ලංකා TV අන්දරය

නිස්කෝ ආරම්භය මෙහෙමයි
අගෝස්තු 15, 2019

සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ පිහිටු වූ සැලසිනේ රූපවාහිනී ආයතනය රූපවාහිනී ක්ෂේත්‍රයට ඓතිහාසික මෙහෙවරක් කර ඇති අයුරු අප හට එසේ දෘශ්‍යමාන වන විට, අද්‍යතනයේදී පවා රූපවාහිනී මාධ්‍යයේ ධනාත්මක පක්ෂය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටින නිස්කෝ (ව්කඉඛ්ර්‍ණ) වීඩියෝ ආයතනය ආරම්භ කරනු ලබන්නේ ජාතික රූපවාහිනිය පිහිට වූ 82 වසරේදීම වේ. එවකට යෞවන කටයුතු අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහයන්ගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ වන ජාතික තරුණ සේවා සභාවට අනුයුක්තව පිහිටුවන ලද නිස්කෝ ආයතනයෙහි නම සෑදී ඇත්තේ ජාතික තරුණ සේවා සභාව යන සිංහල නාමයේ ඉංග්‍රිසි අර්ථය සංක්ෂිප්ත ගත කිරීමෙනි. ඊට එහා ගිය තවත් හේතුවක් ද එම නම යොදා ගැනීම සමඟ බැඳී පවතී. එනම් තත්කාලීනව ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය නෘත්‍ය සම්ප්‍රදායක් වූ ඩිස්කෝ (ච්ධ්ඉඛ්ර්‍ණ) නාමය ධ්වනිතාර්ථයෙන් නිස්කෝ නාමය සාදා ගැනීමේදී සහ සම්බන්ධ කර ගැනීම වේ.

ආරම්භයේ සිටම වීඩියෝ කැමරාවන් සහ අනිකුත් තාක්ෂණික උපකරණවලින් ආඪ්‍ය වූ නිස්කෝ වීඩියෝ ආයතනය ජාතික රූපවාහිනිය සඳහා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කිරීම ආරම්භ කළේය. තරුණ තරුණයන් සඳහාම නිර්මාණය කරන ලද “වසන්ත සමය” ප්‍රාසංගික වැඩසටහන ඉන් ප්‍රධාන වේ. සුගත් හේවාපතිරණ, ජිතේන්ද්‍ර අමරතුංග, තිලක් විතානගේ, චන්දන ජයවීර සහ ප්‍රියන්ත චන්ද්‍රසිරි යන නිර්මාණකරුවන් මූලාරම්භයේ සිටම නිස්කෝ ආයතනයට සම්බන්ධ වී වර්තමානය දක්වාම එම ආයතනයේ විවිධ අංශයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වී සිටීම ප්‍රශංසනීය වේ. ඒ අතුරින් වඩාත් වැදගත්ම මෙහෙය වන්නේ 1988 වර්ෂයේ සිට අද දක්වාම එම ආයතනයේ සංවිධානත්වයෙන් අඛණ්ඩව කරගෙන එනු ලබන ‘රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදනය සහ වීඩියෝ තාක්ෂණය’ පිළිබඳ පාඨමාලාව වේ. ඉතා ප්‍රශස්ත මට්ටමේ ප්‍රමිතිගත කිරීමකින් යුතුව පවත්වාගෙන එනු ලබන මෙම පාඨමාලාව හැදෑරූ තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් අද වන විට රූපවාහිනී ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීන්හි නියැළෙති. අද එම පාඨමාලාවේ නියමු වශයෙන් කටයුතු කරන හසළ ප්‍රේම කුමාර පාඨමාලාවේ හතරවැනි කණ්ඩායමේ පාඨමාලාභියෙකු වීම ද සුවිශේෂී කරුණකි.

87 වර්ෂයේදී ජපන් ආධාර යටතේ සාදන ලද මහරගම තරුණ සේවා සභා ගොඩනැගිලි පරිශ්‍රයට නිස්කෝ වීඩියෝ ආයතනය ගෙනයාමත් සමඟම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය වඩාත් කාර්යක්ෂම වූ අතර තිලක් ජයරත්නයන් තිර රචනය කර, සමන් ආතාවුදහෙට්ටි විසින් අධ්‍යක්ෂණය කරන ලද “අඳුකොළ” ටෙලි නාට්‍යය වැනි ගුණාත්මක පක්ෂයෙන් පොහොසත් ටෙලි නාට්‍ය කිහිපයක්ම එම ආයතනය යටතේ නිෂ්පාදනය කරන ලදී. මෙහි වැදගත් ලක්ෂණය වන්නේ ජාතික තරුණ සේවා සභාව මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන යෞවන නාට්‍ය උලෙළේදී සම්මාන ලබා ගන්නා කුසලතා පූර්ණ නළු නිළියන් මෙම ටෙලි නාට්‍ය නිර්මාණයන් සඳහා සම්බන්ධ කර ගැනීම වේ.

ජාතික තරුණ සේවා සභාව ආරම්භයේ සිටම දසත පැතිරී සිටින යෞවන යෞවනියන්ගේ කලා හැකියාවන් හඳුනාගෙන ඒවා ජාතික තලයට ගෙන ඒම සඳහා විශාල මෙහෙයක් සිදු කරනු ලබයි. ෂර්ලි වෛජයන්ත සහ නිහාල් ගම්හේවාගේ දායකත්වය මෙන්ම චන්ද්‍රලේඛා පෙරේරා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, සෝමසිරි මැදගෙදර, මාෂල් ජනතා වැනි පිටිසර ගම්වල උපත ලැබූ යෞවන යෞවනියන්ගේ ගායන හැකියාවන් ඒකරාශි කරගෙන “යොවුන් ගී” නමින් කැසට්පට මාලාවක් ජනතාව අතරට ගෙන ඒම තුළින් ඔවුන්ගේ රසඥතාවය ඉහළ තලයකට ඔසවා තැබීම පිණිස එම සභාව විසින් කරන ලද ඓතිහාසික කාර්යභාරය සැමදා ඇගයීමට භාජනය වුව ද, එයට සමගාමීව නිස්කෝ වීඩියෝ ආයතනය පිහිටුවීමෙන් ජාතික තරුණ සේවා සභාව විසින් රූපවාහිනි මාධ්‍යයේ යහ පැවැත්ම වෙනුවෙන් කරනු ලබන නිහඬ සේවය ක්ෂේත්‍රය තුළ එතරම් කතාබහට ලක් නොවීම කනගාටුවට කරුණකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.