උරේෂා චිත්‍රපට සියය පසුකරයි

ජූලි 11, 2019

මේ ජෝතිමත් ‘ජෝති රාත්‍රිය’ අපේ රටේ ශ්‍රාවක සිත් සතන් මන මෝහනීයත්වයට පත් කරපු කාලය. රටේ උන්මාදනීය ගායකයාගේ හඬ පෞරුෂ රැගෙන මේ රටේ නොයෙක් ගම් දනව් සිසාරා ජෝති රාත්‍රියේ නිත්‍ය නිවේදකයා ලෙසින් ධර්ම ශ්‍රී වික්‍රමසිංහත් සංචාරය කළා. මේ යුගය වන විට සිය බිරියට කුලුඳුල් දරුවා ලැබීමට සිටි නිසා ඇයව නිවසේ තනි නොකොට ජෝති රාත්‍රිය සමඟ ඇයත් රැගෙන යන්නට ඔහු කටයුතු කළා.

සැමියා නිවේදන කටයුතුවල යෙදෙන හැටිත්, ජෝති රාත්‍රියේ ගී ගයන ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක වැන්නන්ගේ ගීත අසමින් හැමදාමත් ඇය ඉදිරි පෙළ අසුනකට වී සිටියා. කුසයේ මෝරන සිඟිති කළල රුව මේ ගී හඬ මධ්‍යයේම දවසින් දවස සිඟිති අත පය සොලවමින් මිහිමත පය තබන්නට පෙරුම් පුරමින් සිටියා. ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල සිය මියුරු හඬින් ගීත ගයද්දී ඇගේ අත නිතැතින්ම සිය කුස මත රැඳුණා.

‘අනේ මටත් දියණියක් ලැබුණොත් ඇයත් මෙවන් ගායිකාවක් වුණොත් කෙතරම් අපූරුයිද’. මේ හැම රාත්‍රියකම සිය කුසයේ දඟලන ජීවියා මත අත තබමින් ඈ ප්‍රාර්ථනා කළා.

ඇගේ පළමු ප්‍රාර්ථනය හරියටම හරි ගියා. දස මසක ඇවෑමෙන් ඈ දියණියක ලැබුවා. දෙවැනි ප්‍රාර්ථනය වෙනුවෙන් ඈ තවත් ටික කලක් බලා සිටිය යුතුයි. ඒ මේ දියණිය කෙදිනක හෝ ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක වැනි වූ ගායිකාවක් වීමය. අද මේ මොහොත වෙන විට ඒ සියලු බලාපොරොත්තු ඈ සඵල කරගෙන හමාරයි. එදා ජෝති රාත්‍රියේ ගීත සිය මවු කුසයේ සිට වින්දනය කළ ඈ උරේෂා රවිහාරිය.

මේ මොහොත වන විට මෙරට අංක එකේ චිත්‍රපට පසුබිම් ගායිකාවක් බවට ඈ පත් වී හමාරය. අපේ කතාබහ සිදුවන මේ මොහොත වන විටත් ඈ චිත්‍රපට පහකට පසුබිම් ගීත ගයා හමාර කොට තිබුණා.

‘පහුගිය දවස් ටික ඇතුළත චිත්‍රපට පහකට පසුබිම් ගීත ගායනා කළා. ඒ අතරින් සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන ‘ගුත්තිල’ චිත්‍රපටයේ ගීතයට මම හරිම කැමතියි. හරිම ලස්සන ගීතයක් ඒක. සනත් අබේසේකරම තමයි රචනා කරලා තිබුණේ. දිනේෂ් සුබසිංහ තමයි සංගීතවත් කළේ. ඊට පස්සේ සුදේශ් වසන්ත පීරිස්ගේ ‘හුස්ම’ චිත්‍රපටයට වගේම ඇලරික් ලයනල් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ අලුත් චිත්‍රපටයකටත් ගීත ගැයුවා. ආචාර්ය වික්ටර් රත්නායක සමඟ ගීතයක් ගායනා කළා තවත් චිත්‍රපටයකට. තවමත් ඒකට නමක් යොදා නෑ. එය සංගීතවත් කළෙත් ආචාර්ය වික්ටර් රත්නායකයන්. ඊට පස්සේ චන්න පෙරේරාගේ අලුත් චිත්‍රපටයේත් ගීතයක් ගායනා කළා.’

උරේෂා මෙහෙම කියන කොට ලොකු සතුටකුත් අපට දැනෙනවා. සිනමාවට ආදරය කරන රසවතුන් හැටියට චිත්‍රපට නිෂ්පාදනය වෙනවා කියලා දැනෙන එකත් ලොකු සතුටක්. උරේෂා චිත්‍රපට පසුබිම් ගායිකාවක් වගේම අනෙක් පැත්තෙන් ඇය චිත්‍රපට නරඹන රසිකාවියක්. පැමිණෙන සියළු චිත්‍රපටයන් නැරඹීම ඒ කාලේ සිටම උරේෂා පුරුද්දක් කර ගත්තියක්. අද ඈ අපේ සිනමාවට සිටින වටිනාම සම්පතක්.

‘මම පුංචි කාලේ ඉඳලා මේ වෙනකොට ගීත ගණනාවක් ගායනා කරලා තියෙනවා. ඒ අතර ළමා ගීත, චිත්‍රපට ගීත, ටෙලි නාට්‍ය ගීත වගේම සරල ගීතත් රාශියක් තියෙනවා. ඇත්තටම මම පෞද්ගලිකව කැමතියි මාව චිත්‍රපට පසුබිම් ගායිකාවක් විදියට හඳුනාගන්න. චිත්‍රපට විදියට ගත්තොත් මේ ඊයේ පෙරේදා ගයපු චිත්‍රපට 5 ත් ඇතුළුව මේ වනවිට චිත්‍රපට 117 ක පමණ ගීත ගායනා කරලා තියෙනවා. ගීත විදියට ගත්තොත් නම් මම ගණන් තියාගෙන නැහැ. සමහර චිත්‍රපටවලට ගීත 3 – 4 ත් ගායනා කරනවානේ. සරිගම චිත්‍රපටයේ විතරක් මම ගීත 6 ක් ගායනා කළා. ඇත්තටම ඒ ගැන හිතන කොට මට සතුටුයි.’

ඉතාම කුඩා අවධියකදී සංගීත ලෝකයට පා තබන්නට වරම් ලද ඈ තාමත් ඒ අතීතයට හරිම ආදරෙයි. මුලින්ම චිත්‍රපට පසුබිම් ගීතයක් ගායනා කරත්දී ඈ ගීතයක් පටිගත කිරීමක්වත් කර නොමැති ළදැරියක්.

‘මට අවුරුදු 8 ක් විතර වෙත්දි අම්මයි තාත්තයි මාව සංගීතය හදාරන්න සුජාතා අත්තනායක මහත්මියගේ සංගීත පන්තියට දැම්මා. ඒ පංතියට ගිය අලුතම වගේ දවසක එතුමිය මාව ගීත පටිගත කිරීමකට රැගෙන ගියා. මම පුංචි කාලේ ඉඳලම සින්දු අහන්න හරි ආසයි. ඒ වුණාට කවදාවත් ගීතයක් ගායනා කරලා හෝ පටිගත කරලා තිබුණේ නෑ. එතුමිය මාව අරගෙන ගිහින් ගීතයක පද 4 ක් ගායනා කෙරෙව්වා. පස්සෙ තමයි මම දැන ගත්තේ ඒක චිත්‍රපට පසුබිම් ගීතයක් කියලා. ඒ චිත්‍රපටය වුණේ ‘ශක්තිය ඔබයි අම්මේ’ චිත්‍රපටය. මාලිනී ෆොන්සේකා මහත්මිය හා ශෂී විජේන්ද්‍ර තමයි නළු නිළියන් වුණේ. චිත්‍රපටයේ හැටියට ඔවුන් දෙදෙනාගේ පුතාගේ උපන් දිනය දවසේ ඔවුන් දෙදෙනා සහ පුතා ගීතයක් ගායනා කරනවා. එහි පුතාගේ ගී පද 04 තමයි මම ගායනා කළේ. ගීතයේ ඉතිරි කොටස් මගේ ගුරුතුමී සුජාතා අත්තනායක මහත්මියත් ටෝනි හසන් මහතාත් ගායනා කළා.

උරේෂා චිත්‍රපට පසුබිම් ගීත ගායනයට නියත විවරණ ලබන්නේ එම ක්ෂේත්‍රයේ සුපිරිම තරුවක් මෙන්ම සිය ආදරණීය ගුරුවරිය වූ සුජාතා අත්තනායකගෙනි. පරිපූර්ණ සංගීත ගුරුවරියක මෙන්ම අත්දැකීම් සපිරි ගායිකාවක ලෙසින් එදා තම සෙවණින් ශිල්ප ලබන්නට පැමිණි ළදරු ශිෂ්‍යාවගේ දක්ෂතා මෙන්ම ඇගේ දීප්තිමත් අනාගතයේ සුබ පෙරනිමිති ද ඇය අවබෝධ කොට ගත්තා වන්නට ඇත.

‘ඇත්තටම ඒ ගීතය ගායනා කලාට පස්සේ මට ළමා ගායිකාවක් විදියට චිත්‍රපට 3 – 4 ක මට ගීත ගායනා කරන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ තමයි මගේ අම්මා ‘සුරතල් නංගියේ’ නමින් මගේ ළමා ගීත කැසට් පටයක් නිෂ්පාදනය කරන්නේ. එතැනින් පස්සේ තමයි ගීත පටිගත කිරීම්වලට ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට වුණත් ගියේ. චිත්‍රපට පසුබිම් ගීත අතරෙම සරල ගීතත් රාශියක් මම ගායනා කළා. නමුත් ගොඩාක්ම ජනප්‍රිය වුණේ චිත්‍රපට ගීත. මේ පසුබිම් හඬ (Screen Voice) කියන එක ලේසියෙන් පිහිටන දෙයක් නොවෙයි. මට මතකයි ඉස්සරලම මට තියෙන්නේ Screen Voice එකක් කියලා කිව්වේ ප්‍රවීණ සංගීතඥ සරත් දසනායක මහතායි. එතකොට මට වයස අවුරුදු 10 ක් විතර ඇති. ‘සලඹක් හඬයි’ චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කරන්න තිබුණේ ලතා වල්්පොල මහත්මියත් එක්ක. සරත් දසනායක මහත්තයා මගේ හඬ අහලා ‘මේ දුවට තියෙන්නේ Screen Voice එකක් කියල කිව්වා මට තාමත් මතකයි. එදා තමයි මම ඔහු මුණ ගැසුණු පළවෙනි දවස. ඊට අවුරුදු 05 ට විතර පස්සේ මාව චිත්‍රපටයක ප්‍රධාන පසුබිම් ගායිකාව විදියට තෝර ගන්නවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වුණේ සරත් දසනායක මහත්තයයි. හැබැයි ඒ වන විට ඔහුට මාව අමතකයි. ඔහු මාව දැකපු ගමන් කිව්වේ ‘මෙයා ළමා ගායිකාවක්නේ. මෙයාගේ හඬ කොහොම වෙයිද දන්නේ නෑ’ කියලයි. ඊට පස්සෙ දවසක් ඔහු මාව ඔහුගේ ගෙදර එක්ක ගිහින් ගීත පුරුදු කරල ගායනා කරන්න කිව්වා. මගේ හඬ අහලා ඔහු කිව්වා මෙයාගේ හඬ තරුණයි. ඒ නිසා චිත්‍රපටයට තෝර ගන්න පුළුවන් කියලා. ඉතින් මම අවුරුදු 15 දීම තරුණ නිළියන්ට ගීත ගායනා කළා.

උරේෂාට සරත් දසනායකත් සමඟ වැඩ කරන්න ලැබිලා තියෙන්නේ චිත්‍රපට දෙකක පමණයි. ඔහු හිටියා නම් කොයි තරම් සුන්දර චිත්‍රපට ගීත නිර්මාණය වෙයි ද කියලා ඈම කල්පනා කරනවා. වෙනස් වෙනස් ශෛලීන් හි ආභාසය ලබමින් නිර්මාණකරණයේ යෙදන්න කවදත් ඈ තුළ කැමැත්තක් තිබුණා. ප්‍රවීණ සංගීතඥ සරත් ද අල්විස්ගේ සංගීතයට ඈ මේ ආකාරයෙන්ම බොහොමයක් චිත්‍රපට ගීත ගැයුවා. ඒ අතරෙම ඈ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ගීත ගැයීමේ හීනයක ද සිටියා.

‘එහෙම හිනයක ඉන්න අතරතුර තමයි මට සංජය නිර්මාල්ගේ ‘සමාරා’ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න ආරාධනා ලැබෙන්නේ. මගේ චිත්‍රපට සංගීත ජීවිතේට ඉස් ඉස්සරලම ආචාර්ය රෝහණ වීරසිංහයන් එකතු වෙන්නෙන් මේ චිත්‍රපටයෙන්. රෝහණ වීරසිංහගේ Melody හා උරේෂාගේ හඬ අතර ඇතිවන සුසංයෝගය දුර ගමනක් යයි කියලා එදා කවුරුත් හිතන්න නෑ. සමාරාගෙන් පටන් ගත්ත ඒ ගමන චන්න පෙරේරාගේ ‘අංජලිකා’ චිත්‍රපටය ඔස්සේ විචිත්‍රවත් වෙන්න ගත්තා.

‘පායනා ඉර පාන කාගේ 
පීදෙනා මල් යාය කාගේ 
හසරැල් මවෙත ගෙනා . . .’

‘අංජලිකා’ තිරගත වුණු කාලයේ පමණක් නෙවෙයි ඉන් පසුවත් මේ අද ඊයේත් පායනා ඉර ගීතයට ඇලුම් නොකරන්නෙක්, මුමුණපු නොමැති දෙතොලක් විය නොහැකියි. උරේෂාගේ ගායන විලාශය ඒ තරමටම ආකර්ෂණීයයි.

‘ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත අධ්‍යක්ෂණය මගේ ජීවිතේට සුවිශේෂියි. එතැනින් පස්සේ මට දිගටම ගීත ගායනා කරන්න ලැබුණේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට. දැන් ඇත්තටම මම වැඩිපුරම ගීත ගායනා කරලා තියෙන්නෙත් ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයට. ඔහු සංගීතවත් කරපු හැම ගීතයක්ම ජනප්‍රියත් වුණා. ඉතින් මට හිතෙනවා ඔහුගේ සංගීතයත් මගේ හඬත් අතර මොකක්දෝ බැඳීමක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් ගායනා කරන හැම චිත්‍රපට ගීතයක්ම ජනප්‍රිය වෙන්නේ නෑනේ. අනිත් පැත්තෙන් මට ලැබුණ සියලුම සම්මාන රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ගායනා කරපු ගීත.’

‘සමනලයින් පාට පාට 
කනාමැදිරියෝ රෑට රෑට 
සිනිඳු වලා ඈත ඈත 
හරි සොඳුරුයි... සැමදාම...’

මේ ගීත ඇතුළුව තවත් ගීත රාශියක් අපට මතක් වෙනවා. උරේෂා සිය ගායන දිවිය වෙනුවෙන් මේ වනවිට සම්මාන 10 කින් පිදුම් ලබා තිබෙනවා. හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව වශයෙන් ඇය සරසවිය සම්මාන ත්‍රිත්වයක් මේ වනවිට දිනාගෙන තිබෙනවා.

‘හොඳම ගායිකාව විදියට සරසවිය සම්මාන 3 ක්, ජනාධිපති සම්මාන 01, හිරු සම්මාන 02 ක් සහ OCIC සම්මාන 04 ක් දිනාගෙන තිබෙනවා. වසරේ ජනප්‍රිය ගීතය වෙනුවෙන් දෙරණ සම්මාන 03 ක් සහ ටෙලි නාට්‍ය ගීත ගායනයටත් සම්මාන දිනාගෙන තිබෙනවා. උරේෂාගේ මේ ගමන් මඟේ ඇරඹුම ඇගේ මවුපියන් බව ඈ දැඩි ලෙසම විශ්වාස කරනවා.

‘ඇත්තටම මේ හැකියාව මට ජන්මයෙන් ලැබෙන්න ඇති. නමුත් මුලින්ම මම ගායනයට එක් වුණේ මගේ මවුපියන්ගේ තල්ලුවෙන් බව මට විශ්වාසයි. ඒ මොකද මම A/L කරන තුරුවත් මට ගායිකාවක් වෙන්න ඕන කියන හැඟීමක හිටිය කෙනෙක් නොවෙයි. අම්මා තාත්තා එක්ක යන නිසා අවුරුදු 08 ඉඳලා සින්දු කියන්න ගියා තමයි. හැබැයි ඒක මගේ උවමනාවෙන් හැඟීමකින් කරපු දෙයක් නොවෙයි. මම A/L කරත්දිත් හිතුවේ බැංකු නිලධාරිනියක් හෝ ගුරුවරියක් වෙනව කියලයි. නමුත් මාව ගායිකාවක් කරන එක අම්ම තාත්තගේ ප්‍රාර්ථනයක්. ඒ නිසා ඒ දෙන්නා මාව ඒ පැත්තට යොමු කළා. නමුත් තාත්තා ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වීම මට ගායිකාවක් විදියට ඉස්සරහට යන්න ලොකු ශක්තියක් වුණා.

ඒ කාලේ හුඟක් දෙනෙක් කියන්න ගත්තා තාත්තා නිසා මම ජනප්‍රිය වුණා කියලා. නමුත් හැකියාව නොතිබුණා නම් මට මෙච්චර දුර ගමනක් එන්න බෑ. තාත්තා එක තැනකට ගෙනත් මාව අතහැරියා, ඊට පස්සේ ඔයා ඔයාගේ ගමන යන්න කියලා. එතැනින් පස්සේ මම උනන්දුවෙන්, කැපවීමෙන් ඒක කරගෙන ගියා. රසික ප්‍රතිචාර ලැබෙන කොට, චිත්‍රපටවලට අවස්ථා ලැබෙන කොට, ටෙලි නාට්‍ය ගීත ගයන කොට මට දැනුණා මට කරන්න පුළුවන් හොඳම දේ ගායනය කියලා.

උරේෂාටත් පුංචි කාලේ ඉඳන්ම පරමාදර්ශී චරිත තිබුණා. ඇගේ පළමු පරමාදර්ශී චරිතය වුණේ ඇගේ පියා. උරේෂාගේ ජීවිතය වැඩෙන්නේ ඇගේ පියාගේ කාර්යබහුල මාධ්‍ය ජීවිතය මැද. ඔහු ප්‍රවෘත්ති කියන්නට යන්නට ප්‍රථම පෙර පුහුණු වීම් කරන අයුරු ඇය නිතරම දැක තිබෙන දෙයක්. උරේෂාත් එය ඇගේ ජීවිතයට නිරන්තර පාඩමක් කර ගත්තා. ඇයට හමුවන දෙවැනි ආදර්ශය ඇගේ ආදරණීය ගුරුතුමී සුජාතා අත්තනායක මහත්මිය. ගුරු ගෞරවයටත් එහා ගිය ආදරණීය බැඳීමක් උරේෂාට ඇයත් සමඟ තිබුණා. කුඩ කල පටන්ම සුජාතාගේ හඬට වශී වූ උරේෂා ඇගේ ප්‍රියතම ගායිකාව ලෙසින් සැලකුවේද ඇයය. ඉන්පසු උරේෂා ලයනල් අල්ගමගේ සහ ඔස්ටින් මුණසිංහ ගුරුවරුන් යටතේ ද සංගීතය ප්‍රගුණ කළා. මේ සියලු දෙනා සෙවණින් ඇය ශාස්ත්‍රීය වශයෙන් ලබාගත් දේ සේම ඇවතුම් පැවතුම්වලින් ලබාගත් දේ ද බොහො වුණා. ඈ ඇගේ ජීවිතයේ ගායිකාවක් වශයෙන් කිසියම් සාර්ථකත්වයක් වේද ඒ සියල්ලටම ඔවුන් සියලුදෙනාම බලපෑ බව ඇය විශ්වාස කරනවා.

‘ඇත්තටම මගේ ජීවිතේ මගේ මවුපියන්ගේ සිට ගුරුවර ගුරුවරුන් දක්වා මං ඉගෙන ගත් දේ සේම මගේ වෘත්තීය ජීවිතයට මම විශාල වශයෙන් කැප වුණා. සමහර නිර්මාණ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වුණා. පුහුණුවිම් කළා. මට හිතෙනවා ඒවට වෙච්ච මහන්සියේ ප්‍රතිඵල තමයි මට සම්මාන විදියට ලැබෙන්නේ කියලා. කුමන වෘත්තියක නියැලුණත් ඒ වෙනුවෙන් කැපවුණොත් මහන්සි වුණොත් තමයි තමන්ගේ ඉලක්ක කරා යන්න පුළුවන් වෙන්නේ කියලා මම විශ්වාස කරනවා.’

උරේෂා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 28 ක් පමණ වෙනවා. දශක තුනකටත් ආසන්නයි. ගත වූ කාලය තුළ ඇයටත් ඕන තරම් අභියෝග තිබෙන්න ඇති. එහෙත් ඈ ඒ සියල්ල ජයගත් ගායිකාවක් බවට පත් වී හමාරයි. ඒ විතරක් නොවෙයි ඈ ජීවිතය ජයගත් කාන්තාවක්. ආදරණීය බිරියක්, දයාබර මවක්. මේ සියළු භූමිකා තුළ තම යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටු කරමින් යන ගමනක් ඇයට හිමිය.

‘ඇත්තම මට හිතෙනවා මම වාසනානවන්තයි කියලා. මට ක්ෂේත්‍රයේ හැම දෙනෙක්ම ආදරෙයි. ප්‍රවීණයින්ගේ ආශිර්වාදය මට හිමි වෙලා තියෙනවා. ඒක මට විශාල ශක්තියක්. ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම මගේ යෙහෙළියෝ. අපි බොහොම සුහදව කටයුතු කරන්නේ. එදා ඉඳලා මේ වනතුරුත් මගේ ජීවිතේ පසු පස්සේ මගේ අම්මයි තාත්තයි ඉන්නවා. අද විවාහ වෙලා හිටියත් මගේ දරුවාගේ කටයුතුවලට ඒ දෙන්නගෙන් ලැබෙන්නේ නොමඳ සහායක්. විශේෂයෙන් සංදර්ශනවලට යත්දි මගේ දරුවා බලා ගන්නේ ඒගොල්ලෝ. මගේ ස්වාමියා හොඳින් මාව තේරුම් ගත්ත කෙනෙක්. අපි දෙන්නා ක්ෂේත්‍ර දෙකක වුණත් ඔහු මම සින්දු කියනවට ආස කරන කෙනෙක්. ඔහුට නිවාඩුවක් තිබුණොත් කලා කටයුතුවලට මාව අරගෙනත් යනවා.

මේ ළඟදී මම අලුත් ගීතයක් ගායනා කළා. ඒක රචනා කළේ මගේ සැමියා. රූප රචනාවකුත් කරලා මේ දිනවල U Tube හරහා ඒක නරඹන්නත් පුළුවන්. ඔහුගේ ඒ සහයෝගය නිසා ප්‍රීතිමත් පවුල් ජීවිතයත් එක්ක කලා කටයුතුත් හොඳින් කරගෙන යනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.