දුම්රිය ස්ථානයක ගී ගැයූ දිව්‍යමය හඬක් ලද්දී රනූ මොන්ඩාල්

අගෝස්තු 29, 2019

ජීවිත ගමනේ දෛවයෝගේ 
වළකන රුසියා කවුරුන්ද ලෝකේ

ඇය බොලිවුඩයේ මිහිරි හඬින් ගී ගැයූ ගීත කෝකිලාවක නොවූවාය. නමුත් මේ වන විට ඇය තම හඬින් බොලිවුඩය පමණක් නොව ලොවක අවධානය එක රැයකින් දිනා ගැනීමට තරම් වාසනාවන්ත වී ඇත. ඇයගේ දෛවය වෙනස් වූයේ සමාජ මාධ්‍ය ඔස්සේය. දිව්‍යමය හඬක් ලද්දී යනු ඇයට පටබැඳී නාමය යි. මේ දිනවල ඉන්දිය මාධ්‍ය ඔස්සේ අවධානය දිනා සිටින ඇය රනූ මොන්ඩාල්.

රනූ පිළිබඳ මුලින්ම අවධානය යොමු කළේ අතීන්ද්‍ර චක්‍රබෝර්ති නම් 26 හැවිරිදි ඉංජිනේරු සිසුවෙකි. ඔහු රනගාත් දුම්රිය ස්ථානයේ සිටියදී අසන්න ලැබුණේ, කාන්තාවක විසින් මොහොමඩ් රාෆීගේ ගීතයක් ගයන අයුරුයි. ඒ හඬ කෙතරම් මිහිරි දැයි කිවතොත් තමා යාමට ආ ගමන මොහොතකට පමා කරමින් ඒ කවුරුන් දැයි සෙවීමට තරම් විශේෂ විය. දහස් ගණනක් එහා මෙහා යන දුම්රිය ස්ථානයක ආපන ශාලාවක් අසල බිම හිඳ ගෙන ගීත ගායනා කරනා කාන්තාව අසලටම ගොස් අතීන්ද්‍ර එම ගීතය ශ්‍රවණය කළේය. අනතුරුව ඔහුගේ ඉල්ලීම පරිදි ඇය තමා කුඩා කල පටන් ප්‍රිය කළ ගායිකාව ලතා මංගේෂ්කාර් විසින් ගයන 'ඒක් ප්‍යාර් කා නග්මා හායි' ගීතය ගායනා කළාය. ජංගම දුරකථනයෙන් එම ගීතය පටිගත කරගත් අතීන්ද්‍ර තම ෆේස්බුක් ගිණුමට ඇතුළත් කළේය. මේ දිනවල අන්තර්ජාලයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා තිබෙන්නේ රනූ විසින් රනාගාත් දුම්රිය ස්ථානයේ සිට ගැයූ එම ගීතය යි.

කෙනෙකුගේ දෛවය කොයි මොහොතේ කෙසේ වෙනස් වේ දැයි කිව නොහැකිය. ඒ අනුව රනූගේ දෛවයද සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. අතිශය දුක්බර දිවියක් ගත කරමින් දුම්රිය ස්ථානයක ගී ගයමින් සිටි රනූ අද ලොවක් දිනූ ගායිකාවක සේ ජනප්‍රිය වී සිටින්නීය. මේ දක්වා වූ රනූගේ ජීවිත කතාව අතිශය දුක්බර එකක් විය. ඇතැම් දින ඇය ගෙවා දැමුවේ කුසට අහරක් පවා නොමැතිවය. බටහිර බෙංගාලයේ ක්‍රිෂ්ණානගර්හිදී උපත ලද රනූහට කුඩා වියේ පටන් සිය නැන්දණිය සමඟින් දිවි ගෙවන්නට සිදුවන්නේ මව සහ පියා අහිමි වීම හේතුවෙනි. වයස අවුරුදු 19 දී විවාහ ජීවිතයට පිවිසි ඇය මුම්බායි සිට රනාගාත් වෙත පැමිණෙන්නේ සැමියාගේ අකල් වියෝවෙන් පසුවය. අතිශය කටුක ලෙස ගත කළ රනූගේ දිවියේ 59 වැනි කඩඉම ආසන්නයේ ඇය සතු මිහිරි හඬ ඇයට වාසනාව රැගෙනවිත් අවසන්ය.

මේ වන විට ඇය බොලිවුඩය ද දිනා ගන්නට සමත් වී ඇත. ඒ සමඟින් ඇය හමුවේ සුවබර දිවියක මඟ හෙළි පෙහෙළි වී තිබේ. අන්තර්ජාලයෙන් රනූගේ ගීතය රසවිඳී බොලිවුඩ් සංගීතයකුගේ අවධානය ඇය කෙරෙහි යොමු විය. රනූගේ දක්ෂතාවය හඳුනා ගත් සංගීතඥයකු, නළුවකු, නිෂ්පාදකවරයකු ද හිමේෂ් රෙෂාමියා පවසන්නේ, මෙවැන්නක්. තම ජීවිතයේදී කවදාහරි දක්ෂයෙක් හමුවුණොත් ඔහු හෝ ඇය මඟ හරින්න එපා. එයා ළඟ තබාගෙන දක්ෂතා වර්ධනය කරගන්න උපකාර කරන්න. මට ඒ උපදෙස දුන්නේ සල්මන් ඛාන්ගේ තාත්තා සලීම් ඛාන්. ඒ විදියට මට අද රනූ හමු වී තිබෙනවා. ඇයගේ හඬ ඉතාම මිහිරියි. ඇය දෙවියන් විසින් ආශිර්වාද ලද්දියක්. දෙවියන් විසින් ත්‍යාගයක් ලෙස ඇයට දුන් ඒ මිහිරි හඬ ලෝකය සමඟින් බෙදා හදා ගැනීමට මගේ නවතම සංගීත අධ්‍යක්ෂණයේදී අවස්ථාව ලැබෙනවා.

හිමේෂ් ඔහුගේ නවතම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වන Happy Hardy Heer චිත්‍රපටයේ ගීත ගායනයට රනූ තෝරා ගත්තේය. හිමේෂ් සමඟින් ශ්‍රෙයා ගෝෂාල්, අර්ජිත් සිං ද එම චිත්‍රපටයේ ගීත ගායනයට එක් වී සිටිති. Happy Hardy Heer චිත්‍රපටයේ තේරී මේරි කහානි ගීතය මේ වන විටත් පටිගත කර අවසන්ය. එම ගීතය ගායනා කරන්නේ හිමේෂ් සමඟින් රනූය. මේ වන විට එම ගීතය ද අන්තර්ජාලයේ ජනප්‍රිය ගීතයක් බවට පත් වී ඇත. එපමණක් නොව දුම්රිය ස්ථායක ගී ගැයූ රනූ, රූපවාහිනි වැඩසටහන් සහ සංගීත සංදර්ශන වෙනුවෙන් ඉල්ලුමක් ඇති අයෙකු බවට පත්වී සිටින්නීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.