ලංකා TV අන්දරය

ජූලි 11, 2019

දිමුතු මුතු ගැන තවත් දුරට...

ඕනෑම කලා නිර්මාණයක් එහි උපත සිදු වූ තත්කාලීන ඉතිහාසය ද ප්‍රතිබිම්භනය කරන්නා සේම දිමුතු මුතු ටෙලි නාට්‍යය ද 80 දශකය මුල් කාර්තුවේදී පැවැති ලාංකික සමාජයේ යම් පැතිකඩක් නිරූපණය කරනු ලබයි. මිතුරෙකු සේ තමන් සමඟ නිරතුරුව රැඳි ගුවන් විදුලියෙන් තමාගේ රසිකත්වය පෝෂණය කර ගත් ජනතාවට එම මාධ්‍යය අතැර රූපවාහිනී මාධ්‍යයට මෙන්ම කැසට් මාධ්‍යයට පියමං කිරීම සඳහා උත්තේජනවත් පරිසරය සැකසෙන්නේ ද මේ කාල වකවානුවේදීය. මෙය යථාරූපීව දිමුතු මුතු ටෙලි නාට්‍යයේ නිරූපණය වේ. තමාට ඔසවා ගැනීමටත් නොහැකි වූ ටූ ඉන් වන් කැසට් යන්ත්‍රය එක අතකින් ගෙන උජාරුවෙන් ගමට එන තරුණයා වන්දනාමාන කිරීමට ගැමියා බලා සිටියි. බුද්ධියට ගරු කළ සමාජයෙන් විතැන් වී විවෘත ආර්ථිකයේ බල මහිමයෙන් භෞතික සම්පත්වලින් ආඪ්‍ය වූ ප්‍රාදූර්භූත වූ මිනිසාට ගරු කිරීමේ සමාජයක ප්‍රාරම්භය මෙයින් සනිටුහන් වේ. දේශපාලනික සහ සමාජීය වශයෙන් ඓතිහාසිකව සිදු වූ මෙම පරිවර්තනය දිමුතු මුතු ටෙලි නාට්‍යයෙන් ප්‍රකාශ නොවීම එහි අන්තර්ගතයේ දුර්වලතාවයක් ලෙස සැලකිය හැකිය. (ඉදිරි දිනයකදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ධම්ම ජාගොඩයන්ගේ පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය තුළින් මෙම දේශපාලන යථාර්ථය මනාව නිරූපණය වී ඇත) .

ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී සේවයට සමගාමීව පුද්ගලික රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදන ආයතන ද බිහි වන්නට පටන් ගත් අතර ඉන් ප්‍රධාන රූපවාහිනී ආයතනයක් වූයේ ඩි. බී. නිහාල්සිංහයන්ගේ අයිතිකාරත්වයෙන් ආරම්භ වූ ටෙලි සිනේ ආයතනයයි. මේ යටතේ රූපවාහිනී වැඩසටහන් සහ ටෙලි නාට්‍ය නිර්මාණය නිහාල්සිංහයන් අතින් සිදු වූ අතර, වෙළෙඳ දැන්වීම් නිර්මාණය ඔහුගේ සහෝදරයා වූ ඩී. බී. සුරනිමල අතින් සිදු විය. දිමුතු මුතු ටෙලි නාට්‍යය එම ආයතනයේ නිෂ්පාදනයකි. නිහාල්සිංහයන්ගේ අධ්‍යක්ෂණයෙන් එහි කැමරාව මෙහෙය වන ලද්දේ ඇම්. වී. හේමපාල (තලේ) කැමරා ශිල්පියා විසිනි. දිමුතු මුතු ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් ගෙන දුන්න ද, එම නිර්මාණය ඩී. බී. නිහාල්සිංහ නම් මහා සිනමාකරුවාගේ නිර්මාණ කෞශල්‍යයට නොපෑහෙන බව දිමුතු මුතු විචාරය කළ බොහෝ විචාරකයින්ගේ මතය විය. එයට ප්‍රධාන හේතුව වශයෙන් ඔවුන් සඳහන් කර සිටියේ කැමරා කෝණ භාවිතයේදී නිහාල්සිංහයන් විසින් දක්වන ලද දුර්වලතාවයයි.

සිනමා කැමරා භාවිතයේදී නිර්මාණකරුවාට අවශ්‍ය වන නළුවාගේ හෝ නිළියගේ සමීප රූපයක්, මධ්‍ය රූපයක් හෝ දුර රූපයක් ගැනීම සඳහා නිශ්චිත කාච කැමරාව ඉදිරියේ සවි කළ පසු අදාළ රූප රාමුව දර්ශන ගත කළ යුතු වේ. එය කැමරාව ඉදිරියේ රඟපාන නළුවා හෝ නිළියට තමාගේ රංගනය මනාව ඉදිරිපත් කිරීම සඳහා උපකාරී වේ. දුර රූපයකදී නළුවා හෝ නිළිය විසින් ඉදිරිපත් කරනු ලබන ආංගික අභිනය මධ්‍ය රූපයකදී හෝ සමීප රූපයකදී එයාකාරයෙන්ම නිරූපණය කිරීමට ඔහුට හෝ ඇයට නිදහසක් නොලැබේ. එහෙත් වීඩියෝ කැමරාවන් හි ඉහත රූප පෙළ (දුර, මධ්‍ය, සමීප) කාචයන් මාරු කිරීමකින් තොරව, කැමරාගත කිරීමට හැකි (සූමි) කාචය කැමරාවටම සවි කර ඇත. එබැවින් ටෙලි නාට්‍යකරණයට ප්‍රවේශ වූ බොහෝ නිර්මාණකරුවන් මෙම කාචය අනවශ්‍ය ආකාරයෙන් භාවිතා කර, රූප රාමුව ඉදිරියටත් පිටුපසටත් චලනය කරමින් දර්ශනගත කර ඇති අයුරු, ටෙලි නාට්‍ය ඉතිහාසය විපරම් කරන විට අපට පසක් වන කරුණකි. සිනමා කැමරාවේ ප්‍රවීණයෙකු වූ නිහාල්සිංහයන්ගේ අතට අසු වූ වීඩියෝ කැමරාව පරිහරණයේදි ඔහු අනුගමනය කරන්නට පෙලඹුණේද මෙම අනවශ්‍ය, නොගැළපෙන රූපගත කිරීම ද යන්න දිමුතු මුතු ටෙලි නාට්‍යය නැරඹීමේදී නිරීක්ෂණය වේ. විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක් වූයේ ද මෙම කරුණය.

වර්තමානයේදී වීඩියෝ කැමරා සඳහා, සිනමා කැමරාවේ මෙන්ම රූප රාමුවේ අවශ්‍ය ප්‍රමාණය දර්ශන ගත කිරීමට අනන්‍ය වූ කැමරා කාච වෙන වෙනම භාවිතා කරනු ලබනතර, අද මෙම මාධ්‍ය දෙකම සඳහාම බොහෝ විට භාවිතා කරනු ලබන්නේ ද එකම කැමරා වර්ගයකි.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.