ප්‍රවීණ මාධ්‍යවේදියකුගේ අදීන ගමන් මඟ

මැයි 30, 2019

සුනිල් මිහිඳුකුල නම් වූ අදීන මාධ්‍යවේදියා, ප්‍රවීණ ලේඛකයා ඒ හැමෙකටමත් වඩා අතිශය සොඳුරු මිනිසා අප අතරින් වියෝ වූයේ 2017 වසරේ මැයි මස 30 වැනිදාය. ඒ අනුව අදට (2019 මැයි 30) එම වියෝවෙන් වසර දෙකක් සම්පූර්ණ වෙයි. ලේක්හවුසියේ පිය ගැට පෙළ නැඟ එහි උඩු මහලට පිවිස වංකගිරියක් වන් දිගු කොරිඩෝව දිගේ සරසවිය කාර්යාලයට ඇතුළු වෙද්දී එහි කොනක වූ තම මේසය ඉදිරිපිට පුටුවේ වාඩි වී කිසියම් කාර්යයක නියැළෙමින් සිට හිස ඔසවා බලන සුනිලුන්ගේ පුළුල් සුපසන් සිනාව සිහි ගැන්වෙන විට අදත් සිත තුළ මතුවීමට පාව එන්නේ තියුණු ශෝකයයකි. ඒ ඔහු වචනයේ පරිසමාප්ත පුළුල් මාධ්‍යවේදියකු සේම සොඳුරු මිතුරකු ද වීමේ හේතුවෙනි.

1960 සැප්තැම්බර් මස 22 වැනි දින මීගමුවේ කතෝලිත පවුලක සාමාජිකයකු ලෙස උපත ලැබූ සුනිල් පාසල් වියේදීම චිත්‍රපට නැරඹීමට තදින් ඇබ්බැහි වූ සිනමා ලෝලියෙකි. පසු කලෙක ඔහු විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ පෙළේ අගභාගයේ එන ‘පික්චර් පිස්සා’ (2012) නමැති කෘතිය සඳහා යොදන ලද එකී නාමය පාසල් වියේ පටන් අසීමිත සිනමා ලෝලීත්වය ප්‍රකට කරන්නේ යයි සිතේ.

සිනමාව, සාහිත්‍යය, නාට්‍ය කලාව, සංගීතය වැනි විෂයයන් උදෙසා විවිධ සම්මන්ත්‍රණ, කතිකා, වැඩමුළු ආදිය අගනුවරදී පැවැත්වීමට ඒ ඒ විෂයයන් පිළිබඳව ප්‍රාමාණික අවධානයක් යොමු කළ සංවිධාන සහ පුද්ගලයන් 90 දශකයේදී කටයුතු කළ බවක් පෙනිණ. මෙකී අවස්ථා සඳහා නිරතුරුවම සහභාගී වන්නට සුනිලුන් පෙළ ගැසුණේ පාසල් විය අවසන් කිරීමත් සමඟමය. හේ එවන් සම්මන්ත්‍රණවල, කතිකාවල, වැඩමුළුවල කැපී පෙනෙන චරිතයක් වීමට වැඩි කලක් ගත වුයේ නැත.

ගුණසිරි සිල්වා, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රේම් දිසානායක වැනි මාධ්‍යවේදයෙහි ප්‍රමාණිකව නිරත වී සිටි චරිත කීපයක්ම ඇසුරු කිරීමට සුනිලුත් අවකාශ ලද්දේ මෙකී අවස්ථා ඔස්සේය. ජයන්ත චන්ද්‍රසිරි සංස්කරණය කළ ‘නවලිය’ට, ගුණසිරි සිල්වාගේ කලා ප්‍රකාශනයකට සුනිල් කලා ක්ෂේත්‍රය අරභයා ලිපි ලියන්නට පටන් ගත්තේ ඒ අනුවය. කලක් ගුණසිරි සමඟ ඔහුගේ කලා ප්‍රකාශනයකට මාධ්‍යවේදියකු ලෙස දායක වූ සුනිල් අනතුරුව ප්‍රේ්ම් දිසානායක සම්පාදනය කළ කලා ප්‍රකාශනවලට දායක විය.

සුනිල් ලේක්හවුස් ආයතනයට පූර්ණකාලීන මාධ්‍යවේදියකු ලෙස සම්බන්ධ වන්නේ ඉන් අනතුරුවය. කෙටි කලක් ‘සරසවිය’ කලා පුවත්පතේ කර්තෘත්වය දැරූ හේ ඉන් අනතුරුව සම්බන්ධ වන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ ධර්මසිරි ගමගේ සම්පාදනය කළ සිළුමිණේ ‘රසඳුන’ නවමු සාර සංග්‍රහය සමඟය. දීප්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන සොඳුරු පත්තරකාරයකු වූ ධර්මසිරි ගමගේ ගොඩනැඟු ‘රසඳුන’ එලෙසින්ම රැකගැනීමේ වගකීම රෝහණ වෙත්තසිංහයන්ගෙන් පසු භාර වුණේ සුනිල් මිහිඳුකුලටය. හේ ඒ වෙනුවෙන් කැප වූ අයුරු අප හට මනාව දිස් වූයේ ඒ ආසන්නයේ සිට ඔහුගේ කාරුණික අනුග්‍රහයෙන් ‘රසඳුනෙහි’ තීරු ලිපියන් අඛණ්ඩව කරගෙන යන්නට අප ලද මහඟු අවස්ථාව ඔස්සේය. තමන් හට අනන්‍ය වූ සාරගර්භ අන්තර්ගතයකින් හා ඊට අනුරූප රටාවකින් දශකයකට වැඩි කලක් තිස්සේ ‘රසඳුන’ සම්පාදනය කරන්නට හේ සමත් විය.

තමන්ටම ආවේණික, අපූර්ව සංක්ෂිප්ත භාෂා ශෛලියකින් පුවත්පත් කලාවේ මෙන්ම ග්‍රන්ථකරණයේ නියැළුණු සුනිලුන් අරභයා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් වරක් ලේක්හවුසියේ ඔහුගේ කාමරයේදී කී අපූරු කතාවක් සිහිපත් කළ යුතුය. ‘සුනිල්ට යමක් ලියන්ට පැවරුවාම ඔහු ලියන්නේ අවශ්‍යම දේ විතරයි. අඩුත් නෑ, වැඩිත් නෑ. ඒ හින්දා සුනිල් ලියන දේක බොහොම වෙලාවට කපන්න දේකුත් නැහැ.’ කුරුවිට බණ්ඩාරයන් ඉතා නිහතමානීව එසේ හකුළා දැක්වූයේ සුනිලුන්ගේ ලේඛන මහිමයයි.

ඔහුගේ ග්‍රන්ථකරණයද පුළුල් විෂය ධාරාවක් ඔස්සේ විහිද ගිය සාර්ථක ක්‍රියාවලියකි. 2017 වසරේදී ඔහු විසින් ලියා පළ කරන ලද ග්‍රන්ථ සංඛ්‍යාව 22 කි. ඉන් ග්‍රන්ථ 17 ක්ම සිනමාව විෂය කර ගනිමින් ලියැවුණු කෘතීන් වේ. සිනමා දත්ත, සිනමාකරුවන්ගේ විෂයානුබද්ධ තොරතුරු, සිනමා විචාර වැනි පැතිකඩ ආවරණය කෙරෙමින් එකී ග්‍රන්ථ ලියැ වී ඇති බවක් පෙනේ. සෙසු ග්‍රන්ථවලින් දෙකක් නාට්‍ය කලාව උදෙසා වෙන් වූ අතර සෙසු ග්‍රන්ථ ඔහු විසින් විවිධ පුවත්පත්වලට ලියූ සාරගර්භ තීරු ලිපිවලින් පෝෂණය වූ ඒවාය. සිනිලුන් ලියූ එහෙත් මේ දක්වා පළ නොවූ තවත් ග්‍රන්ථ 2 ක් පමණ ප්‍රකශකයන් වෙත ඇති බවත් සුනිල්ගේ ආදරණීය බිරිඳ සුරාජි වෙතින් දැනගන්නට ලැබිණ.

සුනිල් ලියූ අවසන් ග්‍රන්ථය ‘රන්ජිත් ධර්මකීර්ති නාට්‍යාවලෝකනය’ යි. සුනිල් සරසවිය කර්තෘ අරුණ ගුණරත්නයන්ගේ ආරාධනයෙන් ‘නාට්‍යකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ’ මැයෙන් ලිපි පෙළක් ලිවීම ඇරඹූයේ 2016 වසරේ මැද භාගයේදීය. හේ ඒ වන විට ලේක්හවුසියේ සේවයෙන් විශ්‍රාම ලබා සිටියේය. සුනිල් පූර්වෝක්ත ලිපි පෙළ සකස් කළේ ඉමහත් කැපවීමකිනි. ඇතැමුන් දිනපතා සහ සති අන්ත පුවත්පත් රැසකට තීරු ලිපියක මූලික ලක්ෂණවලින් පවා ඉඳුරා බැහැර, හරසුන් වල්පල් ලියද්දී සුනිල් කළේ බොහෝ වෙහෙස වී, නිවැරදි දත්ත සොයා ඔහුට ආවේණික සජීවි, සංක්ෂිප්ත බස් වහරකින් එකී ලිපි පෙළ සම්පාදනය කිරීමයි. එහිදී ඔහු අපගේ නොමඳ ගෞරවාදරයට යොමු විය යුතු වන්නේ ඒ වන විටත් ඔහු පෙළූ ව්‍යාධියේ කටුකත්වය පිස දමන්නට එම වගකීම ප්‍රතිකර්මයක් කර ගනිමින්, එවන් භාරධූර කාර්යයක නියැළෙන්නට අවශ්‍ය කායික යෝග්‍යතාව හොඳටම හීන වී තිබියදී ඔහු එකී ලිපි පෙළ සාර්ථකව නිම කිරීම හේතුවෙනි.

එකී ලිපි පෙළේ 9 වැන්න ලෙස රන්ජිත් ධර්මකීර්ති සහ ඔහුගේ නාට්‍යාවලිය විෂය කර ගනිමින් සුනිල් විසින් ලියන ලද ලිපිය ‘සරසවිය’ පුවත්පතේ පළ වූයේ 2016 අගෝස්තු මස 25 වැනිදාය. නාට්‍යකරණය අරභයා රන්ජිත් සමඟ විවිධ පුවත්පත් උදෙසා බොහෝ කලෙක පටන් සම්මුඛ සාකච්ඡා පවත්වා ඒ අනුව සාර්ථක ලිපි සම්පාදනය කොට තිබූ හේ ධර්මකීර්ති නාට්‍යාවලියේ කිසියම් පරිණතභාවයක් දැක එකී විෂය ක්ෂේ්ත්‍රය ඔස්සේ ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට සිතුවේ යථෝක්ත ලිපිය සඳහා කීප වරක්ම ධර්මකීර්ති හමු වූ විටය. ‘රන්ජිත් ධර්මකීර්ති නාට්‍යාවලෝකනය’ සුනිල් අතින් ලියැවීම ඇරඹුණේ ඒ අනුවය. ධර්මකීර්ති නාට්‍යාවලිය මූලික කොට එය විමර්ෂණය කළ විද්වතුන්ගේ සාරගර්භ ලේඛන සමඟ රන්ජිත් ධර්මකීර්ති හා කෙරුණු පුළුල් සංවාදයක් හා ඔහුගේ නාට්‍ය රැසක ප්‍රධාන භූමිකා නිරූපණය කළ ප්‍රවිණ නාට්‍යවේදී ජයලත් මමෝරත්නයන් සමඟ කෙරෙන සම්මුඛ සාකච්ඡාවකින් එකී ග්‍රන්ථය නිම කිරීමට ඔහු අදහස් කළ නමුත් හදිසි අභාවය හේතුවෙන් ඔහු හට එම හරවත් කෘතිය නිම කිරීමට නොහැකි විය. එහෙත් ඒ වන විටත් බොහෝ දුරට අවසන් කොට තිබූ එකී ග්‍රන්ථයේ සුනිල් වෙතින් ගිලිහී ගිය වගකිම් සහ අඩුපාඩු සකසා එය තව නොබෝ කලකින් පාඨක ලෝකයට තිළිණ කරන බැව් සටහන් කරන්නේ දැඩි ආත්ම තෘප්තියකිනි.

‘රන්ජිත් ධර්මකීර්ති නාට්‍යාවලෝකනය’ සුනිලුන්ගේ අවසන් කෘතිය බැව් සඳහන් කරන්නට සිදුවීම අප දකින්නේ ඉමහත් අභාග්‍යයක් ලෙසිනි. ඉතා අවාසනාවන්ත ලෙස ඔහු ගොදුරු කරගත් මරාන්තික ව්‍යාධිය නොවූයේ නම් සුනිල් තවත් අගනා ග්‍රන්ථ රැසක් තම පාඨකයන් වෙත තිළිණ කරනවා නිසැකය. ලේක්හවුසියේ සති අන්ත පුවත්පත් සහ කලා සංග්‍රහ ඔහුගේ සාරගර්භ ලිපිවලින් පෝෂණය වනවා නිරනුමානය. තමා පෙළූ ව්‍යාධියේ පරිමාව අනුව අතින් මෙන්ම සිතින් ද මුළුමනින්ම අඩපණව සයනයක වැතිරී කෙඳිරිගාමින් පසුවනවා වෙනුවට අනුක්‍රමයෙන් ගොඩනැඟුණු පරිණතභාවයක් තම ජීවිතයේ අවසන් මොහොත දක්වා ස්වකීය ලේඛනයෙන් ප්‍රකට කළ සුනිලුන් හට පාඨක අපගේ ගෞරවය හිමි විය යුතු වන්නේය.

මීට හරියටම දෙවසරකට පෙර සුනිලුන් අප අතරින් වියෝ වූයේ කයින් පමණකි. ජීවයෙන් තොර වූ ඔහුගේ කය සුසානයේදී දැවී අළු වී ගිය ද මේ ප්‍රවීණ ලේඛකයාගේ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැතයාගේ, අදීන මාධ්‍යවේදියාගේ ඒ සැමටම වඩා සොඳුරු මිනිසාගේ කීර්ති කදම්භය තව බොහෝ කල් සුරැකී කලා ලෝකයේ රැඳී පවතිනු ඇතැයි යන විශ්වාසය අප තුළ පැවතීම නිරවද්‍ය නොවන්නේද?

එඩ්වඩ් චන්ද්‍රසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.