දවල් අනුන්ගේ රෑ මගේ

ශාන්ති දිසානායක
මැයි 16, 2019

සංඛගේ චරිතය මැත භාගයේ නිරන්තර පුවත් මැවූ මව් සෙනෙහස අහිමි කිරිකැටියන්ගේ කතා මගේ සිහියට නඟන්නට සමත් විය. ඔහු ඕපපාතිකව මොලොවට බිහි වූ ජීවියකු මෙන් අනාථ නිවාසයක වැඩී, එහිදීද හිංසනයට ලක්වී ඇට්ටර වුණු තරුණ කම්කරුවෙකි. ඔහුට හැඳුණුම් පතක්වත් නැත. උමයංගනා වැනි සියුමැලි සුරතල් තරුණියක දැකීමෙන් ඔහු තුළ හටගන්නා තාරුණ්‍යයට අයත් විවිධ හැඟීම් අපමණය. එහෙත් තමන්ගේ නොහික්මුණු හැසිරීමක් නිසා තමන්ගේම ලෙයින් උපදින කිරිසප්පයකුට තමන්ට හා සමාන ඉරණමක් අත්වේයැයි ඔහුට ඇති වන බිය සහ පියුම් පෙති මෙන් මෘදු තරුණියන් මොහොතකින් කළුගල් මෙන් දැඩිවන අයුරු විග්‍රහ කෙරෙන 'ගිගිරි' ශාන්ති දිසානායකගේ සිතෙහි හැඬවුණේ කෙලෙසද? අපි විමසුවෙමු.

ඔබට මේ වස්තුබීජය පහළ වුණේ අත්දැකීමක් නිසාද?

මූලිකවම මම හැඳුණුම්පතක් නැති තරුණ අය මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ දැනගෙන හිටියා. කරුණු සොයද්දි ඒ වගේ බොහෝ පිරිසක් ඉන්න බව ග්‍රාමසේවකවරුන් මඟින් දැනගන්නටත් ලැබුණා. ඒ වගේම මගේ මිත්‍ර කලාකරුවෙක් පාන්දර යද්දි තඹුත්තේගම පාර අයිනේ දරුවෙක් හඬන බව තව කෙනෙක් කියලා තිබෙනවා. තනි රෙදි කඩක ඔතලා සිටි ලේ කිරි කැටියා පස්සේ ළමා නිවාසයකට හදා ගන්න දීලා තිබුණා. මගේ යාළුවා ගිහින් තිබුණෙත් එයාගේ නෝනාට බබා හම්බෙන නිසා රෝහලට. එයා තාමත් දුක් වෙනවා එදා අසරණ වුණ දරුවා අරගන්න බැරි වුණු එක ගැන. ළමයෙක් කියන්නේ පරණ ලෝකෙට එන අලුත් සාමාජිකයෙක්. එවැනි කිරිකැටියකු පාරේ නොවේ ඉන්න ඕනා. දෙමව්පියන්ගේ උණුසුමේ. මේ දේවල් මට ලොකු කම්පනයක් ඇති කළා. ඒ වගේම මම පොඩි කාලෙ ඉඳන්ම දැක්ක, ඇහුව, වින්ද දේවල් එක්ක හිතට කා වැදුණු දේ මේ කතාවට මඟ පැදුවා.

 

හද කම්පනය කළ අත්දැකීම් විශ්වසනීය ලෙස ඉදිරිපත් කරන්න ඔබ මොනවගේ පියවරද ගන්නේ?

සාමාන්‍යයෙන් මගේ මනසේ වස්තුබීජය වැඩෙද්දී එහි වටපිටාව පැහැදිලි කර ගන්න මම උත්සාහ කරනවා. මොකද සාමාන්‍ය පාඨකයා එකවර යමක් විශ්වාස කළත්, අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු පොත කියවද්දී අඩුපාඩු හසුවෙන්න පුළුවන් නිසා. නිදසුනක් හැටියට මගේ පරඬැල් නවකතාවේ සුදු කබර හැදුණු ළමයා පිළිබඳ විස්තරය කියවා වෛද්‍යවරු පවා අසා තිබෙනවා මම හෙදියක් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද කියලා. මොකද ඒ තොරතුරුවල නිරවද්‍යතාව නිසා. කතාවක විශ්වසනීයත්වය ගොඩනැඟෙන්නේ තොරතුරු නිවැරැදි වන තරමටයි. ග්‍රාම නිලධාරීන්, ළමා නිවාස පාලිකාවන්, ඒවා ඇසුරු කරන අය, සමඟ කතා බහේදී තේරුණු දෙයක් තමයි මේ වගේ දේශපාලන සමාජ ආර්ථික පසුබිමක දරුවකු පාරේ දමා යන එකත් අරුමයක් නොවන වග. හැබැයි හැඳුණුම්පත් නැති අය ගැන සොයාගෙන යද්දි නම් ඒ අයට වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බව මට හැඟුණා. මොකද හැඳුණුම්පත නැති කෙනෙක් කවුරුවත් බාරගන්නේ නැහැ. ඉතින් ඔවුන් වෙනුවෙන් මට කළ හැකි දේ තමයි මම මේ කළේ.

 

ඔබ මේ කතාව ඉදිරිපත් කරන්නේ කාලත්‍රය මිශ්‍ර කරමින්?

ඔව්. වස්තුබීජයක් හිතේ පැළවුණාට පස්සේ මම ඒ කතාව ගොඩ නඟන්න කැමති මුල, මැද, අග පිළිවෙළින් නොවේ. අතීතාවර්ජන සමඟයි. මොකද මම විශ්වාස කරනවා පාඨකයනුත් නිර්මාණයක් කියවද්දි යම් වෙහෙසක් දැරිය යුතුයි කියලා. ඒ නිසා කතාව තැනින් තැනට පනින ආකාරයක් ගන්නවා. සමහරු ඒකට කැමති නැහැ. ඒත් තේරුම්ගන්න අය කැමතියි.

 

ඔබට භාෂා රීති වැදගත්ද?

අපි භාෂාව සමඟ තමයි මේ නිර්මාණ කරන්නේ. ඒත් ව්‍යාකරණ ආදියට බිය විය යුතු නැහැ. ශුද්ධ වූ දෙයක් ලෙස භාෂාවට වැඳුම් පිදුම් කරනවාට වඩා මැටි පිඩක් වගේ භාෂාව අපට ඕන විදිහට සකස් කරගන්නයි උත්සාහ කරන්න ඕනා. සිංහල භාෂාව හරි සුන්දරයි. භාෂාව පිළිබඳ සැලකිලමත් වෙනවා කියන්නේ එය නිර්මාණාත්මක ලෙස මෙවලමක් විදිහට භාවිත කිරීමයි. ලිඛිත හෝ කථන භාෂාව අපට වියරණ නොබිඳෙන ආකාරයෙන් යොදා ගන්න පුළුවන්. කියන්න හදන දේ මොනතරම් හොඳ වුණත් භාෂාව හා ආකෘතිය හොඳීන් පරිහරණය නොකළොත් පණිවිඩය කියැවෙන්නේ නැහැ.

 

ගිගිරි කෘතියේ ඔබ ලිංගිකත්වය යොදාගෙන තිබෙන්නේ මනා සංයමයකින්?

ලිංගිකත්වය කියන්නේ ජීවිතයේම දෙයක්. ඉතින් ඇයි අපි මේ තරම් එයට බිය වන්නේ, ප්‍රතික්ෂේප කරන්නේ, යටපත් කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. මේ කෘතියේ අන්තර්ගතයට ලිංගිකත්වය එතරම් අවශ්‍ය නැහැ. එහෙත් මගේ වාලුකා නවකතාවේ බොහෝසෙයින් ලිංගිකත්වය යොදාගත්තා. සමහරු මේ විෂයයෙහි රමණීයත්වය පිළිබඳ සැලකිලිමත් නොවී ජුගුප්සාජනක ලෙස ඒ කරුණු ඉදිරිපත් කරනවා. ඒ ගැන හිතනවා නම් වඩාත් හොඳයි. ඒත් ලිංගිකත්වය යටපත් කරන්න හදන තරමටම එය ඉස්මතු වනවා.

 

ඔබ සම්මාන ප්‍රිය කරන්නියක්ද?

මම ඉන්නේ අනෙක් අයගෙන් බොහොම දුර. අනුරාධපුරයේ. අනෙක අපේ රටේ පොඩි රටක්, තිබෙන්නේ පොඩි වෙළෙදපොළක්. ඉතින් මට හිතන්න තියෙන්නේ මම කරන රාජකාරිය අවංකව කරනවාද යන්න විතරයි. අනෙක් දේවල් පසුපස හඹා යන්න ඕනේ නැහැ. විනිශ්චය මණ්ඩලවල තීරණ නොතකා, සම්මාන පොරයට නොවැටී හරියට දෙයක් කරනවා මිස අන් දේවල් අමතර කරුණුයි.

 

නවකතා විස්සකට අධික සංඛ්‍යාවකුත්, කෙටිකතා සංග්‍රහ, යොවුන් නවකතා සහ පුවත්පත් ලිපි ඔබ අතින් ලියැවී තිබෙනවා?

අපි උපතේ සිට උරුම කරගත් දෙයක් තිබෙනවා. ඒ මරණය. ඉතින් මරණයට පත් වුණ පසු අපි කවුරුත් ඉවරයි. අපේ ජීවිත ගතවීගෙන යන හැටියට මට හිතෙන්නෙම ඉදිරිය හරි කෙටියි කියලා. ඒ නිසා කාලය සමඟ දැඩි ගැටලුවක් තිබෙනවා. මගේ කෘති පටන්ගත්තේ 40 දශකයෙන්. මේ වෙද්දි වර්තමානය ගැන ලියා තිබෙනවා. ඒත් මට කියන්න අවශ්‍ය දේ තව බොහෝයි. ඒ නිසා කාලය මදිවෙයිද බයයි. ඒ නිසා අවුරුද්දකට පොත් දෙකක්වත් ලියන්න උත්සාහ කරනවා. රූපවාහිනිය නැරඹුවොත් කාලය අපතේ යන නිසාත් ගුවන්විදුලියට සවන් දෙන අතරයි ගමන් අහන්න පුළුවන් නිසාත් මම ගුවන් විදුලි යන්ත්‍රයට සවන්දෙමින් තමයි කටයතු කරන්නේ. අපේ දෛනික කටයුතු නිසා දවල් කාලය අනුන්ගේ. ඒත් රැ මගේමයි. ඉතින් මම චෞරියක් වගේ කාලය හොරකම් කරනවා. නාස්ති කරන කාලේ පරෙස්සම් කර ගන්නවා. ඇයි අපි කාලය අපතේ හරින්නෙ.

 

මේ දිනවල ඔබ නිරතවන්නේ?

රං කොල්ලා මගේ යොවුන් නවකතාව සුමිත් රත්නායක චිත්‍රපටයකට නැඟුවා. ඒ ගැන සතුටක් තිබෙනවා. ඒ වගේම රංචි අම්මා මගේ පුවත්පත් ලිපි පෙළ පොතක් හැටියට නිකුත් කරන්න කටයුතු සම්පාදනය කරනවා. මගේ අලුත්ම නවකතාව පුළිඟු වෙනම ආරක, අද්භූත, ගුප්ත කතාවක්. එය මුද්‍රණයෙන් පිටවුණා. මේ දිනවල තවත් නවකතාවක් ලියමින් ඉන්නවා. මේ සියල්ලටම මූලික වුණේ මගේ තාත්තා මට පුංචිකාලේ දීපු අත්වැලයි.

 

රසිකයන්ට ඔබෙන් පණිවිඩයක් තිබෙනවාද?

ගඟක් වුණත් ලස්සන ගල්පර මතින් යද්දියි. ඒ නිසා අත්දැකීම්, පරිකල්පනය වගේම අපේ චින්තනයත් ලෝකයට වැදගත්. මම ජාති කුල ආගම් සියල්ලෙන් විනිර්මුක්ත වෙලා ඉන්නේ. මනුෂ්‍යත්වය තමයි අප ඉස්මතු කළයුතු එකම දහම. පොඩි කාලේ ඉඳන් රුසියානු පරිවර්තන ආදිය කියවලා නිසා ලේඛිකාවක් ලෙස මට හිතෙන්නේ මම සාර්ථක වන්නේ විශ්වීය නිර්මාණකාරිනියක වූවොත් පමණයි. මම විශ්වාස කරනවා පෘථිවිය සමාජ වාසයට හොඳයි. ඒත් මිනිසුන්ට ඒ සුන්දරත්වය සමඟ ප්‍රීතිමත් ජීවිතයක් ලැබිලා නැහැ. අයුක්තිය අසාධාරණය ආගම සංස්කෘතිය නිසා ඒ දේ සිදු වන්නේ. ඉතින් වඩා යහපත් රටක් හෙටක් ගැන බලාපොරොත්තු වෙනවා නම් එකම මිනිස් කුලකයක් ගැන හිතනවා නම් නිදහස් මිනිසකු ලෙස සිතනවා නම් ආදරය කරන්න. අපි ආදරය කරන්න හරි බය ජාතියක්. ඒත් සියලු බේද අතහැරලා අපි ආදරය කරනවා නම්, පවුල තුළින් ආදරය අරඹනවා නම් ජාතීන් අතර පමණක් නොවේ ලෝකෙටම ආදරය බෙදන්න පුළුවන්.

අරුණි මුතුමලී

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.