හිතලා බැලුවද ලොකු නෝනලා

ජූලි 25, 2019

1971 ජනවාරි 26 මදුරාසියේ සිනමාහල්වල කෝවායි චේසියම් නිෂ්පාදනය කෙරූ "කුමරි කෝට්ටම්" නම් දමිළ චිත්‍රපටයක් තිරගත විය. මෙය අධ්‍යක්ෂනය කළේ පී. නීලකන්ටන්ය. එම්. ජී.රාමචන්ද්‍රන්,විසින් ගෝපාල් සහ මිස්ටර් පාල් ලෙස ද්විත්ව චරිතයක් නිරූපණය කළ අතර, ජයලලිතා කුමරි සහ මායාදේවී ලෙස තවත් ද්විත්ව චරිතයක් රඟපෑවාය. චෝ රාමස්වාමි බාබු ලෙස ගෝපාල්ගේ මිතුරා වූ විකටයා ලෙස චරිත මැවීය.

සොමු, සහ මුත්තයියා දුෂ්කර ගමිමානයක ජීවත් වන දුප්පත් මිතුරන් දෙදෙනෙකි. සොමුට කුඩා දියණියක් සිටි අතර, මුත්තයියාට ඒ වයසේම කුඩා පුතෙක් සිටියේය. දෙදෙනාගේම බිරිඳැවරුන් මිය ගොසිනි. මොවුන් දෙදෙනා පොරොන්දුවක් ගිවිස ගත්තේ, සොමුගේ දියණිය කුමරි කවදා හෝ විවාහ විය යුත්තේ මුත්තයියාගේ පුත්‍රයා වූ ගෝපාල් සමඟ කියාය. මේ අතර ගමෙන් ඈත නගරයේ විසූ කුමරිගේ සීයා

මිය ගියෙන් ඔහුගේ විශාලවූ මුළු බූදලයම ලියා තැබුවේ කුමරි නමටය. මෙම පණිවිඩය සොමුගේ අතට පත්වූවද, ඔහු නගරයට ගොස් එම බූදලය ලබා ගැන්මට උත්සහා කළේ නැත. මුත්තයියා ඔහුගෙන් ඒ බව ඇසූ විට ඔහු කීවේ ඔහුට නගරයට යෑමටත්, එසේ යන ව්ට ඇඳ ගෙන යාමට ඇඳුම් පැලඳුම් ගැනීමට මුදල් නොමැති බවය. මුත්තයියා තම බිරිඳ තමාගේ අතේ පැලදූ මඟුල් මුද්ද විකුණා සොමු හා දියණියට නගරයට යෑමට මුදල් සොයා දුනී.

සයිමන් හා මාටින් කුඩා ගම්මානයක කරත්ත රස්සාව කරමින් සිටි දුප්පත් මිතුරන් දෙදෙනෙකි. සයිමන්ට ගාමිණී නම් කුඩා පුතෙක්ද, මාටින්ට නිලන්තී නම් කුඩා දියණියක්ද, සිටි අතර දෙදෙනාගේම බිරිඳැවරුන් මිය ගොස් සිටියහ. ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය කෙතරම්ද යත්, තම දරු දෙදෙනා තරුණ වියට පැමිණුනු පසු දෙදෙනා විවාහ විය යුතු බවට ඔවුන් ගිවිසා ගතී.කොළඹ නගරයේ ජීවත් වූ විශාල පොහොසතෙක් වූ නිලන්තිගේ සීයා මිය යන්නේ ඔහු සතුව තිබූ විශාල බංගලාව සහිත බූදලය තම මිනිබිරිය වූ නිලන්ති නමට ලියාය. පවුලේ නීතිඥ වරයා මෙම පණිවිඩය මාටින්ට දන්වා එව්වද, මාටින් එය භාර ගැන්මට යන්නට අදි මදී කළේ ඔවුනට ඇඳගෙන යාමටත්, ඇඳුම් හෝ කොළඹට යාමට මුදල් හෝ නොමැති නිසාය. සයිමන් වහා තම බිරිඳ තමාට පැලඳු රත්තරන් මුදුව විකුණා මුදල් ගැනීම සඳහා මාටින් ට දුන්නේ කොළඹ ගොස් බුදලය භාරගෙන සතුටින් සිටින්නට කියාය.

සොරානම්,විසින් ලියූ 'කුමරි කෝට්ටම්' කථාව ඩීමන් ආනන්ද විසින් සිංහලට හරවා දෙබස් සමඟ ලියා ලෙනින් මොරායස්ට බාර දුනී. ලෙනින් ⁣එයට තිරනාටකය ලිවීය. එම්.ජී. ආර්, හා ජයලලිතාගේ රඟපෑම් වල තිබූ තාරුකා ආරෝපය, එකල ලාංකේය සිනමාවේ තිබුණේ, ගාමිණී, මාලනී, හා විජය ළඟ පමණී.

⁣'කුමරි කෝට්ටම්', ලද ජනප්‍රියතාවය, අබිබවන්නට ඇතැම් විට ලෙනින් මොරායස් උත්සහ ගත් බවක් පෙනුනේ, එයට සහභාගි කරගත් අය දුටු විටය. ඉන්දියාවේ එම්.ජී.ආර්. අතීශයින්ම ජනප්‍රිය නළුවෙක් වූවාට ඔහු දක්ෂ නළුවෙක් නොවීය. එලෙසම ජයලලිතාද, තරුවක් සේ බැබලුණාට, ඇය දක්ෂ නිළියක් නොවීය. එහෙත් ලංකාවේදී ගාමිණී ෆොන්සේකා, අතීශයින්ම ජනප්‍රිය වූවාක් මෙන්ම ,අද්විතීය දක්ෂතාවයකින් හෙබි රංගධාරියෙකු විය. මාලිනී ෆොන්සේකාද එසේය. ඇය තාරකාවක් මෙන්ම ජත්‍යන්තර මට්ටමට ගිය විශිෂ්ට නිළියකි. එලෙසම එකල ' ජේම්ස් බොන්ඩ්' සිරීස් මෙන් ලංකාවේ ජනප්‍රිය වී තිබුණේ 'සූරයා' සීරිස්ය. ලෙනින් මොරායස් ස්කෝර් කළේ මේවා වලින්ය.

ජනප්‍රිය වූ දම්ළ චිත්‍රපට අනූරූ ගෙන ඒවා 'ලෝකල්' ක්‍රමයට 'රීකන්ඩිශන්' කර, ඒ අස්සට ෂෝන් කොනරිගේ 'ජේම්ස් බොන්ඩ්' කෑලි, ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ 'ඩොලර් සීරිස්' වල තිබූ කව්බෝයි කැලී දමා, ගාමිණීල මාලනීලා බැප්ටිස්ට්ල, ඇලෙක්සැන්ඩර්ලා, හෙලන් කුමරිලා, ඇන්තනී සීලා දමා වෙනම 'කල්චර්' එකකින් යුක්තව හදන ලෙනින් මොරායස්ලගෙ චිත්‍රපටවල තිබුණේ පුදුම ගැමිමකි. ක්ලබ් ඩාන්ස්, ක්ලබ් ෆයිට් දමා ලෙනින් හදන මෙම චිත්‍රපට හරිම 'රිච් ලුකින්'ය. ගාමිණීල විටෙක ෂෝන් කොනරි වගේය. තවත් විටෙක ක්ලින්ට් ඊස්ට් වුඩ් වගේය. උන්නු උන්නු ගමන් ශම්මි කපූර් වගෙත් වැඩ දායි. ඒ ලෙනින්ගේ 'ස්ටයිල්' එකය. ලෙනින්ට විශාල ප්‍රේක්ෂකාගාරයක් තිබුණි. ඒහෙයින් ලෙනින්ගේ චිත්‍රපට කොහොමත් හිට් විය.

සයිමන් දුන් මුදල්ගෙන, තම කුඩා දියණිය සමඟ කොළඹ ගිය මාටින්, දැන් ගජ පෝසතකි. ඒ කුඩා දියණිය, දැන් බොහොම 'පොෂ්' තරුණියකි. ඇය නිලන්තිය. සයිමන්ලා නම් තවම ගමේය. මාටින්ට දැං සයිමන් කියා කෙනෙක් සිටියාදැයි කියා මතක නැත. මාටින්ගේ පුත් ගාමිණීද දැං කඩවසම් තරුණයෙකි. ඔහුද කොළඹට පැමිණ ඉගෙන ගන්නා අතර පාට් ටයිම් ජොබ් කරයි. නිලන්තිට දුප්පත් අයව පිළිකුල්ය. එහෙත් ගාමිණී දුප්පත් අයගේ පැත්ත ගැන නිතර කථා කරයි. ගාමිණීට, නිලන්තිව හමුවන්නේ ඇය දුප්පත් මිනිස්සුන් සමූහයකට අපහස කරමින් සිටින විටය. එතනදෘී ගාමිණී දුප්පත් මිනිස්සුන්ගේ පැත්ත ගනියි.

'හිතලා බැලුවද ලොකු නෝනලා 
හිතලා බැලුවද ලොකු නෝනලා 
අනේ අනිච්චං, 
ඇස් දෙක තව නැහැ පෑදිලා 
තව නැහැ පෑදිලා'

චිත්‍රපටය පුරාවටම නිලන්තී ගාමිණීට වෛර කරයි. මාටින්ගේ බංගලාවේ මල්වත්ත බලාගැනීමට කෙනෙක් අවශ්‍ය බව පුවත් පතක දැන්වීමක් පළ කරන්නේ මේ අතරේදීය. එම පුරප්පාඩුවට එන්නේ ගාමිණීය. ඒ ලෙ⁣නින් මොරායස් තම චිත්‍රපට තුළින් අපට 'ආතල්' දෙන අන්දමය. ගාමිණී හා නිලන්ති නැවත හමුවෙයි. දැන් ගාමිණී ඉගෙන ගන්නා අතරේ නිලන්තිලාගේ නිවසේ මල්වත්තේ වැඩ කරයි.

නිලන්තිද ඉගෙන ගන්නේ ගාමිණී ඉගෙන ගන්නා තැනමය. නිලන්තිට ඉගෙන ගැනීමට බැරිය. එහෙත් ගාමිණීට දක්ෂ ලෙස ඉගෙන ගැන්මට පුළුවන.ගාමිණීගේ හොඳම 'ෆිට්' එක නොහොත් යාළුවා 'බට්ටා' නොහොත් බැට්සන්ය. නිලන්තිගේ 'ෆිට්' එක 'ලෝෆි'ය. බට්ටා හා ලෝෆි' ලව්ය. ඔවුන් දෙදෙනා ගාමිණී හා නිලන්තිව යාළු කරවීමට උපරිම උත්සහයක් ගතී.

'ආදරයෙන් -බැඳුණු දිනේ 
නින්ද පවා -අමතක වේ 
අමුතුම ලෝකෙක ඔහු තනිවේ

ආදරයෙන් -බැඳුණු දිනේ 
නින්ද පවා -අමතක වේ 
අමුතුම ලෝකෙක ඇය තනිවෙි"

එහෙත් නිලන්ති කෙලෙසකවත් ගාමිණීට කැමැති නොවේ. මේ අතර මාටින් සමඟ එකට කරත්ත රස්සාව කෙරූ සයිමන් මාටින්ව මුණ ගැසෙන්නට ⁣ගියේ ඔවුන් දෙපොළ ගමේ සිටින කාලයේ ගිවුසම් ගත් පොරොන්දුව වූ තම දරු දෙදෙනා වූ ගාමිණී හා නිලන්තිව විවාහ කර දීම ගැන මතක් කර දීමටය. එහෙත් ඒ වන විට මාටින් කොළඹ විශාල පොහොසතෙකු වී සිටි හෙයින් එකල කොළඹ ඒමට සයිමන්ගේ මුද්ද විකුණා මුදල් ගත් හැටි උවමනාවෙන් අමතක කර, කොළඹ තම නිවසේ උත්සවයකට ආ ආරාධීතයන් ඉදිරියේ සයිමන් ගේ දුප්පත් කම, අසරණ කම, ගමේ කම හුවා දක්වමින් නින්දිත ලෙස අපහස කර නිවසින් එළවා දැමීය. මෙය සයිමන්ට කිසිසේත් දරා ගත නොහැකි විය. ඔහු ⁣යළි ගමට ගොස් තම පුතුට සියල්ල පවසා, ගෙල වැල ලා මිය යෑමට තැත් කළේය. ගාමිණීගේ මැදිහත් වීමෙන් ඔහු බේරුණද, කවදා හෝ මාටින් ව හා ඔහුගේ දියණියව තම පියාගේ කකුල් දෙක ලඟ දණ ගස්වා සමාව ඉල්ලවන බව ගාමිණී තම පියාට පොරොන්දු විය.

එතැන් පටන් ගාමිණී , ප්‍රෑන්ක් නමින් කෝටිපතියෙකු ලෙස වෙස් මාරු කර ගති. අබේවික්‍රම නම් කෝටිපතියෙකුව බීමෙන් ගලවා ගත් ගාමිණී, අබේවික්‍රම හා ඔහුගේ දියණිය නීටාගේ ජීවිත සතුටෙන් තැබූ හේතුව ⁣නිසා, අබේවික්‍රම ගාමිණීට ඕනෑම දෙයක් ඉල්ලන්න කීය. ගාමිණී කීවේ ටික කාලයකට, තමා මේ නිවසේ හා බුදල්වල අයිතිකරු ලෙස පෙන්වන්නට අවසර ඉල්ලීම පමණී. ගාමිණී කෝටිපති ප්‍රෑන්ක් වූයේ එලෙසය.

ඉන් පසු ගාමිණී බට්ටා සමඟ එකතු වී මාටින් හා ඔහුගේ දියණියව යළි පාරටම ඇද දැමීම සඳහා නොයෙක් නොයෙක් උපක්‍රම දැමීය. ලෙ⁣නින් මොරායස්ද ප්‍රේක්ෂකයන් ඇඳ බැඳ දමා ගන්නට නොයෙක් නොයෙක් උපක්‍රම දැම්මේය. ප්‍රෑන්ක් යන කෝටිපතියාට රැවටුණු නිලන්ති ඔහුට ආදරය කරන්නට විය. දැන් නිලන්තිට හීනෙන් පෙනෙන්නේත් ප්‍රෑන්ක්වමය.

' දෑස පිරේ, දෑත පිරේ, 
පාට පාට ලස්සන මල් සුපිපේ 
අපේ ආදර පොකුණේ'

එක එක මැණික් වෙන්දේසි යැයි කියමින් ඒවා සංවිධානය කර, ඒ අතරේ මාටින්ගේ නිවසට සාස්තර කාරයෙකුසේ බට්ටාව වෙස් ගන්වා යවා, ඒ ඉඩම් වෙන්දේසියේදී එම ඉඩම් මිලදී ගන්නට ඉඩ සලස්වා, මාටින්ගේ සියලු මුදල් තමා වෙත ඇද ගත් ප්‍රෑන්ක් නොහොත් ගාමිණී, අවසානයේ නිලන්තීව පිස්සු වැට්ටුවේය.

රෙක්ස්, නම් තවත් ආතභූත චරිතයකුත් මාටින්ගේ පවුලට මුල සිටම එකතු කර තිබුණි. ඔහු නිලන්තිලාගේ බූදලයට ඇහැ ගහගෙන සිටියේ නිලන්ති කුඩා කාලයේ මාටින් සමඟ කොළඹට පැමිණෙන්නටත් පෙර සිටය. කෙසේ හෝ රෙක්ස්, නිලන්ති හා විවාහ වන්නටද සිතා සිටියේ මේ මුළු බූදලයම තමා සතු කර ගන්නා චේතනාවෙනි. එහෙත් ප්‍රෑන්ක් කියන චරිතයක් නිලන්තිගේ ලෝකයට පැමිණ ඇති නිසා, ⁣මොවුන්ව නැති කර දැමීමට රෙක්ස්, මංගෝ නම් හොර අරක්කු ⁣විකුණන මුඩුක්කු ගැහැනු කෙනෙක්ව එකතු කර ගන්නේ, ඒ මංගෝගේ බාහිර ස්වරූපය නිලන්තීට සමානවීම නිසාය. පිස්සු හැදුණු නිලන්තිව පැහැර ගෙන ගොස් ඒ වෙනුවට මංගෝව නිලන්ති ලෙස අන්දවා, සියල්ලෝම රවටා රෙක්ස් බූදලය ගන්නට ගියද, අවසානයේ මෙය ප්‍රෑන්ක් නොහොත් ගාමිණීට, අසුවිය. ඉන් පසු ගුටි බැටය. ඒ අව් අස්සේ නිලන්තිගේ ඔළුව බිත්තියක හැප්පී ඇය යථා තත්වයට පත්වූවද, ලෙනින් මොරායස්ගේ මේ අභුත දෑ නිසා, එය නැරඹු අපට නම් තවම යථා තත්වයට පත්වීමට නොහැකි විය.

මේ වනවිට, ගාමිණීගේ සැලැස්ම නිසා, මාටින් හා ඔහුගේ දියණිය, නිලන්තීට සිදුවූයේ අතේ සතේ නැතිව, මුළු රටටම ණයවී, සිටි බංගලාවද උකස් කර, එයද නැතිවී යන තත්වයට පත් වීමය.

කෙසේ හෝ අවසානයේ ගාමිණීට අබේවික්‍රමගේ උපකාරයෙන් තම පියා වූ සයිමන්වද කොළඹ කෝටිපතියෙක් ලෙස හැඩගස්වා, මාටින්ටත් ඔහුගේ දියණිය වූ නිලන්තිටත් එදා සයිමන්ට අපහස කළා සේ 'ෆුල් රිටන්' එක දීමට හැකි විය. ගාමිණී කී ලෙසම මාටින්ව සයිමන්ගේ දෙපා ළඟ දණ ගැස්වීය. එලෙසම නිලන්තිලාගෙන් උපක්‍රමශීලිව ගත් සියලු මුදල් ගාමිණී විසින් ඇයගේ නමට බැංකුවේ තැන්පත් කර තිබූ බවක්ද කියවුනි. එහෙයින් මාටින්ලාගේ මුදල් ප්‍රශ්නයත් ඉවර විය.

ප්‍රෑන්ක් ලෙස මෙතෙක් කල් පෙනී සිටියේ ගාමිණී බව නිලන්තී පසුව දැන ගත්තද, දැන් ඇයට ඒවා ප්‍රශ්න නොවේ. ඇය ගාමිණීට ආදරය කරන්නට විය.

මංගෝද, රෙක්ස් විසින් මේ සැලැස්ම තමන්ට පැවරුවේ මුදල් දෙන බවක් කී නිසා යයි කියා, අවසානයේ ඇයද රෙක්ස්ව පොලීසියට අල්ලා දීමට, ගාමිණීට හා නිලන්තීට උපකාර කර, තම සුපුරුදු 'කසිප්පු' ස්පොට් එකට ගියේ 'බලන් ගියාම කුණු සේරම තියෙන්නේ ලොකු ලොකු පවුල් වලනේ' කියාය.

මාටින් හා සයිමන් නැවත ගජ මිතුරන් විය. ගාමිණී හා නිලන්ති එක්විය. ඒ ගමන්ම බට්ටා හා ලෝෆිද එක් විය. රෙක්ස්ව පොලීසිය විසින් රැගෙන ගියහ. අබේවික්‍රම හා ඔහුගේ දියණිය නීටා මේ සියල්ල දෙස සිනාමුසු මුහුණෙන් බලා සිටියහ. මොනවා නැතත් 'සූරයා- සූරයාම' තමා යයි අපටද ප්‍රත්‍යක්ෂ විය.

ලෙනින් මොරායස්ගේ 'සුරයා' සීරීස් එක 'සුරයා සූරයාමයි' චිත්‍රපටයෙන් පසු නිම විය. කොහොමත් 'කුමරි කෝට්ටම්' තරමටම නැතත්, 'සූරයා සූරයාමයි' ලංකාව තුළ ජනප්‍රිය විය. ගාමිණී ෆොන්සේකා ගාමිණී හා ප්‍රෑන්ක් වූ අතර, මාලනී ෆොන්සේකා නිලන්ති ලෙසත් මංගෝ ලෙසත් එකිනෙකට වෙනස් දක්ෂ රංගනයක නිරත විය. බට්ටා නොහොත් බැට්සන් වූයේ ඇන්තනී සී පෙරේරාය. ලෝෆී ,අග්‍රා සජීවනීය.

සයිමන් හා මාටින් ලෙස පිළිවලින් එච්.ඩී.කුලතුංග හා හියුගෝ ප්‍රනාන්දු රඟපෑ අතර, රෙක්ස් කොඩිප්පිලි රෙක්ස් විය. ජෝ අබේවික්‍රම ,අබේවික්‍රම වූ අතර, ස්වර්ණා කහවිට නීටා විය. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ද සටන් දර්ශනයකට රඟපෑ අතර, නීතිඥයා ලෙස ටෝනී රණසිංහ ගරු රඟපෑමක නිරත විය. වින්සන්ට් වාස්, තලතා ගුණසේකර, බී.එස්.පෙරේරා, සරණපාල සූරියආරච්චි සෙසු චරිත වලට පණ දුනි.

සංගීතය පී.එල්.ඒ. සෝමපාලය. කරුණාරත්න අබේසේකර හා ධර්සිරි ගමගේ ගේ ගී පද රචනා වලට එච්.ආර්.ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ජේ.ඒ.මිල්ටන්⁣ පෙරේරා ගී ගැයූහ.

ලෙනින් මොරායස් තිරනාටකය ලියා, කැමරාව මෙහෙයවා ,අධ්‍යක්ෂණය කළ 'සූරයා සූරයාමයි' තිරගත කිරීම ආරම්භ කළේ 1975 අගෝස්තු 1වනදාය

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ) 
ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.