තිලාගේ සරසවියේ ඩය- update ... හොරෙන් කියවලා බලන්න....

ජූලි 11, 2019

 

අද ජූලි 03 බදාදාය.....

මේ‍ දෑස මගේ පින්වන්තයි

ජෝති ඔබේ ගීත පෙම් වන්තයි

තේරුණේ දැන් තමයි.......

තලංගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක තිබුණ දැන්වීමක ජෝති වියෝවී ජූලි 7 වෙනිදාට වසර 32යි... ⁣රටක් නැල වූ අපේ ජෝතිට මේ ප්‍රණාමය... ඒ විතරක් නෙවෙයි පින්කමකුත් ලෑස්ති කරලා... අමරණීය ජෝති වන්නේ ජෝතිටත් ඉන්නෙ එක එක තලයේ අමුතුම රසිකයන් පිරිසක් ........

 

අද ජූලි 04 බ්‍රහස්පතින්දාය....

එක් කාලයක වේදිකාවේ සිනමාවේ රංගන ශිල්පියෙක් ලෙස ඇසුරු තිලක් මහානාම පසුව කලා කටයුතුවලින් ටිකක් ඈත්වී ආර්ථික විද්‍යා ගුරුවරුයෙක් ⁣හා උපදේශකයෙක් හැටියට කටයුතු කළා... දැන් ඔහු රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මාධ්‍ය කටයුතුවලදී නිතර හමුවෙනවා... ළඟදී මුණගැහුණු වෙලාවේ මල්ලි රාජ්‍ය ආයතනවල හොඳම 10 අතරට මගේ ආයතනයත් තේරුණා. කාලාකරුවෙක් නිසාම කරන වැඩේ හරියට කරලා.. එහෙනම් ඉතින් අපිට පාට කලවම් නොකරපු හොඳ තේ තවත් බොන්න පුළුවන්...

 

අද ජූලි 05 සිකුරාදාය....

අද අන්තරේ සැරිසරන කොට අපේ රෝහිතටත් තිලාටත් ගීතයක් අහන්න ලැබුණා. ඒ ගීතය මර්වින් පෙරේරා සහ නීලා වික්‍රමසිංහ දෙපළ ගායනා කරපු මුල් ගීතය සහ පළමු පටිගත කළ එකෙන් උපුටා ගැනීමක් බවත් එය මර්වින් පෙරේරා විසින් සංගීතවත් කළ මුල් ගීතය බවත් සඳහන් වෙනවා. ඇස් පියාගෙන අහලම ඉමු...

 

සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි

ඔබෙ හදතුළ මට

සිහිලස සැනසුම

ඇතිය නිති

 

උකුලක නැලවෙන

බිලිදෙකු ලෙස තුරුලේ සිටිමි

මුළු ලොව මට ඇති

ඔබෙ ළඟ සිත සුව යහනෙ නිදි

මෙම ගීතය හැමට විඳින්න සලසපු ප්‍රභාත් රාජසුරියටත් ස්තුතිය...

 

අද ජූලි 06 සෙනසුරාදාය...

අපේ රටේ ගොවියා හා ගම්‍මාන ටික ටික වෙනස් වෙනවා. ඒකට ටවුමෙ ඉන්න අපි අකැමැති වුවත් ඒ මිනිස්සු කැමැතියි වෙනස් වෙන්න...

ඒ ගැන හිත හිත ඉන්න කොට තිලාට හිතුණා බැරිවෙලාවත් ගොවි මහත්තුරුන් වෙනස් වෙන්න හිතලා තම ළමයින්ට අලුත් තාලෙට රැකියාව අනුව දාන නම්‍ මොනවද කියලා

 

පිරිමි ගැහැනු

පලිබෝධ පලිබෝධි

නාශක නාශකී

කීඩැව කීඩැවි

කෘමින් කෘමී

කෘෂි කෘෂිනි

කෘෂිකාර්මික කෘෂිකාර්මී

ශාක ශාකි

දිලීර දිලීරි

බජිර බජිරි

බීජ බීජී

හබරල හබරලි

කාබනික කාබනිකා....

කොහොමත් දැන් ළමයින්ට නම්‍ දාන්නෙ තේරුම ගැන හිතලා නෙවෙයිනෙ...

 

අද ජූලි 07 ඉරිදාය...

අද උදේ ගෙදරට වෙලා දවල් හිටියා.. තිලා යකඩ පෝනියා අරගෙන රවුමක් ගියා තිලාගෙ දඟමල්ලත් එක්ක.. තිලා ඉතින් යනකොට පාරේ ඕපාදූප හොය හොයා වටපිට බල බල යන්නෙ.. ඔහොම යනකොට හැපුණා ඉස්සරහ වාහනේ. අනේ ඉතින් වාහනේ ආපුකෙනා ඉතා සුහදව මොකද වුණේ කියලා ඇහුවා... ඔහොම අතරතුරේ විස්තර කතා කරන අතරේ තිලා ගේ තියන තැන කිව්වා ...

අග් අර පොටෝ... කියනකොටම තිලා ඔව්‍ කිව්වා ....

මම මල්කාන්ති ජයසිංහගේ (වේදිකා, ටෙලි, සිනමා ප්‍රවීණ රංගන ශිල්පිනි) පුතා.....

ප්‍රශ්නයක් නෑ... ඔක්කොම හරි අංකල් යන්න. අර ගෙදර කරත්ත රෝදේ තාම තියෙනවද?... මම පුංචි කාලේ මම එහේ ඇවිත් තියෙනවා...

තිලා ටිකක් හොල්මන් වුණා..

"අම්‍මට සනීප නෑ... හොස්පිට්ල් එකට එයා බලන්න යන ගමන්.....

හොඳම දෙය තමයි තදට වචන හුවමාරුවක් යයි බලාපොරොත්තුව වුණු වටපිටාවෙ අය බලන් ඉන්නවා අනතුර වුණ දෙන්න ඉතා සුහදව කතා කර.. සියල්ලෝ සතුටින් විසිර ගිය⁣ හැටි....

ආදර්ශය....

හැ⁣ප්පෙනවා නම් දන්න කෙනෙක් එක්ක හැප්පෙන්න......

 

අද ජූලි 08 සඳුදාය....

අද අපේ මාලන්ගෙ උපන් දිනය ගිය වසර වාගේම තමයි කියල වැඩක් නෑ... පට්ටම විදියට සැමරුවා.. ගිය වසරේ පොරොන්දු වුණ ලෙසම... මාලන් කියන්නෙ වචන දෙකෙ පොරක් නෙවෙයි කියල හැමෝටම තේරුණා. අපේ උන් නම්‍ කියන්නෙ මේ‍ වගේ යාළුවන්ට සලකන්න පුළුවන් එයාට විතරයි. ඇයි එයාට පොල්වතු ති⁣යෙනවනෙ. ඊර්ෂ්‍යා කරන්න එපා බං.. ඒ මාලන්ගේ ලැබීම. තව එකෙක් කිව්වා පාටිය ජයටම යනවා ඇති තරම් කෑමබීම සුබපතන්නත් බෑ සමහරුන්ට වචන පැටලෙනවා... තිලාටත් කවදාවත් නැති විදියට වැඩි වෙලා හිටපු පුටුවෙන් වැටුණා..

නැගිටලා ඇහැ පිහදාල බලද්දී අද තිලාට නිවාඩු නිසා දවල් වෙනකම්‍ නින්ද ගිහින්......

 

අද ජූලි 09 අඟහරුවාදාය...

අපේ චතුරයා... චතුර ගීතනාත් බණ්ඩාර මෙවර නම්‍ ලේක්හවුස් එකෙන් ඔහුගේම හවුස් එකට යන්නම ගිහින්... කිහිප වතාවක් යන්න හැදුවත් ⁣වැඩිදෙනාගේ ඉල්ලීම පිට අදහස අත් හැරියා... පසුගිය කාලයේ පත්තර ජීවිතයේ නොයෙක් තැන්වල රස්තියාදු ගැසූ චතුරයා කට්‍ට කාලා අමුතුම තාලෙකට අකුරු සෙල්ලම් දැම්මා... මතකයි පත්තර මහ ගෙදරින් ලද පන්නරයෙන් දැනටමත් අලුත් වැඩක් පටන් අ⁣රන් යන තැනක කරන දෙයක් කරගෙන හොඳින් ඉන්න බලපන්...

අදට යෙදෙන උඹේ උපන් දිනයටත් සුබ පැතුම්.........

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.