දිටිමු සොඳීන නව සුප්පා දේවී මනකල් !

ජූලි 25, 2019

ිංහබාහු නාටකයේ දසක හතරකට ආසන්න කලක් රඟපෑ මාලිනි ටෙරන්ස් කලා යුවල එනිසාම ගිනස් වාර්තාවකටද හිමි කම් කියති. ඒ සා දිගු කලක් සිංහබාහු නාටකයට ජීවය දුන් දෙමව්පියන්ගේ දරුවකු ලෙස කාංචනාට ඒ රංග උරුමය හිමිවීමද එක් අතකින් දෛවෝපගත සිදුවීමක් වැන්න.

කාංචනමාලා රණසිංහගේ රග සම්ප්‍රාප්තියේ මංගල මොහොත නැරඹීම සඳහා ඇරයුම් ලද අපි සියල්ලෝම උනන්දුවෙන් හා කුහුලින්ද යුතුව එල්පින්ස්ටන් රඟහල තුළ අසුන් ගෙන සිටියෙමු. එදා ප්‍රේක්ෂාගාරය පිරි තිබුණේ සුවිශේෂ ආරාධිත පිරිසකගෙන් බව මට පෙනුණි. ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් මෙරටේ විශ්ව විද්‍යාල, සංස්කෘතික, කලා හා ජනමාධ්‍ය වැනි කේෂ්ත්‍ර වලට අයත් වුවෝය. ඇතැම් කෙනෙකු දැනට මව්බිමෙන් බැහැර වෙනත් රටවල වාසය කරන්නෝ වුහ.

දිනය හරියටම ඉකුත් ජුලි 06 වැනිදාය. ඇය නේපත්‍යාගාරය තුළ තම වාරය එන තෙක් බලා සිටින්ට ඇත. රඟහල අඳුරු වී තිරය දෙපසට යද්දී අප දැක පුරුදු සිංහබාහු පොතේ ගුරු මඳ හසින් යුතුව රැඟුම් ඇරඹීම සඳහා සිංහයා රඟ මඬළට කැඳවීමේ ඉන්නිස ගීතය ගාම්භීර ලෙස ගැයුවේය. සිය සුපුරුදු ගමන් කාලය අනුව ප්‍රේක්ෂකයන් අබියසට පැමිණි සිංහයා නියමිත ගැයුම හා නැටුම නිමවා ආපසු ගියේ ඔල්වරසන් මැදය.

නොඅඩු තුනු සිරිනි සදිසි සිරි කල් එකල් 
දැනු නරඹනු සොඳීන සුප්පා දේවි මනකල්

පොතේගුරුගේ හඬ ප්‍රේක්ෂාගාරය සිසාරා යළිත් ගලා ගියේය. තවත් නිමේෂයක් ගෙවිණි. තුනු සිරිත් සපිරි මඳහසින් සුපිපි වතින් සුප්පා දේවිය අප අබියස ප්‍රාද්‍රර්භූත වූවාය. ප්‍රේක්ෂකයෝ නෙතින් ඇගේ රුසිරු විඳීමින් ප්‍රමුදිතව සිටියහ.

නැත ලොවේ අන් රසඳුනා 
ආදරේ සේ සුව දෙනා

ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ සුකුමාරත්වය අමරණීයත්වයට පත්කළ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මධුර ගීතය රසික හද නිවාලමින් ගලා බසින්ට විය. කාංචනා අභිනව සුප්පා දේවිය ලෙස මෙරටේ රංග කලා ඉතිහාසයට එක් වූවාය.

සිංහබාහු නාටකයේ සුප්පා දේවියගේ භූමිකාව නිරූපණය යනු දේශීය රංග භූමියේ කවර නිළියකට වුවද අතිශය දුර්ලභව හිමිවිය හැකි භාග්‍යයකි. සිංහබාහු පමණක් නොව මනමේ නාටකයේද රංග කාර්ය සඳහා වරම් ලබන ඕනෑම නළුවකු හෝ නිළියක තම රංග කලා ජීවිතයේ උත්කර්ෂවත් අත්දැකීම විඳීන්නෝ වෙති.

කාංචනා ඒ උත්තරීතර භූමිකාවට වරම් ලද්දී නිසැකයෙන්ම දිගු ප්‍රාර්ථනාවක ඵලයක් ලෙසින්යැයි මම කල්පනා කරමි. ඒ සඳහා සියලු වාසනා ගුණ මෙන්ම නිසි රිසි පසුබිමක්ද ඇය සතු විය. කාංචනා යනු සිංහබාහු නාටකයේ පළමු සුප්පා දේවිය වූ මාලනී රණසිංහගේ හා පළමු පොතේ ගුරුව සිට දිවි රඟමඬලෙන්ම සමු ගෙන ගිය ටෙරන්ස් රණසිංහගේ එකම දියණියයි. සිංහබාහු නාටකයේ දසක හතරකට ආසන්න කලක් රඟපෑ මාලිනි ටෙරන්ස් කලා යුවළ එනිසාම ගිනස් වාර්තාවකටද හිමි කම් කියති. ඒ සා දිගු කලක් සිංහබාහු නාටකයට ජීවය දුන් දෙමව්පියන්ගේ දරුවකු ලෙස කාංචනාට ඒ රංග උරුමය හිමිවීමද එක් අතකින් දෛවෝපගත සිදුවීමක් වැන්න.

සත්තකින්ම කාංචනා වැඩුණේ සිංහබාහු සැමරුම් සමඟය. සිය පා මුළ දියණිය හිඳුවා ටෙරීත් මාලිනීත් අනන්තවාරයක් ඒ රසාලිප්ත සිංහබාහු නාටකයේ ගී ඇයට ගයන්ට ඇත. කිම්ද මෑනියණියි නොකියා කාංචනා ඒ ගී වලට සවන් දෙන්ටත් ඇත. එනිසාම ළමා වියෙහි සිටම ඇගේ නිවහන පුරඳර නන්දන උයනක් සේ සුන්දර වන්ටද ඇත. එසේ වුවද කාංචනා සුප්පා දේවිය වන්නී ඇය විසින් ඒ වෙනුවෙන් කරන ලද අප්‍රමාණ ප්‍රාර්ථනාවන් පමණක් නොව අසාමාන්‍ය කැපවීමද නිසාය.

ජාතිය වෙනුවෙන් සරච්චන්ද්‍ර නිර්මාණ භාරකාරත්වය දරමින් ඒ රංග පවත්වා ගෙන එන ලලිතා සරච්චන්ද්‍ර ඇදුරුතුමියගේ ගුරු උපදෙස් ඇයට ආශිර්වාදයක් වූවා නිසැකය. පළමු සුප්පා දේවිය ලෙස සමාරෝප වූ සිය මවගේ රූපණ ශෛලීයද ඇයට ධෛර්යක්වන්නට ඇත. මේ වන විට පරිණත රංග ශිල්පීන් වන සරත් විමලසිරි (සිංහබාහු) රජිත හේවාතන්තිරි (සිංහයා) දෙපස රැඳෙමින් ඇගේ රංගය විචිත්‍ර කළ බවද නිසැකය. කාංචනා තුළ නිතැතින්ම සුප්පා දේවි භූමිකාවට සමාරෝප වීමේ ආත්ම විශ්වාසයද නොමඳව තිබුණි. සිංහබාහු යනු බහ තෝරන වියෙහි සිටම ඇයට සුපුරුදු අත් දැකීමකි. එහි විවිධ සැමරුම් ඇගේ මනස තුළ තැන්පත්ව තිබෙන්ටද ඇත. සිය මස්. ලේ, ඇට, ඇට මිදුලු තුළට කාවැදි තිබුණු ඒ ආශ්වාදනීය මතකය සමග වේදිකාව මත චකිතයකින්, කෝළයකින් තොරව රඟන්නට ඇයට හැකි වූ බව මම කල්පනා කරමි. එදා ඇය විසින් තහවුරු කරන ලද්දේ සිය රංග ප්‍රතිභාව හා වේදිකාවේ ඇයට අත්පත් කර ගත හැකි විජයග්‍රහණයක් පිළිබඳ ගාම්භීර සුබ ලකුණුය. එහෙත් දුරුරටක සිටින ඇයට ඒ සඳහා කාලය දක්වන අනුග්‍රහය හා අවකාශය කුමක්ද? කුමක් වුවත් සුප්පා දේවියගේ භූමිකාව විචිත්‍ර කළ අපූර්ව රංග ශිල්පිනියක ලෙස ඇය රසික ප්‍රසාදයට පාත්‍රව සිටින්නීය.

සිංහබාහු මතු නොව මනමේ ඇතුලු සරච්චන්ද්‍රගේ සියලුම නාට්‍ය නිර්මාණ සමග මේ සංක්ෂිප්ත සටහන ලියන මා තුළද අප්‍රමාණ ධාරණාවන් වෙයි. සිංහබාහු දෙවන නිෂ්පාදනය වු කාල වාකවානුව තුළ මා මෙන්ම දිගා හා මනෝද සරච්චන්ද්‍ර සෙවණෙහි සිප් සතර හැදැරුහ. පිං ඇති සරසවිය දිගාට (ද්ද් දෙණියට) හා මනෝට (මනෝරත්න) දුන් රංග වරම් මට නොදුන් නමුදු නාට්‍ය කලාව, සාහිත්‍ය ආදිය කෙරෙහි මගේ මනස ප්‍රබෝධමත්ව තැබීමට දයාර්ද්‍ර වූවාය.

විසිවන සියවසෙහි පෙරදිග රංග කලා ඉතිහාසය වර්ණවත් කළ අපූර්වතම සෞන්දර්ය අත්දැකීම සිංහබාහු බව මම නිසැකවම සඳහන් කරමි. මා දන්නා තරමින් සිංහබාහු, මනමේ වැනි නිර්මාණ තරම් වාර ගණනක් රඟ දැක්වු වෙනත් සිංහල නාට්‍ය නොමැත. මේ වන විට සිංහබාහු දර්ශන වාර හත් අට දහසකට වඩා රඟ දක්වා තිබිය හැකිය. කුමක් වුවත් ඒ අසිරිමත් රංග පෙළහරට එක් වූ කාංචනා භාග්‍යවන්තියකි. ඒ අසිරිමත් රංගය රස භාව ගුණයෙන් විචිත්‍ර කළ මාලිනී හා ටෙරී (අද දිවමන්ව නැතත්) සිය දියණිය කාංචනාට දායාද කළ අමිල සෞන්දර්ය නිධානය, මහරු අබිමන් සුප්පා දේවිය ලෙස ඇය අභිෂේක කරවීම බවද මම ලියා තබමි.

ගාමිණි සුමනසේකර 
නිශ්ශංක විජේරත්න

Add new comment