මඩොල්දූවේ රඟපාන්නට බැරි වී සිංහල චිත්‍රපට පෝස්ටර් එකතු කළ සිනමා ලෝලියා

සිරිවීර කොඩිතුවක්කු
අගෝස්තු 15, 2019

දේශීය සිනමාව ගැන කතාබහ කරන සෑම විටකදීම ‘සංරක්ෂණය’ නමැති මාතෘකාවද ඉස්මතු වෙයි. ජයමාන්නලා, විමලවීරලා, ලෙස්ටර්ලා චිත්‍රපට කරන යුගවල සිටම මේ මොහොත දක්වා චිත්‍රපට සංරක්ෂණය පිළිබඳව සාකච්ඡා කතාබහ පැවැත් වෙයි. එය සාකච්ඡාවට පමණක් සීමා වෙමින් අද වන තෙක් චිත්‍රපට කීයෙන් කීයක් සංරක්ෂණය වී තිබේද යන්නවත් කිසිවකු නොදනී. පුද්ගලික සංරක්ෂකයින් ඔවුනට ඕනෑ ලෙස චිත්‍රපට සංරක්ෂණය කරමින් ඒවා අලෙවි කරමින් සිටිනු පෙනේ.

චිත්‍රපට පිළිබඳ සංරක්ෂණ කතාව එසේ ඛේදනීය වන විට සිනමාව පිළිබඳව මුද්‍රණය වූ පතපොත, පත්‍රිකා, පෝස්ටර්ස් ආදිය ගැන කතාබහක් ඇත්තේම නැති සෙයකි. මේ අතර සිංහල චිත්‍රපට පෝස්ටර් සංරක්ෂණය කරන සිනමාලෝලියකු සමඟ කතාබහ කරන්නට අපට අවස්ථාව ලැබිණ. ඔහු ඇතුල්කෝට්ටේ සිරිවීර කොඩිතුවක්කු නමැති හොඳ සිනමා රසිකත්වයකින් ද හෙබි සංරක්ෂකයාය. 1947 අශෝකමාලා සිට 2019 මානය දක්වා සිංහල චිත්‍රපට පෝස්ටර්ස් 1403 ක එකතුවත් ඔහු සතුය.

කුඩා සිරිවීර මුලින්ම පාසැල් ගියේ දෙහිවල ඕබන් පෙදෙසේ ක්‍රිස්තුදේව විද්‍යාලයටය. 1964 දී පහළ බාලාංශයට ඇතුළු කෙරුණු මේ කුඩා දරුවා දිනෙන් දින එහි එක් පුද්ගලයෙකු වෙත වැඩිපුර ආකර්ෂණය විය. ඔහු එම පාසැලේ විදුහල්පතිවරයාය. ඔහුගේ නම ‘ආනන්ද ජයරත්න’ විය. අති දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙකු සහ කඩවසම් තරුණයෙකු වූ ඔහු මෙම කාලයේ මෙරට සිනමාවේ ප්‍රකට නළුවකු බව සිරිවීර මුලිදී දැන සිටියේ නැත. නමුත් මෙම කුඩා සිසුවාගේ දෙමව්පියන් ආනන්ද ජයරත්න රඟපෑ චිත්‍රපට වඩ වඩාත් නරඹන්නට යොමුව සිටි බව නම් ඔහුට මතකය.

සුරතලී, සන්දේශය, අදට වැඩිය හෙට හොඳයි, වීරවිජය, සුන්දර බිරිඳ, පටාචාරා වැනි චිත්‍රපට නරඹන්නට සිය දෙමවුපියන් සමඟ ගිය සිරවීරට සුවිශාල තිරයෙන් දැවැන්ත රූපයක් ලෙස තමා ප්‍රිය කළ විදුහල්පතිවරයා දක්නට ලැබීම විස්මයජනක අත්දැකීමකි. සිරිවීරගේ සිනමා ලෝලිත්වය ඇරඹුණේ ඒ ආකාරයටය. දොන් බැස්ටියන් කොඩිතුවක්කු නම් ඔහුගේ පියා කෙතරම් චිත්‍රපට ලෝලියකු වූවා දැයි කිවහොත් සිරිවීරගේ නැඟණියට නම තබන්නේ සිරිවීරගේ උපතින් පසු මුලින්ම තිරගත වූ ‘සේපාලි’ චිත්‍රපටයේ නාමයමය.

පසුව ගල්කිස්සේ කජුවත්තේ ඉස්කෝලේ නමින් ප්‍රකට වූ හේන පාර කනිෂ්ඨ විද්‍යාලයට සිරිවීරව ඇතුළත් කෙරෙයි. හැත්තෑව දශකයේ මුල් වකවානුව වන මෙකල ලෙස්ටර් ජේම්ස් පීරිස් සිය මඩොල්දූවට ළමා නළු නිළියන් සොයන යුගයයි. ‘සරසවිය’ පත්තරයේ මේ පුවත දුටු පියා දැන්වීමේ සඳහන් වූ ලිපිනයට එනම් බම්බලපිටියේ ඩික්මන් පාරේ අංක 24 නිවසට අදාළ දිනයෙහි තම පුතු රැගෙන ගියේය. ඒ ලෙස්ටර්ගේ නිවස බව ඔවුන් දැන ගත්තේ පසුවය.

මාර්ටින් වික්‍රමසිංහ ද තම නවකතාවේ දරුවන් ලෙස්ටර්ගේ චිත්‍රපටයට උචිත පරිදි තෝරන කර්තව්‍යයට උදව් කිරීම පිණිස එදින එහි පැමිණ සිටියේය. සුමිත්‍රා පීරිස් ද මඩොල් දූවේ රඟපාන්නට සුදුසු දරුවන් තෝරමින් සිටියාය. සිරිවීරව ද ළමා චරතයකට තෝරා ගැනෙයි. තවත් කුඩා දැරියක් තම මව සමඟ එහි පැමිණ සිටියාය. එම දැරිය ද චරිතයකට තෝරා ගැනිණ. ඒ මාලිනී ෆොන්සේකාගේ බාලම නැඟනිය එනම් දමයන්ති බව පිය පුතු දෙපළ එතැනදි දැන ගන්නේ අන් අයගේ හඳුන්වාදීමෙනි.

නමුත් මෙම ‘බයිස්කෝප් නාඩගමට’ සිරවීරගේ මව තදින්ම විරුද්ධ වන්නේ එය සිය පුතුගේ අධ්‍යාපනය කඩාකප්පල්වීමට හේතු විය හැකි බවට කරුණු කියමිනි. කෙසේ වුවද පසුදින පියා සිරිවීරව මඩොල්දූවේ රඟපෑම සඳහා කොග්ගල වෙත රැගෙන යයි. චිත්‍රපටයේ සිටි කොලු රෑන අතරට ඔහු ද ඇතුළත් විය. නමුත් පළමු දිනයේදීම රූපගත කිරීම ඇරැඹෙන්නට පෙර නොසිතූ අකරතැබ්බයක් සිදු විය. සිරිවීරගේ මව කොග්ගලට පැමිණ පියාට දොස් කියා සිරිවීරව යළි නිවසට රැගෙන යාමය. නළුවකු වීමේ ඔහුගේ සිහිනය බොඳ වී වැටිණ. එහෙත් චිත්‍රපට කෙරෙහි ඇල්ම තව තවත් තීව්‍ර වූවා වැනිය.

මෙකල කොළඹ පැවති චිත්‍රපට පෝස්ටර් ප්‍රදර්ශනයක් බැලීමට ඔහුගේ පියා ඔහුව රැගෙන යයි. එම පෝස්ටර් ප්‍රදර්ශනය සංවිධානය කොට තිබුණේ රූපසේන සිල්වා ප්‍රමුඛ සිනමාලෝලී මිතුරු කැලකී. හෙළ සිනමාවේ අසහාය අධ්‍යක්ෂක ලෙස්ටර්ගේ චිත්‍රපටයකින් සිනමාවට පිවිසීමේ වරම් අහිමි වීම ගැන අදටත් දුක්වන සිරිවීර තිරගත වන සෑම චිත්‍රපටයක්ම නැරඹීමට ද පෝස්ටර්ස් එකතු කිරීමට ද යොමු වන්නේ මෙම ප්‍රදර්ශනයේ තිබුණු පෝස්ටර්වල අසිරිය දැකීමෙනි.

පාසලේ හතේ පන්තියේ සිසුවෙකු වූ සිරිවීර එවක පැවති ජාතික නවෝද්‍ය ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වී කොළඹ ඕනෑම පාසලකට ඇතුළත්වීමේ වරම ලැබීය. සිරිවීරගේ පියා තම පුතාගේ උසස් අධ්‍යාපනය සඳහා බාර කරනුනෙය් තම පාසැල් මිතුරෙකු වු සුගුණදාස අතුකෝරාල විදුහල්පතිතුමාගේ නාලන්දා විද්‍යාලයටය. මෙම තේරීමට හේතු වූ තවත් වැදගත් කරුණක් වනුයේ පියා ඉමහත් සේ ප්‍රිය කළ මියුරු චිත්‍රපට ගී පදමාලා රචක, බොහෝ ආදරය කළ ගුවන් විදුලි නිවේදක කරුණාරත්න අබේසේකරයන්ගේ පාසල ද නාලන්දාව වීමය.

විද්‍යා සහ ගණිත විෂයයන් හැදෑරුව ද සිරිවීරගේ සිනමා ළැදියාව දලුලා වැඩෙන්නේ නාලන්දාවේදීය. මිතුරන්ගේ උසුළු විසුළු බව ඉවසමින් නිතරම ගෝතමී බාලිකාව අසල එවක සැලැස්කි පෙදෙස නම් පාරේ පිහිටි ‘කරු අයියා’ගේ නිවසටත්, පාසැල අවට පදිංචිව සිටි පියදාස ගුණසේකර, ආර්. ඒ. චන්ද්‍රසේන, යූ. ඩබ්. සුමතිපාල වැන්නන් හමුවීමට ඒ නිවෙස්වලටත් ආ ගිය සිරිවීරගේ අරමුණ වූයේ කෙසේ හෝ චිත්‍රපටවලට සම්බන්ධවීමයි. ඔවුන් සැම දෙනාගේම නොමඳ ආදරයට ඔහු ලක්වනුයේ පාසැල් ශිෂ්‍ය සිනමා රසිකයෙකු ලෙස චිත්‍රපට ගැන ඔහුගේ තිබූ උනන්දුව නිසාය. නමුත් මෑණියන්ගෙන් ඔහුට කිසිදු බුරුලක් ලැබුණේම නැත. ඔහු පෝස්ටර්ස් එකතු කිරීමෙන් පමණක් සෑහීමට පත්වන්නේ සිය මවට අවනතවීම නිසා බව ඔහු කියයි. එහෙත් මවට අනුව ඔහුට වැළඳී තිබූ ‘පික්චර් පිස්සුව’ රෝගය අදටත් සුව වී නොමැත.

නීල් රූපසිංහ, ජෝ දේව් ආනන්ද, ඩී. එම්. චන්ද්‍රසේන, අමරනාත් ජයතිලක, ඇන්ටන් ග්‍රෙගරි, එම්. එස්. ආනන්ද, තිමති වීරරත්න, බැප්ටිස්ට් ප්‍රනාන්දු, එච්. ඩී. ප්‍රේමරත්න, උදයකාන්ත වර්ණසූරිය, රේණුකා බාලසූරිය, රොබින් ප්‍රනාන්දු, සුනිල් ටී. ප්‍රනාන්දු, ධර්මසිරි බණ්ඩාරනායක, රංග අල්විස්, එච්. ඩී. ප්‍රේමසිරි, යනාදීන්ද තව බොහෝ සිනමාකරුවන් ද සිරිවීරගේ පෝස්ටර්ස් එකතුවට ඉතාමත් සෙනෙහසින් නොමසුරුව අත හිත දුන්හ.

එම පෝස්ටර්ස් පරිත්‍යාග කළ සමහර අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු පමණක් නොව එම ඇතැම් සිංහල චිත්‍රපට පවා අද වන විට අප අතර නැත. සිරිවීර කොඩිතුවක්කුගේ පෝස්ටර්ස් එකතු කිරීමේ පෞද්ගලික ආශාව අද මිළ කළ නොහැකි කෞතුක වටිනාකමක් ඇති අගනා ඇබ්බැහිකමක් ලෙස අප හඳුන්වන්නේ එබැවිනි. පාසැල් සමයේ විනෝදාංශයක් ලෙස ඇරඹි පෝස්ටර්ස් එකතු කිරීම ඔහු අදටත් එසේම කරයි.

සාමාන්‍යයෙන් චිත්‍රපටයක් ජනගත කෙරෙද්දි එය ජනතාව අතර ප්‍රචලිත කිරීමට සහ ජනතාව සිනමා ශාලාව කරා කැඳවා ගැනීමට පෙළඹවීමට වර්ණ පෝස්ටර්ස් කිහිපයක් මුද්‍රණය කෙරේ. මුල් අවදියේ නිර්මාණයක් කෙරුණේ ජේ. ඒ. වින්සන්ට්, ප්‍රේ්ම් ජයන්ත් වැනි ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් විසිනි. අදාළ චිත්‍රපටයේ දර්ශනයක් පළමු සිතුවමට නැගී එම අගනා චිත්‍රය විශාල ප්‍රමාණයෙන් මුද්‍රණය කිරීමෙන් පෝස්ටර්ස් නිර්මාණය විය. එකල තිබුණු ලිතෝ මුද්‍රණ තාක්ෂණයෙන් සැකසුණ ඉහත සඳහන් කලාත්මක පෝස්ටර් සිරිවීර සතුව ඇත. ‘ටී ටූ’ නමින් එවක ප්‍රකට වූ තෝමස් තිලකරත්නගේ මරදානේ පිිහිටි මුද්‍රණාලයට ද ඔහු නිතර ආව ගියේ පෝස්්ටර්ස් ලබා ගැනීමටය. සාලිය ඩයස්ගේ නිර්මාණයන් ද ප්‍රේම් දිසානායකගේ කලාත්මක ආකර්ෂණීය පෝස්ටර්ස් ද ඔහුගේ එකතුවට අන්තර්ගතය.

පෝස්ටර්ස් එකතු කිරීමේදී ඔහු ලද අත්දැකීම් විමසද්දී ඔහු පැවසුවේ එකල සිනමාහල් කළමනාකරුවන්ගෙන් ද ඒ සඳහා නොමඳ සහයෝගයක් ලැබුන බවයි. එදා වැල්ලවත්තේ රොක්සි, සැපායර්, රත්මලානේ විජිත, ගල්කිස්සේ ඕඩියන්, මොරටුව ටවර්, එමෙස්, මානෙල් සිනමාහල් කළමනාකරුවන් එන එන සෑම චිත්‍රපටයකම පෝස්ටර්ස් තමාට වෙන්කොට තබා තිබුණ බව ඔහු කියයි. මෙදා සරත් ප්‍රනාන්දු, අමරනාථ සිරිනන්දන, සිසිර කුමාර , මංජුල ෆොන්සේකා, නෙල්සන් ආදීන්ගෙන් එම කාර්ය නොපිරිහෙලා ඉටු වෙයි. මෙම සිනමාහල් කළමනාකරුවන් ගරු සිතින් සිහි කළ යුත්තේ මෙම ජාතික මෙහෙවරකට ඔවුන් දායක වී ඇති බැවිනි.

යම් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන විට සිනමාහල්වල එම චිත්‍රපටය වෙනුවෙන් මුද්‍රණය කළ පෝස්ටර්ස් ඇති තරම් ඇතත් ඒ සියල්ල තාප්පවල ඇල වී පසුව අනෙකුත් දැන්වීම්වලට වැසීගිය පසු ඉතිරි වන්නේ සිරිවීර කොඩිතුවක්කු වැනි සංරක්ෂකයෙකු අනාගතය සඳහා එකතු කොට රැකගත් පෝස්ටරය පමණි. අපේ රටේ මුද්‍රණාලවල මුද්‍රණය වන සියල්ල රාජ්‍ය ලේඛනාගාරයේ තැන්පතු ලෙස පිටපතක් එහි යැවිය යුතු නීතියක් ඇතත් අප දන්නා තරමට ලේඛනාගාරයේ හෝ චිත්‍රපට සංස්ථාවේ සංරක්ෂණාගාර තිබුණ ද එහි සංරක්ෂණය කෙරුණු පෝස්ටරයක් හෝ සමරු කලාපයක් නම් නැත. සිරිවීරගේ මෙම විනෝදාංශ වටින්නේ එම නිසාය.

මෙසේ සිංහල චිත්‍රපට පෝස්ටර්ස් එකතු කළේ කුමන අරමුණකින්දැයි විමසු කළ ඔහු පැවසුවේ අනාගතයේදී ප්‍රයෝජනවත් විය හැකි යැයි සිතා මෙම ඉතිහාසය සංරක්ෂණය කරන්නට තමා සිතූ බවය. චිත්‍රපට පවා විනාශ වී ඇති යුගයක ඔහු පෝස්ටර්ස් රකින්නට සිතුවේ අන් අයගේ මතු ප්‍රයෝජනය හා සතුට උදෙසාය. පෝස්ටරය යනු ඉතා කෙටි කාලයකදී සැඟ වි යටපත් වී යන මාධ්‍යයක් වන බැවින් මතු පරපුර වෙනුවෙන් ඒවා සුරක්ෂිතව තැබිය යුතුය. පසුගිය වසරේ තිරගත වූ උදයකාන්ත වර්ණසූරියගේ ‘මධුර චාරිකා’ චිත්‍රපටයේ පසුතල නිර්මාණ සඳහා පැරණි සිංහල චිත්‍රපට පෝස්ටර්ස් අවශ්‍ය වූ විට සිනමාකරුවාගේ එම අවශ්‍යතාවය ඉටු කළේ සිරිවීරයි. නාමාවලියෙහි ඔහුගේ නාමය ද සඳහන් වෙයි. ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත විශේෂිත ගුණ සමරුවක් සඳහා ද ඔහුගේ පෝස්ටර්ස් උපරිම ලෙස භාවිත කෙරිණ. එබඳු දායකවීම්වලින් මෙම සංරක්ෂකයා අප්‍රමාණ සතුටක් තෘප්තියක් ලබයි.

ශ්‍රී ලාංකික සිනමාවට සහ කලාකරුවන්ට අතිශයින්ම බැතිමත් ලෙස ආදරය කරන්නෙකු ලෙස දීර්ඝ කාලයක් අප්‍රමාණ වෙහෙසක් දරා මෙලෙස එකතු කරන ලද මෙම පෝස්ටර්ස් සමූහය වඩාත් ඵලදායී ලෙස අනාගත පරපුර වෙනුවෙන් යොදවන වැඩ පිළිවෙළක් තමා දැනටමත් සැලසුම් කොට ඇතැයි සිරිවීර කොඩිතුවක්කු මහතා පැවසීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.