සංසාරේ දඩයක්කාරයා සිනමාකරුවකුට අභියෝගයක් වූ සිනමා කෘතියක්

අගෝස්තු 1, 2019

ස්වකීය වෘත්තාන්ත සිනමා භාවිතය විෂයෙහි ප්‍රසන්න ජයකොඩි ප්‍රකට කරන අනන්‍යතාව උද්ධරණය කෙරෙන ප්‍රශස්තම අවස්ථාවක් වන්නේ සම්මත හා සුපුරුදු ආකාරයෙන් වෘත්තාන්ත නිරූපණයට දක්වන අකමැත්ත හෝ පැකිළීමයි. එයද හේතුවක් කොට ගෙන ඔහු තමන්ගේ හොඳම හා සමීපතම සමකාලීනයන් සමඟ රැඳී සිටින්නේ අතිශය විවාදාත්මක චර්යා සහිතවය. ඔහුගේ අභිනව සිනමා නිර්මාණය වන ‘සංසාරේ දඩයක්කාරයා’ නොඅනුමානවම ඒ කරුණ අවධාරණය කරයි. ඉන් ගම්‍ය වන්නේ අනෙකක් නොව තවදුරටත් ඔහු ස්වකීය අනන්‍යතාව වෙනුවෙන්ම පෙනී සිටින වගය.

වර්තමානයේදී එබඳු පෙනී සිටීමකට ඇති වටිනාකම තක්සේරු කළ හැක්කේ අතිශය අවදානම් පිවිසුම් ඔස්සේයි. සිනමාව බහුජන කේන්ද්‍රීය මාධ්‍යයක් බවත්, ඊටම අදාළ වෙළෙඳ පොළකදී එය සාක්ෂාත් විය යුතු බවත් යන නොරහස යටපත් නොකොට මුළුමනින්ම ස්වකීය අභිමතය කුළුගන්වමින් හැසිරීම බෙහෙවින් දුෂ්කරය. කෙසේ නමුත් සිනමාව හා සිනමා ශාලා අතර සබඳතාව පවත්වන අතරවාරයේම අන් සබඳතා ද සිනමාපට වෙනුවෙන් ඉස්මතු වීම සාධනීය විකල්පයක් සේ නොදැකීමට ප්‍රසන්න කල්පනා කරනු ඇතැයි සිතේ. විශේෂයෙන්ම ‘සංසාරේ දඩයක්කාරයා’ට පෙරාතුව ඔහු නිර්මාණය කළ ‘28’ ප්‍රබලාකාරයෙන් ප්‍රකාශ කරන්නේ සිනමාව හා සිනමා ශාලා අතර සම්බන්ධතාව, සිනමාවේ මූලික ස්වභාවයක්ම වන වගය. එය රූප රචනයෙන් පමණක්ම විද්‍යාමාන නොවේ. එය අබිබවා ගිය කියැවීම් හා අර්ථ දැක්වීම් වෙතින්ද එය විද්‍යමාන වන වග පැහැදිලිය.

කොහොමත් ප්‍රසන්න ස්වකීය සිනමාපට තුළ යම් දෙබසක් සංවාදාත්මකව ගොඩනැංවීමට මහන්සි ගත්තෙකි. මීට ප්‍රථම එය මනාව දත හැකි වූයේ ඔහුගේ මුල්ම චිත්‍රපටය සේ සැලකෙන ‘සංකාරා’ හිදීය. ‘කර්ම’ හි ආකල්ප බහුල රූප වියමනත්, ‘28’ හි ආ සමාජයීය කියැවීමත් තරමක් දුරට හෝ උක්ත දෙබස යටපත් කළ බව වඩා හොඳින් දත හැක්කේ අද දවසේදීය. අවශ්‍ය නම් එය ‘සංසාරේ දඩයක්කාරයා’ට සාපේක්ෂව වුව දත හැකි වේ.

යථෝක්ත අවස්ථා ත්‍රිත්වයේදීම සිනමානුරූපී පිළිවෙත් මතම පිහිටන්නට ප්‍රසන්න දැරූ තැත නොසලකා හැරිය යුතු නොවේ. විශේෂයෙන්ම රූපමය ශක්‍යතාව සිනමාවේ ප්‍රබල අංගයක් සේ ඔහු දකියිි. වාචික ප්‍රකාශ කෙරෙහි වරෙක ඔහු අඩු සැලකිල්ලක් දක්වන්නේ යැයි හැඟෙන්නේ එහෙයිනි. ඇත්ත වශයෙන්ම ඔහු වාචික ප්‍රකාශ වෙනුවෙන් අවකාශයක් පාදා දෙන්නේ රූප රචනය තීව්‍ර කළ යුතු නම් පමණි. ඒ විනා රූප රචනය තීව්‍ර කළ යුතුමය යන පූර්ව නිගමනය මත රැඳී සිටිමින් හෙම නොවේ.

‘සංසාරේ දඩයක්කාරයා’ හිදී ප්‍රසන්න ගොඩනඟන දෙබස, ඔහුගේ පූර්ව සිනමාපට ත්‍රිත්වයේම ආ දෙබස් අතික්‍රමණයට සූදානම්ය යන්න පවසයි. ඊට වුවමනා සානුබල සපයා දී ඇත්තේ ප්‍රතිභාසම්පන්න නවකතාකරුවකු ද වන සයිමන් නවගත්තේගම බව අමතක නොකළ යුතුය. ප්‍රසන්න අත්පත් කරගෙන ඇත්තේ සයිමන් නවගත්තේගමගේ නවකතාවක එක් පරිච්ඡේදයකි. මේ නවකතාව ‘දඩයක්කාරයාගේ කතාව’ ද වෘත්තාන්ත පිළිබඳ සම්මත හා සුපුරුදු අර්ථදැක්වීම යටතට නොගැනෙන්නකි. එනිසාම ප්‍රසන්නගේ තෝරා ගැනීම සාකල්‍යයෙන්ම අර්බුද හීන බවක් පළමු වටයේදීම පසක් කරයි.

මෙසේ සම්මත හා සුපුරුදු වෘත්තාන්ත නොවන දෙබසකට මුල් තැනක් දෙන සිනමාපට නැරඹීම ප්‍රේක්ෂක පාර්ශ්වයෙන් අභියෝගාත්මකය. සම්මත හා සුපුරුදු වෘත්තාන්ත සිනමාව සමඟ ඒකාත්මික වන ප්‍රේක්ෂකයන් මේ ආකාරයේ සිනමාපට හරස් පද ප්‍රහේලිකා හෝ හුදු රූප රාමු පෙළක් සේ දකින්නට ඕනෑ තරම් ඉඩ තිබේ. එසේම ව්‍යාජ අගය කිරීම් ඉස්මතු වන්නට ඇති අවකාශය ද බැහැර නොකළ යුතුය. ප්‍රසන්න දිගින් දිගටම මෙබඳු අගය කිරීම් ද ලබන්නේ යයි සිතේ.

වර්තමානයට අයත් වුව ද මේ කැලෑබද ගම් පියස අතීතයේ එක් මොහොතක් බඳුය. ප්‍රසන්න සිනමාපටය ආරම්භ කරන්නේ සම්මත හා සුපුරුු වෘත්තාන්තයක් පැවසීමේ චේතනාව ඉඟි කරමිනි. දිවා කල විහාරස්ථානයේ ධර්ම දේශනාවකට සවන් දී සිටි යුවතියක වහා වනාන්තරයට පිවිසෙයි. ඈ පසුපස පුරුෂයකු ලුහුබඳියි. පුරුෂයා යටත් කොට ගන්නා යුවතිය, කොටියකු ගොදුරක් ඇදගෙන යන්නාක් මෙන් ඔහුව රමණයට උචිත තැනකට ඇදගෙන යයි. අනතුරුව දිස්වන්නේ රුදුරු රමණයකි. වනාන්තරවාසී කොටියා පැමිණ මේ යුවළ මරා දමයි. ඒ යුවතිය සුරතාන්තයට පත් වෙමින් සිටියදීය.

උපක්‍රමශීලීව උක්ත රූප පෙළ තිරය මත පතිත කරන ප්‍රසන්න අනතුරුව සිය මුඛ්‍ය අරමුණ කරා ගමන් කරයි. වියපත් භික්ෂූන් වහන්සේගේ ආකල්පය වන්නේ එළඹෙන වෙසක් පොහොය දා ගම්වාසී සියලු දෙනා සිල්සමාදන් විය යුතු බවය. වනාන්තරයේ සරන දඩයක්කාරයා කල්පනා කරන්නේ මිනිස් ලේ රස දන්නා කොටියා නිසා එබඳු කාර්යයක් අනුචිතය කියාය. භික්ෂුන් වහන්සේට කොටියා තර්ජනයක් නොවේ. ප්‍රසන්න ප්‍රේක්ෂකයනට කියා සිටින්නේ ගම්මුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දඩයක්කාරයා විසින් කොටියාව මරාදමනු ලැබූ වගයි.

භික්ෂුන් වහන්සේ හා දඩයක්කාරයා අතර වන මේ දෙබස ප්‍රති විරෝධතාවක් ප්‍රකට කරන්නේ දෙයාකාරයකටය. මිතුරු ප්‍රතිවිරෝධතාවක් හා සතුරු ප්‍රතිවිරෝධතාවක් වශයෙනි. මෙහි ද්විතීයික අවස්ථාව දාර්ශනික කතිකාවකට ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කිරීමේ දෙපාර්ශ්වයේම අරමුණු පැහැදිලිය. සහේතුකය. භික්ෂූන් වහන්සේ ජීවිතය දකින්නේ ආගමික ඇසකිනි. දඩයක්කාරයා ජීවිතය දකින්නේ සතතාභ්‍යාසයෙනි.

එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය මත යැපෙන වග ප්‍රසන්න පවසන්නේ මීළඟ අදියරේදීය. එසේ යැපෙන්නට වුවමනා පරිසරය ස්වභාව ධර්මය විසින් ද, සංස්කෘතිය විසින් ද නිර්මාණය කොට දී ඇති බව ඉන් ගම්‍ය කෙරේ. ස්වභාව ධර්මය හා සංස්කෘතිය අතර සම්බන්ධතාව වටහා ගැනීම ද මෙතැනදී වැදගත්ය. එනම් සංස්කෘතිය යනු ස්වභාව ධර්මයේ නොවන මනුෂ්‍ය ක්‍රියාකාරකම් විසින් ගොඩ නංවනු ලැබූ දෑය යන්නයි. එසේ නම් භික්ෂූන් වහන්සේ මෙහෙය වන නියාම ධර්ම අයත් වන්නේ සංස්කෘතියටය. ස්වභාව ධර්මය සමඟ තවමත් ගැඹුරු සබඳතා පවත්වන්නේ දඩයක්කාරයාය.

ස්වභාව ධර්මය හා සංස්කෘතිය අතර වන දෙබස සංවාදයක් කරා රැගෙන යාමේ ප්‍රසන්නගේ අභිලාෂය සාක්ෂාත් කර ගනු පිණිස පෘථුල අවකාශයක් අවශ්‍ය බව නොරහසකි. ඒ සඳහා දෙයාකාරයෙකින් හැසිරෙනු පිණිස ප්‍රසන්නට ලැබෙන අවසරය සුළු පටු නැත. එක්කෝ ඔහු සිනමාපටයේ ධාවන කාලය පරයා යා යුතුය. නොඑසේ නම් රූප රචනයේදී වනාන්තරය පසු කොට යට කී සංවාදයට ඉඩ හසර පාදා දිය යුතුය. ප්‍රසන්න මේ දෙස බලා සිටින්නේ උපේක්ෂා සහගතව යැයි සිතේ. ඔහු කිසිවක් නොකරනවා ම නොවේ. පූර්ව නිගමන ඔහුට මඟ කියන බව සත්‍යයකි.

එය පවසන රූප රාමු සමුච්චයක් සිනමාපටයේ අගට එක්කර ලන්නට ප්‍රසන්න සූදානම්ය. තිරය කළු පැහැ ගැන් වී පසුබිමෙන් අසෙන්නේ කලබලකාරී හා අවිවේකී ශබ්ද රාශියකි. භික්ෂූන් වහන්සේ වනාන්තරය හරහා ගමන් කිරීමට සමගාමීව යුවතියකගේ නිරුවත් ළමැද රළු හස්තයකින් පිරිමදින රූප රාමු කිහිපයක් නිරූපිතය. කොටියා මරා දැමීමෙන් ඉනික්බිතිව සියල්ල උඩු යටිකුරු වන වග ද මෙතැනදීම දැක් වේ. සිනමා පටයේ මුඛ්‍ය අභිලාෂය හා මේ අවස්ථා අතර වන සවිමත් එකඟතාවක අවශ්‍යතාව ඉමහත්ය. එසේ නොවන්නේ නම් මේ අවස්ථා කිහිපයට ඇති වටිනාකම ප්‍රශ්නකාරී වේ.

කෙසේ නමුත් සිනමාපටයේ නිමාව මනාව සලකුණු කරන්න මේ අවස්ථා උපයෝගී කරගෙන ඇත. ස්වභාව ධර්මය හා සංස්කෘතිය අතර වන ජීවිතය හා සමාජය පිළිබඳ සංවාදය නම් මෙතනදී අල්ලා ගැනීම අසීරුය.

මෙයින් පෙනී යන්නේ ප්‍රසන්න උපයා ගත් රූප රචනය සතු සුක්ෂ්මතාවයි. සිනමාපටයේ මුඛ්‍ය අරමුණ අරභයා සේම ඊට නොඑන රූප රාමු ද සිනමාපටයේ ඒකාකාර රිද්මයට අනුගතව සනිටුහන් කරන්නට ඔහු සතු හැකියාව ඉහළය. නමුත් ඒ නිසාම සිනමාපටය් මුඛ්‍ය අරමුණ තවත් වටයකින් නිරූපණය නොවීම කනගාටුදායකය.

කෙසේ හෝ ‘සංසාරේ දඩයක්කාරයා’ දරා ගත නොහැකි බරක් සහිත සිනමාපටයක් සේ හඳුනා ගැනීම අපහසු නොවේ. සිනමාපටයේ සමස්තය විෂයෙහි ප්‍රසන්නට අභියෝගයක් වී ඇත්තේ ප්‍රසන්නමය. ස්වභාව ධර්මය හා සංස්කෘතිය අතර වන ජීවිතය හා සමාජය පිළිබඳ සංවාදයට සිනමානුරූපී වටිනාකමක් ලබා දීම එම අභියෝගයේ හරයයි.

තුසිත ජයසුන්දර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.