“ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා...”

අගෝස්තු 1, 2019

වර්තමාන ලාංකික සිනමාවේ ජ්‍යෙෂ්ඨත්වයේ මෙන්ම කුසලතාවයෙන් ද පෙරමුණ ගෙන සිටින රංගධරයාණන් රවීන්ද්‍ර රන්දෙණිය බැව් අවිවාදිතය. වර්තමානයේ රංගධර කිරුළ දැරුව ද ඔහු අපට ආදරණීය ‘රවි අයියාම’ විය. කළු දිය දහර චිත්‍රපටයෙන් ඇරැඹෙන ඔහුගේ සිනමා රංගන ජීවිතයට දැනට දශක පහකි.

විටෙක ඔහු රිදී තිරයේ සුපෙම්වතා විය. තවත් විටෙක දුෂ්ට චරිතයන් නිරූපණයට ද මැළි නොවීය. මේ විශිෂ්ටයා ඉකුත් ජනාධිපති සම්මාන උලෙළේ ස්වර්ණ සිංහ සම්මානයෙන් පිදුම් ලැබුවේ අප සිනමාවට කළ අනගි මෙහෙවර අගයනු පිණිසය. ඔහු සමඟ තවත් අයකු සම්මානයට පාත්‍ර විය. ඒ නිටා ප්‍රනාන්දුය. එදින මේ දෙදෙනා ස්වර්ණ සිංහ සම්මානයෙන් පිදුම් ලබද්දී එතැන සිටි බොහෝ දෙනෙකුට එක්තරා සිනමාපටයක් සිහිවන්නට ඇතැයි අපි සිතමු. විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ දුහුළු මලක් එම සිනමා සිතුවමය. බොඳ මීදුම් කඳු රැල්ලේ ගීතයට රවී නීටා කළ රංගනය ද අමරණීයය. ඔවුන් දෙදෙනා ගැන අපට ද පවසන්නට හැක්කේ එබන්දකි.

“ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා”

ඔබ දෙදෙනාව අපට එලෙසටම වටින්නේය. එමෙන්ම සිනමාවේදී සුගතපාල සෙනරත් යාපාටද ස්වර්ණ සිංහ සම්මානය හිමිවිය. මේ ජනාධිපති සම්මාන උලෙළේ රවීන්ද්‍ර රන්දෙණිය පිළිබඳ සඳහන් හේතු පාඨයයි.

රංග ශිල්ප ශාලිකාවෙන් රූපණය විද්‍යාත්මකව හදාරා වේදිකාවෙන් රූපණය පිළිබඳ නියත විවරණය ලබන රවීන්ද්‍ර රන්දෙණිය සිනමා රූපණයට එක් වන්නේ 1960 දශකයේ අවසන් අදියර ය. රූපණයට පිවිසි මුල් අවධියේම විශිෂ්ට සිනමාකරුවන්ගේ නිර්මාණවලට දායකවීමට භාග්‍යය ලබන රවීන්ද්‍ර තම නිසඟ කුසලතා භාවිතයෙන් ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට සමත් විය. කලාත්මක සිනමා කෘතිවල ගැඹුරු සංකීර්ණ චරිත ද සරල විනෝදාත්මක සිනමා කෘතිවල සෙල්ලක්කාර පෙම්වතාගේ චරිත ද එක සමාන දක්ෂතාවයකින් ප්‍රතිනිර්මාණය කළ රවින්ද්‍ර අන් සමකාලීන රූපණවේදීන්ට වඩා වෙනස් තලයකට පිවිසෙන්නේ ආරම්භක අවධියේම තම ජනප්‍රියතාවය පිළිබඳ කිසිදු තැකීමක් නොකරමින් ප්‍රතිවීර චරිත ද නිරූපණය කරමිනි. මේ වන විට ප්‍රධාන භූමිකා නිරූපණයේ සිටි ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ මෙන්ම සමකාලීන විජය කුමාරතුංග සමඟ ද සමතලයකට පිවිසෙමින් රූපණයේ රවීන්ද්‍ර නම් අනන්‍ය මුද්‍රාව තබන්නට ඔහු සමත් වනුයේ විවිධ භූමිකා නිරූපණයේදී දැක් වූ පෙරටුගාමී නිර්භය බව මෙන්ම රූපණය හැදෑරීමෙන් ලත් පන්නරය හා පරිචය ද භාවිතයෙනි. ඔහු රූපණය කළ කෝප ගත් තරුණයා භූමිකාව හැත්තෑව දශකයේ රූපණයේ සන්ධිස්ථානයක් බවට පත් විය. කළුදිය දහර, දෑස නිසා, දුහුළු මලක්, සිරිපාල හා රන් මැණිකා, වීර පුරන් අප්පු, චූඩා මාණික්‍ය, පොඩි මල්ලි, එක්ටැම් ගේ, සත්වෙනි දවස, ආරාධනා, සතර දිගන්තය, රෑ මනමාලි, දඩයම, හිමකතර, මායා, මංගල තෑග්ග, ජනේලය, සාගර ජලය, සිරි මැදුර, සුරබිදෙන, බවදුක, අනන්ත රාත්‍රිය, අක්ෂරය බඳු චිත්‍රපටවල චරිත නිරූපණය මෙරට රූපණ වශයෙන් රවීන්ද්‍රගේ භූමිකා නිරූපණ ප්‍රාතිහාර්යයෙන් මඟ සලකුණු වෙයි. පුරා දශක පනහකට අධික කාලයක් විහිදෙන මෙම විශිෂ්ට චරිත නිරූපණ චාරිකාව ඔහු මෙරට ප්‍රධාන භූමිකා නිරූපණය කළ මහා රූපණවේදීන් පස් දෙනා අතරට ඔසවා තබන්නට හේතු සාධක වෙයි. මේ දීර්ඝ කාලය තුළ සිනමා කර්මාන්තයේදී දිශාන්තීන් නිර්ණය සඳහා පැවති අනවරත අරගලයේදී රවීන්ද්‍ර රන්දෙණිය පෙරමුණ බල ඇණියේ නොසෙල් වී සිටි සටන්කාමියකු ද විය.

සිනමා කලාව හා සිනමා කර්මාන්තය තුළ තම මුද්‍රාව සනිටුහන් කරමින් එහි පැවැත්ම හා උන්නතිය උදෙසා ඉටු කළ ප්‍රශස්තතම මෙහෙවර අගයමින් රවීන්ද්‍ර රන්දෙණිය මහා රූපණවේදියාණන් ගෞරව බහුමානයෙන් ස්වර්ණ සිංහ සම්මානයෙන් පිදුම් ලබන බවයි.

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.