ත කරුණාරත්න සමඟ. ඒ දෙන්නා ඇමරිකාවේ පදිංචියි. මගේ අනිත් පුතාලා චන්දනයි, මංගලයි. මංගල පුතා මිය ගියා මීට වසරකට පෙර. මංගලගේ බිරිඳ එක්ක මම මොණරාගල පදිංචි වෙලා ඉන්නවා. බාල දුව චන්ද්‍රිකා.

කිංස්ලි අවුරුදු කිහිපයක් අසනීපව සිනමා ක්ෂේත්‍රයෙන් අයින්ව සිටියේය. ඔහුගේ ජීවිතය 48 වැනි වියේදී 1983 ජූනි 13 වෙනිදා හෘදයාබාධයකින් අවසන් විය..

ඒ.ඩී.රන්ජිත් කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.