කල්යාණි චිත්‍රාගාරයේ ආරම්භකයාගේ නළු පුතා අශෝක හේවාවිතාරණ මියයයි

මැයි 9, 2019

ඔහු උපත ලැබුවේ කැලණියේ දලුගම කල්යාණි චිත්‍රාගාරය (සරසවි චිත්‍රාගාරය) ඔන්න මෙන්න පේන මානයේය. ඔහුගේ පියා විල්බට් හේවාවිතාරණ දලුගම කැලණි චිත්‍රාගාරයේ ආරම්භකයාය. ඒ පියාගේ උරුමය හිමි කරගෙන රංගනයට එක් වූ නළුවෙකි අසෝක හේවාවිතාරණ. ඔහු පසුගියදා අප අතරින් සමු ගත්තේය.

හැත්තෑව දශකයේ ‘සරසවිය’ පත්‍රයට සම්බන්ධව සිටි මට ඒ දශකයේ සිනමාවට සම්බන්ධ වූ සියලුම කලා ශිල්පීන් සමීපව ඇසුරු කිරීමට භාග්‍ය ලැබිණ. ඒ වන විට සිනමාවට පිවිස සිටි හිත හොඳ නිහතමානි නළුවකු වූ අසෝක ද හඳුනා ගැනීමට ලැබිණ. අසෝක සිනමාවට එක් වූයේ විමලනාත් දිසානායක අධ්‍යක්ෂණය කළ ‘මාතෘ භූමි’ චිත්‍රපටයෙන් බව අසෝකගේ බිරිඳ නාලිනී මා සමග පැවසුවාය. මාතෘභූමි චිත්‍රපටයේ අසෝක රඟපෑවේ හමුදා කපිතාන්වරයකු ලෙසය. නමුත් ඒ චිත්‍රපටය තිරගත වූයේ දෙවන චිත්‍රපටය ලෙස 1968 වසරේදීය. මුලින්ම තිරගත වූ එච්. ඊ. ජයසිංහගේ ‘ඉවසන දනා’ චිත්‍රපටයේ අසෝක පෙම්වතෙකු හා දුෂ්ටයෙකු ලෙස ද රඟපා ඇත. 1970 තිරගත වූ ශාන්ති අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘සිදාදියෙන් හයක්’ චිත්‍රපටයේ අසෝක ප්‍රධාන චරිත හයෙන් එකක් රඟපෑවේය. ඔහු සමඟ ශාන්ති අබේසේකර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ජෝ ලිවේරා, රැල්ෆ් විජේසේකර, ක්ලෙමන්ට් විජේසිංහ රඟපෑහ. පතිරාජ එල්. එස්. දයානන්දගේ ‘හත්දින්නත් තරු’ චිත්‍රපටයේ අසෝක මාලිනී ෆොන්සේකාගේ පෙම්වතාය. ඉන් පසු සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘මාතර ආච්චි’ විමලදාස පෙරේරාගේ ‘සමනළ කුමරියෝ’, මෙරිල් ඇල්බට්ගේ ‘දාහකින් එකෙක්’, සිරි කුලරත්නගේ ‘වස්තුව’ චිත්‍රපටවල ඔහු රඟපා ඇත.

‘කෝකිලයෝ’ (1975) අසෝකගේ සුවිශේෂී රංගනය සහිත චිත්‍රපටයකි. මේ චිත්‍රපටයෙන් අසෝකගේ බාල සොහොයුරන් දෙදෙනෙක් සිනමාවට එක් වූහ. එක් සහෝදරයකු වූ තිස්ස හේවාවිතාරණ අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ අනිත් සහෝදරයා වූ සුමේධ හේවාවිතාරණය. අසෝක මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අතර එහි ටෝනි රණසිංහ, නීටා ප්‍රනාන්දු, ශිරානි කුරුකුලසූරිය, මානෙල් වානගුරු, ක්ලෙමන්ට් විජේසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු රඟපෑහ.

අසෝක වඩාත් මට සමීපවූයේ ‘කෝකිලයෝ’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම්ව තිබූ අවස්ථාවේදීය. ඔහු නිතර තිස්ස හා සුමේධ යන සොහොයුරන් සමඟ සරසවිය කර්තෘ මණ්ඩලයට ආහ. කුමාරදාස වාගිස්ට, අර්නස්ට් වඩුගේ හා මා ද මේ චිත්‍රපටයට උපරිම සහාය දුන්නෙමු. අසෝකගේ ඡායාරූපයක් ද මුල් කවරයට තෝරා ගත්තේය. මම ‘කෝකිලයෝ’ චිත්‍රපට කතාව පින්තූර සමඟ මැද පිටුවට විශේෂාංගයක් ලිව්වෙමි. අපි සරසවියෙන් තිස්ස හා සුමේධ කලා ලොව හඳුන්වා දුන්නෙමු. තිස්ස ඉඳහිට හෝ හමු වන විට ‘මතකද ඒ කලේ සරසවියේ අය අපිට තේවලින් සංග්‍රහ කරලා හොඳට උදව් කළා’ කීමට අමතක නොකළේය. කළගුණ දන්නා කලාකරුවකි ඔහු.

ගංගා - සිකුරු දසාව - සෙලිනාගේ වලව්ව - ජෝඩු වළලු - සිංහබාහු - රිදී තැල්ල - පෙතිගෝමර – තුත්තිරි මල් - කිවුලේ ගෙදර මොහොට්ටාල, ර්ධබඩඥප ඊඥපඥඵච චිත්‍රපටවල රඟපෑ අසෝක ‘යසෝරාවය’ හා ‘උඩු වියන’ ටෙලි නාට්‍යවල ද රඟපා ඇත.

1941 මැයි 26 වෙනිදා උපන් අසෝක හේවාවිතාරණ කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 1968 දලුගම නාලනී රණසිංහ හා විවාහ වූ ඔහුට සංජය නම් පුතෙක් ද නිශාලි නම් දියණියක් ද සිටී. චිත්‍රපට රඟපෑමෙන් තාවකාලිකව සමුගෙන ඔහු කලක් සංචාරක ව්‍යාපාරයේද යෙදුණේය.

‘අසෝක ආගමට දහමට ළැදියි. දානමාන දෙන්න ආසයි. කලබලයක් නැති ජීවිතයක් ගත කළ එයා 2005 වසරේ සිට සෑම පෝයකම මා සමඟ සිල් ගත්තා. ටෝනි රණසිංහ තමයි එයා කලා ක්ෂේත්‍රයේ වැඩිම ළඟින් ආශ්‍රය කළ නළුවා. මේ දෙන්නා ඇතැම් විට ටෙලිෆෝනයෙන් පැයක් පමණ කතා කරනවා. අන්තිමට අසෝක රඟපෑවේ උදයකාන්තගේ ‘මධුර චාරිකා’ චිත්‍රපටයේ ඇමති කෙනෙකු ලෙසය. ඔහුට 2012 දී කලා භූෂණ සම්මානයත්, සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘සුවඳ පද්ම රජත’ සම්මානයෙන් පිදුම් ලැබුවා.’ අසෝකගේ බිරිඳ නාලිනී කීවාය.

අසෝකගේ අභාවයෙන් ශෝකයට පත් ඔහු සමඟ ‘සිදාදියෙන් හයක්’ චිත්‍රපටයේ රඟපෑ සතිස්චන්ද්‍ර එදිරිසිංහයෝ අපට මෙසේ කීවේය.

‘අසෝක කියන්නේ ශික්ෂණයක් ඇති නළුවෙක්. පුද්ගලයෙන් වශයෙන් උසස් ගතිගුණ තිබූ මිනිහෙක්. විනය ගරුක ඔහු වේලාවට වැඩ කරන නළුවෙක්. මා සමඟ අසෝක ‘සිදාදියෙන් හයක්’ චිත්‍රපටයේ රඟපෑවා. මම හාපුරා කියා අධ්‍යක්ෂණය කළ ‘මාතර ආච්චි’ චිත්‍රපටයේත් ඔහු රඟපෑවා. ඒ වගේම උපරිම සහයෝගයත් දුන්නා. මම වාර්ෂිකව සංවිධානය කරන ‘සුවඳ පද්ම’ සම්මාන උලෙළේදී අසෝකට රජත සම්මානයත් මුදල් ත්‍යාගයත් පිදීමට මම භාග්‍යවත් වුණා’ සතිස්චන්ද්‍ර එදිරිසිංහයෝ කීහ.

ඒ.ඩී.රන්ජිත් කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.