ගොළු හදවතේ සුගත් වූ වික්‍රම බෝගොඩ

ජුනි 6, 2019

‘සුගත් කියන්න බලන්න ඕමාර් ඛයියාම් ගැන දන්න දෙයක්’ සාහිත්‍ය ගුරුවරයා සුගත් වීරසේකර නම් ශිෂ්‍යාගෙන් ඇසීය.

‘ඕමාර් ඛයියාම් පර්සියානු ජාතික කවියෙක්. ඔහුගේ පියා කූඩාරම් හදන මිනිහෙක්. පර්සියානු බසින් ඕමාර් යනු කූඩාරම් සාදන්නා’.

දැන් දමයන්ති පමණක් නොව ඇගේ පන්තියේ තවත් බොහෝ ළමයි ද සුගත් දෙස බලා සිටිති. කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ නවකතාව ඇසුරෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයේ සාහිත්‍ය ගුරුවරයා සුගත්ට ‘රුබයියාත්’ කාව්‍යයෙන් කවියක් කියන ලෙස කියයි. සුගත් ලෙස රඟපාන වික්‍රම බෝගොඩ මේ කවිය කියයි.

‘අහෝ සොඳුරුය මේ වියරු මඟ 
අවුල් ජාලය මිටින් ගන්නට 
බැතින් රහසේ ගිවිස ගැන්මට 
සුණු විසුණු කොට බිඳ පියා එය 
ඉනික්බිති හදවතේ රිස්සට 
මනා ලෙස ළං වෙන පරිදි අපි 
නව මුහුණුවර නොගන්වමු දෝ 
වසන්තය සෙව්වන්දිය සමඟින්ම 
මියෙන්නේ

සුවඳ කැවූ යොවුන් විය 
පොතට පෙරළේ අහෝ 
අතු අතර ගී ගැයූ 
කුරවි කෙවිළිය කොදා 
කොහි යළිත් ඉඟිළයේ විද 
කවුද දන්නේ ඉතින්’

මේ කවිය නවකතාවේ නැත. චිත්‍රපටයේ තිර නාටකය ලියූ රෙජී සිරිවර්ධන මෙය සුගත් ඇසූ පිරූ තැන් ඇති බව පිළිබිඹු කරන අවස්ථවක් ලෙස ‘රුබයියාත්’ හි මේ කව උපුටා ගෙන තිබුණත් එය සිංහලයට පරිවර්තනය කළේ තමා සමඟ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙන ගත් තිස්ස අබේසේකර විසින් බව සුගත්ගේ චරිතය රඟපෑ වික්‍රම බෝගොඩ වරක් මට කීය. වික්‍රම බෝගෙඩ නම් රංගවේදියා මට මුල්වරට හමු වූයේ ‘බිනරමලී’ නම් චිත්‍රපටයේ සිංඤාඤා නම් චරිතය රඟපෑ අවස්ථාවේ කඩුවෙල පොළේදීය. එදින ඔහුට තිබුණේ රෙදි විකුණන වෙළෙන්දෙකුගේ චරිතයක් රඟපෑමටය. මේ 1968 වසරය. ‘බිනරමලී’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූ මගේ මාමා කෙනෙකු වූ ගුණරත්න රත්නායකට අත් උදව් සැපයූ මම එකල පාසල් ශිෂ්‍යයෙක් වූයෙමි. එදා හඳුනාගත් බෝගොඩ ජීවිතයෙන් සමුගන්නා තුරු සමීප මිතුරෙකු විය. ඔහුට කලාව, සාහිත්‍යය, රඟපෑම ගැන පිරිණු දැනුමක් තිබුණේය. අප අතර තිබූ මේ සබඳතාවය නිසා තමා ආදරයෙන් රැස් කර තිබූ තිර නාටක අතුරෙන් ‘ගොළු හදවත’ තිර නාටකය මට පරෙස්සම් කර තබා ගන්නැයි දුන්නේය. එය දුටු ප්‍රකට චිත්‍රපට විචාරක රෙජී රණසිංහ මහතා එය ඉල්ලා ගත්තේය. එහි උදෘත කිහිපයක් ඔහු ලියූ විචාර ලිපි සඳහා උපයෝගී කර ගත් නමුත් එය නැවත ලැබුණේ නැත. මේ පිටපතේ ‘රුබයියාත්’ අර කවිය ලියා තිබුණේ තිස්ස අබේසේකරයන්ගේ අත් අකුරෙනි.

මීට වසර හයකට පෙර අප අතරින් සමුගත් වික්‍රම බෝගොඩ අපූරු මිත්‍රයෙකි. ඔහු ඉංග්‍රීසි පත පොත කිය වූ රසවතෙකි. ඔහු සමඟ අපට කතා කිරීමට බොහෝ දේ තිබුණි. මා ‘සරසවිය’ පත්‍රයේ වැඩ කරන බව දන්නා ඔහු කිසිදු දිනක තමාගේ කිසිදු විස්තරයක් හා ඡායාරූපයක් පළ කරන ලෙස කියා තිබුණේ නැත. ඔහු ගැන මා ලියූ එකම එක ලිපිය පළ වී ඇත්තේ 1971. 2. 23 වෙනිදා ‘සරසවිය’ පත්‍රයේය. එහි ශීර්ෂ පාඨය වූයේ ‘ආලය ආදරය විශ්වාසය මැද අතරමං වූ ගොළු හදවතෙන් ජනප්‍රිය වූ වික්‍රම බෝගොඩ’ය.

මහනුවර උපත ලැබු ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. පසුව බෝගොඩ පවුල කොළඹට සංක්‍රමණය වී ඇත. පන්නිපිටියේ ධර්මපාලයට බැඳෙන්නේ ඉන් පසුවය.

මට වික්‍රම බෝගොඩ ගැන ඔහුගේ පන්නිපිටියේ ධර්මපාලයේ පන්ති සගයා වූ අද අප අතර නැති සම්මානනීය නාට්‍ය රචක, නිෂ්පාදක ප්‍රේම රංජිත් තිලකරත්න බොහෝ දේ කියා තිබුණි.

‘වික්‍රම බෝගොඩත්, තිස්ස ද ෆොන්සේකා (තිස්ස අබේසේකර) උපාලි කොල්ලුරේ, ගාමිණී ජයසුන්දර, එච්. ඒ. ප්‍රේමරත්න, ප්‍රේමා මොරවක සහ මා ධර්මපාලයේ පන්තියේ මිතුරු මිතුරියන්. මට සුගතපාල ද සිල්වා අනුකරණය කරමින් නාට්‍යයක් නිපදවීමට ආශාවක් ඇති වුණා. සුගත්ගේ ‘බෝඩිංකාරයෝ’ නාට්‍යයේ චරිතයක් රඟපෑ වික්‍රම බෝගොඩ මගේ ආසාව ගැන දැන 1962 දී පමණ මාව එම නාට්‍යයේ පෙරහුරුවක් නැරඹීමට කැටුව ගියා. ධර්මපාලයේ ‘වෙනිසියා වෙළෙන්දා’ ඉංග්‍රීසි නාට්‍යයේ බෝගොඩ ෂයිලොක් වුණා. මම නාට්‍ය රචකයෙක් නිෂ්පාදකයෙක් ලෙස මතු වුණේ එතැනින්. ඉන්පසු මා නිෂ්පාදනය කළ ‘වගුරුබිම’, ‘වහලක් නැති ගෙයක්’ නාට්‍යවල මා මිත්‍ර වික්‍රම බෝගොඩ චරිත රඟපෑවා. මුල්වරට බෝගොඩ වේදිකා නාට්‍යයකට රංගනය පිළිබඳ සහතික පත්‍රයක් ලැබුණේ මගේ ‘වහලක් නැති ගෙයක්’ නාට්‍යයට. ඒ 1964 රාජ්‍ය නාට්‍ය උත්සවයේදී.

ප්‍රේම රංජිත් අපට පැවසුවේ තමාගේ පන්ති මිතුරන් වු තිස්ස අබේසේකර කෙටිකතා ලිවීමටත්, බෝගොඩ නාට්‍යයක රඟපෑමටත් පෙරුම් පිරූ බවය. බෝගොඩ, තිස්ස හා තමා එකල අර්නස්ට් හෙමිංවේගේ පොත් මාරුවෙන් මාරුවට තලු මර මරා කිය වූ බවය. පන්තියේ සිටි දක්ෂම ශිෂ්‍යයා වූ බෝගොඩ සාහිත්‍ය පොතපත කොපමණ කියෙව්වත් ඉගෙනීමට මුල්තැන්දී පන්තියේ පළමුවැනිය වූ අවස්ථා තිබූ බවය. ඉගෙනීමේ දක්ෂ බෝගොඩ ධර්මපාලයෙන් අස් වී කොළඹ ආනන්ද විද්‍යාලයට ඉගෙනීමට ගොස් ඇත.

සුගතපාලගේ ‘බෝඩිංකාරයෝ’ නාට්‍ය නැරඹීමට ගිය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, රෙජී සිරිවර්ධන, ඇන්ටන් වික්‍රමසිංහ යන පිරිස එහි රඟපෑ නවක නළුවන් ගැන විමසුමෙන් සිටියේ ඔවුන් නිපදවන ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ එන තිස්ස, බලදේව හා විජේගේ චරිත සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමේ අදහස යටි සිතේ තබාගෙනය. තිස්ස අබේසේකර මේ වන විට ‘ගම්පෙරළියේ’ සහාය අධ්‍යක්ෂක හා අමතර දෙබස් රචකයා ලෙස බැඳී සිටියේය. තිස්සගේ එකම අරමුණ වූයේ රංගනයට කැමැති තම මිත්‍ර පන්ති සගයා වූ වික්‍රම බෝගොඩගේ ආසාව මුදුන් පමුණුවා දීමටය. තිස්ස විසින් ලෙස්ටර්ට යෝජනා කරනු ලබනුයේ චිත්‍රපටයේ එන තිස්ස කයිසාරුවත්තගේ චරිතයට බෝගොඩගේ නමය. එය ස්ථිර විය. ලෙස්ටර් විසින් ‘බෝඩිංකාරයෛී’ නාට්‍යය බලා එහි රඟපෑ ටෝනි රණසිංහ බලදේවගේ චරිතයටත්, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර විජේගේ චරිතයටත් තෝරා ගත්තේය.

බෝගොඩගේ ඉගෙනීමට තිබු දක්ෂතාව සාහිත්‍යයට, කලාවට හා ද්වි භාෂා දැනුම නිසා ඔහුට 1960 වසරේ ලංකා බැංකුවේ විදේශ අංශයේ උසස් නිලයකට පත් විය. මේ අතරතුර බෝගොඩ වේදිකාවේ කැපී පෙනෙන රංගධරයකු විය. තට්ටු ගෙවල්, හරිම බඩු හයක්, හෙලේ නැග්ග ඩෝං පුතා, රන්තෝඩු, නිල්කටරොල් මල්, සහන් එළිය, ඔන්න බබෝ ඇතින්නියා, තාත්තා, තුරඟ සන්නිය, කැලණි පාලම යන වේදිකා නාට්‍යවල ඔහු විවිධ චරිත රඟපෑවේය.

වික්‍රම බෝගොඩ මුල්වරට ප්‍රධාන චරිතයක් රඟපෑවේ 1967 ඩී. බී. නිහාල්සිංහයන්ගේ ‘කෙටිකතාව’ නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමාස්කෝප් විත්ති කතා චිත්‍රපටයේය. ඔහු එහි රඟපෑවේ ශ්‍රියාණි අමරසේන සමඟය.

‘ගම්පෙරළියෙන්’ ඇරැඹෙන වික්‍රම බෝගොඩගේ රංගන ජීවිතය ‘යුගාන්තය’ චිත්‍රපටයෙන් නිමාවට පත් විය. එහි තවත් විශේෂයක් ඇත. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතා (ගම්පෙරළිය – කලියුගය – යුගාන්තය) ඇසුරෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ත්‍රිත්වයේම තරුණ වියේ සිට මහලු විය තෙක්ම එහි එන තිස්ස කයිසාරුවත්තගේ චරිතය රඟපෑමය. ලෝක සිනමාවේ ද දුලබ සිද්ධියක්.

බෝගොඩ රඟපෑ චිත්‍රපට මෙසේය. ගම්පෙරළිය 1963, ආදරයයි කරුණාවයි (1965), දෙලොවක් අතර, කිංකිණි පාද (1966), ගොළු හදවත (1968), බිනරමලී (1969), කලණ මිතුරෝ, සමනළ කුමරියෝ (1971), හත්දින්නත් තරු (1973), අහස් ගව්ව (1974), පළඟැටියෝ (1979) , රන් එතනා (1983), කලියුගය (1983), යුගාන්තය (1985).

වික්‍රම බෝගොඩ ටෙලි නාට්‍ය නළුවකු ලෙස මායා මන්දිර, නේරංජනා, සුභ ප්‍රාර්ථනා යන ටෙලි නාට්‍යවල රඟපෑ අතර සෝමවීර බෝපිටියගේ ‘අන්තිම දා’ කෙටි චිත්‍රපටයේ ද රඟපා ඇත.

කිසිදා ප්‍රසිද්ධියක් පසුපස නොගිය බෝගොඩගේ ඡායාරූප සහ විශේෂාංග පළ වී ඇත්තේ ඉතාමත් අල්ප වශයෙන්. පොත් කියවීමේ අසීමිත පිපාසයෙන් පසු වූ ඔහු මිය යනතුරුම පොත් කිය වූ සැටිත්, ඉංග්‍රීසි සිංහල පොතපතින් පිරුණු අල්මාරි කිහිපයක්ම තම නිවෙසේ කන්තෝරු කාමරයේ තිබූ බව ඔහුගේ ආදරණීය බිරිඳ ස්වර්ණා සඳසීලී අප සමඟ පවසා තිබුණාය. ධනවත් පවුලක ඉපදුණ ද ඔහු ජීවිතයේ අන්තිම කාලයේ තමා විසින්ම මොරටුවේ අක්කර තුනකටත් වඩා වැඩි නදීබඩ වත්තේ තැනු නිවාඩු නිකේතනයකට වී පොත් කියවමින් ද බෞද්ධ පොත පත කියවා ඇත්තේ එහි පරිපාලනය තම බිරිඳට හා දියණියට පවරමිනි. ඒ අතර බණ්ඩාරවෙල ‘රමණී ගෙස්ට් හවුස්’හි ද අධිපති බෝගොඩ යුවළය.

ඔහුගේ පියා විදුලි බල මණ්ඩලයේ අධිකාරිවරයකු ලෙස කටයුතු කොට ඇති අතර මව විදුහල්පතිනියක වූවාය. තාත්තාගේ බාල සොහොයුරු (බාප්පා) හිටපු විභාග කොමසාරිස්වරයකු හා හිටපු රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයකු වූ අභාවප්‍රාප්ත බෝගොඩ ප්‍රේමරත්න මහතාය.

තම චිත්‍රපට ජීවිතයේ අමරණිය සිනමා රංගනය ‘ගොළු හදවතේ’ සුගත් බව බෝගොඩ පවසා ඇත.

‘ගොළු හදවතේ පාසල් දර්ශන රූගත කළේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ. මාත්, තිස්ස අබේසේකරත්, ප්‍රේමරංජිත් සමඟ ඉගෙන ගත් පන්ති කාමරේමයි. මගේ සිත එදා 1957 යුගයට ගියා. ‘ගෙළු හදවතේ’ ෂූටිං බලන්න නිතිපතාම වගේ ඇවිත් සරසවිය පත්‍රයට අපූරු විශේෂාංග ලිව්වේ සිරි කහවල. අපි එදා ලෙස්ටර්, සුමිත්‍රා, ජයලත්, අනුලා, ආනන්දත්, සුදේශ් ගුණරත්න ආදීන් සමඟ ගත කළ රසවත් කාලය ජීවිතයෙන් උපුටා දැමිය නොහැකි ලෙස මතකයේ රැඳී තියෙනවා’ වරක් බෝගොඩ අපට කීය.

බෝගොඩ මියගිය දිනයේ ඔහු සමඟ මුල සිටම වේදිකාවේත් සිනමාවේත් රඟපෑ අනුලා කරුණාතිලක (රණවීර) කීවේ ඔහුගේ වියෝවෙන් තම එක කුස උපන් සොහොයුරෙකු නැති වූ බව දැනුණ බවය.

‘මම ඔහුට කතා කළේ ‘බෝ’ කියලා. අපි දෙන්නා ‘රන්තෝඩු’ නාට්‍යයේ ටෝනිත් එක්ක ප්‍රධාන චරිත රඟපෑවා. ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ මම ලැයිසා. ‘බෝ’ තිස්ස ලෙස රඟපෑවේය. ‘ගොළු හදවත’ චිත්‍රපටයේ මා රඟපෑ දම්මිගේ චරිතය මතුව ආවේ ‘බෝ’ රඟපෑ සුගත්ගේ චරිතය නිසා. මේ රූපගත කිරීම්වලට මගේ සැමියා දයා රණවීරත් සම්බන්ධ වුණා. දයාත්, සිරි කහවලත් ආනන්දයේ එකම පන්තියේ ඉගෙන ගත්තේ. තමන්ට පාසලේ සිංහල ඉගැන් වූ ඩී. බී. කුරුප්පු මහතා ගැන ඒ දෙන්නා කතා කරන කොට බෝගොඩ හරි උනන්දුවෙන් අහගෙන හිටියේ. මගේ සැමියාත් ‘බෝ’ අද ජීවතුන් අතර නැහැ. ඔවුන් දෙදෙනාම හොරු අරන් ගිහින්’ අනුලා සංවේගයෙන් පැවසුවාය.

1940 ජුනි 10 වෙනිදා මහනුවර හිඳගල උපත ලැබූ දොන් වික්‍රම බෝගොඩ 2013 වසර ජනවාරි 14 ජීවිතයෙන් සමුගත්තේය.

ඒ.ඩී.රන්ජිත් කුමාර 
ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.