සංගතකරණයට අමිල මෙහෙවරක් ඉටු කළ පන්හිඳක සමුගැනීම

ජූලි 25, 2019

ශ්‍රී ලාංකේය උරුමය ලෙස මෙරට චිරාත් කාලයක් පුරා ආධිපත්‍යය උසුලන්නා වූ සිංහල බෞද්ධ මහා සභ්‍යත්වය සමඟ දෙමළ, මුස්ලිම්, බර්ගර් යනාදී විවිධ වාර්ගික, ආගමික ජනතාව සංගතකරණය නොඑසේනම් අනුකලනය (ධ්ව්ඊඡ්ට්අඒඊධ්ර්‍ණව්) කිරීම එක් එක් ජන වර්ග අතර අන්‍යෝන්‍ය අවබෝධය, සමගිය, සහජීවනය ගොඩනැංවීමෙහිලා අත්‍යවශ්‍ය මෙහෙවරකි. අවසෙස් සෑම අංශයකටම වඩා මේ කර්තව්‍යය මැනවින් සඵල කොට ගත හැකි වනුයේ කලාව හා සාහිත්‍යයෙන් යැයි මම විශ්වාස කරමි. සාහිත්‍ය කලාව ඔස්සේ ජනවර්ග අතර විශේෂයෙන් සිංහල - දෙමළ ජනවර්ග ද්වය අතර සංගතකරණය ප්‍රශස්ත මට්ටමෙන් සිදු කිරීමෙහිලා ඉතා නිහඬ මෙහෙවරක් ඉටු කළා වූ අප හිතාදර, කුසලතා සපිරි ලේඛකයකු පසුගිය සතියේ දැයෙන් සමුගත්තේය. හේ උපාලි ලීලාරත්න (1958 – 2019) නම් විය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංගතකරණය වූ අධ්‍යාපනයක අවශ්‍යතාව මුල්වරට අවධාරණය කරන ලද්දේ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති (1914 – 1918) ෆි‍්‍රට්ස් කූන්ස් මහතා විසින් යැයි මම සිතමි.

සිංහල - දෙමළ භාෂා භාෂාන්තර සාහිත්‍ය සාහිත්‍යාන්තර සහසංකලනයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මේ වූ කලී විශේෂයෙන්ම සිංහල සාහිත්‍ය වංශයේ මධ්‍යතන යුගයෙහි සිට සුපැහැදිලිවැ දක්නා ලැබෙන ප්‍රවණතාවකි. වාග් විද්‍යාඥයන්ගේ වර්ගීකරණයට අනුව දෙමළ “ද්‍රාවිඩ භාෂා පවුල”ට අයත් භාෂාවකි. මෙහිදී වෙසෙසින් කිවයුත්තක් තිබේ. එනම් “දෙමළ” ජනවර්ගය හඳුන්වනු පිණිස බොහෝ දෙනා වරෙක “දෙමළ”, “දමිළ” යන යෙදුම් ද විටෙක “ද්‍රවිඩ” ඈ යෙදුමද භාවිත කරති. ඉන් හෙළි වනුයේ “දෙමළ” හා “ද්‍රවිඩ” යන යෙදුම් ද්වයෙහි පැහැදිලි වෙනස ඔවුන් වටහා ගෙන නොමැති බවය. “දෙමළ”, “දමිළ” යන යෙදුම්වලින් දෙමළ ජනවර්ගය හැඳින්වෙන බව සැබවි. එහෙත් “ද්‍රවිඩ ජනතාව” කී විට ඉන් සන්නිවේදනය කෙරෙනුයේ “දෙමළ” ජන වර්ගය පමණක් නොවේ. දෙමළ, තෙලිඟු, කන්නඩ, මලයාලම් යන ද්‍රාවිඩ භාෂා පවුලට අයත් සියලු ජනවර්ග පොදුවේ එමඟින් අර්ථවත් කෙරේ. සිංහල හා දෙමළ භාෂා ද්වයෙහි යම් යම් සමාන ලක්ෂණ සැලකිල්ලට ගත් වාසලමුදලි ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධනයෝ සිංහලය ද්‍රාවිඩ භාෂා පවුලට අයත් බසකි යැයි වරක් පැවසූහ. මේ නිසාම ඔහු “දෙමළ මුදලි” ලෙස එකල ජනතාව අතර ප්‍රකට විය. එහෙත් මෙකී මතය ශාස්ත්‍රීය ලෙස වාග් විද්‍යාවෙන් තහවුරු නොවූ අතර සිංහලය ද්‍රාවිඩ භාෂා පවුලට නොව “ඉන්දු ආර්ය භාෂා පවුල”ට අයත් වන බව බොහෝ විද්වත්හු ඒකමතිකව පිළිගනිති. එය සහේතුකය. කෝට්ටේ යුගයේ පූජ්‍ය වීදාගම මෛත්‍රෙය හිමි විසින් විරචිත “ බුදුගුණාලංකාරය” (1475) හා සීතාවක යුගයේ අලගියවන්න මුකවෙටි විසින් විරචිත “සුභාෂිතය” (1611) යන කාව්‍ය ග්‍රන්ථ සඳහා දෙමළ කාව්‍යවල ආභාසය ලැබී තිබෙන බව පූජ්‍ය හිස්සැල්ලේ ධම්මරතන හිමියෝ (සිංහලයේ ද්‍රවිඩ බලපෑම් කෘතියෙහි) පෙන්වා දෙති. මේ මතවාදය සත්‍යයකි. “බුදුගුණාලංකාරය” හි මතු නොව වීදාගම මෙත් හිමි ලියූ බවට සැලකෙන “දහම් ගැට මාලාව“ හිද දෙමළ සාහිත්‍යාභාසය දක්නා ලැබේ. (නිද – “කන්දේ කෙටූවයි සේනේ ඉරන්ඩු”) එපමණකුදු නොව වීදාගම මෛත්‍රෙය හිමි එකල යාපනයට වැඩම කොට දෙමළ භාෂාවෙන් දහම් දෙසූ බව දන්මෝ මෙකල අල්පදෙනාය. සුප්‍රකට ඖවෛයාර් නමැති දෙමළ කිවිඳිය විසින් විරචිත “නීති වෙන්බා” ග්‍රන්ථයෙහි ආභාසය “සුභාෂිතය” ට ලැබිණ. (නිද – රුදුරු ගොරසපුන්ගේ දළ ගෙයි විසය) පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන, කෑරගල පද්මාවතී පිරිවෙන වැනි කෝට්ටේ යුගයේ පැවැති ප්‍රමුඛ පිරිවෙන්වල එකල දෙමළ භාෂාව ඉගැන්විණ. කුරුණෑගල යුගයේ “දඹදෙණි අස්න” (1303 – 1325) හි රචනා රීතිය පිරික්සන කල්හි දෙමළ සාහිත්‍යයෙහි “විරුත්තම්” ශෛලියේ ආභාසය ඉන් ස්ඵුට වේ. කෝට්ටේ යුගයේ “පැරකුම්බා සිරිත” (1450 – 1460) වැනි ප්‍රශස්ති කාව්‍ය අරභයා දකුණු ඉන්දියානු සාහිත්‍යයේ ඇසුර සුපැහැදිලිය. දෙමළ භාෂාවේ ආභාසයෙන් සිංහලයට එක් වූ වදන් රාශියකි. හෝඩිය (සෝඩිය) අලුකුත්තේරුවා (අලුක්කුත්තෙරි- කසළ සහිත වීදිය), සන්ගදිය, පන්දු, සුනංගු, නිනව්ව (නිනවු - මතකය), අඩමානය (අඩෛමානම්), අඩන්තේට්ටම් (අඩාරින්තේට්ටම්), අලකලංචිය (අෙලෙකලංගි), කරවල (කරවාඩු).

එපමණකුදු නොව සිංහල වියරණයෙහි දක්නා ලැබෙන සන්ධි, විභක්ති කෙරෙහිද (නිද – පූර්ව ස්වර ලෝප) දෙමළ භාෂාවෙහි ආභාසය දැක්ක හැකිය. “තෝල්කාප්පියම්”, “වීර සෝලියම්” යන දෙමළ ව්‍යාකරණ ග්‍රන්ථවල පරිවර්තනයක් ලෙස “සිදත් සඟරාව” ලියැවී ඇතැයි පවසන්නෝ ද සිටිති. එහෙත් මේ මතය අසත්‍යයකි. සිදත් සඟරාව ඉන් සුළු ආභාසයක් ලබා ඇති නමුදු එය බොහෝ දුරට ලිය වී තිබෙනුයේ පොළොන්නරු යුගයට අයත් පාලි ව්‍යාකරණ ග්‍රන්ථයක් වූ “මොග්ගල්ලානය” ඇසුරෙන් බව කේ. ජයතිලකයෝ පෙන්වා දෙති. (විශ්ව සාහිත්‍යය ආභාසය හා නිර්මාණය – පිට 206).

සාහිත්‍ය කලාව ඔස්සේ සිංහල - දෙමළ ජන වර්ග මැනවින් සංගතකරණය කළ ලේඛකයන් අතර පූජ්‍ය හිස්සැල්ලේ ධම්මරතන හිමි, ඩොමිනික් ජීවා, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය මඩුළුගිරියේ විජේරත්න, ස්වාමිනාදන් විමල්, දික්වැල්ලේ කමාල්, සීලරත්න සෙනරත්, කමල් පෙරේරා, තම්බිඅයියා දේවදාස් (විශේෂයෙන් සිනමාවට), තෙලිවත්තේ ජෝසප්, හේමචන්ද්‍ර පතිරණ, මේමන් කවි, ආර්. ශදගෝපන්, සරත් ආනන්ද, නිලාර් එන්.කාසීම්, රමේෂ් කුමාර් සහ පසුගියදා අපෙන් සමුගත් උපාලි ලීලාරත්න යනාදීන් මට එකවරම සිහිපත් වේ. උපාලිගේ වියෝව තත් ක්ෂේත්‍රයෙහි විසල් රික්තයක් ජනිත කරවන්නක් බැව් මම හඟිමි. ඔහුගේ ද්විභාෂා සාහිත්යික මෙහෙවර තත් විෂයට කැපවුණු, නිහඬ, ඉතා ප්‍රකට නොවූ නමුදු දිගු පුළුලින් යුත් කාර්ය සාධනයකි.

අහංගම උපත ලැබූ ඔහු කුඩා කාලයේ සිට හැදී වැඩුණේ වතුකරයේ දෙමළ ජනතාව සමඟිනි. පුලාන් දේවි ධ්, ධ්ධ්, ධ්ධ්ධ්, සදාම් හුසේන්, වීරප්පන් යන අපදාන ග්‍රන්ථ ලියා පළ කළ ඔහු වඩාත් ඇසුරු කළේ දෙමළ මිතුරන්ය. ප්‍රපංචන් නමැති දෙමළ ලේඛකයා ලියූ කෘති රැසක් ඔහු සිංහලට (පෙරදා පෑයූ සඳ, නීල නදී) පරිවර්තනය කළේය. සිංහල - දෙමළ ජනතාව අතර ඉදි විය යුතු පාලම අරභයා හේ මතුපිටින් අත පත නොගා තම සාහිත්‍ය කෘති මඟින් එය ගැඹුරින් විග්‍රහ කිරීමට උත්සුක වූයේය. දෙමළ ජනතාව බහුතරයට සිංහල බස කතා කළ හැකි වුවත් සිංහල ජනතාව බහුතරයකට දෙමළ බස කතා කළ නොහැකි බව වරක් උපාලි ඉතා දුක්මුසුව මා හට පැවසුවේය. සිංහල සභ්‍යත්වය අනුව ජීවත්වන දෙමළ ජනතාව ගැන ඔහු නිබඳව සිහිපත් කළේය.

උපාලි ලීලාරත්න නම් වූ සොඳුරු මිනිසා මට හඳුනා ගැනීමට ලැබුණේ 2006 වසරේ ස්වකීය ප්‍රථම නවකතාව වූ “මනුදෙව් අරණ” ජනගත කළ සමයෙහිය. හින්දු පූජකවරයකුගේ බිරියක හා වෛද්‍යවරයකු අතර ඇතිවන සබඳතාව කේන්ද්‍ර කොට ගත් මේ නවකතාව මඟින් උඩරට වතුකරයේ ජන ජීවිතය හින්දු දේවාලයක් ආශ්‍රිතව විවරණය කෙරිණ. එකල මරදානේ ඇස්. ගොඩගේ සමාගමේ ප්‍රකාශන අංශයේ සියලු බර කරට ගන්නා ලද්දේ ඔහු විසිනි. උපාලි ඒ ආයතනය හා සබැඳි සියලු විද්වතුන්, ලේඛකයන්ගේ සුහද මිතුරෙකි. ගොඩගේ ප්‍රකාශනයක් වූ මවිසින් රචිත “සොඳුරු අදියුරු සකසුවාණෝ’ (ටයිටස් තොටවත්ත) (2009) ග්‍රන්ථය ජනගත කළ සමයේ එහි ප්‍රකාශන කටයුතු සඳහා ඔහු මට අමිල සහයක් ලබා දුන්නේය. එනම් උපාලි ලේඛකයන්ට කිසිදා කුහකකම් නොකළ ලේඛකයෙකි. හිත හොඳ මිනිසෙකි. 2013 දී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ 50 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ගොඩගේ ප්‍රකාශන ආයතනය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එක් වී සංවිධානය කළ ශාස්ත්‍රීය දේශන මාලාවේ එක් දෙසුමකට ඔහු මා හට ඇරැයුම් කළේය. අප ලේක්හවුස් ආයතනයෙන් 2013 වසරේ මුල්වරට සංවිධානය කළ කෘතහස්ත අධ්‍යාපනඥ කච්චි මොහොමඩ් මහතා (මගේ ජීවිතයේ මට හමු වී ඇති ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ගෙන් එතුමා එක් අයෙකි) මෙහෙය වූ දෙමළ භාෂා පාඨමාලාවෙන් මා උසස් අයුරින් සමත් වූ බව උපාලිට සැල වී තිබිණ. ඒ ආසන්නයේ ඔහු මට කමල් පෙරේරා සොයුරාගේ ග්‍රන්ථ දොරට වැඩුමකදී හමු විය. උපාලි මගේ සාමර්ථ්‍යය අරභයා අප්‍රමාණ ලෙස සතුටුව සුබ පැතුවේය. “ඒ වුණාට දෙමළ බස තව හුඟාක් ඉහළට ප්‍රගුණ කරන්න ඔයා මට උදව් කරන්න ඕනේ” යැයි මා කී කල්හී “සත්තකින්ම නුවන්” යනුවෙන් පැවසූ ඔහු සිනාමුසු මුහුණෙන් මගේ අත අල්ලා ගත්තේය. වරක් උපාලි පැවසූ කියුමක් මා හට සිහිපත් වේ. “අපේ රටේ තවමත් දෙමළ සාහිත්‍යයක් බිහි වී නැහැ. දෙමළ කවීන්, ලේඛකයන් සිටියත් ඔවුන් යම් යම් සීමාවල සිරවෙලා නිර්මාණ කරන්නේ. ලංකාවේ බිහිවන දෙමළ ග්‍රන්ථ උසස් මට්ටමක නැහැ. බොහෝ විට දක්නට ලැබෙන්නේ බොළඳ පෙම් කතා. අනෙක බොහෝ කවිවල ඒක පාර්ශ්වික අදහස් දකින්න ලැබෙනවා. නමුත් ඉන්දියාවේ මේ තත්ත්වය දකින්න ලැබෙන්නේ නැහැ. ඔවුන්ට ස්වාධීන විචාර ශක්තියක් තිබෙනවා. නිදහසෙන් පසුව ඉන්දියාව එකම රටක්, ජාතියක් ලෙස පෙළ ගැසුණේ මේ නිසා. මෙරට රාජ්‍ය සාහිත්‍ය උලළේදී ඩොමිනික් ජීවාගේ සාහිත්‍ය මෙහෙවර අගය කිරීම සතුටට කරුණක්. බොහෝ දෙමළ ලේඛකයන් රට හැර යෑමේ ප්‍රවණතාවක් දකින්න පුළුවන්.”

උපාලිගේ සාහිත්‍ය මෙහෙවර ඉන්දියාවේදී ඇගැයුමට ලක් වී ඇති බව බොහෝ දෙනා නොදනිති. “ගල් අඟුරු” පරිවර්තන කෘතියට 2011 ඉන්දියාවේ නල්ලි දිසෙයි එට්ටුම් සම්මානයද “ජීවිතාශාව” පරිවර්තන කෘතියට 2012 ඉන්දියාවේ චින්නප්පභාරතී සම්මානය ද “සීනි” පරිවර්තන කෘතියට 2013 ඉන්දියාවේ චින්නප්පභාරතී සම්මානයද, “පවලායි” පරිවර්තන කෘතියට 2015 ඉන්දියාවේ චින්නප්පභාරතී සම්මානය ද “මානව හිතවාදී ආණ්ඩුකාරයකුගේ කතා වස්තුව“ පරිවර්තන කෘතියට 2013 ඉන්දියාවේ චින්නප්පභාරතී සම්මානය ද හිමි වූ අතර මේවා ඔහු දෙමළ භාෂාවෙන් සිංහලයට නැඟූ නවකතා වේ. එසේම උපාලි දෙමළ භාෂාවෙන් සිංහලයට නැඟූ “කැදලි බිඳී ගිය පසු” හා “අලුත් මනාලයා” යන කෙටිකතා සංග්‍රහයන්ට පිළිවෙළින් 2016, 2018 වර්ෂවල රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි විය. “රජ වාසල කවටයා තෙනාලි රාමන්” (2006), “දෙමළ බස ඉගෙනුමට අත්වැලක්” (2014), “සිංහල අරුත් සහිත දෙමළ වචන” (2015), “හින්දු සිරිත් විරිත් හා දෙවිවරු” (2017), “වතු කම්කරුවන්ගේ ජන ජීවිතය හා සංස්කෘතිය” (2018) යනාදී ඔහු ලියූ ග්‍රන්ථයෝ සිංහල - දෙමළ සංගතකරණයට දෙස් දෙති. ඒ අතර සිංහලෙන් දෙමළ බසට නැඟූ කෘති ද රාශියකි.

විවිධ ජන වර්ග අතර වාර්ගික ගැටුම් හට ගැනෙනුයේ අන්‍යෝන්‍ය භාෂා, ආගමික, කලා, සාහිත්යික, සංස්කෘතික අවබෝධය නොමැති කල්හීය. 50 දශකයේ අග භාගයේ “ශ්‍රී” අකුර මුල් කොට ගෙන සිංහල - දෙමළ වාර්ගික ගැටුමක් හට ගැනීම මුග්ධභාවයේ ඵලයකි. මක්නිසාද යත් “ශ්‍රී” සිංහල හෝ දෙමළ භාෂාවල නිෂ්පන්න අක්ෂරයක් නොව සකුවෙන් මේ භාෂා දෙකට එක් වූවකි. සිංහල, වංග, දෙමළ භාෂාවල “ශ්‍රී” අකුර තිබේ. ඒ පෙර කී ලෙස සංස්කෘත භාෂාවෙන් ඒවාට ප්‍රවිෂ්ට වීම නිසාය. යාපනයේ ව්‍යවහාර කෙරෙන දෙමළ භාෂාව සෙසු දෙමළ භාෂාවලට වඩා උසස් කොට සලකනුයේ එය සංස්කෘත භාෂාවෙන් මනාව සුපෝෂණය වූ හෙයිනි. “සකු බස මැනවින් උගත් අයකු හට සිංහල - දෙමළ භාෂා භේදයක් නොමැති බව“ වරක් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයෝ “වගතුග“ තීරු ලිපියෙහිලා දැක් වූහ. කෙසේ නමුදු 61 හැවිරිදි වියෙහිදී උපාලි ලීලාරත්නයන් රෝගාතුරවැ දැයෙන් සදහටම සමුගත්තේ සිංහල - දෙමළ භාෂා සංගතකරණ විෂයෙහි පිරවිය නොහැකි රික්තයක් ඉතිරි කොට තබමිනි.

අප හිතාදර, ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා සොයුරා ඔහුගේ වියෝවෙන් නැඟුණු ශෝකය එසැණින් කවි සිතුවිලි බවට පත් කොට වත පොතට (ජ්චජඥ ඕධධඬ) මුදා හළේය. ඒ කව මෙහිලා උපුටා දක්වනු වටි.

“මානව දයාවේ අයෝමය පන්හිඳ 
බිඳුණු හදවත් යා කළ මිතු සඳ 
නිසසලය අද ඔබ 
සසල කරමින් අප සැම... 
දයාබර මිතුරාණ... 
ඔබගෙන් ගිලිහුණු 
මිනිසත් බවේ රන් ධජය 
බිම වැටී තැළී පොඩි වී යන්න 
ඉඩ නොහරිමු අපි කිසිවිට... 
සුබ ගමන් සුමිතුරාණෙනි... 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.