මනමාලයි මනහාරයි හිඟන කොල්ලා

ජූලි 11, 2019

අශ්වයෙකු පිට නැගී වැස්සෙන් මුවා වන්නට එක් ප්‍රභූ තරුණයෙක් ගමේ දිළිදු පැලකට පැමිණේ. එම නිවසේ සිට්යේ, සට කපට, සූදුඅන්තුවෙකු වූ දියතලන් හා ඔහුගේ ඥාාති දියණිය වූ අතීශයින්ම රූමත් ළමාහාමිය. දියතලන් ළමාහාමිගේ මාමා ලෙසය හඳුන්වනුයේ. මේ මාමාගේ කැරැට්ටුවේ සහතිකය නම් දෙන්නේ ගෙදර කූඩුවක ඇති කරන ගිරවාය.

"මාමා හොරා, මාමා හොරා, " ඒ නිතරම දියතලන්ව දුටු ගමන් ගිරවා ජප කරන මන්තරයය.

ඩබ්ලියූ. ඒ. සිල්වා තම 'හිඟන ⁣කොල්ලා' කථාසාරය ආරම්භ කරන්නේ එලෙසය. විශාල වර්ෂාවක නිවසට අශ්වයා පිට නැගී ආ ඒ ප්‍රභූ දඩයක්කාරයා එම ළමාහාමිගේ ජීවීත කථාව අමුතුවෙන්ම ලියන්නට ව්ය. එම කථාව විශාල ඛේදවාචකයක් විය. මෙම ඛේදවාචික ව්‍යවසනය ආරම්භ වූයේ ඒ දඩයක්කරුගේ පැමිණීම හරහාය. මේ දඩයක්කරුගේ පැමිණීම සිදුවන තෙක්, ළමාහාමි හිටියේ ඉතාමත් සැහැල්ලුවෙනි.

'කනට අරුංගල් ගෙනේද

කරට පබළු වැල්

කරට පබළු වැල් ලැබේද

කනට අරුංගල්'

ඩබ්ලියු. ඒ සිල්වාගෙ නව කථාවල තිබුණේ හරි පටලැවිලිය. ඔහු චරිත ගනනාවක් ගෙන, මුලින්ම එය නූල් බෝලයක් සේ පටලවයි.ඉන් පසු එකින් එක, එකින් එක හෙමි හිට ගලවයි. ටී.බී.ඉලංගරත්න ගේ කථා වලට වහවැටුණු, කේ.ඒ.ඩබ්ලියු.පෙරේරා, මෙවර තම සිනමා ප්‍රකාශනයට තෝරා ගත්තේ, මේ පැටලුනු නූල් බෝල සේ කථා ලියන ඩබ්ලියු.ඒ.සිල්වාගේ කථාවක්වූ "හිඟන කොල්ලාය". එකල ලංකාවේ සිටි හොඳම නළු නිළියන් වූ, මාලනී, විජය, රවින්ද්‍ර, ජෝ, උපාලි, පියදාස, ඩොමී,සෝනියා, විජය නන්දසිරි, වැන්නන් සියල්ලම එකතු කර ගත් කේ.ඒ.ඩබ්ලියූ, තම සුපුරුදු සිනමා රීතීයෙන් තරමක් මිදී දැවැන්ත ආකෘතියක් තුළ චිත්‍රපටය නිර්මාණය කරන්නට විය.

ළමාහාමිව බලාපොරොත්තුවෙන් ඒ නිවසට නිතර යන එන අමුත්තෙක් විය. සරමක් හැඳ, කෝට් බෑයක් දමා, පරණ සෙරෙප්පු යුවලක් දැමු මොහු තුළ වැදගත් පෙනුමක් නොතිබුණාම නොව. එහෙත් දියතලන්ට නම් මොහුව රුස්සන්නේම නැත. හරියට නමක් ගමක් නොමැති වූ මොහුට, කාගේ කව්ද, කොහේ සිට පැමිණියේදැයි කිසිවෙක් දන්නේ නැතත්, මොහු ළමා හාමිව විවාහ කරගන්නට පැමිණෙන බව නම් කාටත් වැටහුණි. ඩබ්ලියු. ඒ. සිල්වාගේ අද්භූත කථාන්දර වල සාමාන්‍ය ස්වරූපය එසේය. දියතලන් නම් මොහුව හැඳීන්වූයේ 'සරදියෙලා' යන අන්වර්ථ නාමයකිනි. ළමාහාමිත් ඔහුට කැමැත්ත පළ කළ සිටියාය. දියතලන් මාමා වැනි සූදු අන්තුවෙකුගේ රැකවරණයෙන් මිදී සරදියෙල් සමඟ විවාහ වී යාමට ලක ලෑස්ති වී සිටින කාලයේදීය මේ මොර සූරන වැස්සක් වැස, ප්‍රභු පැලැන්තියේ දඩයක්කාරයා ළමාහාමිගේ අතුපැලට පැමිණියේ.

ඩබ්ලියු ඒ සිල්වා ගේ නව කථාවල බොහෝ විට සිදුවන්නේ විශ්මිත දේවල්ය. ඒවා 'ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම්' හෝ 'ඇලඩින්' වැනි 3ච් චිත්‍රපටවල වත් තිබුණේ නැත. දැන් මේ ප්‍රභු තරුණයා එනවිට, දියතලන්ද ගෙදර සිටියේය. මේ නම් ආවේ හොඳට යහමින් මුදල් තිබෙන ප්‍රභූවරයෙක් බව, එක බැල්මෙන් දියතලන් හඳුනා ගති. එලෙසම මේ ප්‍රභූ තරුණයා, ඒ කුඩා නිවසේ සිටි ළමා හාමිව දුටු පසු, ළමා හාමිගේ රූපයට වශී වූයේ හරියට ජැකොලයින් ෆර්නැන්ඩස්ව දුටුවා සේය. මේ තරම් රූමතියක් තමාගේ ජීවිතේටවත් නොදුටු ලෙසය ඔහු හැසිරුණේ.

දියතලන්, මේ උත්තමයාට කෑම ටිකක් දෙන්නට අණ කිරීමත්, අඩුම කුඩුම ගෙන එන්නට දියතලන් කඩේට යන්නට සැරසීමත්, සිගරට් ගේන්නට කියා තරමක මුදලක් දියතලන්ට දීමත්, ඔහු ඒවා රැගෙන සූදු පොළට යෑමත්, ඒ අතරේදී, මේ හරියට නමක් ගමක් හෝ කියන්නේ නැති, ප්‍රභූ තරුණයා අතින් ළමාහාමි අනාථ වීමත්, ඔහු ඇයව විවාහ කර ගන්නා බව පොරොන්දු වීමත්, මේ හේතුවෙන් ළමාහාමිව බලාපොරොත්තුවෙන් සිටි සරදියෙලාගේ අපේක්ෂාවන් සුනුවිසුනු වීමත්, එක පැයක් ඇතුලත සිදුවිය. කේ. ඒ. ඩබ්ලියු, මේ සිදුවීම් පෙළ, ප්‍රේක්ෂකයන්ට, ඇල්මක් ඇතිවන අන්දමට ඉදිරිපත් කළේය.

එම සිදුවීමෙන් පසු මේ ප්‍රභූ තරුණයා සතියකට වරක් ළමාහාමිව හමුවී තම ප්‍රේමය සතියෙන් සතිය දික් කරගති. සියලු අපේක්ෂාවන් සුන්වූවද සරදියෙල්, ළමාහාමිගේ ආරක්ෂාවට සිට්යේය.

ළමාහාමිට, ප්‍රභූ තරුණයා හා දාවා දරුවෙක් පිළිසිඳුණේ ඔය අතරෙදීය. ඇය පුල පුලා බලා සිටියේ ඔහුට මේ ආරංචිය කියන්නටය. ඇය සිතුවේ මේ බව කී සැණින්ම, අර නම හා තමා සිටින තැන නොකියන ප්‍රභූ තරුණයා තමාව එවලේම විවාහ කරගනීවී යැයි කියාය. එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. එය කන වැකුණු සැනින්ම ඔහු කීයේ ඇයට ඇති තරම් මුදල් දෙන්නම්, එහෙත් ඇයව විවාහ කර ගැන්මට නොහැකි බවකි. නමුත් මා ඉහත කී ලෙස ඩබ්ලියු ඒ සිල්වාගේ විශ්මිත සිදුවීම් හරහා, එතැනට සරදියලා , විවාහ රෙජිස්තාර් කෙනෙක් කැටුව පැමිණ ඔවුන් දෙදෙනාව බලහත් කාරයෙන් විවාහ කර දෙනු ලැබුණි. මෙතැනදී කුමක් හෝ විශාල සැඟවුණු තවත් සිදුවීම් මාලාවක් තිබෙන බවක් අපට ඉඟි කරයි. සරදියලා, දියතලන්ව මිනීමැරුමකට සොයන බවත්, එය දැන ගත් පසු දියතලන් නැවත නොඑන්නටම එතැනින් පැන යාමත්, මින් පෙර, අර ප්‍රභූ තරුණයත්, සරදියලා නමින් සිටින තරුණයත් දැන හැඳීනගෙන සිටි බවත් ඒ ඉඟි තුලින් අපට වැටහේ.

බලෙන් විවාහය කළද, අර ප්‍රභූ තරුණයාවත්, සරදියලාවත්, දියතලාවත් ළමාහාමිව බලන්නට නැවත පැමිණියේ නැත. මාස තුනක් පමණ බලා සිටි ඇය ඉදිරියට නෙරා ආ කුසත් සමඟ කොළඹ ගියේ තම සැමියාව කෙසේ හෝ සොයාගැනීමේ චේතනාවකිනි. අනේක දුක්විදූ ඇයට සැමියාව සොයා ගත නොහැකි වූ අතර, ඇය පිරිමි දරුවෙකුද ප්‍රසුත කළාය. අවසානයේ ඇය කළේ ළමයාව, මහ මඟ දමා, අසල ගඟට පැන ජීවිතය හානි කර ගැන්මය.

කේ.ඒ. ඩබ්ලිව්, තම චිත්‍රපටයේ මුල් අදියර මෙලෙස ඉතාමත් සංවේදීව ඉදිරිපත් කළේ ප්‍රේක්ෂකයන්ව පටලවා තබාය.

චිත්‍රපටයේ දෙවැනි අදියර දිගහැරුණේ වෙනම අයුරකිනි. ඒ 'සයියා' හරහාය. සයියා හැදුණේ හිඟන ගුබ්බෑයමකය. ඔහු තරුණ්‍යයට එළඹුනු අතිශයින්ම කඩ වසම් පුද්ගලයෙකි. ඔහු හිඟාකෑමට වඩා කළේ, පොකට් ගැසීමය.

පේදුරු සයියා ගැන ඇහැ ගහගෙන සිටියේය. ඒ කොන්ත්‍රාත්තුවකටය. එම කොන්ත්‍රාත්තු ව පේදුරුට භාර දුන්නේ මාකස් අල්මේදා නම් සට කපට නීතිඥයෙක්ය. ඒ කිසිවකගෙන් ලියුමක් ගැනීමටය. පේදුරු සයියාව තමා භාරයේ තබා ගත්තේ ඔහුව මාකස් අල්මේදාට භාර දී, ගිවිසුම් ගත් රුපියල් දාහ ගැනීමටය.

මැරියන් සමරසිංහ, රූමත් නව යොවුන් තරුණියෙකි. ඇගේ මාමා ,එනම් ඇගේ මවගේ සොහොයුරා වූයේ සර් හෙන්රි විජේකෝන්ය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකි. මැරියන්ගේ මව හා පියා දෙදෙනාම මියගොසිනි. ඇය හැඳුනේ, වැඩුණේ ⁣සර් හෙන්රි ලඟය, ඇයගේ මාපියන්ගේ බූදලයත්, සර් හෙන්රිගේ බූදලයත් අයිති වී තිබුණේ මැරියන්ටය. සර් හෙන්රි අවිවාහක තනිකඩයෙකි.

මැරියන්ට සයියාව මුණ ගැසුණේ, සයියා ඇයගේ අත්බෑගය සොරකම් කරන විටය. එහෙත් ඇය ඔහුටඅනුකම්පා කොට, මුදල් දී, මින් පසු හොරකම් නොකර හොඳ මිනිසෙක් වෙන්නට කියා ඔවදන් දුනී. එතැන් පටන් සයියා හොරකම් නැවැත්වූයේ ඇයට කරන ගෞරවයක් ලෙසටය. සයියා පේදුරුගේ අතට අසුවී, එතැනින් මාකස් අල්මේදාගේ කොන්ත්‍රාත්තුවට එක්වූයේ එතැන් පටන්ය.

ප්‍රභුවරයෙකු වූ ජස්ටින් රණසිංහ⁣ ළඟ තියෙන ලියුම ගන්නට මාකස් අල්මේදා යොදා ගත්තේ පේදුරු හා සයියාවය. එහෙත් සයියා රණසිංහ මහතාව මීට පෙර දැනගෙන සිටිය හෙයින් මාකස්ගේ සැලැස්ම සයියා විසින් රණසිංහට කියා, පේදුරුව හිර ගෙදරට යැව්වේය. රණසිංහ මහතා සයියාව තම භාරයට ගෙන මොරිස් අභයසිරිවර්ධන නමින් බෞතීස්ම කර, සමාජයට උසස් පුද්ගලයෙකු ලෙස හඳුන්වා දුනි.

නැවත මැරියන් ව සයියා නොහොත් මොරිස් අභයසිරිවර්ධන මුණ ගැහුනේ ජස්ටින් රණසිංහ සර් හෙන්රි විජේකෝන්

ගේ ප්‍රභූ මිතුරෙක් නිසාය. මැරියන් එදා සයියාව බේරා ගෙන ඔහුට හොඳ මිනිසෙකු වෙන්න කීවේ ඔහු ගැන ඇතිවූ අනුකම්පාව නිසාය. ඒ සිදුවීම එතැනින් පසු මැරියන්ට අමතක විය. යොවුන් ව්යේ පසුවූ මැරියන් එක්තරා අන්දමක ගත කළේ හුදකලා ජීවිතයකි.

සිරිල් ජයසේකර නැමැත්තෙක් දුන් ලිපියක් භාර වී තිබුනේ ⁣සයියා මොරිස් කෙරූ ජස්ටින් රණසිංහටය. එය විවර කරන්නට දිනයක් දී තිබුණි. එහී බූදලයක් අයිති වීම ගැන සවිස්තරව සඳහන් වී ඇති නිසා, මාකස් අල්මේදාත් මෙහී කොනක සිටින නිසාත්, මේ ලිපිය අතට ගතහොත් මෙම බූදලය තමා සතු කර ගැන්මට හැකි බව දැනගත් මාකස් ,පේදුරු හා සයියා ලවා එය හොරකම් කිරීමට උත්සහා කළද, දැං එය ව්‍යාවර්ථ වූ හෙයින් රණසිංහව මරා හෝ එම ලිපිය ගැන්මට මාකස් උත්සහ කළේය. ඔහු එයට රොනල්ඩ් ජයරත්න නම් තරුණයෙක්ව හවුල් කරගති. සර් හෙන්රිට හා රණසිංහට රොනල්ඩ්ව හඳුන්වා දුන්නේ එංගලන්තයෙ සිට පැමිණි තම බෑනා කෙනෙක් ලෙසටය. මාකස් උත්සහා කළේ, රොනල්ඩ්ව ,මැරියන්ට පටලවා, ඇයට අයත් මහා බූදලයත්, සර් හෙන්රිට අයත් ධනස්කන්ධයත් ඇද ගැන්මටය. රොනල්ඩ්ද කඩවසම් තරුණයෙකු හෙයින් එය එතරම් අපහසු නොවන බව මාකස් දැනගත්තද, මැරියන් ,මොරිස් සමඟ ඇඟලුම් කමක් පැවත්වීම මාකස් නොරිස්සීය. එහෙයින් මොරිස්ව මොකකට හරි පටලවා මෙතැනින් අයින් කිරීමට මාකස් සිතා ගති.

'මනමාලයි, මනහාරයි

මල් ලෝකේ මී මැස්සෝ

පැණි බොන්නට රුං ගාලා

එනවාදෝ මී මැස්සො'

මේ රොනල්ඩි විසින් මැරියන්ගෙ උපන් දිනයදා ගැයූ ගීතයයි. එදින මොරිස් ද පැමිණ සිටියහ. මොරිස් සහ රොනල්ඩ්ගේ ගැටුම පටන් ගත්තේ මෙතැන් සිටය.

රොනල්ඩ්ව සහසිකයෙක් අතින් මිය යෑමත් , එයට මොරිස්ව පටලවා, සර් හෙන්රි ව්නිශ්යකාරයා අතින් මොරිස් ව මරණ දණ්ඩනයට නියම වීමත්, මාකස් අල්මේදාගෙ සැලැස්ම අනුව සිද්ධ වුණු දේවල්ය. ඒ අතර ජස්ටින් රණසිංහව මරා දැමීමත් මාකස්ගේ මෙම සැලැස්මේ එක් පියවරක් විය.

එක්තරා බෞද්ධ උපාසිකාරාමයක නන්දා නම් උපාසික මාතාවක් විසුවාය. මේ නන්දා ගැන සවිස්තරව දැන ගෙන සිටියේ සිරිල් ජයසේකර පමණී. නන්දාට කීමට බොහෝ දෑ ඔහු සතුව තිබුණද, ඔහු එයට නිසි වෙලාව එන තෙක් බලා සිටියේය.

සර් රාම් ලාල් නම් නීතිඥයෙක් ඉන්දියාවෙ සිට පැමිණියේ මේ අතරෙදීය. ඔහු ආවේ මොරිස් වෙනුවෙන් ඇපෑලක් ඉදිරිපත් කර, ඔහුව මරණ දණ්ඩනයෙන් බේරා ගැන්මටය. මේ මිනී මැරුම් කිසිවකට මොරිස් සම්බන්ධ නැති බවත් ඒ සියල්ලටම සම්බන්ධ මාකස් අල්මේදා බව රාම් ලාල් දැන ගෙන සිටියේය.

ජස්ටින් රණසිංහ ගේ භාරයේ තිබූ ලිපිය විවෘත කරණ දිනය පැමිණිය.

රාම් ලාල් ලෙස මොරිස් වෙනුවෙන් ඇපෑලක් ඉදිරිපත් කර, මොරිස්ගේ නිවැරදිභාවය ඔප්පු කළ ඉන්දියාවෙන් පැමිනී නීතිඥවරයා වූයේද මේ සිරිල් ජයසේකරමය. එදා ළමාහාමිගෙ නිවසට අශ්වයා සිට පැමිණ ඇයව අනාථ කර පැන යනවිට, බලෙන් විවාහ කර දුන් ප්‍රභූ තරුණයා, වූයේ මොරිස්ට විනිශ්චය දුන් මැරියන්ගේ මාමා වු සර් හෙන්රි විජේතුංගය. අවසානයේ සර් හෙන්රි නන්දාව සොයාගොස් ඇයගෙන් සමාව ඉල්ලා ගති. මොරිස් සියලු චෝදනා වලින් නිදොස් විය. මොරිස් යනු සර් හෙන්රි ට දාව ළමාහාමිට ඉපදුණු දරුවා බව ළමාහාමි නොහොත් නන්දා උපසිකාව කියා සිටියාය. මාකස් අල්මේදාව මිනීමැරුම් චෝදනාවන් වලට පොලිස් අත්අඩංගුවට පත් විය. ඔය අතරවර, දියතලන්, වයියා වූ හැටි, ඔහු සයියාව හදා ගත් හැටි, දියතලන් කළ මිනිමැරුමක් එදා සරදියලා ලෙස සිටි සිරිල් ජයසේකර මතට දමා, සිරිල් ජයසේකර, සරදියලා ලෙස වෙස් ගන්වා දියතලන් සොයා ආ හැටි, යන සිදුවිම් ගොනු කොට වෙනම අතුරු කථාවක්ද ඒ තුළින් ගලා ගියේය.

කේ.ඒ.ඩබ්ලියු පෙරේරා හිඟන කොල්ලා වැනි පැටලිලි සහගත කථාව, හරි අපූරුවට තෝරා බේරාගෙන, ප්‍රේක්ෂකයන් ට දැඩි ලෙස අකාර්ෂණීය වන අන්දමට ඉතාමත් සාර්ථකව නිර්මාණය කර තිබුණි. රඟපෑම් වුවද එකිනෙකට නොපරදින ලෙස සියල්ලෝම තම චරිත මැනවින් අවබෝධ කර ගෙන රඟපෑහ.

ළමාහාමි හා නන්දා ලෙස මාලනී ෆොන්සේකාද, සර් හෙන්රි ලෙස රවින්ද්‍ර රන්දෙනියද, මොරිස් ලෙස විජය කුමාරණතුංග ද විශිෂ්ට ලෙස තම චරිත තුල ජිවත් වෘ තිබුණි. තවත් දක්ෂ රඟපෑමක් පියදාස ගුණසේක⁣ර විසින් පේදුරු ලෙස අද්විතීය ලෙස නිරූපණය කළ තිබු අතර, සරදියෙලා, සිරිල් ජයසේකර, රම්රාවෝ වැනි චරිත තුනම උපාලි අත්තනායක රඟපෑහ. දියතලන් හා වයියා වූයේ ජෝ අබේවික්‍රමය. මැරියන් සෝනියා දිසා වූ අතර ඩොමි ජයවර්ධන මාකස් අල්මේදා විය

රොනල්ඩ් වුයේ විජය නන්දසිරිය. ඩී.ආර්

නානායක්කාර, සම්පත් ශ්‍රී නන්දලෝචන, හර්බට් අමරවික්‍රම, ලිලියන් එදිරිසිංහ, දොන් සිරිසේන, මාක් සමරනායක, තලතා ගුණසේකර, ඒ.ජේ.කරීම්. සෙසු චරිත රඟපෑහ. කැමරාව එම්.ඒ ගෆුර්ය. සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙනි.

1979 අප්‍රේල් 14වෙනිදා තිරගත කිරීම ආරම්භ කෙරූ හිඟන කොල්ලා චිත්‍රපටය නිෂ්පාදනය කළේ සුගතදාස මාරසිංහය. ඒ 1963 වසරේ රන්මුතුදූව චිත්‍රපටය ලැබූ ඉහළම ආදායම් වාර්තාව බිඳ හෙලමිනි.

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.