ලංකා TV අන්දරය

අගෝස්තු 22, 2019
තේවිස් ගුරුගේ

දේශීය රූපවාහිනියේ මහ ගෙදර, ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ වී මේ වසරට වසර 40 ක් සපිරේ. තාක්ෂණික උපකරණ මෙන්ම මානව සම්පත් අතින් අවම පහසුකම් සහිතව 1979 අප්‍රේල් මස 14 වැනි දින පෞද්ගලික ආයෝජනයක් ලෙස ඇරඹුණු මෙම ආයතනය ඉන් මාස දෙකකට පසුව රජයට පවරා ගන්නා ලදී. ඒ වන විට එහි විකාශන කටයුතු පවත්වාගෙන ගියේ කිලෝ වොට් 1 ක සම්ප්‍රේෂණ යන්ත්‍රයක්, අඩි 65 ක් උස අඩක් නිම වූ විකාශන කුලුනක් සහ කුඩා කාමරයක වූ පාලක මැදිරියක් භාවිත කරමිනි. වැඩ සටහන් විකාශය කොළඹ අවට සැතපුම් 15 ක පමණ ප්‍රදේශයකට පමණක් සීමා විය.

මුල් අවධියේ දී විදෙස් රටවලින් ආනයනය කළ වැඩ සටහන් සහ දේශීයව සුළු වශයෙන් නිෂ්පාදනය කරන ලද ප්‍රවෘත්ති සහ ජාතික මට්ටමේ වැදගත්කමක් දැරූ අවස්ථා සඳහා සැකසුණු රූපවාහිනී වැඩසටහන් පමණක් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය විය. ගුවන් විදුලි සංස්ථා අභ්‍යාස ආයතනයේ කුඩා මැදිරියක් තුළ දී වැඩසටහන් පුහුණුවීමේ කටයුතු මෙන්ම සුළු පරිමාණයේ වැඩසටහන් නිෂ්පාදනය කරන ලද ස්වාධීන රූපවාහිනී සේවය ගුවන් විදුලි මහ ගෙදරින් වික්‍රමසිංහ පුර නිවහනට ගෙන යන ලද්දේ 1982 නොවැම්බර් මස 26 වැනි දිනයේදීය. මෙම පරිශ්‍රය කුඩා මැදිරි දෙකකින් සමන්විත වු බැවින්, සම්මුඛ සාකච්ඡා, සාකච්ඡා, සංගීත වැඩ සටහන් හි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට පුළුවන් විය. මේ අතුරින් ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක ආරියසිරි විතානගේ සහ නිවේදිකා ඉඳුනිල් දිසානායක විසින් ඉදිරිපත් කරන ලද ‘මධුරසාංග‘ සංගීත වැඩ සටහන සහ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක මූ. අරුක්ගොඩ විසින් ඉදිරිපත් කරන ලද ‘චිත්‍ර ගීත’ වැඩ සටහන ඉතා කෙටි කලකින්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නා ලදී. පසු කලකදී ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ, ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රැන්සිස් වන්නිආරච්චි විසින් ඉදිරිපත් කරන ලද ‘කලා රසාංග‘ වැඩසටහන ද වයස් භේදයකින් තොරව නැරඹූ ජනප්‍රිය වැඩසටහනක් විය. ආරියසිරි විතානගේ අද වන විට නිවේදන වෘත්තියෙන් බැහැර වී ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටිය ද, ඉඳුනිල් ඉඳහිට ස්වාධීන රූපවාහිනියේ නිවේදක භුමිකාවේ නියැළෙන අයුරු දකින්නට ලැබීම සතුට දනවන කරුණකි. මධුරසාංග වැඩ සටහනට අන්තර්ගත වූ සංගීතාංග රූපගත කරන ලද්දේ රාත්‍රියේදී අටවා ගත් පසු තලයක කෘත්‍රිම ආලෝකය භාවිත කිරීමෙනි. මෙයට හේතු වූයේ දිවා කාලයේදී එවැනි රූපගත කිරීමක් සඳහා මැදිරි දෙක තුළදීම අවශ්‍ය පහසුකම් නොතිබූ බැවිනි. සමහර ගීත බාහිර පසුතලයන්හිදී රූපගත කරන ලද අවස්ථාවන්ද වේ. ඒ අතුරින් ජෝතිපාලයන් විසින් මධුර ස්වරයෙන් ගයනු ලබන ‘හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ’ සහ ‘ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා’ වැනි ගීත රූපගත කිරීමේදී දෘශ්‍යමාන වන ප්‍රාථමික බව අමතක කර අදටත් රස විඳිය හැකි ගීත බවට ප්‍රේක්ෂක හදවත් දිනාගෙන ඇත.

මේ දිනවල රෝහල්ගත වී සිටින අනුර මාධව ජයසේකරට ඉක්මන් සුව පතමු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.