සිනමාව අතහැර සිනමාකරුවෝ විනෝද චාරිකාවක

ජූලි 25, 2019

එය සුන්දර ගමනකි. ඊට සහභාගි වූයේ ද අපූරු පිරිසකි. ඔවුන් නම් වශයෙන් පසුවට හඳුන්වා දෙන්නට සිතමි. දිනය ජූලි පහළොස් වැනිදාය. කොට්ටාව නගරයට සුඛෝපභෝගී බසයක් පැමිණියේ ඒ සොඳුරුතමයන් එක පොදියට එකතු කර ගැනීමටය. පිරිස නංවා ගත් බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු විය.

එතැන් පටන් එතුළ රසගුලාවක් විය. මෙරට සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ විධායක කමිටු සාමාජිකයන් මෙසේ චාරිකාවට සහභාගී වූ පිරිසය. තවත් විදිහකින් කිවහොත් සිනමා අධ්‍යක්ෂවරුන් දහ හත් දෙනකි. ඔවුන් මේ යන්නේ වාර්ෂික විනෝද චාරිකාවකි. සරත් ධර්මසිරි, සෙනේෂ් දිසානායක බණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, උදයකාන්ත වර්ණසූරිය, බෙනට් රත්නායක, අනුරුද්ධ ජයසිංහ, ජයන්ත චන්ද්‍රසිරි, සුනෙත් මාලිංග ලොකුහේවා, ශමීර රංගන නාඔටුන්න, සරත් වීරසේකර, රොහාන් වැලිවිට, වෛද්‍ය කපිල සූරියආරච්චි, සුරංග ද අල්විස්, සුදේශ් වසන්ත පීරිස්, සුනිල් ප්‍රේමරත්න, රවීන්ද්‍ර ගුරුගේ සහ ලාල් හරින්ද්‍රනාත් එම ගැන්සියයි.

වෙනදා මෙන් ඇක්ෂන් කට් අද මෙහිදී නැත. හෙට ෂූට් එකට නළු නිළියන් ලොකේෂන් හරිදැයි කියා ගැටලු නැත. රිසිසේ විනෝද වන්නට හැකි නිසා සියල්ලන් සිටියේ සැහැල්ලු මනසිනි. ගී ගයන්නට ආරාධනා අවශ්‍ය නැත. ඉදිරියට අවේ ශමීර සහ සුදේශ්ය. මිල්ටන් පෙරේරා සහ හරුන් ලන්ත්‍රා මතක් කරමින් ඔවුන්ගේ ගී ගැයීමට පටන් ගත්තේ සැවොම පිනවමිනි. අධිවේගී මාර්ගයෙන් පිටතට ඇවිත් මතුගම කිට්ටුවට ආවේ අවට පරිසරයේ සිරිය ද නෙතට හසු කර ගනිමිනි. එවිට ඔවුන් හිස්බඩ සිටි නිසා කෑමට යමක් අවශ්‍ය වුව ද කිතුල් රා ලැබුණේ අහම්බයෙනි. මඤ්ඤොක්කා ද ඊට ගැලපිණ. එතැනින් නික්මී වැලිගමට ආවේ නවාතැන් ගැනීමට සූදානම් වන හෝටලයටය. එතැනදී සිනමා සාකච්ඡාවක් ඇරැඹිණ. එය දුර දිග ගියේ මේ විනෝද චාරිකාවක් ද එහෙමත් නැතිනම් සංසදයේ සැසි වාරයක් ද කියා හිතා ගන්නට බැරි තැනටය. උදයකාන්ත, ජයන්ත සහ සෝමරත්න සිනමා ක්ෂේත්‍රය කෙරෙහි එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ අදහස් එකතුව තර්ක ගොඩ නැගුවේ හඬ උස් වෙන ගමන්ය. අනෙක් අය තරමක් බියට පත් විය. ඒ මේ අය රණ්ඩුවක් ඇති කර ගනීදෝ කියාය.

ඇති ඇති අපි දැන් යමු පීනන්න.

සුනෙත්ගෙන් ඇරැයුම ලැබිණ.

සිනමාවේ නාලා ඉන්නේ. ආයේ අමුතුවෙන් නාන්න දෙයක් නැහැ.

සුරංගගෙන් විහිළුවකි.

සියල්ල දැන් පිහිනුම් තටාකයේය. එතැනද කතා කරන්නේ සිනමාව ගැනය. සාමාන්‍යයෙන් පිහිනුම් තටාකයකදී සිනමාව වැනි මාතෘකා කතා නොකරන තරම් නිසා අවට උන්නු කිහිප දෙනෙක් මේ කවුද කියා බලන්නට උනන්දු විය. අප සිනමාවේ පතාක යෝධයන් බව දැනගත් පසු ඔවුන් අධ්‍යක්ෂවරුන්ගේ සමීපයට පැමිණ සිටීම ඊළඟට දුටු දර්ශනය විය. දෙදිනක් පුරා තරු පන්තියේ හෝටල් තුනක් ආවරණය කරමින් මෙම චාරිකාව සංවිධානය කොට තිබිණි. එය නිමා වු දින ගමන් බෑග් සමඟ අධ්‍යක්ෂවරු ඡායාරූපයකට පෙනී සිටියෝය.

මේ අයට සිනමාව එපා වෙලා රට දාලා යන්න හදනවදෝ කියා කවුරුන් හෝ කියනු ඇසිණ.

මේ අධ්‍යක්ෂවරුන් සාකච්ඡා කළ දෑ ඉදිරියේදී අපි ගෙන එන්නට බලාපොරොත්තු වෙමු.

    

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.