ලංකා TV අන්දරය

ජුනි 20, 2019

පාලිත පළමු විස්තර විචාරක වේ

ක්‍රිකට් වසන්තය යළිත් උදා වී ඇත. 2019 අයිසීසී ලෝක ශූරතාවය කුමන කණ්ඩායම විසින් දිනා ගනීවිද? ලෝකය වටා සිටින මිලියන ගණනක් ක්‍රිකට් ලෝලීන්ගේ සිතට වද දෙන ප්‍රශ්නයකි. 1996 ලෝක ශූරතාවය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනාගත් පසුව ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරනු ලබන දේශීය ප්‍රේක්ෂක පරාසය අද වන විට පුළුල් වී ඇති බව සහේතුකය. ක්‍රිකට් ක්‍රීඩාව ලෝක පරිමානයේ ජනප්‍රියවීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ රූපවාහිනී මාධ්‍යය තුළින් ක්‍රිකට් තරඟ විකාශය කිරිම ආරම්භ වීම වේ. අද එම මාධ්‍යයේ තාක්ෂණික දියුණුව, ක්‍රිකට් ක්‍රිඩාවේ නිවරැදි බව සහ සාධාරණත්වය ඔස්සේ එය මහතුන්ගේ ක්‍රීඩාවක් වශයෙන් තවදුරටත් සමාජගත කිරීම උදෙසා විශාල දායකත්වයක් සපයයි. මෙයට සමාන්තරව ක්‍රිකට් තරඟ විකාශය කරනු ලබන රූපවාහිනී නාළිකාවන් සහ බහුජාතික සමාගම් රක්ෂණය වීමේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වශයෙන් ද එය සැලකිය හැකිය.

අප රටට රූපවාහිනී මාධ්‍යය හඳුන්වා දීමට පෙර අවධියේදී එම මාධ්‍යයේ අඩුව පුරවාලමින් ගුවන් විදුලි මාධ්‍යයෙන් ක්‍රිකට් තරඟ විස්තර විචාරයන් ඇසීමට ගුවන් විදුලි යන්ත්‍රය වෙත ළං වූ ජනතාවට එම තරඟවල ජීව ගුණය ආරක්ෂා කර දෙමින් එහි ශ්‍රව්‍ය (දෘශ්‍ය) විස්තර විචාරයක් අනවරතව සන්නිවේදනය කිරීම පිණිස පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ යන ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාර දෙපළ විසින් කරන ලද ඓතිහාසික මෙහෙවර සදා අමරණීය වේ. මෙයට සමාන්තරව ප්‍රවීණ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ගේ පියාණන් වූ ලූෂන් ද සොයිසා සහ බර්ටි විජේසිංහ යන ක්‍රිකට් විස්තර විචාරකයින් දෙදෙනා විසින් ඉංග්‍රීසි ශ්‍රාවකයින් වෙත කරන ලද මෙහෙවර ද අපට අමතක කළ නොහැකි මාධ්‍ය සිහිවටන වේ.

1982 වසර ජාතික රූපවාහිනී ආයතනය පටන් ගත් වසර සේම දේශිය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ද එය අතිශය වැදගත් වු වසරක් විය. එයට හේතුව නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් වරම් ලබාගෙන සහභාගි වූ පළමු ක්‍රිකට් තරගය පවත්වනු ලබන්නේද එම වසරේදී වීමය. එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී දිසානායක අමාත්‍යවරයාගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ටේස්ට් වරම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම තරඟයකට මුහුණ දුන්නේ ද ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයාට බෝ කළ එංගලන්තය සමඟ වීම තවත් සුවිශේෂී කරුණක් වේ. 82 පෙබරවාරි 15 වන දින ජාතික රූපවාහිනිය පටන් ගත් දිනයට හරියටම දින දෙකකට පසුව එනම් පෙබරවාරි මස 17 වන දින ඓතිහාසික පළමු ටෙස්ට් තරගය ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගනයේදී ආරම්භ විය. ටෙස්ට් තරඟයකට සහ සීමිත ඕවර තරඟ දෙකකට සහභාගි වීම පිණිස ශ්‍රි ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායමට කීත් ප්ලෙචර් නායකත්වය දුන් අතර කෝඩුකාර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ බන්දුල වර්ණපුරය.

බහ තෝරන වියේ පසු වූ ජාතික රූපවාහිනියට අභියෝග භාර ගැනීමට වයස ගැටලුවක් නොවීය. ඕනෑම අභියෝගයක් භාරගෙන එය ජයග්‍රහණයෙන් නිමා කිරීම සඳහා කැප වු නිෂ්පාදන සහ තාක්ෂණික කණ්ඩායමක් දිවා රෑ නොබලා වැඩ කිරීමට පේවී සිටියේය. අප රටට ඓතිහාසික වූ මෙම අවස්ථාව මුළු මහත් ශ්‍රි ලාංකික ජාතියටම නැරඹීමට සැලැස්වීම සඳහා ජාතික රූපවාහිනිය වැඩේට බැස්සේය. අද ක්‍රිකට් තරඟයක් විකාශය කිරීම සඳහා රූපවාහිනී කැමරා අවම වශයෙන් 15-20 ක් පමණ භාවිතා කළ ද පළමු ටෙස්ට් තරඟය ජනතාවට පෙන්වීම පිණිස රූපවාහිනිය සතු වූයේ කැමරා තුනක් පමණි. නමුත් එම අඩුව ප්‍රේක්ෂක ජනතාවට නොපෙනී ගියේ එය ඔවුනට නැවුම් අත්දැකීමක් වූ හේතුවෙනි. ඕනෑම ක්‍රීඩාවක් කිරීමට කැමරා ශිල්පියාගේ දක්ෂතාවයට අමතරව එම ක්‍රීඩාව පිළිබඳව යම් අවබෝධයක් ද ඔහු සතුව පවතී නම් එය නිවැරැදිව රූපගත කිිරීම සඳහා මනා ශක්‍යතාවයක් ඔහුට ගෙන දේ. ක්‍රිකට් ක්‍රීඩාවේ නම් පිතිකරුවකු පන්දුවට පහර දෙන දිශානතිය පිළිබඳව යම් වැටහීමක් එය රූපගත කරන කැමරා ශිල්පියා සතුව පැවතීම හේතුවෙන්, පන්දුව පිටුපස තමන්ගේ කැමරාව නිසියාකාරව ධාවනය කිරීමට ඔහුට හැකි වේ.

82 පළමු ටෙස්ට් තරඟයේ රිද්මය ප්‍රේක්ෂක ජනතාව වෙත අඛණ්ඩව ගෙන ඒම සඳහා එම්. ඩී. මහින්දපාල, ජයනිමල පෙරේරා, ගිහාන් සමරනායක යන කැමරා ශිල්පීහු අති දක්ෂ වූහ. කැමරා තුනකින් පමණක් එම තරඟය රූපගත කිරීමට ජාතික රූපවාහිනියට සිදු වුවත්, අදට සාපේක්ෂව එම රූපවාහිනි නිෂ්පාදනයේ ද විශාල වෙනසක් නොමැති බව අප හට පසක් වන්නේ එම කැමරා ශිල්පීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම ඒ සඳහා දැක් වූ සුරුවිරුකම් නිසාවෙනි. මෙය තරඟය ආවරණය කිරීම සඳහා එංගලන්තයෙන් පැමිණි සුද්දන් ද විස්මයට පත් කළ කරුණක් විය. (එම තරඟයේ කොටස් කිහිපයක් යූ ටියුබ් එකට අන්තර්ගත වී ඇත). මෙම තරඟයේ විස්තර විචාරක වූ පාලිත පෙරේරා දේශීය රූපවාහිනී මාධ්‍යයේ පළමු ක්‍රිකට් විස්තර විචාරක වශයෙන් ඉතිහාස ගත වන්නේ ජාතික රූපවාහිනියේ පළමු වැඩසටහන් ඉදිරිපත් කළ පූරක යන නාමයට අමතරවය.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.