ඔබට තියෙන ආදරේ

ජුනි 20, 2019

1960 වර්ෂය අවසන් භාගයේ සිට හැත්තෑ දශකයේ අවසන් භාගය දක්වා, කණ්ඩායම් ගී රැල්ලක් බිහීවී එය ප්‍රබලව ප්‍රචලිත විය. කැලිප්ස්සෝ ගීත කණ්ඩායම්, මෙන්ම විදුලි භාණ්ඩ සංගීත කණ්ඩායම් නොහොත් 'බීට් බෑන්ඩ්' කණ්ඩායම් ගනනාවක් බිහිවූ අතර ඒ තුළින් සුන්දර,ජනප්‍රිය ගීත රැසක් බිහිවිය. බොහෝ ශ්‍රාවකයන් කන්ඩායම් ගීත හා දැඩිව බැඳෙන්නට වූ අතර, එය එකල 'ෆැෂන්' එකක් මෙන් විය.

'හතර දෙනාම සූරයෝ" චිත්‍රපටයෙන් ලද මෙගා සාර්ථකත්වයෙන් පසු , එයට හාත්පසින් වෙනස් චිත්‍රපටයක් කිරීමට නීල් රූපසිංහට උවමනා විය. චිත්‍රපට මෙන්ම සංගීතයටද දැඩිව ප්‍රිය කරන නීල් රූපසිංහගේ අවධානය මේ කණ්ඩායම් ගී රැල්ලට යොමු විය. මේ තුළින් හොඳ විනෝදාත්මක සංගීතමය චිත්‍රපටයක් කිරීමට හැකි වේ යැයිද, දැං තියෙන මේ සංගීත කණ්ඩායම් 'ස්ටයිල්' එකට අනුගත වු⁣වහොත් ප්‍රේක්ෂකයන් එය වැළද ගනීවියැයි ඔහුට විශ්වාසයක් තියෙන්නට ඇත.

රිකී සංගීත කණ්ඩායමක ගායකයෙකි. වැලැන්ටිනෝ ඩ්‍රම්ස් වාදනය කළ අතර, ශෝට් ගිටාර් වාදනය කළේය. පේඩ්‍රෝ සැක්සපෝන් වාදකයාය. දීපාද මෙම සංගීත කන්ඩායමේ සමාජිකාවක් ලෙස හැදින්වූවද, ඇය ගැයූ ගීතයක් නම් නැත. ඇය කළේ සමාජශාලාවතුළ හිදගෙන සිටීමත්, රිකීට ආදරය කිරීමත් පමණි.

කථාවේ ආරම්භයේ සිටම ඔවුනගේ සංගීත කණ්ඩායමට හෝටලයක නිත්‍ය ලෙස සංගීතය සැපයීමට කොන්ත්‍රාතුවක් ලැබී තිබුණි. රිකී එතරම් උනන්දුවකික් එහී ගී ගයන බවක් මුල සිටම නොපෙන්විය. දීපා කොන්ත්‍රාත්තුවේ වගකීම රිකීට ⁣පෙන්වා දුන්නද, රිකී කියන්නේ, ඔහු ගීත ගයන්නේ දීපලාට සපෝට් එකකට නිසා කියාය. ඒ කෙසේ වෙතත් හෝටලයට එන සංගීත රසික රසිකාවියන් ඉල්ලන්නේ රිකීගේ ගීතයි.

රිකී හා දීපාගේ ආදරයද මේ සමඟම ගලා යන්නට විය. නීල් රූපසිංහ තම චිත්‍රපටය තුළට සංගීතය මෙන්ම ආදරයද ඇතුල් කරන්නට උත්සහා කලේ ඒ ආදරය සංගීතවත් කරමිනි. එය ⁣සාධාරණය. හේතුව ඔහු 'ආදරේ හිතෙනවා දැක්කම' තුළින් කියන්නට සැරසුණේ සංගිතමය ආදර කථාවක්ය. එයට ඔහු ආදරණීය සංගීතයක්ද එකතු කරන්නට උත්සහා කළේය. රිකීගේ හා දීපාගේ ආදරය හරහාද ඒ සංගීතය මතු කළේය.

"දෑසෙ විමන් දොරින්, 
සිහින විමන් ⁣තිරෙන් 
නික්මී ගොළු බසින්, 
පරෙවි රැජිනලෙසින් 
ඔබ පියඹා ගොසින්

පැහැය සුවඳ ඇති 
සිහින් සිනිඳු පෙති 
රේණු සැලෙන මුදු 
පිපුණු මලක් බඳු"

රිකී ගේ හා දීපාගේ ආදරය එසේ සෙමෙන් ගලාගෙන ගිය අතර, ඇමරිකාවේ සිට රෝමා නම් ඇමරිකා ලංකා සම්මිශ්‍රණයකින් යුත් රූමත් තරුණියක් හෝටලයේ නවාතැන් ගතී. සියල්ලෝම මුලින්ම සිතුවේ ඇය සුදු කතක් කියාය. එහෙත් ඇයට හොඳට සිංහල කථාකරන්නට පුළුවන් විය. රිකීගේ අවධානය මෙම තරුණිය වෙත යොමු වන්නට පටන් ගති. ඇයද රිකීගේ ගීත වලට වශී වී සිටියාය. ඇය ඔහුට තම කාමරයටද එන්නට කියා ආරාධනා කළාය. එලෙසම ඇය තම පියාට ඇමරිකාවේ ගීත බෙදාහැරීමේ සමාගමක්

තිබෙන බවක් කියා, රිකීගේ ගීත ඒ හරහා මුලු ලෝකයටම ප්‍රචාරය කරන බවක් කීය. මේහෙයින්, රිකී ,දීපාගෙන් ටිකෙන් ටික ඈත් වී රෝමා සමඟ විනෝද වන්නට විය. දීපා කීප විටක්ම රිකීගේ පස්සෙන් ගියද, රිකී දීපාව මග හැරීය. මග හැරියා පමණක් නොව, කණ්ඩායමේ ගීත ගැයීමද අතපසු කෙරීය.

මේ නිසා, කණ්ඩායමේ සාමාජිකයන් වූ පේඩ්‍රෝ, වැලැන්ටිනෝ, ශෝට් , දීපා පමණක් නොව හෝටලේ කළමනාකරුවන් වූ ටෝනී සහ මොරිස්ද වැටුණේ විශාල අමාරුවකය.

පේඩ්‍රෝ, රිකී සමඟ කොකු දා ගෙන එකිනෙකාට නෙලා ගනී. මෙම සටන් ජවනිකාවල අර්ථයක් නැත. ඔහේ ගහ ගනී.

රිකී ගී ගැයීමට නොපැමිණෙන හෙයින්, පේඩ්‍රෝ විසින් තම හිතවත් ගායක මිතුරෙක්ව එතැනට ගෙන එයි. ඔහු ප්‍රේම කුමාරය. වැ⁣ලැන්ටිනෝ ඔහුට කියන්නේ සෙවල කුමාර කියාය. ඒ ඔහු දකින දකින කෙල්ලො පස්සේ යන නිසාය. ඔහු ඉතා කඩවසම් තරුණයෙකි.

"මුතු මිටක් පිරී ඇත්තේ 
මල් ගොඩක් පිපී ඇත්තේ 
මිණි කැටත් සොයා ගත්තේ 
අඩුවකුත් මෙහී නැත්තේ

පිපි රිදී කැළුම් දෙන්නේ 
විහිදලා සුවඳ යන්නේ 
බල බලා මවිත වන්නේ 
කෙහොමද තෝරා ගන්නේ"

දැන් රිකී ,රෝමා පස්සේමය. දීපා රිකීට කථා කිරීමට ගියද ඔහු දීපාට කියන්නේ තමාට දීපා සමඟ කිසිදු කථාවක් නැති බවය. මේ හේතුව නිසා, වැලැන්ටිනෝ දීපාට කිට්ටු වෙන්නට බලයි. රිකීට රිදවන්නට උවමනා නිසා දීපා වැලැන්ටිනෝ සමඟ රිකි හා රෝමා යන එන තැන් වලට යයි. එහෙත් රිකීට රිදුනු බවක් නම් පෙනෙන්නට තිබුණේ නැත.

රිකි හා රෝමා හැම හැන්දෑවකම එක එක විචිත්‍රාංග සංදර්ශන තිබෙන සමාජශාලාවලට යයි. නීල් රූපසිංහ, එකල ජනප්‍රියව තිබූ හැම සංගීත රටාවක්ම චිත්‍රපටයට ඇතුළත් කර තිබුනි. ළමා ගායිකාවක් ලෙස කලඑළි බැසූ, ශිරෝමි ප්‍රනාන්දු, ඔය කියන වකවානුව තුල ළමයින් අතර පමණක් නොව, වැඩිහිටියන් අතරද ඉමහත් ජනප්‍රියත්වයට පත්වී තිබුණි. ශිරෝමි ගී ගයන තැනකට දෙමාපියන් ළමයින්ව රැඟෙන යන මෝස්තරයක් එකල මැවී තිබුණි. ළමයින්ද ශිරෝමි ගී ගයනවා නම් තම දෙමාපියන්ට කරදර කර හෝ එය බලන්නට යයි. නීල් රූපසිංහ මේ ශිරෝමි ට්‍රෙන්ඩ් එක හොඳට අඳුනාගෙන තිබුණි. එහෙයින් ඔහු ශිරෝමි ගේ ගීතයක් ඇය සජීවීව රඟමින් ගායනා කරන අන්දම තම චිත්‍රපටයට ඇතුළත් කළේ රිකීහා රෝමා බැලීමට යන හෝටල් සමාජශාලා සන්දර්ශන හරහාය.

"ආකාසේ රැස් විහිදා 
ඉර පායා එන්නේ 
හඳහාමි රංතැටියේ 
කිරියි පැණියි දෙන්නේ 
අපි වාගේ පුංචි ළමුන්ටයි 
අපි වාගේ පුංචි ළමුන්ටයි"

දැන් ප්‍රේම කුමාර, දීපලාගේ සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා වී හමාරය. දීපා නිතරම දුකෙන් සිටින බවක් දුටු ප්‍රේමකුමාර දීපාගෙන් එය අසන්නේ ඇය ගැන සිතේ ප්‍රේමවන්ත හැඟීමක් ඇතිකරගෙනමය. දීපා ගැන එම ප්‍රේම හැගීමම වැලැන්ටිනෝද ඇති කර ගෙන තිබුණි. වැලැන්ටිනෝ මුලින් ඉසබෙලා පස්සේ ගියේය. ඒත් ඉසබෙලා ෂෝට් සමඟ යහළු විය. රිකී ගෙන් ගිලිහුණු දීපාට වැලැන්ටයින් ළංවෙන්න බැලුවේ ඒ නිසාය. ප්‍රේමකුමාර දීපාට 'ට්‍රයි' කරන එක වැලැන්ටිනෝට ඇල්ලුවේ නැත. ඔවුන් දෙදෙනා ගෝරියකට පැටලුනේ ඒ නිසාය. අවසානයේ පේඩ්‍රෝ පැමිණ එය බේරා දැමූයේය.

දිනක් ප්‍රේමකුමාර ගී ගයන වේලේ, රිකී හා රෝමා හෝටලේ සමාජශාලාවට පැමිණියහ. දීපාද එහී සිටියාය. ප්‍රේම කුමාර හරි අපූරු ගීතයක් ගැයුවේය.

"සයිමන් අයියයි, මාටින් අයියයි හරිම යාළුවෝ දෙන්නා 
ගමන් බිමන් කන බොන දේ එකටයි 
එක වගෙ අදින්නෙ දෙන්නා

ප්‍රේම කුමාර එම ගීතය අකාර්ෂණීය අන්දමට ගැයූ අතර එය බලා සිටි රෝමා එම ගීතයටත්, ප්‍රේම කුමාරගේ කඩවසම් රූපයටත් වශී විය. ගීතය නිමකෙරු ප්‍රේමකුමාරට ඇය තම මේසයට එන ලෙස ආරාධනා කළේ රිකීත් ඇය සමඟ සිටින විටමය. ප්‍රේම කුමාර පැමිණ ⁣එම මේසයේ හිඳ ගැන්මට යන විටම රිකීගේ මුහුණ ඇඹුල් විය . ඒ දෙස බලා සිටි දීපාගේ මුහුණේ නැගුණේ සමච්චල් සිනාවකි. රෝමා ප්‍රේමකුමාරට රිකී ඉදිරිපිටම තම කාමරයට ආරාධනා ක⁣ළාය. රිකී එයින් තිගැස්සුනි. ප්‍රේමකුමාර ඒ ඇරයුම ආදරයෙන් පිළිගති. පිළිගත්තා පමණක් නොව ඇය සමඟ කාමරයටද ගියේය. රිකී ට වුණේ අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් දෙකම නැතිවුණා වගේ දෙයක්ය. මේ සියලු දේ දෙස උපේක්ෂාවෙන් බලාසිටියේ දීපාය.

නීල් රූපසිංහ මෙම චිත්‍රපටයට විවිධ අකාර්ෂණීය ක්‍රමවේද භාවිතා කළේය. බයිලා චක්‍රවර්ති එම්.එස්.ප්‍රනාන්දු ව හෝටලයේ සමාජශාලාවේ සජීවීව ගී ගැයීමට එකතු කර ගත්තේ චිත්‍රපටය තව තවත් විචිත්‍ර කිරීමට විය හැක.

"ඔබට තිබෙන ආදරෙ මම කියාලා දෙන්න 
ගසක තිබෙන තල් කොල මදි ලියාලා දෙන්න 
ඔය ලස්සන සිනහව මොහොතකට දකින්න 
කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉඟිලිලා එන්න"

දැන් රෝමා රිකී⁣ගෙන් මිදී ප්‍රේම කුමාරගේ ඇසුරේය. එදා රිකී සමඟ ගිය තැන් අද ඇය යන්නේ ප්‍රේම කුමාර සමඟය. ප්‍රේම කුමාරගේ මෝටර් බයිසිකලයේ නැගී ඔවුන් දෙදෙනා යන්නේ කුරුල්ලයි,කිරිල්ලියි වාගේය.

"රෑ දවල්, මල් හැඟුම් ඉඟි පානා 
මනරම් සිහිනෙකි මට පේනා 
ලල් ලල ලල් ලල ලා ලා 
ලල් ලල ලල් ලල ලා ලා

දැන් ප්‍රේමකුමාර පැණි හැලියකට වැටුණු ඇඹලයෙක් මෙන් රෝමා සමඟම ඇලී ගැලී සිටියේය. ප්‍රේමකුමාර ගී ගයන හැම අවස්ථාවකම රෝමා අනිවාරයෙන්ම හෝටලයේ සමාජශාලවේ සිටියාය.

"ආදරවන්ති ලස්සන ආදරවන්ති 
රන් කළයෙන් දිය නෑවද ආදරවන්ති 
ආදරවන්තී ලස්සන ආදරවන්ති 
සෝක නිවන අසෝක මල ආදරවන්ති"

⁣ෂෝට් ගේ හා ඉසබෙලා⁣ගේ ලව් එකද සක්‍රීය ලෙස ගියද, දිනක් ඉසබෙලා ෂෝට්ට හා වැලන්ටිමෝට එන්න කියා ඇයගේ සැමියාව හඳුන්වා දුන්⁣නාය. ඉසබෙලා දෙන්නාටම 'බූට්' එක දුන්නේ එසේය. මෙයින් ඉසබෙලා ට දෙන්නාම ලව් කරන්නට ගොස් ඇතිවුණු විරසකය නැති කරගත් ෂෝට් හා වැලැන්ටිනෝ එවලේ සිටම හොඳ මිතුරන් විය.

දීපාගේ අගය රිකීට වැටහුනේ රෝමා ඔහුව අත්හැර ප්‍රේමකුමාර සමඟ ගිය විටය. එක දිනක් සමාජශාලාවේ ගී ගැයීමට ප්‍රේම කුමාර පැමිණියේ නැත. ගී ගැයීමට කිසිවෙක් නොමැති ඒ අසීරු අවස්ථාවේ කිසිවෙක් බලාපොරොත්තු නොවු ලෙස රිකී ගී ගැයීමට පැමිණියේ දීපාවත් පුදුමයට පත් කරමිනි. රිකී ගීතය හරහා දීපාගෙන් සමාව ඉල්ලීය.

"මගෙ ජීවිතයම වටහා ගන්නට  
බැරි ලොකු සිහිනයකි  
මොනවා කරමිද, මොනවා කියමිද  
නොදැනෙයි පුදුමයකි

ටෝනි, හා මොරිස් පේද්‍රෝ සමඟ එක්වී රෝමාව පැහර ගෙන ගියේ ඔය අතරෙදීය. එම සැලැස්ම හොරෙන් අසා සිටි දීපා, එය රිකීට කීවේ කෙසේ හෝ ගොස් රෝමාව බේරා ගැන්මට කියාය. රිකීට, ප්‍රේම කුමාරත්, වැලැන්ට්නෝ හා ෂෝට්ද එකතුවිය. දැන් මේ කණ්ඩායම ටෝනි, මොරිස්, පේද්‍රෝ ඇතුළු අයත් සමඟ දිගු ගුටි ඇණ ගැන්මකින් පසු ටෝනී, මොරිස් ඇතුළු පිරිසට පණ එපා කියා දුවන්නට සලස්වා රෝමාව බේරා ගති.

රෝමා රිකීට හා ප්‍රේම කුමාරට කීයේ, ඇය ඔවුන් දෙදෙනාගේම ගායන ශෛලයටත් ඔවුන් දෙදෙනාටත් ආදරය කළ බවත්,ඇය පසුදින ඇමරිකාව බලා යන බවත්ය. ඇය දීපාගෙන් සමාව ඉල්ලීමටද අමතක නොකළාය. අවසානයේ රිකී, දීපා, ප්‍රේමකුමාර, වැලැන්ට්නෝ හා ෂෝට් ගුවන් තොටුපොලට ගොස් රෝමාව හැරලුහ. ආපසු එන විට, ප්‍රේමකුමාර ,වැලන්ටිනෝ හා ෂෝට්ට පයින් එන්නට සලස්වා රිකී හා දීපා පමණක් කාරයේ එක්ව ගියහ.

රිකී ලෙස ගාමිණී ෆොන්සේකා රඟපෑ අතර,දීපා වූයේ මාලනී ෆොන්සේකාය. විජය කුමාරණතුංග ප්‍රේම කුමාර ලෙසත්, කැරල් ෆින්ඩර් රෝමා ලෙසත් රඟපෑහ.

වැලැන්ටිනෝ මෙන් ඇන්තනී සී පෙරේරාද, ෂෝට් ලෙස ගුණපාල වීරසේකරද, පේඩ්‍රෝ ලෙස ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුද හෝටල් මැනේජර්ලා ලෙස ටෝනි රණසිංහ, හා මොරිස් දහනායක ද ඉසබෙලා ලෙස නිම්මිද රඟපෑමට එකතු වී තිබුණි.

ආරියරත්න කහවිට තිර නාටකය ලියූ අතර ලෙනින් මොරායස් කැමරාව මෙහෙවිය. සංගීතය පී.එල් ඒ සෝමපාල වූ අතර, ගී පද කරුණාරත්න අබේසේකරය.

එච්.ආර්.ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක, එම්.එස්.ප්‍රනාන්දු,

මොරිස් දහනායක, මිල්ටන් මල්ලවආරච්චි, ශිරෝමි ප්‍රනාන්දු ගී ගැයූහ.

හැත්තෑ දශකයේ තාරුණ්‍යට ඔබින සංගීතමය ආදර කථාවක් වූ "ආදරේ හිතෙනවා දැක්කම" ප්‍රේක්ෂකයන් බැන බැන, ආයෙත් නැවත නැවත බැලූ චිත්‍රපටයක් ව්ය.

ලාංකේය සිනමාවට සංගීතමය චිත්‍රපටයක් එකතු කළ නීල් රූපසිංහ නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කළ 'ආදරේ හිතෙනවා දැක්කම" තිර ගත කිරීම ආරම්භ කළේ 1972 මාර්තු 11වනදාය.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ) 
ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.