ලංකා TV අන්දරය

සැලසුම් කෙරුණු සැලසිනේ
ජූලි 25, 2019

ටයිටස් තොටවත්ත, පියසිරි ගුණරත්න, ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි, තුවාන් ඒ. කමූර් වැනි සිනමා මාධ්‍යයෙන් නිර්මාණකරණයට සම්බන්ධ වී සිටි අධ්‍යක්ෂවරුන් ජාතික රූපවාහිනිය පිහිටුවීමත් සමඟම එහි විවිධ තනතුරු සඳහා පත්වන විට එවැනි තනතුරක් භාර ගැනීමට අකැමැති වූ බොහෝ සිනමාකරුවන් තමන්ගේ රූපවාහිනී නිර්මාණකරණයට අත්පොත් තබන්නේ සැලසිනේ ආයතනයට බාහිරව සම්බන්ධවීමෙනි. තිස්ස අබේසේකර, සුගතපාල සෙනරත් යාපා, විජය ධර්ම ශ්‍රී වැනි සිනමාකරුවෝ ඒ අතුරින් ප්‍රධාන වූහ. සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ පළමු ලේකම් ධූරය හෙබ වූ ආචාර්ය වික්‍රම වීරසූරියන්ගේ මඟ පෙන්වීම යටතේ පිහිටුවන ලද සැලසිනේ ආයතනයෙහි පළමු අධ්‍යක්ෂක වූයේ ජී. එච්. කේ. රත්නසිරිය. ඉහත නිර්මාණකරුවන්ගේ නිර්මාණ කෞශල්‍යයන් විවිධ අවස්ථාවන්හිදී එම ආයතනයට ලබා ගැනීම පිණිස ජී. එච්. කේ. විසින් ඓතිහාසික මෙහෙවරක් ඉටු කරන ලද අතර එහි ප්‍රතිඵලය වූයේ ජාතික රූපවාහිනියට සමාන්තරව ගුණාත්මක බවින් පොහොසත් රූපවාහිනී වාර්තා, අර්ධ වෘත්තාන්ත සහ ටෙලි නාට්‍ය නිර්මාණ කිහිපයක්ම නිෂ්පාදනය කිරීමට සැලසිනේ ආයතනයට හැකි වීමය.

80 දශකයේදී 77 රජය විසින් දියත් කරන ලද ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිය වූ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සියලු රූපවාහිනි වැඩ සටහන් නිර්මාණය කරන ලද්දේ සැලසිනේ ආයතනය මඟිනි. තෙල්දෙනිය වැනි සෞම්‍ය දේශගුණයක ජීවත් වූ ජනතාවක් සංවර්ධනයේ නාමයෙන් දෙහිඅත්තකණ්ඩිය වැනි ශුෂ්ක දේශගුණයකට අයත් භූමි ප්‍රදේශයකදී නව ජීවිතයක් ආරම්භ කිරීම පිණිස ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය (ග. නි. ස. ම.)ට අයත් ලොරිවල නැඟී ගිය සංවේදී කතන්දරය, සංවේදී ආකාරයෙන්ම ප්‍රේක්ෂක ජනතාව ඉදිරියේ දිග හරින ලද්දේ තිස්ස අබේසේකරයන්ගේ නිර්මාණ ප්‍රාගුණ්‍යය යළිත් වරක් විෂද කරන ලද ‘ගංගාවතරණය’, ‘දොළොස් මහේ ගංගාව’ වැනි ටෙලි වෘත්තාන්තයන් ඔස්සේය. එවැනි නිර්මාණයන් හුදු ප්‍රචාරාත්මක වැඩ සටහන්වලට වඩා එහා ගිය නිර්මාණයන් වශයෙන් ප්‍රේක්ෂකයන්ගේ රස වින්දනය ඉහළට ඔසවා තැබීමට හේතු විය. 90 දශකය අග භාගය වනතෙක් ම මහවැලි අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ විවිධ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව නිර්මාණය වූ රූපවාහිනි වැඩ සටහන් ජාතික රූපවාහිනියට සමාන්තරව නිෂ්පාදනය වූයේ සැලසිනේ ආයතනයේ මානව සහ භෞතික සම්පත් භාවිතයෙනි. (98 වසරේදී ලියුම්කරුගේ පුරෝගාමිත්වයෙන් මහවැලි කේන්ද්‍රීය පරිශ්‍රයේදී පිහිටුවන ලද ‘මහවැලි වීඩියෝ’ රූපවාහිනී අංශය යටතේ එම අමාත්‍යාංශයට අදාල සියලු රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ විය) සැලසිනේ ආයතනයේ ආරම්භයේදීම සිදු වූ කඩිනම් සංවර්ධනය සඳහා එයට අනුයුක්තව නිර්මාණකරණයේ යෙදුණු සිනමාකරුවන්ගේ ප්‍රතිභාව මනා පිටිවහලක් වූ අතර එකී නිර්මාණයන් සංස්කරණ මේසයේදී බොහෝ විට කපා කොටා නිමා කරන ලද්දේ රවින්ද්‍ර ගුරුගේ නම් සංස්කරණ ශිල්පියා විසිනි. වර්තමානයේදී සිනමා නිිර්මාණකරුවන්ට නැතිවම බැරි සම්මානනීය සංස්කරණ ශිල්පියකු වන රවිගේ පළමු නවාතැන වුයේ සැලසිනේ ආයතනයයි. ඔහුගේ සංස්කරණ කාමරය නිර්මාණාත්මක ප්‍රවේශයකට වඩා එහා ගිය විනෝදජනක නවාතැනක් බැවින් බොහෝ නිර්මාණකරුවෝ ඔහු සමඟ වැඩ කිරීමට වැඩි කැමැත්තක් දැක් වූහ.

අනුර මාධව ජයසේකර

Add new comment