මලලසේකර මහත්තයා එක්ක චිත්‍රපට බලන්න බැහැ

අගෝස්තු 22, 2019

විශිෂ්්ට කලාකරුවන් එබඳුම අවශේෂ විශිෂ්ට කලාකරුවන් දුටු හැටි, ඇගැයූ ආකාරය සහ ඔවුන් විරලව පළ කළ කියුම් ප්‍රස්තුත කොට ගැනීමේදී ලිපිය දීර්ඝ වූ හෙයින් එහි නුබැඳියාව (ඛ්ධදබඪදභඪබර) මෙවර කලාපයට ද මම ගෙන ආවෙමි. 1964 දී සරසවිය සම්මානය නිර්මාණය කළ ලංකාවේ පහළ වූ අග්‍රගණ්‍ය මූර්ති ශිල්පියකු වන ආචාර්ය තිස්ස රණසිංහයෝ විදෙස් ගතව වත්මනෙහි 94 වැනි වියෙහි පසු වෙති. වරක් මාර්ටින් වික්‍රමසිංහයන් ඔහු ගැන මෙසේ ලියා තිබූ බව මා ස්මෘතියට නැඟේ.

“ලංකාවේ ශ්‍රේෂ්ඨ කලාකරුවකු විය හැක්කේ කුහකයන්ගේ අනේකවිධ පීඩා, කැපිලි කෙටිලි මැද ඒවා තුට්ටුවකටවත් නොතකා, මායිම් නොකොට අඛණ්ඩව නිර්මාණකරණයෙහි නියැළීමෙනි. තිස්ස රණසිංහයන් මීට නිදර්ශනයකි.”

මහාචාර්ය ගුණපාල මලලසේකර මෙරට විසූ විශිෂ්ට ගණයේ පඬිරුවනකි. එතුමාගේ චරිතයෙහි අපූර්ව පැතිකඩක් වරෙක ගාමිණි ෆොන්සේකා සූරීහු සිනාමුසු මුහුණින් මා හට පැවසූහ. “අපෝ . . . මලලසේකර මහත්තයා එක්ක චිත්‍රපට බලන්න බැහැ. දවසක් චිත්‍රපටයක මංගල දර්ශනයකදී මා අසුන් ගත්තේ මහාචාර්ය මලලසේකරයන් සමීපයේ අසුනක. චිත්‍රපටය නරඹද්දී එතුමා ඉන්නේ චිත්‍රපටයේ සිහියෙන් නෙවෙයි. ශාස්ත්‍රීය කරුණු කල්පනා කරමින් ඉඳලා හිටි ගමන් චිත්‍රපටය ගැන සිහි වෙනවා. ඉතිං මටයි කරදරේ. චිිත්‍රපටය අතරමඟදී “දැන් මෙයා අරයගේ කවුද? දැන් මොකද වුණේ” යනාදී වශයෙන් මගෙන් ප්‍රශ්න අහනවා. ඉතිං මට කතාව කියලා ඉවරයක් නැහැ. ඒ නිසා මලලසේකර මහත්තයා ඉන්නවා නම් එතැන අසුනක චිත්‍රපට බලන්න මං ඉඳගන්නේ නැහැ.”

ලතා වල්පොල සහ ඇන්ජලින් ගුණතිලක දෙපළ මෙරට ගායන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් බැව් කවුරුත් පාහේ දනිති. දැන් මෙහි විග්‍රහ කිරීමට උත්සුක වන සිදුවීමෙහි සාක්ෂිකරුවා මම වෙමි. 2007 වසරේදී ඇන්ජලින් ගුණතිලක ගායන ශිල්පිනියගේ මහා සංගීත ප්‍රසංගයක් පැවැත්වීිමට සංවිධායකවරු කිහිප දෙනෙක් උත්සුක වූහ. ඒ ආසන්නයේ දිනෙක ඇන්ජලින් මහත්මිය දුරකථනයෙන් මා අමතා මේ ප්‍රසංගයේ පිටපත රචනා කිරීමට ඇරැයුම් කළාය. මම එය ඉතා කැමැත්තෙන් ඉටු කොට දුන්නෙමි. ඉන්පසුව ඇන්ජලින් මහත්මියගේ නිවසෙහි මේ අරභයා සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී ප්‍රසංගයට නමක් අවැසි විය. මා එය නම් කොට තිබුණේ “ආදර අඹරේ” (මෙය ‘සොහොයුරෝ’ චිත්‍රපටයට ඇය ගැයූ ප්‍රථම චිත්‍රපට ගීතය විය) නාමයෙනි. ඇය ඊට එකඟ වූවාය. එහෙත් ප්‍රධාන සංවිධායක මහතා “ඔබයි මමයි” චිත්‍රපටයට ඇය ගැයූ ගීතයක නමින් (රැජිනිය මා වේ) මේ ප්‍රසංගය නම් කළ යුතු යැයි එහිදී යෝජනා කළේය. ඊට ඇන්ජලින් මහත්මිය දුන් පිළිතුර මෙසේය.

“මේ රටේ ගී ලොව රැජන ලතා වල්්පොලයි. ඇය ජීවත්ව සිටින තෙක් ගී ලොව රැජන මා බව හැඟවෙන නමකින් මගේ ප්‍රසංගය නම් කරනවාට මං කැමැති නැහැ” (සංවිධායක මඬුල්ලේ ගැටලුවක් නිසා මේ ප්‍රසංගය පැවැත්වුණේ නැත).

ඇන්ජලින් මහත්මිය යථෝක්ත කියුම පළ කරන විට ලතා - ඇන්ජලින් දෙපළ යම් යම් හේතු මත එකිනෙකාගෙන් දුරස්ථ වී සිටි සමයකි. අතීතයේ ඔවුහු ඉතා සමීප යෙහෙළියෝ වූහ. පසුකලක දුරස්ථ වී ඇන්ජලින් මහත්මියගේ ජීවිතයේ අවසාන භාගයේ යළි සමීප යෙහෙළියන් බවට පත් වීම අරභයා මම අසීමිතව සතුටු වෙමි. ඇන්ජලින් ගුණතිලකයන්ගේ මේ කියුම වඩාත් වටින්නේ ඔවුන් දුරස්ථ වී සිටි සමයක මෙය ප්‍රකාශ කළ බැවිනි. මේ සිදුවීම මුල්වරට හෙළි කළේ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ අවමඟුල් සභාවේදී මවිසින් පවත්වන ලද ගුණ කථනයේදීය. එදින ජනමාධ්‍යයකට ඇන්ජලින් ගැන අදහස් දැක් වූ ලතා වල්පොල මහත්මිය මෙසේ පැවසූ බව මට මතකය.

“ඇන්ජලින් ගැයූ සමහර ගීත මටවත් ගයන්න බැහැ”

ප්‍රංශ නවරැල්ලට මුල පිරූ පුරෝගාමී සිනමාවේදීන් අතර ප්‍රාන්ශුවා ටෲෆෝට ප්‍රමුඛස්ථානයක් ලැබේ. ටෲෆෝ 1984 දී මිය ගියේය. ඔහුට සමකාලීන ප්‍රංශ නවරැල්ලේ ප්‍රමුඛ සිනමාකරුවකු වන අද 89 වන වියෙහි පසුවන ශාන් ලුක් ගොඩාඩ් ඔහුගේ වියෝව දරා ගත නොහැකිව මෙසේ ලීවේය.

“ඔබ මිය ගොසින්ය. මම තවමත් ජීවත් වෙමි. මෙහි වෙනසක් ඇද්ද?”

මහා කවි විලියම් ශේක්ස්පියර් මියගියදා ඔහුට සමකාලීන සුප්‍රකට බ්‍රිතාන්‍ය කවි බෙන් ජොන්සන් මෙසේ ලීවේය.

“ශේක්ස්්පියර්ගේ සොහොන යමෙකු කණිනු ලැබුවොත් ඒ තැනැත්තාට සාප වේවා”

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගෙන් පසුව මෙරට වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ සිනමාවේදියා ආචාර්ය ධර්මසේන පතිරාජයන්ය. පුදුමයට කරුණ නම් අධ්‍යක්ෂණය, තිර රචනය, ගීත රචනය ආදී මේ කෙබඳු අංශයකට හෝ ඔහු සරසවිය සම්මානයකට පාත්‍ර නොවීමය. සිනමාවට ප්‍රශස්ත මෙහෙවරක් සිදු කළ කලාකරුවකු හට ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන සරසවිය රණතිසර සම්මානය ගෞරවයෙන් පුද කිරීමට පසුගිය සමයේ ධර්මසේන පතිරාජයන් තෝරා ගැනිණ. එවක ඔහු සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය පිරිනැමීමේ ජූරියේ සභාපති ධුරය හෙබ වූයේය. එවිට ඔහු කීවේ කුමක්ද?

“මට පෙර මේ සම්මානය පිරිනැමිය යුත්තේ මට වඩා ජ්‍යේෂඨ සුගතපාල සෙනරත් යාපාටයි. ඒ නිසා එය ඔහුට පිරිනමන්න”. මේ ඉල්ලීම එලෙසින්ම ඉටු විය. ඉක්බිතිව පතිරාජයෝ ජීවිත සිනමාවෙන් සමුගත්හ. මේ නිසා ඊළඟ වසරකදී හෝ ඔහුට රණතිසර සම්මානයෙන් ගෞරවය පළ කිරීමේ එකම අවස්ථාව ද සරසවියට අහිමි විය. එහෙත් සරසවිය සම්මාන උත්සව ඉතිහාසයේ පතිරාජ නම් වූ විශිෂ්ට කලාකරුවා සුගතපාල සෙනරත් යාපා නම් වූ විශිෂ්ට කලාකරුවා අගය කළ මේ අවස්ථාවත් ඔහු කළ පරිත්‍යාගයත් රන් අකුරෙන් ලියැවෙනු නිරනුමානය.

මීට මඳක් වෙනස් සිදුවීමක් ඉන්දියාවේ Film Fare සම්මාන උලෙළකදී මෑත භාගයේ සිදු විය. 1997 දී තිරගත වූ “Border” චිත්‍රපටයේ “සන්දේසේ ආතේ හේන්” නමින් ඉතා ජනප්‍රිය වූ ගීතයක් ඇතුළත් විය. මෙය සෝනු නිගම් හා රූප් කුමාර් රතෝඩ් යන විශිෂ්ට ගණයේ ගායකයෝ ගැයුහ. Film Fare සම්මාන උලෙළ මඟින් මෙහි සෝනු නිගම්ගේ ගායනය අගය කොට සම්මානය පිරිනැමීමට උත්සුක විය. “මේ ගීතය මා ගැයුවේ රූප් කුමාර් රතෝඩ් සමඟයි. ගීතයේ සාර්ථකත්වයට ඔහුත් සමසේ දායක වෙද්දී විනිශ්චය මණ්ඩලය මා පමණක් අගයන්නේ කෙසේද? ඒ නිසා මා මේ සම්මානය ප්‍රතික්ෂේප කරනවා” යැයි සෝනු නිගම් පැවසුවේය.

මෙරට බිහි වූ අග්‍රගණ්‍ය සංස්කරණ ශිල්පියකු ලෙස ටයිටස් තොටවත්තයන්ගේ කාර්ය ශූරත්වය, අපරිමිත ප්‍රතිභානය දුටු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහු අරභයා ඉතා සංක්ෂේපයෙන් මෙසේ කීවේය. “This Moustache is a Wizard” (මේ රැවුල්කාරයා විජ්ජාකාරයෙක්).

මෙරට මහා ගාන්ධර්වයාණන් වූ පණ්ඩිත් අමරදේවයන් වරක් ප්‍රසිද්ධියේ නන්දා මාලිනිය හඳුන්වා දුන්නේ “මෙරට සුභාවිත ගීතයේ සිංහල ලකුණ” ලෙසිනි.

ටෙනිසි විලියම්ස්ගේ Streetcar Named Desire” නාට්‍යය ඇසුරෙන් ධම්ම ජාගොඩ සූරීන් නිර්මාණය කළ “වෙස් මුහුණු” නාට්‍යයේ කුමාරි උඩුවෙලගේ චරිතය රුක්මණී දේවිය නිරූපණය කළ ශූර ආකාරය බොහෝ දෙනකු මවිත කරවනසුලු විය. “මෙරට යථාර්ථ රූපණයේ විශිෂ්ට නිළිය” ලෙස ධම්ම ජාගොඩ මහතා රුක්මණිය අරභයා සඳහන් කළේ එහෙයිනි. රුක්මණිය යුරෝපීය රටක ඉපදුණේ නම් ඇයට “සොප්‍රානෝ” වර්ගයේ ශ්‍රේෂ්ඨ ඔපෙරා ගායිකාවක් වීමට ඉඩ තිබුණු බව මහාචාර්ය ඊ. එෆ්. සී. ලුඩොවයික් පැවසුවේය. “රුක්මණියගේ හඬ ලංකා මාතාවගේ හඬයි” යනුවෙන් කීවේ මහගම සේකරයන්ය.

ඉතිරි කොටස ලබන සතියේ...

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.