නොමඟ ගිය මිනිසාගේ කවි සිත ඉස්මතු කළ සිරිපාල සහ රන්මැණිකා

මැයි 23, 2019

සිරිපාල යනු කවරෙක්දැයි සොයා බලන විට, අපට මුලින්ම හමුවන්නේ ඔහු කවියෙක් ලෙසය. පන්නිපිටියේ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගත් සිරිපාල, පි.බී.අල්විස්, මීමන ප්‍රේමතිලක වැනි, කවියන්ව දැඩිව අගය කළ අතර, ඔවුනගේ කවි කියවමින්, එකතු කරමින්, ඒවා අනුගමනය කරමින් කවි ලියන්නට විය.

කථා රචක ධර්මසිරි ගමගේ මේ සිරිපාලගේ ජීවිතයේ ඇත්ත පැත්ත දුටුවේය. ඔහු සිරිපාලගේ සත්‍ය කථාව අධ්‍යයනය කරන්නට විය. එහී අපූරු ජීවන විශ්ලේෂණයක් රැදී ඇති බවක් ඔහුට දැනුණී. එසේ ගැඹුරට යනවිටය ඔහු දුටුවේ සිරිපාලට වඩා ප්‍රබලව රන්මැණිකා ගේ සත්‍ය චරිතය නැගී සිටින බව.

සිරිපාල ගේ කවි සිත සියුමැළි වුවද, එම සිත තුළින් චණ්ඩ බවද ඉස්මතු වන්නට විය. පාසැල තුළදී වුවද, ඔහු හැමවිටම උත්සහා ගත්තේ, තම පාසැල් මිතුරන්ව, පාසැල් ගණන්කාරයන්ගෙන් බේරා ගන්නටය. මේ හෙයින්, මිතුරන් අතරේ ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් විය. පාසැලේ හැමෝටම වෙට්ටු දමා වට්ටන ගණන්කාරයෙක්ව අල්ලා , ඔහුගේ දනහිසේ බිලේඩ් තලයකින් කතිරයක් කැපූ නිසා, සිරිපාලට පාසැලේ ඉදීමට නොහැකි විය. ඔහු වහාම තම පියා වැඩකරන අනුරාධපුර වැඩිහිටි නිවාසෙට පැන ආවේය. සිරිපාලගේ ජීවිතය එතැනදී වෙනස් අතකට හැරුණි. ඒ ලයනල් මුණ ගැසුණු පසුවය. ඔවුන් දෙදෙනා එක්ව අනුරාධපුරයේ නගරයේ හැම තැනම කරක් ගැසීය. පසුව පික්පොකට් ගැසීමට, හුරුවිය.

කවියෙකු, මෙන්ම කවියට ඉතාමත් ඇලුම් කෙරු සිරිපාල වැන්නෙකුගේ ජීවිත චක්කරය ආපිටට හැරුනේ, දරිද්‍රතාවය මෙන්ම නිසි ලෙස දෙමාපියන් මග නොපෙන්වූ නිසා විය හැක.

ඔවුන් අක්කර ගණනක වතු මුර කළෝය. සීමන්ගේ චරිතය මොවුනට මුණ ගැසුනේ මේ වතු මුරකරන සමයේය. සීමන් යනු මැරයෙකි. ඔහු කළේ හොර අරක්කු ව්‍යාපාරයකි. සීමන්ගේ සහෝදරයා ගුණපාල කළේ කසිප්පු පෙරීමය. එම සහෝදරයාගේ බිරිඳ රන්මැණිකාය. ඔවුනට ගැහැනු ළමයිම 4ක් විය. සිරිපාල හා ලයනල් කසිප්පු බීමට හේත්තු වූයේ මෙතනටය.

ඔය අතරෙදී රන්මැණිකා ගේ සැමියා නොහොත් සීමන්ගේ සහෝදරයා වූ ගුණපාල ව පොළගෙක් ගසා, මියගියේය. රන්මැණිකාට ජීවත් වීම සඳහා කසිප්පු පෙරීම කරගෙන යාමට සිදුවිය. නිතර එන සිරිපාලට, කණවැන්දුම් වූ රන්මැණිකාට හිත ගියේය. ඒ ඇය ජීවත් වීමට කරන ධෛරය දැකය. සීමන්ද රන්මැණිකාට යෝජනාවක් කළේ තමන් සමඟ සිටින ලෙසය. ඇය එයට කැමති වූයේ නැත. සිරිපාල, රන්මැණිකාට ආදරය කරන්නට පටන් ගතී. මුලදී රන්මැණිකා එයට කැමැත්තක් දැක්වූයේ නැත. ඒ ඔවුනගේ වයස් පරතරය නිසාය. සිරිපාලට යන්තම් 21 පැන්නා විතරය. නමුත් රන්මැණිකා ඒ වන විට අව්රුදු 34ක් පමණ විය.

ධර්මසිරි ගමගේ තම තිර කථාව තුළ වෙනස් කම් කීපයක් කළේ එය චිත්‍රපටයකට උචිත ලෙසය. "ආදරවන්තයෝ","ප්‍රියංගා", "තිලක හා තිලකා"," මංගලා" වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කෙරූ අමරනාත් ජයතිලකට, ධර්මසිරි ගමගේ ගේ, තිරනාටකය අධ්‍යක්ෂණය කිරීමට භාර වුණි. ඔහු මෙම චිත්‍රපටය මුලින්ම නම් කළේ "මරු සිරා" ලෙසටය. නමුත් එම නම සම්මත වූයේ නැත. ඉන්පසු එය "සිරිපාල සහ රන්මැණිකා" ලෙස නම් කෙරීය.

සිරිපාල ,රන්මැණිකාගේ නිවසේ බින්න බැසීය. කසිප්පු ව්‍යාපාරයට නව පනක් දීමට සිරිපාලට හැකි විය. බලාගෙන සිට්යෙදි, සිරිපාල හා රන්මැණිකාගේ මෙම ව්‍යාපාරය දියුණු විය. සිරිපාලලාගේ ,ලයනල්ලාගේ අතේ හොඳට මුදල් ගැවසීය. එලෙසම සිරිපාලට දැන් තුවක්කුවකුත් තිබුණි. මේවා දුටුවිට සීමන් මුදලාලි නයෙක් මෙන් කිපුණි. ඔහුට සිරිපාලව නැති කිරීමට උවමනා විය. ඔහු තම ගෝලයා වූ පියදාසට, සිරිපාලව මැරීමේ කොන්ත්‍රාත්තුව භාර දුනි. එහෙත් ඊට ප්‍රථම සිරිපාලගේ අතින් පියදාස වෙඩි කා මියගියේය.

පොලීසියෙන් බේරීම සඳහා සිරිපාල හා ලයනල් කැලයේ හැංගුණි. තම සුචච ගෝලයා වූ පියදාසව, සිරිපාල මැරූ නිසා, සීමන් විසින් රන්මැණිකාගේ කසිප්පු වාඩිය ගිණි තිබ්බේය.

අමරනාත් ජයතිලකට ජයගන්නට අභියෝග කීපයක්ම තිබුනී. ඒ මේ මැර ජීවන රටාවන් සිනමාත්මකව ඉදිරිපත් කිරීමත්, මෙය සංවේදී, මෙන්ම ත්‍රාසජනක ලෙස ඉදිරිපත් කිරීමය. චිත්‍රපටය වේගවත් විය යුතුය. එමෙන්ම කලාත්මක විය යුතුය. එලෙසම ප්‍රබල රගපෑම් තිබිය යුතුය. විශේෂයෙන් සිරිපාල, රන්මැණිකා, සීමන්, හා ලයනල් යන චරිත හතර තුළිනි. මේ අමරනාත් ' ත්‍රිලින්' චිත්‍රපටයක් කරන්නට යනවාමය. එලෙසම, එකල ලංකාවේ හංවඩු ගැසු නමගිය අපරාධ හා මිනීමරුවෙක් පිළිබඳවය.

අමරනාත්ට මේ මැරයාගේ කවි සිතද ඉදිරිපත් කිරීමට සිද්ධ විය. ධර්මසිරි ගමගේ සිරිපාල යනු කවුදැයි කොතෙක් දුරට තේරුම් ගත්තේද, එයිට වඩා 'ඩබල්' ලෙස සිරිපාලව තේරුම් ගන්නට අමරනාත්ට සිදුවිය.

එහෙත් අමරනාත් වැඩි බරක් දී තිබුණේ රන්මැණිකාටය. ඇයගේ චරිතයට වැඩි පරාසයක් දී තිබූ බවක් පෙනුනි. ප්‍රේක්ෂකයන් ගේ වැඩි අවධානය දිනා ගත්තේද රන්මැණිකාය.

සීමන්ගේ ගෝලයා වූ පියදාසව මරා කැලේ පැන්න, සිරිපාල හා ලයනල් ව සොයා පොලීසිය කැලේ පීරන්නට විය. අනෙක් පැත්තෙන්, සීමන් හා සීමන්ගේ ගෝලයන්ද සිරිපාලව සොයන්නට උත්සුක වූයේ, සිරිපාලව ඔවුන්ගේ අතින් මරා දමන්නටය.

සිරිපාල කැලේ සැගවී සිටින තැන දන්නේ රන්මැණිකා පමණි. පොලීසිය ඒ බව සැක කළේය. ලද ඔත්තුවක් මත රන්මැණිකා සිරිපාලට හා ලයනල්ට බත් බැඳගෙන, කැලැවට යනවිට, පොලීසිය ඇයගේ පස්සෙන් ගොස් සිරිපාලව හා ලයනල්ව අල්ලා ගතී. නඩු විභාගයකින් පසු ඔවුන්, සිර ගත කලහ.

සිරිපාලගේ වෘත්තාන්තය, මෙතැනින් නිම වන්නේ නම්, ධර්මසිරි ගමගේ තිරනාටකයක් ලියන්නේද, අමරනාත් ජයතිලක චිත්‍රපටයක් කරන්නේද නැත. සිරිපාලගේ ජීවිතයේ බොහෝ හැල හැප්පීම් සිදුවුයේ මෙතැන් සිටය. ගමගේ, හා ජයතිලක, තම චිත්‍රපටයට උකහා ගත්තේද, 'හයිලයිට්' කර පෙන්වූවේද එම හැල හැප්පීම්ය.

ඇත්තටම සිරිපාල මැරයෙක්ද?. ගමගේගේ තිරනාටකය තුළ සිරිපාලගේ කවි සිත ඉස්මතු කළේ ඔහු සංවේදි පුද්ගලයෙක් බව පෙන්වීමටය. එමෙන්ම අමරනාත්ගේ චිත්‍රපටය තුළ සිරිපාල රන්මැණිකාගේ ආදරය හා සෙනෙහස හමුවේ මුදු මෙලොක් වන බව පෙන්වුයේද, සිරිපාල යනු එවන් දරදඬු පුද්ගලයෙක් නොවන බව ඔප්පු කිරීමටය. එහෙත් ඔහුගේ අර චණ්ඩ බව හිතේ කොනක හෝ සැඟවී සිට, අයුක්තියක්, අසාධාරනයක් හමුවේ එළියට පැමිණීමද වැළැක්විය නොහැක්කක් විය. ඔහු සීමන් සමඟ පැටලෙන්නට ගියේ නැත. ඔහුට අවශ්‍ය වූයේ රන්මැණිකාත් සමඟ එකතුවී, හොර අරක්කු ව්‍යාපාරය කරමින් ජීවත් වීමටය. සිරිපාලව මේ තත්වය⁣ට ඇද දැමුවේ, නම් සීමන්මය. සීමන්ටද එසේ කිරීමට හේතු දෙකක් තිබුනි. එකක් රන්මැණිකා තමාගේ යෝජනාවට අකමැති වී, සිරිපාල සමඟ පවුල් කෑමය. අනෙක් හේතුව, සිරිපාලගේ හොර අරක්කු ව්‍යාපාරය නිසා, තමාගේ කෝටාල් ව්‍යාපාරයට තදින්ම බලපෑ නිසාය. ඔහු සිරිපාලව නැති කරන්නට පිඹුරුපත් ඇන්දේ ඔය හේතු දෙක නිසාය.

සීමන්ගේ ප්‍රධාන ගෝලයා වූ පියදාස ව සිරිපාල අතින් මැරුම් කෑවේ ඇත්ත වශයෙන්ම ආත්ම ආරක්ෂාව නිසාය. ඒ පියදාස සීමන්ගේ අණ කිරීම නිසා සිරිපාලව මරන්නට තැත්කෙරූ හෙයිනි. සිරිපාල මිනීමරුවෙක් බවට පත්වූයේ එසේය. නොඑසේ නම් සිරිපාලට මිනිහෙක් මැරීමට කිසිදු උවමනා කමක් තිබුණේ නැත. සිරිපාලව ඒ තත්වයට ඇද දැමුවේ, සීමන්ය. ඇත්ත වශයෙන්ම සිරිපාලගේ ජීවිතය විනාශමුඛයට ඇද දැම්මේ සීමන්ය.

සිර ගත වූ සිරිපාලගේ කවි සිත යලි අවදිවන්නට විය. ඔහු සිරගෙදර සිට රන්මැණිකාට කවි ලීවෙිය. සීමන් රන්මැණිකා හා සිරිපාල එක්ව කරගෙන ආ කසිප්පු පෙරන තැන හා එකී බඩුභාන්ඩ සියල්ලම කුඩු පට්ටම් කළේය. එලෙසම ඔහු කෙසේ හෝ රන්මැණිකාව තමන්ට නතු කර ගන්නට උත්සහා කළද, රන් මැණිකා එක් සිත්ව සිටියාය. රන්මැණිකාට සීමන් අඩම්තේට්ටම් කරන්නට පටන් ගත්තේ ඉන්පසුවය. එහෙත් ඒවාට ඇය සැලුණේ නැත. ඒ වන විට සිරිපාලට දාවා, ඇයගේ කුසේ දරුවෙක් පිළිසිදීගෙන තිබුණි.

සිරිපාල, සිරගෙයි සිටියද,ඔහුට රන්මැණිකාව නිතර සිහිවිය. එලෙසම සීමන් රන්මැණිකාට කරන අඩම්තේට්ටම් ගැන සිරිපාල දැන සිට්යේය. ඇතැම් දේවල් රන්මැණිකා ඔහුව බැලීමට එන අතරදී කිව් අතර, බොහෝදේවල් දැන ගත්තේ සිරිපාලගේ හිතවත්තු ඔහුව බැලීමට ආ විටය. මේ හේතුවෙන් සීමන් ගැන සිරිපාල වියරු වැටීය.

කල් යල් බලා, සිරිපාලත්, ලයනලුත් හිර ගෙයින් පැන්නේය. චිත්‍රපටය එතැන් සිට ගියේ වේග රිද්මයේය. සිරිපාල කෙළින්ම සීමන්ව සොයා ගියේ හිරෙන් පැන යන විට ජේලර් ගාඩ්ගෙන් උදුරා ගත් තුවක්කුවකුත් අත ඇතිවය.

සිර ගෙට ගිය සිරිපාලගේ අහඹු පැමිණීම සීමන් කිසිසේත් බලාපොරොත්තු නොවීය. එහෙයින් ඔහු සිද්ධවෙන්නට යන අනතුර ගැන පෙර සූදානමකින් සිටියේද නැත. සීමන්ට වෙඩි තැබූ සිරිපාල කෙළින්ම ගියේ රන්මැණිකාව හමුවීමටය.

"ඔය කඩුව දීපං. මං සීමන්ට වෙඩි තිබ්බා. ඌ මැරිලා නැත්නම්, මං මේ කඩුවෙන් ඌව කීතු කීතු වලට කපනවා"

සිරිපාල ක්‍රෝධයෙන් ගිගුරුම් දුනි.

රන්මැණිකා සිරිපාලව අස්වසාලන්නට උත්සහ කළාය. බැරිම තැන ඇය ඔහුට මෙතෙක් කියාගන්නට උවමනාවූ රහස කියන්නට විය.

"මට මහත්තයගෙන් දරුවෙක්"

අමරනාත් ජයතිලක චිත්‍රපටය උච්චතම ස්වරයට ගෙන ආවේ මෙතැනදීය. ඔහු සිරිපාලව සංවේදී කළේය. ඒ තුළින් මුළු ප්‍රේක්ෂකගාරයම සංවේදී කරන්නට උත්සහ කළේය. සිරිපාලගේම ලෙයින් හැදුණු දරුවෙක් රන්මැණිකා බිහි කර ඇති බවක් ඇසුණු සිරිපාලට තමා මෙතෙක් දැවෙමින් සිටි ක්‍රෝධය මදකට පහව ගියේය. ඇය රන්මැණිකාව හා දරුවාව අධික සෙනෙහසකින් තුරුලු කර ගති.

මේ අතර පොලීසිය, සිර ගෙයින් පැන්න සිරිපාල හා ලයනල්ව හඹා එන්නට විය. මොවුන් අනිවාරයෙන්ම රන්මැණිකාව හමුවීමට එන බවක් පොලීසිය දැන සිටියහ. පොලිසිය රන්මැණිකාගෙ නිවස දෙසට එනවිට, සිරිපාල හා ලයනල් පැන ගියහ.

අමරනාත් ජයතිලක චිත්‍රපටය ත්‍රිල් කළේ මෙතැනදීය. සිරිපාල හා ලයනල් දුම්රියක නැගී යන විට,පොලිසිය එලවන්නට විය. සිරිපාල හා ලයනල් දුවන දුම්රියේ වහල උඩට නැඟ දුවමින් යන දර්ශනය, එලෙසම එම දුම්රිය වහලෙ සිට බිමට පනින දර්ශනයන් අමරනාත් ජයතිලක ඉමහත් පරිශ්‍රමයකින් බටහිර චිත්‍රපටයක් සේ රූ ගත කර තිබුණි. ඔවුන් දෙදෙනා එසේ දුම්රියෙන් පැන, හලාවතට පලා ගොස් හඳුනන නිවසක සැගවී සිටයහ. පසුව ඔත්තුවක් හරහා පොලිසිය එම නිවස සොයා ගති. පොලිසියත් ,සිරිපාල හා ලයනල් අතර වෙඩි හුවමාරුවක් විය. කෙසේ හෝ පොලිසිය සිරිපාල හා ලයනල්ව මෙල්ල කරගති.

සිරිපාල හා ලයනල් යළි පොලිසියට කොටුවී සිර ගෙට දැමුයේ සිරිපාලට මරණ දන්ඩනයකුත් සමඟය. එල්ලලාද මැරුවේ, මරලාද එල්ලුවේ ? කියන අබිරහස පමණක් ඉතුරු කර, සිරිපාල පෝරකයට ගියේය.

රවින්ද්‍ර රන්දෙණියට එවකට ලැබුණේ එසේ මෙසේ අභියෝගයක් නොව. සිරිපාල යනු මෙහී කේන්ද්‍රීය චරිතයය. මෙය බොහෝ අසීරුවූ චරිතයකි. රවින්ද්‍ර මෙයට ඇප කැප වී තමන්ගේ උපරිමත්වයටත් එහා ගොස් චරිතයට සාධාරණය ඉටු කළේය.

එහෙත් රන්මැණිකා ඒ සියල්ලම අබිබවන්නට විය. ඇත්තෙන්ම එසේ අබිබවා ගියේ රන්මැණිකා නොව, එමචරිතය රඟපෑ මාලනී ෆොන්සේකාය. ඇය ඇත්ත රන් මැණිකාගේ සියුම් තැන් හඳුනා ගෙන, ඒවා කදිමට ඉදිරිපත් කළාය. මා දන්නා පරිදි, ඇය මෙය රූ ගත කිරීමට පෙර, කසිප්පු පෙරන අන්දම පවා ඉගෙන ගෙන තිබුණී. එලෙසම ඇත්ත රන්මැණිකාගේ හඩ ස්වර, හැගීම්, හා ඇය කන බොන,ඇවිදින ආකාරය ඒ හැම දෙයක්ම මාලනී නිරික්ෂණය කළාය. ඇත්ත රන්මැණිකා, තරමක් කළු පැහැතිය. මාලනී තම රූමත් මුහුණ පවා, වේශ නිරූපණ ශිල්පියාට කියා තරමක් කළු පැහැ ගන්වා ගත්තේ ස්වභාවිකවම රන් මැණිකාගේ චරිතයට ඇතුළුවීමටය. රන් මැණිකා තුල නොතිබුණු බොහෝ දේ පවා, මාලනී තමා තුලින් එකතු කර ගත්තාය. රන් මැණිකා එසේ නොවුනද, ඇය මෙසේ විය යුතුයි සිතමින් මාලනී රන් මැණිකාව තිරයේ මැව්වේ අද්විතීය ලෙසය.

සීමන් වූ ජෝ අබේවික්‍රමත්, ලයනල් වූ රොබින් ප්‍රනාන්දුත් විශිෂ්ට රඟපෑමක නිරත විය. විශේෂයෙන් රොබින්ගේ ත්‍රාස ජනක ජවනිකා, චිත්‍රපටය පරිපූර්ණ කළේය. පියදාස ගුණසේකර, ඩී.ආර්. නානායක්කාර, පියසේන අහංගම, ශාන්ති ලේඛා, ජෝ දඹුලුගල, එස්.ඒ.ජේම්ස්, පියදාස විජේකෝන්, බන්ධු මුණසිංහ, විමල් කුමාර ද කොස්තා, ගීතාල් පෙරේරා, සෙසු අතුරු චරිත රඟපෑහ.

ඩොනල්ඩ් කරුණාරත්න කැමරාව මෙහෙයවූ අතර, ධර්මසිරි ගමගේ ලියූ කථාව හා තිර නාටකයට, අමරනාත් ජයතිලක විසින් අධ්‍යක්ෂණය කළේය. "සිරිපාල හා රන්මැණිකා" 1977 සැප්තැම්බර් 16 වන දින තිරගත කිරීම ආරම්භ කළේය. මෙය චන්ද්‍රා අබේවික්‍රමගේ නිෂ්පාදනයක් විය.

ශෝන් මැක්ස්මස් දිසානායක 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.