දුගී දරුවන් වෙනුවෙන් Super 30 ගෙන ආ ඉන්දීය ගණිතඥයා

ජූලි 11, 2019

ලොව ප්‍රකට ගණිතඥයන් කවුරුන්ද යන්න සිහිපත් කළ විට එක්වරම අපගේ මතකයට එන්නේ පයිතගරස්, අයිසැක්‌ නිව්ටන්, යුක්ලීඩ්, අයින්ස්ටයින්, ආකිමිඩිස් වැනි ගණිතඥයන්. ශ්‍රීනිවාස රාමනුජන් ද ඉන්දියාවෙන් ලොවට දායාද වූ විශිෂ්ට ගණිතඥයෙකි. ඉන්දියාවෙන් බිහි වූ තවත් ගණිතඥයකු කෙරෙහි මේ දිනවල අවධානය යොමු වී තිබේ. ඔහු නමින් ආනන්ද් කුමාර්ය.

ලොව ශ්‍රේෂ්ඨත්වයට පත් බොහෝ පුද්ගලයන්ගේ අතීතය මෙන් ආනන්ද් කුමාර්ගේ ජීවිතයේ අතීතයද තරමක් කටුක එකක් විය. 1973 වසරේ බිහාර් ප්‍රාන්තයේ පට්නා නුවර සාමාන්‍ය පවුලක උපද ලද ආනන්ද්ගේ පියා ලිපිකරුවකු විය. තම දරුවන් පෞද්ගලික පාසලකට ඇතුළත් කිරීමට මුදල් හිඟ වූ බැවින් ඔහු සිය දරුවන් රජයේ හින්දි මාධ්‍ය පාසලකට ඇතුළත් කළේය. උපතින්ම ගණිත විෂයට දස්කම් දැක් වූ ආනන්ද් ගණිත විෂය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරත විය. සංඛ්‍යා න්‍යාය (Number Theory) පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු ඒ සම්බන්ධ පර්යෂණ ලිපි පවා පළ කළේය. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට වරම් ලැබුවද සිය පියාගේ වියෝව සමඟ ඇති වූ ආර්ථික අපහසුතා හමුවේ ආනන්ද්හට එහි යාමට අවස්ථාව උදා වූයේ නැත. දිවා කාලයේදී සිය අධ්‍යයන කටයුතුවල නියැළෙන ආනන්ද් සවස් කාලය වෙන් කරන්නේ තම මව විසින් සාදා දෙන පපඩම් විකිණීම වෙනුවෙනි. මේ අතර ඔහු තම නිවසේ සිසුන්ට පංති පැවැත්වීමද සිදු කළේය. සෑම සති අන්තයකම ආනන්ද් පැය 06ක දුම්රිය මඟක් ගෙවා වරණාසි වෙත ගියේ පට්නා පුස්තකාලයේ ජාත්‍යන්තර මට්ටමේ කෘති නොවූ බැවිනි. 1992 වසරේදී ආනන්ද් රාමනුජන් ගණිත විද්‍යාලය නමින් පෞද්ගලික පාසලක් ආරම්භ කළේය. එය ආරම්භ කිරීමට තීරණය කළ අවස්ථාවේ පටන් තමා වැනි දුෂ්කර ජීවිත ගත කරන දක්ෂ දරුවන් වෙනුවෙන් ද යමක් කිරීමේ වැඩපිළිවෙළක් ගැනද සිතන්නට විය. එනිසාම වේගයෙන් දියුණු වූ රාමනුජන් ගණිත විද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් තිබුණ ද ආර්ථික දුෂ්කරතා වලින් පීඩිත ළමයින් සඳහා ආනන්ද විසින් විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් නිර්මාණය කරන ලදී. එය නම් කෙරුණේ ඉභනඥප 30 නමිනි. එමඟින් සෑම වසරකම දක්ෂ සිසුන් 30 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමට ආනන්ද් කටයුතු යෙදීය.

මෙලෙසින් ආනන්ද් කුමාර් පිළිබඳ කතාබහ ඇති වී තිබෙන්නේ බොලිවුඩ් සිනමා නිර්මාණයක් හේතුවෙනි. Super 30 ලෙසින් නම් කෙරුණු එය හෙට (ජූලි 12) සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතව ඇත. එය අධ්‍යක්ෂණය තිබෙන්නේ Queen (2014), Shaandaar (2015) චිත්‍රපට අධ්‍යක්ෂණය කළ විකාශ් භාල් විසිනි. මේ වසරේ ජනවාරි මස ආරම්භය සමඟින් එය තිරගත කිරීමට නියමිතව තිබුණ ද අධ්‍යක්ෂවරයාට එරෙහිව එල්ල වුණු මී ටූ ලිංගික හිංසන චෝදනා හමුවේ සිනමාපටයේ නිර්මාණ කටයුතු මාස කිහිපයකට තාවකාලිකව නවතා දමන ලදී. Super 30 චිත්‍රපටයේ ගණිතඥ ආනන්ද් කුමාර්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් නළු රිතික් රෝෂන් විසිනි. ඔහු සමඟින් මෘනාල් ථාකූර්, විරේන්ද්‍ර සක්සේනා, නන්දීෂ් සිං, පංකජ් ත්‍රිපාති, ජොනී ලිවර්, ආදිත්‍ය ශ්‍රීවාස්තව, අමිත් ශා ඇතුළු පිරිසක් රංගනයෙක් දායක වෙති. 2017 වසරේ Kaabil චිත්‍රපටයෙන් පසුව රිතික්ගේ රංගනයක් දැක ගැනීමට ලැබෙන්නේ Super 30 චිත්‍රපටයෙනි. බොහෝ දෙනෙකු රිතික් ආනන්ද්ගේ චරිතයට තෝරා ගැනීම පිළිබඳ විරුද්ධ මත පළකර තිබුණි. සමාජ ජාල ඔස්සේ අදහස් දක්වමින් ඔවුන් පවසන්නේ රිතික්ට වඩා පංකජ් ත්‍රිපාති ආනන්ද්ගේ චරිතයට වඩා සුදුසු බවයි. මෙහි ආනන්ද්ගේ ප්‍රතිවාදියාගේ චරිතයට පණ පොවන්නේ පංකජ් විසිනි. ගොගාවල් සහෝදරයන් වන අජේ සහ අතුල් විසින් මෙහි සංගීත අධ්‍යක්ෂණය කර ඇති අතර උදිත් නාරායන්, ශ්‍රෙයා ගෝෂාල්, විශාල් ධද්ලානි, දිව්‍යා කුමාර් ඇතුළු පිරිසක් ගීත ගායනයෙන් දායක වූහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.