ලසිත්ට කරන්න පුළුවන් ලොකුම උපහාරය කළා

ක්‍රිකට් ගීතවලින් රටක් පින වූ ඇන්ටන් සිල්වා
අගෝස්තු 1, 2019

ගායක ඇන්ටන් සිල්වා ගීත ගායනයට පිවිසෙන්නේ 1974 වසරේදීය. ඒ නිල් ගුවන් ගැබේ ගීතය ගයමිනි. ක්‍රිකට් ක්‍රීඩක දුලිප් මෙන්ඩිස්ගේ ක්‍රීඩා දිවිය අගයමින් සිය පළමු ක්‍රිකට් ගීතය ගැයූ හෙතෙම අනතුරුව දිගින් දිගටම ක්‍රිකට් උපහාර ගීත ගයන්නට පෙලඹුණේය. ඇන්ටන්ගේ වඩාත් ජනප්‍රිය ගීතය අනූ හයේ ක්‍රිකට් කුසලානය දිනූ වෙලාවේ ඉදිරිපත් කළ පුන් සඳ පායා ගීතයයි. එය ද ඔහු ගැයුවේ ලෝක කුසලානය දිනූ ක්‍රිකට් කණ්ඩායමට උපහාර පිණිසය. ඉකුත් දා ඇන්ටන් තමන්ගේ නවතම ගීතය එළි දැක්වීය. එය ලසිත් මාලිංගට කළ උපහාරයකි. ඒ පිළිබඳ කතා කිරීමට ඇන්ටන් සරසවියට ගොඩ වැදිණ.

ඔබ වැඩිපුරම ගයා ඇත්තේ ක්‍රිකට් උපහාර ගීත?

ඔව්. ගොඩක් අය නොකරන වැඩක්නෙ. ගායකයකු හැටියට මට ඔවුනට කරන්න පුළුවන් ලොකුම උපහාරය තමයි මේ මං කරන්නේ. හැත්තෑ හතරේ දුලිප් මෙන්ඩිස්ට ගීතයක් ගැයුවනෙ. ඊට පස්සේ දෙවැනි ගීතයත් මං කළේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවෙන්. ඔහු අප අතරින් සමුගත්ත ඩී. එස්. සිල්වා. ඒකෙන් පස්සේ ලෝකු කුසලානය දින්නමත් ගීයක් ගැයුවා. රොමේෂ් කලුවිතාරණ, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් වගේ ක්‍රීඩකයින්ට සිංදු කිව්වා. අන්තිමේට ඉදිරිපත් කරපු සිංදුව තමයි ලසිත් මාලිංගට ඔය මං කරපු එක. ඒක ලියලා තනු හැදුවේ මං. ලක්මාල් ප්‍රනාන්දු වීඩියෝ එක මට කරලා දුන්නා.

ඔබේ ක්‍රිකට් ගීත සඳහා මොන වගේ පිළිගැනීමක් ද රසික ජනතාව අතර තිබෙන්නේ?

ඉතාම ඉහළයි. මාව නමින් දන්නේ නැති වුණාට සමහරු මාව හඳුන් වන්නේ ක්‍රිකට් සිංදු කියන කෙනා කියලා. ඔය අනූහයේ ක්‍රිකට් ගීතය නිසා මට කොච්චර නම් ෂෝස් ලැබුණද. මං හිතන්නේ මේක වෙනස් කාරණයක් නිසා මට ඉල්ලුම තියෙන්නේ. වෙන ක්‍රිකට් සිංදු කියන අය නැහැනෙ. මං ඊයේ පෙරේදා කළා මරු සිංදුවක්. ඒකේ නම පිටරට ඇමැතිවරුන්ගේ සුපිරි රජහොර වැඩ කියලා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනත් සිංදුවක් කළා. මිනිස්සුන්ගේ හදවතට දැනෙන ගීත ගයන හින්දා අහපු අය මට සංවේදීව කතා කරනවා. ඒකත් වාසනාවක්නෙ.

ලසිත් මාලිංගට ඔය සිංදුව අහන්න දුන්නද?

ඔව්. මාලිංගට සිංදුව ගැන කියලා තිබුණේ අක්ක. සිංදුව අහපු ගමන් මට ඔහු කතා කළා. අපේ ගෙදරටත් ආවා. මාලිංග ඉතාම සතුටු වුණා ජීවත්ව සිටින කාලය තුළ මෙවන් වූ උපහාර ගීතයක් අහන්නට ලැබීම ගැන. 0776842082 මේ ඇන්ටන්ගේ දුරකතන අංකයයි.

ලසිත් මාලිංගට උපහාර ක්‍රිකට් ගීතය

ලෝකෙට නමක් තිබ්බ ලෝක සූරයා
ලක්බිමේ වේග පන්දු යවපු වීරයා
සිංහයා දුවන් එද්දි බයයි සැම දෙනා
ලසිත්ගෙ පන්දුවලට ලොවම බිය වුණා
1, 2, 3, 4, 5, 6 කියලා

බෝල 6 ට පිතිරුවට නෑනේ ලකුණු ලැබිලා
අවුට් කරලා යැව්වනේ හොඳ පිතිකරුවෝ
අවුට් කරලා යැව්වනේ රජ වැඩකරුවෝ
කේසර සිංහයා වගේ පෙරට ඇදෙනවා
පිතිකරුවා ලසිත් දැකලා බියේ ගැහෙනවා
යෝකර් එක පිතිකරුවගේ කකුලේ වදිනවා
නොවැදුනොතින් විකට් කූරු ගැලවිලා යනවා
වෙර දමලා පාද තියලා පෙරටම එන්නේ
නරඹන්නන් ඇස් පිල්ලන් නොගහ බලන්නේ
ලසිත් දාපු ස්ලෝ බෝලෙට පිතිකරු දැවුණේ
ඒවා දැක්ක අම්පයර්ට තරු විසි වෙන්නේ
ලෝකෙට . . .

කොයි කාගෙත් අවධානය ලසිත් ගැන තමයි
හතරේ පාර, හයේ පාර ඔහු එය නවතයි
පිතිකරුවට ලකුණු ගන්න ඉඩකඩ නැති වෙයි
මුළු ලෝකෙම පිතිකරුවන් ලසිත්ට බිය වෙයි
ඉන්දියාවෙ ධ්.ර්‍ථ.ඹ්. එකත් හෙල්ලුවේ
වේග පන්දු යවපු ලසිත් ලොව නම් දැරුවේ
අවුරුදු ගණනාවක් ඔබ පිටියේ රජ වුණේ
මේ ගීතෙන් උපහාරය ඔබට පුදන්නේ
ලෝකෙට . . .

එපා ලසිත් සමුගන්නට ක්‍රිකට්වලින් නම්
අලුත් අයව දිරිගන්වල පෙරට යමුකෝ දැන්

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.