ලාංකේය සිනමාවේ මෝගල් අධිරාජයා

කේ.ගුණරත්නම්
අගෝස්තු 22, 2019

සිනමාහල මරදානේ ගාමිණී සිනමාහලය. වේලාව හයට කිට්ටුය. සිනමාහලේ පළමු සීනුව නාද විය. ශාලාව අතුරු සිදුරු නැතිව ගොස්ය. නිශ්ශබ්දතාවය අඩු විය. අඩ අඳුරේ තිරයේ පතිත වුයේ අයිස් චොක් දැන්වීමකි. දෙවන සීනුව නාද වෙත්ම ශාලාව අඳුරු විය. පිටවන දොරටුව උඩ රතුපාටට ඡ්යඪබ නාම පුවරුව පමණි දිස් වන්නේ. තිරය නැවත විවර වී නාටිකාංගනාවියන් දෙදෙනකු රඟ දී නිසල වෙයි. ඛ්ඪදඥථචඵ යන ඉංග්‍රීසි අකුරු දිස් වෙයි. අපි ඒ සලකුණට ආදරය කළෙමු. ඒ එදා සිනමා සංස්කෘතියේ හැටිය. මා මේ කියන්නේ එකොළොස් හැවිරිදි ළමයකු ලෙස 1958 දී ‘වනමෝහිනී’ බලන්න දෙමාපියන් සමඟ ගිය අවස්ථාවකි. එකල චිත්‍රපටයක් බැලීමට සිනමා ශාලාවකට යෑමත් අසිරිමත් සිදුවීමකි.

නිෂ්පාදනය - කේ. ගුණරත්නම්. නාමාවලියේ ලොකු අකුරෙන් දිස් වෙයි.

ගුණරත්නම් එකල අප සජීවී නුදුටු වීරයෙකි.

යාපනයේ හැදී වැඩුණු කනකසබේ ගුණරත්නම් උතුරේ සිට කොළඹට ආවේ ලංකාවට චිත්‍රපට ගෙන්වා බෙදාහරින සමාගමක නියෝජිතයකු ලෙස රැකියාවක් කිරීමේ බලාපොරොත්තුව ඇතිවය. යාපනේ වෙළඳ ව්‍යාපාරිකයකු වූ මානික්කම් කනකසබේ මහතාගේ හා මානික්කම් මුරුගේසු මහත්මියගේ බාල පුතු වූ ඔහු උපන්නේ 1917 ජූලි 20 වෙනිදා යාපනේදීය. යාපනේ සෙන්ට්‍රල් විද්‍යාලයේ කනිෂ්ඨ පන්තිය දක්වා ඉගෙන 1934 දී පාසලෙන් අස් වී කොළඹ පැමිණි ගුණරත්නම් වින්ඩ්සර් ටෝකිස් නමැති චිත්‍රපට බෙදාහරින සමාගමක නියෝජිතයකු වශයෙන් වසර දෙකක් කටයුතු කොට ඇත. එම සමාගම චිත්තම්පලම් ගාඩිනර් විසින් මිලට ගෙන සිලෝන් තියටස් නමින් නව පාලනයක් යටතේ පාලනය වූ මුල් අවස්ථාවේද ඔහු මාස 3 ක් පමණ සේවය කොට 1941 වසරේ ඉන් ඉවත් වී කොළඹ අලුත් හෙට්ටිවීදියේ අංක 117 ස්ථානය මිල දී ගෙන සිසිල් බීම නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් ආරම්භ කළේය.

නෙල්වානි සහ සමාගම නමින් හැඳින්වුණු මේ අයිස්ක්‍රීම් ව්‍යාපාරයෙන් සෑහෙන ආදායමක් ලැබූ ගුණරත්නම්, වොලිංටන් ටෝකිස් නමින් චිත්‍රපට බෙදා හැරිමේ සමාගමක කොටස්කරුවකු වශයෙන් සිනමා කර්මාන්තයට එක් විය. 1948 වසරේ දී එහි අධිපතිවරයා වී යාපනේ වොලිංටන් සිනමාහල ඉදි කළේ ද ඔහුය. ගුණරත්නම් සීමාසහිත සිනමාස් සමාගම ආරම්භ කළේ 1950 දීය. සිනමාහල් ඉදි කිරීමත්, චිත්‍රපට නිපදවීමත් ඔහු ආරම්භ කළේය. 1941 වර්ෂයේ පද්මා සෙල්වදොරේ මහත්මිය සමඟ විවාහ වූයේය. ඇය අකාලයේ මිය ගිය බැවින් ඇගේ සොහොයුරිය වන කමලා සෙල්වදොරේ මෙනවිය ඉන්පසු විවාහ කර ගත්තේය.

විනෝදකාමියකු වූ ගුණරත්නම් ඉඩම් හිමි වැවිලිකරුවකු ද විය. අශ්වයින් පිට යෑම හා ටෙනිස් ක්‍රීඩාව ඔහුගේ ප්‍රධාන විනෝදාංශය වූ අතර ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේද ඔරියන්ට් ක්ලබ් හි ද ක්‍රියාශීලී සාමාජිකයකු ලෙස කැපී පෙණී ඇත. ගුණරත්නම් සිංහල සිනමාවට ඇලුම් කළ අතර ඔහු ඒ කාර්යය තම සිනමාස් සමාගමේ ප්‍රචාරක නිලධාරී ටී. සෝමසේකරන්ට පැවරීය. සෝමසේකරන් පසු කලෙක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූයේය. සෝමසේකරන්ට සිංහල ප්‍රේක්ෂකයන්ගේ රුචි අරුචිකම් ගැන මනා අවබෝධයක් තිබුණි.

සිනමාස් සමාගමේ ප්‍රථම නිෂ්පාදනය වූයේ ‘සුජාතා’ චිත්‍රපටයයි. මේ චිත්‍රපටයෙන් අලුත් යුගයක් ආරම්භ විය. චිත්‍රපයේ කතාව තෝරා ගත්තේ එකල ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ ‘බඩී බෙහෙන්’ අනුකරණය කරමිනි. නවක නවමු නළු නිළියන් රැසකට ප්‍රධාන චරිත ලැබුණේ ‘සුජාතා’ චිත්‍රපටයෙනි. ප්‍රේම් ජයන්ත්, ෆ්ලොරිඩා ජයලත්, ඩොමී ජයවර්ධන, ශාන්ති ලේඛා, ඩේවිඩ් ධර්මකීර්ති සිනමාවට හඳුන්වා දුන් ‘සුජාතා’ චිත්‍රපටයෙන් ප්‍රථම පූර්ව ප්‍රචාරකපටය ද හඳුන්වා දී ඇත. චිත්‍රපටයක අංග සම්පූර්ණ ප්‍රචාරක සැලැස්මක් මුල්වරට දියත්ව ඇත්තේ ද ‘සුජාතා’ චිත්‍රපටයෙනි. මුල්ම දේශාභිමානි ගීතය ලෙස ‘මනරංජන දර්ශනීය ලංකා’ තම චිත්‍රපටයට හඳුන්වා දුන් ගුණරත්නම් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ මොඩර්න් චිත්‍රාගාරයේ නිපද වූ චිත්‍රපටයට ලංකාවේ දර්ශන කිහිපයක්ම (අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, කතරගම) ඇතුළත් කළේය. තරු සංකල්පය සිනමාවට එක් වූයේ ‘සුජාතා’ ගෙනි. බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ‘සුජාතා’ ප්‍රදර්ශනය වීමෙන් පසු දෙවන චිත්‍රපටය ලෙස නිෂ්පාදනය කිරීමට ගුණරත්නම් තෝරා ගත්තේ ‘වරද කාගේද’ චිත්‍රපටයයි. මේ චිත්‍රපටයෙන් ගීත රචක කරුණාරත්න අබේසේකර ද, දෙබස් රචකයකු ලෙස ටී. බී. ඉලංගරත්න නළුවෙකු ලෙස ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ද හඳුන්වා දුන්නේය.

ගුණරත්නම්ගේ සමීප මිතුරෙකු වූ නීතිඥ නඩේසන්ගේ ඉල්ලිම මත ඉලංගරත්නයන් ලියූ මුල්ම නවකතාව වූ ‘විලම්බීත’ මුද්‍රණයෙන් නිකුත් කිරීමට අනුග්‍රහ දැක් වූයේය. ගුණරත්නම් එපමණක් නොව ලක්දිව ප්‍රකටම නවකතාකරු වූ සාහිත්‍ය කීර්ති ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරින්ගේ ‘රදළ පිළිරුව’ සිනමාවට නැඟීමට ඉලංගරත්නයන් කළ යෝජනාව පිළිගනිමින් ‘රදළ පිළිරුව’ නවකතාව තිරයට නැගීමට එකඟ විය. සුජාතා (1953), ‘වරද කාගේද’ (1954) රදළ පිළිරුව (1954) නිෂ්පාදනය කළ ගුණරත්නම් තම චිත්‍රපටවලට මෙන්ම සෙසු චිත්‍රපටවලට ප්‍රචාරය දෙන අදිටනින් ඉන්දියාවේ ඉජපඥඥද පත්‍රය අනුගමනය කරමින් ‘කලා’ නම් පත්‍රය 1955 අගෝස්තු 20 වැනි සෙනසුරාදා නිකුත් කළේය. සංස්කාරකවරයා වූයේ ඇස්. පියසේනය. පත්‍රයක මිල ශත 10 කි. එහි පරමාර්ථය කවියකින් මෙසේ කියා තිබුණි.

වෙලාට බැට දී මුලාවට 
නෙළා සුවඳැති මල් කලාවට 
කලාවෙන් සිනමා කලාවට 
ගලා එයි රස හරි වෙලාවට

‘අපි හොලිවුඩ් තත්ත්වයට නැඟිය යුත්තේ අපේ චිත්‍රපට නරඹන ජනතාවත් සමඟය. සිංහල චිත්‍රපට කලාවේ ඉදිරි ගමනට නිෂ්පාදකයන්ගේ හා මහජනයාගේ සම්බන්ධය තහවුරු කිරීමට ‘කලා’ සමර්ථ වේවායි මම ඉත සිතින් පතමි.’

‘කලා’ සඟරාවේ ප්‍රකාශක, සුජාතා, වරද කාගේද, රදළ පිළිරුව නිෂ්පාදක කේ. ගුණරත්නම් ‘කලා’ මංගල කලාපයට ලියූ පණිවුඩයකින් කියා තිබුණි.

එස්. පියසේනගෙන් පසු දීර්ඝ කාලයක් ‘කලා’ පත්‍රය වර්ණයෙන් මුද්‍රණය කොට සඟරාවක් ලෙස පවත්වාගෙන ආවේ එවකට ‘සිනමාදීප’ පත්‍රයේ සංස්කාරකව සිටි ආරියරත්න කහවිට විසිනි. පාසල් යන කාලයේ ශිෂ්‍යයකු ලෙස මුලින්ම මා ලියූ සිනමා ලිපියක් පළ වූයේ (1966) ‘කලා’ සඟරාවේ බව කෘතඥතාපූර්වකව මම මතක් කරමි. ඒ අවස්ථාව ලබා දුන්නේ කහවිට මහතාය. ඒ තිස්ස අබේසේකර ගැන ලිපියක් පළ කර දෙමිනි.

1956 ගුණරත්නම් නිෂ්පාදනය කළ ‘දොස්තර’ චිත්‍රපටය තිරගත විය. එදා වැල්ලවත්තේ සැෆයර් නෘත්‍ය ශාලාව උත්සවශ්‍රීයෙන් වෙලී ගිය අයුරුත් මංගල දර්ශනයට අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල සහභාගි වූ අයුරු හා එකල ජාතික පුවත්පත්වල සිනමා පිටු සංස්කරණය කළ ජයවිලාල් විලේගොඩ, කරුණාසේන ජයලත් හා එල්මෝ ගුණරත්න පැමිණ සිටි ඡායාරූපයක් ‘කලා’ පුවත්පතේ පළ වී තිබුණි.

‘දොස්තර’ චිත්‍රපටය තිරගත වීම නිමිත්තෙන් එහි රඟපෑ රුක්මණී දේවි ලියූ ‘මගේ ජීවිත විත්ති’ කෘතිය ද සිනමාස් සමාගම මඟින් ප්‍රකාශයට පත් වී ඇත. සිංහල නිළියක ලියුූ මුල්ම ග්‍රන්ථය වූ මේ පොතෙහි මිල රු: 2 කි. මේ කෘතිය ලියන ලද්දේ කරුණාසේන ජයලත් බව දන්නෝ දනිති.

මරදානේ ගාමිණී සිනමාහල1951 මාර්තු 09 වෙනිදා ප්‍රදර්ශනය ඇරැඹුණේ සිරිසේන විමලවීරගේ ‘සීදේවි’ චිත්‍රපටයත් සමඟය. ගාමිණී ශාලාව එයට කලින් ‘නැෂනල්’ නෘත්‍ය ශාලාව ලෙස ප්‍රකටව තිබුණි. එහි අධිපතිව සිටියේ ආනන්ද විදුහල්පති පී. ද ඇස්. කුලරත්න මහතාය.

කේ. ගුණරත්නම් හාපුරා කියා සම්මානයක් හිමි කර ගන්නේ 1956 ‘දිනමිණ’ පුවත්පතේ ‘රඟමඬල’ චිත්‍රපට තරගයෙන් ජනප්‍රිය දෙවන චිත්‍රපටය ලෙස පාඨක ඡන්ද 11,243 ක් ලබාගෙනය. ‘සුජාතා’ චිත්‍රපටය සඳහා විදුලි ඉස්ත්‍රික්කයක් ඔහු ලබා ගත් බව ‘දිනමිණේ’ වාර්තා විය. එදා ජනප්‍රිය ගීතය ලෙස සම්මාන ලැබුවේ ‘මනරංජනී දර්ශනීය ලංකා’ ගීතය ‘සුජාතා’ චිත්‍රපටයට රචනා කළ ආනන්ද සමරකෝන්ය. ‘සුජාතා’ චිත්‍රපටය වෙනුවෙන් වර්ණයෙන් මුද්‍රිත වූ සමරු කලාපයක් ද නිකුත් කර ඇත.

‘දුප්පතාගේ දුක’ (1956) සූරයා (1957) වනමෝහිනී (1958) යන වාණිජ අතින් ඉහළම වාර්තා පිහිට වූ චිත්‍රපට නිෂ්පාදනය කළ ගුණරත්නම් ‘සන්දේශය’ (1960) නිපදවීම පුදුමයකි. මන්ද 1956 ‘රේඛාව’ නිෂ්පාදනය කොට පාඩුපිට පාඩු ලැබූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ලවා එතෙක් සිංහල චිත්‍රපට දෙක තුනක් සඳහා වැය වන ‘සන්දේශය’ වැනි බාරදූර චිත්‍රපටයක් බාරදීමම ලෝක පුදුමයකි. මෙහි එන අඩි 20 ක් හා වට ප්‍රමාණය අඩි 80 වූ පෘතුගීසි බලකොටුව කළු ගලින් බොලිහුල්ඔය සෑදීමට එකල 1959 රුපියල් 38,000 ක් පමණ විය පැහැදම් වී ඇත. මේ චිත්‍රපටය සඳහා සිනමාස් සමාගමට රුපියල් ලක්ෂ 5 ක් පමණ වැය වී ඇති බව පැවසේ. එක නෙගටිව් පටයකින් පිටපත් 132 ක පිටපත් මුද්‍රණය වී ඇති ‘සන්දේශය’ චිත්‍රපටයේ පෘතුගීසි බලකොටුව පිපිරවීමේ දර්ශනය සඳහා කැමරා හතරක් යොදා තිබු බවත් චිත්‍රපටයේ සමරු කලාපයේ සඳහන් වෙයි. සන්දේශයේ සියලු ගීත ජනප්‍රිය වුු අතර එයින් ‘පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා’ ගීතය ඉන් ජනප්‍රිය වූ අතර ගීත ඇතුළත් ඩ්ර්ඍ තැටි දහස් ගණනින් අලෙවි වී ඇත. ඒ අතර එය දිවයින පුරා සිනමාහල් 136 ක තිරගත වී ඇති අතර චෙකොස්ලෝවියාවේ චෙක් බසින් දෙබස් කවා තිරගත වූ බව ද වාර්තා වේ. මංගල දර්ශනයේ ආදායම රත්මලානේ අඳ ගොළු බිහිරි අරමුදලට බැර කිරීමට නිෂ්පාදකයා පියවර ගෙන ඇත.

ගුණරත්නම් 1961 දී හැඳල විජය චිත්‍රාගාරය පිහිටුවීමට තීරණය කළේ එතෙක් රසායනාගාරය හා සම්බන්ධ කොට රූපගත කිරීම් සඳහා අංග සම්පූර්ණ චිත්‍රාගාරයක් පිහිටුවීම සඳහාය. හැඳල අක්කර 08 ක ඉඩමක් රුපියල් ලක්ෂ 08 ක් වැය කොට මිල දී ගෙන පටන් ගත් මේ චිත්‍රාගාරයේ මුල් නම ‘සිනි චිත්‍රාගාරය’ විය. කොළඹ ආමර් වීදියේ ගුණරත්නම්ට තිබූ අංග සම්පූර්ණ මුද්‍රණාලය ‘සිනි මුද්‍රණාලය’ ය. එහි වර්ණ චිත්‍රපට පෝස්ටර් හා ‘කලා’ සඟරාව ද මුද්‍රණය විය. 1961 දෙසැම්බර් මාසයේ අරඹන ලද විජය චිත්‍රාගාරයේ මුලින්ම රූගත කොට ඇත්තේ ‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටය බව පැවසේ. චිත්‍රාගාරයේ නිෂ්පාන කළනාකරු වූයේ ජී. චාල්ස් පෙරේරාය. එහි ශබ්දාගාරයේ පටිගත කළ මුල්ම ගීතය වී ඇත්තේ ‘ කුරුලු බැද්ද’ චිත්‍රපටයේ ලතා සහ ධර්මදාස ගැයු ‘ඔය බැල්ම ඔය කැල්ම’ ගීතයයි. එහි සංගීත අධ්‍යක්ෂවරයා මුත්තුසාමිය. ගීත රචකයා කරුණාරත්න අබේසේකරය. 1963 නොවැම්බර් මස ඇරඹූ ගුණරත්නම්ගේ ‘චණ්ඩියා’ චිත්‍රපටයේ එන වීථි දර්ශන, සමාජ ශාලා සියල්ල ඉදි වූයේ විජය චිත්‍රාගාරයේය. විජය චිත්‍රාගාරයේ රසායනාගාර අධිපතිව සිටි එස්. තිරුනාවු කරසු (ඕ.ඉ.ඛ්) දකුණු ඉන්දියාවෙන් පැමිණියෙකි. ඔහුට මසකට රු: 15,000 ක් (1961 වසරේ එය ලොකු මුදලකි) වැටුපක් ලබා ගත්තත් චිත්‍රපටවල ශබ්ද කැවීම් ඉතා පහත් මට්ටමක තිබූ බවත්, මීට අඩු වැටුපකට සිංහල කාර්මිකයකු යොදා ගත හැකිව තිබූ බව 1964 චිත්‍රපට කොමිෂන් වාර්තාවේ (73 පිටුව) සඳහන් වෙයි.

ලංකාවේ නිෂ්පාදනය කළ වර්ණ මි. මි. 35 චිත්‍රපටය වූ ‘රන් මුතු දූව’ චිත්‍රපටය අඩක් සඳහා බරපැණ දැරුවේ ගුණරත්නම් විසිනි. මෙවැනි චිත්‍රපට අති සාර්ථකව තිරගත වන ප්‍රදර්ශනය වන බවේ පෙර දැක්ම ඔහුට තිබුණි. ටයිටස් තොටවත්ත වැනි සූර චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකුගේ දස්කම් දැක දෙවරක් නොසිතා ‘චණ්ඩියා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට අසීමිත නිදහස දී, එයට අවශ්‍ය යටිතල පහසුකම් ගුණරත්නම් ලබා දුන්නේ නිර්ලෝභීවය. ගුණරත්නම් තම සිනමාස් සමාගම විසින් නිෂ්පාදනය කළ චිත්‍රපට අතර ධීවරයෝ, අල්ලපු ගෙදර, සූර චෞරයා, අටවෙනි පුදුමය, ආත්ම පූජා, අප්සරා, හොඳයි නරකයි කැපී පෙනෙයි.

කේ. ගුණරත්නම් මහතා මා කිහිප අවස්ථාවකම (චිත්‍රපට මුහුරත් උලෙළ හා මංගල දර්ශනවලදී) දැක යාන්තමට සිනහා වී ඇතත් කතා කිරීමට අවස්ථාවක් නොලැබිණි. ඔහු මිය යාමට මාස හයකට පමණ පෙර 1989 වසරේ ඔහු හමුවීමට මා ඔහුට අයිති කොළඹ ආමර් වීදියේ කේ. ජි. ඉන්ඩස්ට්‍රීස් ආයතනයට ගියේය. ඒ 1989 මහා මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයට එ. ජා. ප. තරඟ කළ ගාමිණි ෆොන්සේකාගේ ප්‍රචාරක පෝස්ටරය මුද්‍රණය කර ගැනීමට මා ගිය අවස්ථාවේදිය. මා විසින් නිර්මාණය කරන ලද අංක හතර මතු කර ඇති පෝස්ටර් දුටු ගුණරත්නම් මහතා කී මේ වදන මට තවමත් මතකය.

‘ගාමිණි පොලිටික්ස්වලට ඇවිත් කර ගත්තේ ලොකු මෝඩකමක්. මොනව කරන්න ද එයාගේ කැමැත්තනේ. අපිට තියන්නේ උදව් කරන්න’ ඔහු සිනාසෙමින් කීය.

ගාමිණි හා ගුණරත්නම් අතර තිබූ අවියෝජනීය මිත්‍රකම ප්‍රබලය. ගාමිණිගේ ප්‍රචාරක පෝස්ටර්, අත් පත්‍රිකා සියල්ල ඔහුගේ අනුග්‍රහයෙන් දහස් ගණනක් මුද්‍රණය විය. ඒ කටයුතු සම්බන්ධිකරණය කිරීමේදී මට කේ. ගුණරත්නම් නම් මානව හිතවාදී මිනිසා හරි හැටි දැන ගැනීමට හැකි විය. ඔහුට පද්මරාජ්, විජයමානි, ත්‍යාගරාජ්, ප්‍රියදර්ශනි පුත්‍රයන් දෙදෙනක් හා දියණියක් සිටියහ.

මේ අතරින් පද්මරාජ් අද ක්‍රියාකාරීව සී. ඊ. එල්. සිනමා ප්‍රදර්ශන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකව සිටී. මා විසින් ලියූ ‘රුක්මණී දේවි : යුගයක ස්වර්ණ ගීතය’ කෘතියේ දෙවන මුද්‍රණය කිරීමේදී සිනමාස් සමාගම ප්‍රකාශයට පත් කළ රුක්මණී දේවි ලියූ ‘මගේ ජීවිත විත්ති’ කෘතිය ද එම ග්‍රන්ථයට එකතු කිරීමට අවසර ගැනීමට පද්මරාජ් මහතා හමුවීමට ගියෙමි. ඔහු මගේ වෑයම අගය කරමින් එහි අවසරය නිහතමානීව අවසර පත්‍රයකින් මට ලබා දුන් බව ද කෘතවේදීව මතක් කිරීමට කැමතිය.

සිංහල සිනමාවට අපරිමිත සේවයක් කළ කේ. ගුණරත්නම් මහතා 1989 අගෝස්තු 27 වෙනිදා අවාසනාවන්ත ලෙස මිය යාම නිසා සිංහල සිනමාවට වූයේ විශාල පාඩුවකි.

ඒ.ඩී.රන්ජිත් කුමාර 
ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.