ලංකා TV අන්දරය

අගෝස්තු 1, 2019

ආචාර්ය ලෙස්ටර් ටෙලිවිෂනයට

80 දශකයේ ආරම්භයේදීම අමාත්‍යාංශයන්ට අනුයුක්තව වීඩියෝ අංශයන් මෙසේ ස්ථාපිතවීමට සමාන්තරව පෞද්ගලික රූපවාහිනී නිෂ්පාදන ආයතන කිහිපයක් ද මෙම කාල වකවානුව තුළදීම ආරම්භ විය. ඩී. බී. නිහාල්සිංහයන්ගේ ටෙලි සිනේ ආයතනය ඉන් ප්‍රධාන වූ අතර, ටෙලි ස්ටාර්, ෆයින් විෂන්, ටෙලිවීව් යන රූපවාහිනී නිෂ්පාදන ආයතන ඉන් පසුව බිහි විය. මේ සෑම ආයතනයකටම අදාළ පොදු ලක්ෂණය වූයේ නව මාධ්‍යයේ සාධනීය පැත්ත තීව්ර කිරීමේ අරමුණෙන් වැඩසටහන් නිෂ්පාදනය කිරීම සඳහා සැම විට උත්සුකවීමයි. ඒ වෙනුවෙන් ප්‍රවීණ සිනමාකරුවන්ගේ සහාය නිරන්තරයෙන්ම මේ ආයතනවලට හිමි විය. ටෙලි ස්ටාර් ආයතනයේ අධිපති බන්දුල වීරක්කොඩි විසින් ‘ගිරය’ ටෙලි නාට්‍ය නිර්මාණය කිරීම සඳහා මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හට ආරාධනා කරන ලද අතර එය ප්‍රේක්ෂක ජනතාව වැලඳගත් කලාත්මක නිර්මාණයක් විය. ට්‍රිලීෂියා ගුණවර්ධන, චාන්දනී සෙනෙවිරත්න, වසන්ති චතුරාණි, ඉංග්‍රිසි වේදිකාවෙන් හඳුන්වා දුන් පීටර් අල්මේදාගේ විශිෂ්ට රංගනයන් ‘ගිරය’ ටෙලි නාට්‍ය නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයින් හට විද්‍යාමාන විය. පුණ්‍යකාන්ති විජේනායකගේ කෙටි කතාවක් පාදක කරගෙන සෝමවීර සේනානායකයන් විසින් තිර නාටකය ලියන ලද කොටස් 15 කට පමණක් සීමා වූ මෙම ටෙලි නාට්‍ය නිර්මාණය රූපගත කිරිම සඳහා දින 90 ක් පමණ කාලයක් ගත වී තිබිණ.

ටෙලි නාට්‍ය නිර්මාණකරණයේ ආරම්භක අවධියේදී සාමාන්‍යයෙන් කොටසක් රූපගත කිරීම සඳහා දින 3 ක් වත් අවම වශයෙන් ගත විය. අද මෙන් දිනකට කොටස් 2 ක් හෝ තුනක් රූපගත කිරීමේ වාණිජ තරඟයක් එදවස නොතිබිණි. ටෙලි නාට්‍ය නිර්මාණයක කොටසක් විනාඩි 23 ක අවම ධාවන කාලයකට යටත් විය යුතුව තිබිණ. වෙළෙඳපොළ විස්තීර්ණය වීමත් සමඟ අද එය විනාඩි 16 1/2 කට සීමා වී ඇත. (මෙවැනි අසුබවාදී ප්‍රතිඵලයක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ අද ඇතිවීමට බලපෑ සමාජ, ආර්ථික කරුණු පිළිබඳව විමසා බැලීමට මතුයම් දිනයක අදහස් කරමි.)

අශෝක හඳගම ටෙලි නාට්‍ය නිර්මාණකරුවකු වශයෙන් අභිෂේක ලබන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද දුන්හිඳ අද්දර ටෙලි නාට්‍යය තුළින්ය. අන්තර්ගතය සහ ආකෘතිමය වශයෙන් වෙනස්ම තලයකදී නිර්මාණය වී ඇති මේ ටෙලි නාට්‍යය ද නිෂ්පාදනය කරන ලද්දේ ටෙලි ස්ටාර් ආයතනය වේ. දුන්හිඳ අද්දර ජීවත් වන පාදඩ චරිත කිහිපයක් ප්‍රස්තුත කරගෙන නිර්මාණය වී ඇති මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ ටෙලි නාට්‍යය මාධ්‍යයේ ප්‍රථම වතාවට චරිතයන් හසු කර ගන්නා සියලුම රූප රාමු ත්‍රිපාදයක් භාවිත නොකර, කැමරාව අතේ තබාගෙන ගත් රූප රාමු වීමය. ටෙලි නාට්‍ය නිර්මාණයන්හි රස වින්දනාත්මක පක්ෂය මෙසේ ඔසවා තැබීමට පුරෝගාමී සේවයක් ඉටු කර ඇති ටෙලි ස්ටාර් ආයතනය මෙන්ම ෆයින් විෂන් රූපවාහිනී නිෂ්පාදන ආයතනය ද 80 දශකයේ අග භාගයේදී ප්‍රේක්ෂක ජනතාව අතරට ගෙන එන ලද සුසීමා ටෙලි නාට්‍යය අද දවසේ ද එකසේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවට පත් වී ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.