නිවස සංවාද ‘ජයනි’ වගේ දුෂ්ට චරිත රඟපාන්න මට පුළුවන්

‘ජයනි’ වගේ දුෂ්ට චරිත රඟපාන්න මට පුළුවන්

by Thanushika
April 25, 2024 12:30 am 0 comment

ටෙලි නාට්‍යය, වේදිකාව, සිනමාව යන මේ ඕනෑම කලා මාධ්‍යයක නිර්මාණයන් තුළින් විවිධ පැතිකඩ ඔස්සේ දිව යන චරිත නිරූපණය කරන්නා විශේෂය. මන්දයත් ඒ කුමන කලා මාධ්‍යයකින් වුවද සමාජයට සෘජු ලෙසම විශාල බලපෑමක් සිදු කරන බැවිනි. බොහෝ විට එය එසේ සිදුවන්නේ අපි නොදැනුම්වත්වමයි. සමාජය එය වැලඳගන්නට ඇති ඉඩකඩ ද බහුල වී ඇති බැවිනි. ඒ අයූරින් කිසියම් නිර්මාණයක යම් යම් ප්‍රස්තූත නිරූපණය කරන අයගෙන් වන බලපෑම මඟින් සමාජය තුළ සංවේදි මිනිසුන් තැනීමට කිසියම් රුකුලක්, ශක්තියක් සැපයෙන්නේ නම් එය කෙතරම් අගනේද.

මෙවර අපේ කතා බහට එකතු වන ඇය ද ඒවැනිම ගණයට අයත් රංගන ශිල්පිනියකි. පාසල් කාලයේ සිටම කලාව ඇයගේ ඇට, මස්,ලේ, නහර පුරාම දිවගිය හෙයින් අන් සියලු කටයුතු පසෙකලා ඇ පසු කලෙක රංගනයට එක්වුවාය.

අද කලාකරුවන් බොහෝ දෙනා සංවේදි යැයි කීවත් සැබැවින්ම එලෙස සංවේදී අය ඇත්තේ අතළොස්සකි. මෙවර අපේ කතා නායිකාව වන ඇයද එවැනි අතළොස්සක් දෙනා අතරට ගැනෙන රංගන ශිල්පිනියකි. ඇ සතු සුවිශේෂී ලක්ෂණය නම් ඕනෑම දෙයක් ගැන කිය කියා නොසිට එය ක්‍රියාවෙන්ම සිදුකර පෙන්වීමයි. සැබෑ දිවියේ ප්‍රජා සත්කාර කටයුතු රැසක් ද සිදුකර ඇති ඇ අදටත් සෑමවිටම ඒ සඳහා ප්‍රමුඛ වන්නීය.

ඒ වැඩකටයුතුවලින් මෙන්ම රංගන කලා වැඩවලදී ද ඇ සංවේදී කලාකාරිනියකි. මේ දිනවල අපේ ආලින්දයට ඇය ගොඩවන්නීය. ඒ සතියේ දින පහේම රාත්‍රී 9.00 ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශය වන ‘නිකිණි කුසුම්’ ටෙලි නාට්‍යයේ ජයනි නම් චරිතය තුළිනි. ඒ පිළිබඳව මෙන්ම කලකට පසුව ඇයගේ සැබෑ ජීවිතයේ නවතම තතු විත්ති ද සමඟින් මෙවර අප හා කතා බහට මුල පිරුවේ ප්‍රවීණ, ජනප්‍රියතම රංගන ශිල්පිනී මනිෂා ශ්‍යාමලී මහත්මියයි.

ඔබ “නිකිණි කුසුම්” ටෙලි නාට්‍ය තුළින් මේ දිනවල ආයෙමත් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් නේද ?

ඔව්… වෙනස් ම විදිහේ කතා තේමාවකුත්, වෙනස් ම විදිහේ චරිතයකුත් මට ඒකේ ලැබුණා. ඉතින් මට හිතුණා මේ චරිතය මට හොඳීන් ප්‍රතිනිරූපණය කරන්න පුළුවන් කියලා.

ඒ අභියෝගය මම භාරගත්තා. ඒ වගේම ඒක ඉතා සාර්ථකයි.

ඔබට මේ ටෙලි නාට්‍ය සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද ?

මේ ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා දවසක් මට දුරකථනයෙන් කතා කරලා නිර්මාණය ගැන, චරිතය ගැන පැහැදිලි කිරීමක් කළා, මෙහෙම චරිතයක් තියෙනවා කරන්න පුළුවන්ද කියලා. මම ඉතින් විස්තර ටික කතා කරගෙන මේ නිර්මාණය භාරගත්තා.

එහි ඔබ රඟපාන චරිතය ගැන කිව්වොත්.

නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ මගේ චරිතයෙ නම ජයනි. විවාහක කාන්තාවක්. පවුල අවුල් කරගත්ත, දික්කසාදයකට ගියපු, තවත් විවාහයක් කරගත්ත, පවුල් ආරවුල්, මුදල් ප්‍රශ්න ඒවා ගැන තමයි මේ කතාව ගෙතිලා තියෙන්නෙ. මගේ ඒ චරිතේ නම් කළු චරිතයක්.

මේ දවස්වල ඔබට ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ඔව්, බොහෝම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා මේ මොහොතේ නිකිණි කුසුම් ටෙලි නාට්‍යයට. ඒක මගේ පෞද්ගලික ජීවිතේට එහා ගියපු බොහොම නපුරු, සැර, දුෂ්ට චරිතයක්. ඉතින් මගේ ප්‍රේක්ෂකයෝ , හිතවතුන් හැමෝම අහනවා කොහොමද ඔයා එච්චර හොඳට නපුරු සැර චරිතයක් ප්‍රතිනිරූපණය කරන්නේ කියලා කියලා. ඉතින් ඒක ලෙහිසිත් නැහැ. මොකද කළු චරිත මම වැඩිය කරලා නැහැ. නමුත් චරිතාංග ශිල්පිනියක් විදිහට, ඒවගේ චරිතත් අපිට කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් මං විශ්වාස කරනවා මගේ චරිතයට උපරිම සාධාරණයක් කළා කියලා . ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා මම ඇත්තටම හරිම සතුටු වෙනවා. ඒ ලැබෙන ආදරයට, වර්ණනාවලට.

ඔබ ගැන තොරතුරු වත්මන් පරපුරට දැනගන්නත් එක්ක කියමු නේද ?

මම ජාතික රූපවාහිනියේ

“මුතුහර” ළමා වැඩසටහනට සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ 1996 දී වගේ තමා මං ක්ෂේත්‍රයට එන්නේ . මෝස්තර නිරූපිකාවක් විදිහට, රංගන ශිල්පිනියක් විදිහට. ඉන් අනතුරුව තමා ටෙලි නාට්‍යයක රඟපාන්න මට අවස්ථාව ලැබුණේ. එදා ඉඳලා අද දක්වාම රංගන ශිල්පිනියක් ලෙස මම වැඩ කටයුතු කරමින් මේ ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්නවා.

එතකොට ඔබ පාසල් කාලයේ ඉඳලම නිළියක් වෙන්නද හිතුවේ ?

එහෙම නෑ. මම පාසලේ ඉගෙන ගන්න කාලේ සාහිත්‍ය කලා උත්සවවලට, පාසල් වේදිකා නාට්‍ය රංගනයටත් ඉදිරිපත් වුණා. හැබැයි ඉගෙනගන්න කාලේ මම ගුවන් සේවිකාවක්, නීතිඥවරියක් වෙන්න තමයි හිටියේ. ඒ අංශවලට අදාළව මම ඉගෙන ගැනීමේ කටයුතු පවා හමාර කරලා තිබුණේ. ඒත් කලාව මගේ ඇඟේ තිබුණ දෙයක්, ඒ නිසා වෙන්න ඕනේ මම අද කලා ශිල්පිනියක් වෙලා ඉන්නේ.

ඒකාලේ ආපු හැම චිත්‍රපටයක්ම අතහරින්නෙ නැතුව බැලුවා කියන්නේ ඇත්තද ?

ඒ දවස්වල මගේ තාත්තා අපිට ආසන්නයේ තිබුණ සිනමා ශාලාවට එන හැම චිත්‍රපටයක්ම බලන්න යනවා. එහෙම යන හැම අවස්ථාවකම වගේ මාවත් එක්කරගෙන ගියා. මගේ තාත්තා හොඳ සිනමා ලෝලියෙක්. මමත් එහෙමයි. ඉතින් ඒ විදිහට චිත්‍රපට බලපු මටත් සිනමා රංගන ශිල්පිනියක් වෙන්න ඕනේ කියලා ලොකු ආසාවක් ඇති වුණා.

එතකොට ඔබ දැන් ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද ?

අවුරුදු විසි අටක් විතර වෙනවා. දුක් කරදර බාධක මැද්දෙ තමයි අද මම මෙතනට ඇවිත් තියෙන්නේ.

ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්ද ?

ඔව්.

මේ දක්වා නිර්මාණ කීයකට විතර රංගනයෙන් දායකවෙලා තියෙනවද?

වේදිකා නාට්‍යය නම් පහළොවක් වගේ. මං වැඩියෙන්ම ටෙලි නාට්‍යවලට තමා දායක වුණේ. ටෙලි නාට්‍ය නම් එකසිය පනහකට වැඩියි. චිත්‍රපට නම් දොළහක් වගේ ප්‍රමාණයකට. ඇත්තටම සිනමාවට තමයි මගේ ලොකු ආසාවක් හා කැමැත්තක් තිබුණේ. මං ඒ ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටියත්, ඒ සඳහා මට අවස්ථාව ලැබුණෙත් ඉතාම අඩුවෙන්.

මනිෂා නිර්මාණයකට දායක වෙද්දී චරිත තෝරා බේරා ගැනීමක් සිදුකරනවාද ?

ඇත්තටම මං වගකීමෙන් වැඩකටයුතු කරන අයෙක්. එතනදි මගේ චරිතයට වගේම, පෞද්ගලික ජීවිතේටත් සෘජු බලපෑමක් වන නිර්මාණ ගැන මම දෙපාරක් හිතනවා. එයින් විශාල බලපෑමක් වන චරිත කරන්න මං භාරගන්නේ නෑ. සමාජයට යහපත් පණිවිඩයක් දිය හැකි ආදර්ශමත් චරිතයක් පමණයි මං තෝරා ගන්නේ.

මහත්තයා නැතිවෙලා කොච්චර කල් වෙනවද ?

මහත්තයා නැතිවෙලා නම් දැන් අවුරුදු පහක් වෙනවා. මං පසුගියදාත් ඔහු වෙනුවෙන් දානයක් දුන්නා.

(ඇය ඉතා සංවේදී වී හැඟීම්බරව තම සැමියා ගැන විස්තර කියයි.

සැමියාට ආදරණීය බිරිඳක් ලෙස ඉතා සාර්ථක යුග දිවියක් ගත කළ අතර අදටත් ආදර්ශමත් ලෙසින් ඈ ජීවිතය ගත කරයි.)

ඔබ දෙපළගේ හමුවීමේ ඒ අතීතය ගැනත් මතක් කරමු නේද ?

“සරත් නාමල්ගම කියන්නේ දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම නිෂ්පාදකවරයෙක්. වෘත්තියෙන් මහජන බැංකුවේ කළමනාකරුවෙකු ලෙස තමයි ඔහු වැඩ කළේ.

ඊට අමතරව ඔහු ජපානයෙන් වාහන ගෙන්වන ව්‍යාපාරයක් කළා.

මම 2002 වසරේදී පිටරටක ඉදලා නිවාඩුවකට ලංකාවට ඇවිත්, මෙහි තිබුණ උත්සව අවස්ථාවකට සහභාගී වුණා. එතනදි තමයි මට ඔහුව හමුවෙන්නේ. පස්සේ අපි කතාබහ කරලා කෙටි කාලයක් ඇතුළත ඒයා අපේ ගෙදරට ඇවිත් මං ගැන අපේ අම්මාගන් අහලා ඊට පස්සේ අපි දෙන්නගෙ විවාහය සිදුවුණා. ඇත්තටම ඔහු මට හොඳ ආදරණීය සැමියෙක්. එදා වගේම කසාද බැන්දට පස්සෙත් මට ලබා දුන් ඒ ආදරයේ නම් කිසිම අඩුවක් තිබුණෙ නෑ. ඔහු මගෙන් වෙන් වෙලා මෙලොව හැර යන තෙක්ම ” ඇය ඒ පිළිබඳව හැඟීම්බරව විස්තර කියයි .

දෙන්නා බැන්දට පස්සේ රඟපාන්න එක නවත්තන්න කියලා එයා ඔයාට කිව්වෙ නැද්ද ?

එහෙම මට ලොකුවට බලපෑමක් කරලා නැහැ .

විවාහයෙන් පස්සේ මම හොඳ ගෘහනියක් වෙනවටත් ඔහු කැමති වුණා. මම නිර්මාණවලට දායක වෙනකොට එයාගෙන් උපරිම ලෙස මට සහයෝගය ලැබුණා. මම රඟපාන චරිත වල යම්කිසි අඩුපාඩුවක් තිබුණා නම් ඒවත් මට කියලා දුන්නා.

ඔබේ සැමියා ටෙලි නාට්‍ය, චිත්‍රපට නිෂ්පාදන කටයුතු ඉතාම සාර්ථකව සිදුකළ අයෙක්. ඉතිං දැන් ඒ හිඩැස පුරවන්නට, ඔබ මේ කටයුත්තට අතගහලා නිෂ්පාදකවරියක් ලෙස ඉස්සරහට වැඩ කරගෙන යන්න අදහසක් නැද්ද ?

ඇත්තටම ගොඩක් දෙනා ඔය ප්‍රශ්නෙ මගෙන් අහනවා. ඒ අය කියනවා මනීෂා ඔයත් නාමල් වගේ හොඳ දෙයක් කරන්න කියලා. එයා නවත්තපු තැනින් වැඩ කරන්න පටන් ගන්න අපිත් උදව් කරන්නම් කියලා. ඇත්තටම මං ඒ ගැනත් දැනට අවධානය යොමු කරලා ඉන්නේ. ඉස්සරහට මේ හැම පැත්තක් ගැනම සොයා බලලා එය සාර්ථකව සිදුකරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද ඔය වැඩේ එහෙම ආවට ගියාට කරන්න බෑනේ. මුදල් ටිකක් එහෙම එකතු කරගෙන තමයි මේ වැඩේට සූදානම් වෙන්න ඕනේ. මොකද ඒ සඳහා විශාල පිරිවැයක් දරන්න වෙනවා. තව ඒවට අවශ්‍ය සියලු සම්පත් එකතු කරගන්නත්, හොඳ සැලැස්මක් සකස් කරගන්නත් ඕනෙනේ.

එතකොට මනිෂා ශ්‍යාමලී කවදා විතර වගේද නිෂ්පාදකවරියක් ලෙස කරළියට එන්නේ ?

හැකි ඉක්මනට ආදර්ශවත්, හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට මතක හිටින හොඳ වැඩක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

ඔබ සමාජ සේවිකාවක් ලෙසත් ජනප්‍රියයි නේද ?

ඇත්තටම මං කලා ශිල්පිනියකගෙන් එහාට ගිහිල්ලා සෘජුවම සමාජ ගනුදෙනුවක යෙදෙන සමාජ සේවිකාවක්. මම අපේ ගමේ තියෙන මරණාධාර, කාන්තා, සර්වෝදය, පන්සලේ කුලඟන, තරුණ බෞද්ධ, කලාකරුවන්ගේ සංවිධාන, ප්‍රසිද්ධ සමාජ සේවා සංවිධාන, අන්තර්ජාතික සිංහ සමාජයේ ඇතුළු විවිධ සමිති සමාගම් රැසකම වගේ නිලතල දරමින්, ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙසින් අදටත් කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම වැඩිහිටි අය වෙනුවෙන්ම වූ සංවිධාන රැසකම මා වැඩ කරමින් විශාල ප්‍රජා සත්කාරයන්ට දායකත්වය ලබා දෙනවා. මම පෞද්ගලිකවම මගේ මුදල් වලින් විවිධ අවශ්‍යතා ඇති රෝගී පිරිස් සියලු දෙනා හට කිහිලිකරු, රෝද පුටු, ඇස් කණ්ණාඩි යනාදියත් ලබාදීලා තියෙනවා. මං ඒවා ගැන වැඩිය කියන්න කැමති නෑ ඇත්තටම.

නමුත් ඒ දේවල් මම මෙහෙම හරි කියන්නෙ මේවා දැක බලාගෙන තව කෙනෙක්ටත් ඒ වගේ දේවල් කරන්න, දායකත්වය දරන්න කියලා කියන්න ඕන නිසයි.

අද කලාකරුවෝ රැසක්ම දේශපාලනයට එනවා. මේ වගේ දේවල් කරලා මනිෂා ශ්‍යාමලීත් කවදාහරි දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවද ?

එහෙම අදහසක් නම් නැහැ. නමුත් මට කාලෙක ඉඳලා දේශපාලනයට සම්බන්ධ වෙන්න කියලා සෘජුවම යෝජනා ඇවිල්ලා තියෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවාද ?

රංගන ශිල්පිනියක් ලෙස මම හරි දේ, හරි විදිහට කරන්නත්, සාර්ථකව සමාජයට කිසියම් පණිවිඩයක් දිය හැකි නිර්මාණයන්හී චරිතවලට පණ පොවමින් ඒ නිර්මාණවලින් තව තවත් ප්‍රේක්ෂකයින් අතරට විත් මානුෂීය සංවේදී මිනිසුන් තැනීමට මහත් රුකුලක් ශක්තියක් ලබාදීම තමයි මගේ බලාපොරොත්තුව.

කලාකාරිනියක් ලෙස මේ පවතින ආර්ථික අර්බුදය සුළුවෙන් නොතක අපි හැකි හැමෝම ඒ ගැන අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලා ඉල්ලනවා. මේ වගේ අවස්ථාවක ඒ සෑම දෙනාම උතුම් මිනිස්කම පෙරටු කර ගනිමින් එකිනෙකාට හැකි අයුරින් උපකාර කරන්න. සංවේදී අය ලෙස හැසිරෙන්න පුළුවන් නම් ඉතාම වටිනවා. මොකද මේ වෙලාවේ මිනිස්සු ලොකු පීඩනයක, ආතතියක තමයි ඉන්නේ. ආර්ථික ප්‍රශ්න, රෝගී අය විශාල ලෙස ඉන්නවා. මේ තත්ත්වය මුළුමනින්ම තුරන්ව ගොස් සැමට යහපත් සමෘද්ධිමත් කාලයක් උදා වෙන්න කියලා මං මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා.

හේමන්ත බණ්ඩාර

[email protected]

-රංගන ශිල්පිනී මනිෂා ශ්‍යාමලී

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT