එන්න! චිත්‍රපටබලන්න මෙවරත් යාපනයට

අනෝමා රාජකරුණා
අගෝස්තු 22, 2019

යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ ලබන 03 වැනිදා

ශ්‍රී ලංකාවේ දී ද අන්තර්ජාතික සිනමා උලෙළක අසිරිය පිළිබඳ කතා කළ හැකි බව කවුරුත් දන්නා දෙයක්. ඒ නිසාම සිනමාවට පෙම් බැඳී කවුරුත් සැප්තැම්බර් මාසය එළඹෙත්ම අන්තර්ජාතික සිනමා උලෙළක් පිළිබඳ අවධානය යොමු කරති. එනම් යාපනය අන්තර්ජාතික සිනමා උලෙළයි. උතුර දකුණ යා කරන සෙනෙහසේ පාලම යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ අපේ රටේ සිනමාවේ යහපත් අනාගතයක් වෙනුවෙන් වූ මෙහෙවරක යෙදෙන සිනමා උලෙළක් ලෙසින් සුවිශේෂ වේ. පස්වැනි වරට මෙවරත් එය ලබන සැප්තැම්බර් 03 වැනිදා සිට 09 වැනිදා දක්වා යාපනයේදි පැවැත්වීමට නියමිතව ඇත. යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ අධ්‍යක්ෂිකාව ලෙසින් කටයුතු කරන්නේ සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා විසිනි. මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ තොරතුරු ඇය අප වෙත ගෙන ආවේ මෙලෙසිනි.

පස්වැනි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ පෙළ ගැසෙන්නේ කෙසේද?

විවිධ රටවල විවිධ ශානරවලට අයත් සම්මානනීය සිනමා නිර්මාණ රැසක් මෙවරත් තිරගත කිරීමට නියමිතයි. සැප්තැම්බර් 03 වැනිදා සිනමා උලෙළෙ ආරම්භ කෙරෙන්නේ, Transit (2018) නම් ජාත්‍යන්තර සම්මාන ලද ජර්මන් චිත්‍රපටයෙන්. සිනමා උලෙළේ 03 වැනිදා ආරාධිතයන් වෙනුවෙන් වෙන් වෙනවා. 04 වැනිදා සිට 09 වැනිදා දක්වා කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ වෘතාන්ත චිත්‍රපට එකතුවක් ගෙන ඒමට නියමිතයි. උලෙළේ සමාප්තිය සනිටුහන් කරමින් විසාකේස චන්ද්‍රසේකරන් විසින් අධ්‍යක්ෂණය කළ පාංශු චිත්‍රපටය තිරගත කෙරෙනවා. ඊට අමතරව පුහුණු වැඩමුළු පැවැත්වීමටත් කටයුතු යොදා තිබෙනවා. මෙරට ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න විතානගේ සහ සම්මානනීය බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක සහ තිරරචිකාවක වන හෙලන් බ්ලේක්මන් ඒ වෙනුවෙන් දායක වීමට නියමිතයි.

මෙවර සිනමා උලෙළට දායක වන රටවල් මොනවාද?

සාක් කලාපයෙන් ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්තානය යන රටවල් සමඟ සිංගප්පූරුව, මැලේසියාව, ජපානය, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, චෙක් ජනරජය, ඉරානය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ආදි රටවල් 20කට අධික සංඛ්‍යාවක් මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කිරීමට නියමිතයි.

මෙවර උලෙළේ තරඟකාරි අංශය ගැනත් පැහැදිලි කළොත්?

උලෙළ තරඟකාරි අංශ දෙකකින් යුතුයි. කුලුඳුල් සිනමා නිර්මාණය වෙනුවෙන් පිරිනමන සම්මාන වෙනුවෙන් ජාත්‍යන්තර විචාරක ජූරියක දායකත්වය හිමියි. එසේම හොඳම ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපටය තෝරා ගැනීමත් සිදු කෙරෙනවා.

කෙටි චිත්‍රපට අංශයට ප්‍රේක්ෂක දායකත්වයත් තියෙනවාද?

සුපුරුදු පරිදි කෙටි චිත්‍රපට පැය මෙවරත් ඇතුළත් කර තිබෙනවා. එය ප්‍රේක්ෂකාගාරයට ලැබෙන අවස්ථාවක්. චිත්‍රපට උලෙළ පුරා සෑම දිනකම ප්‍රේක්ෂකයන්හට උදේ සහ සවස පැවැත්වෙන කෙටි චිත්‍රපට පැයේදී තිරගත කෙරෙන කෙටි චිත්‍රපට අතරෙන් තමන්ගේ සිත් ගත් කෙටි චිත්‍රපටයට ජනප්‍රිය සම්මානය වෙනුවෙන් මනාපය පළ කළ හැකියි. ඒ වෙනුවෙන් පිදෙන්නේ ප්‍රේක්ෂකාගාරයේ සම්මානයයි (Audience Award).

මෙවර විශේෂ සාකච්ඡාව යොමු වන්නේ කුමන අංශයක් වෙනුවෙන් ද?

මෙවර සිනමා නිර්මාණ බෙදාහැරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. දෙමළ මාධ්‍ය චිත්‍රපට ගතහොත් කාලයක පටන් කෙටි චිත්‍රපට නිර්මාණය කෙරුණා. නමුත් මේ වන විට දෙමළ භාෂිත වෘත්තාන්ත චිත්‍රපට නිර්මාණය වීමේ යහපත් ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. නමුත් එහිදී දකුණු ඉන්දීය වාණිජ සිනමාව හමුවේ දෙමළ භාෂිත සිනමා නිර්මාණ යාපනයේ ජනතාව අතරට ගෙන යාමේදී අභියෝගයන්ට මුහුණදීමට දේශීය දෙමළ සිනමාකරුවන්ට සිදු වෙනවා. මෙවර සාකච්ඡා මණ්ඩපය මෙවැනි ගැටලු මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

මෙවර සිනමා උලෙළට දෙමළ භාෂිත සිනමා නිර්මාණ ඇතුළත් ද?

දෙමළ භාෂිත සිනමා නිර්මාණ ද්විත්වයක් මෙවර සිනමා උලෙළේ තරඟකාරී අංශය යටතේ කුලුඳුල් සිනමා නිර්මාණ අංශය නියෝජනය කරනවා. ඒ අනුව සුභා සිවකුමාරන්ගේ House of my fathers සහ ප්‍රදීපන් රවීන්ද්‍රන්ගේ Soundless Dance චිත්‍රපට කුලුඳුල් සිනමා නිර්මාණ අංශය යටතේ තිරගත කෙරෙනවා.

ගියවර දෙමළ භාෂිත සිනමා නිර්මාණයක් හේතුවෙන් ගැටලුවකුත් පැන නැඟුණා නේද?

ගියවර ජූඩ් රත්නම්ගේ Demons in Paradise ප්‍රදර්ශනය කිරීමට සූදානම් වන විටදී ගැටලුවක් මතු වුණේ ප්‍රේක්ෂකාගාරයේම යම් කොටසකින්. එනිසා අපට ඔහුගේ සිනමා නිර්මාණය සිනමා උලෙළෙන් තාවකාලිකව ඉවත් කර සාකච්ඡාවකට යාමට සිදු වුණා.

මේ ගැටලුව තුළ මම පිටස්තරයෙක්. එතැනනදී මම උලෙළේ මෙහෙයුම් කටයුතුවලට සහභාගි වන දකුණේ පුද්ගලයෙක් පමණයි. ගැටුම ඇති වුණේ දෙමළ සමාජයේම කොටස් දෙකක් අතරයි. ගත වූ වසර තුළ තවමත් ප්‍රසිද්ධ ප්‍රදර්ශනය හරහා යාපනය සමාජයට ඔහුගේ සාකච්ඡාව අරගෙන යාමට නොහැකි වී තිබෙනවා. යුද්ධය අවසන් වී සාමය උදා වුණත් සමාජය තුළ තවමත් යුද්ධයේ ගිනි පුපුරු යටපත් වී තිනෙවා. එහි ඝට්ටනය සිනමා උලෙළ හරහා මේ ලෙසින් එළියට පැමිණියා. මෙම සිනමා උලෙළෙත් සාමය සොයා යන ගමනේ කොටසක්.

මෙවරත් සිනමාවේ මතක සොයා යනවාද?

ගිය වසරේදී මෙමරි වෝක් නමින් වැඩසටහනක් අපි ආරම්භ කළා. යාපනය කියන්නේ කලා හා සංස්කෘතික කටයුතු අංශයෙන් ඉතාම දියුණු ප්‍රදේශයක්. එහි විශාල සිනමා සංස්කෘතියක් තිබූ බව අපි කවුරුත් දන්නා දෙයක්. නමුත් දශක තුනක පමණ කාලයක් පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ඒ සියල්ල විනාශ වී ගියා. මෙම තත්ත්වය මූලික කර ගනිමින් අපි පසුගිය වසරේ පටන් ආරම්භ කළ මෙමරි වෝක් වැඩසටහන සමඟ චිත්‍රපට තිරගත කිරීමට පෙර සිනමා ශාලාවට පැමිණ සිනමා සංස්කෘතිය පිළිබඳ ගමනක් ආරම්භ කළා. එය ඉතාම ජනප්‍රිය අංගයක් වුණා.

පස්වැනි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ ප්‍රත්‍යවලෝකන සිනමා දැක්ම වෙන්වන්නේ කවුරුන් වෙනුවෙන්ද?

යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ ප්‍රත්‍යවලොකන සිනමා දැක්මත් විශේෂයි. එය බොහෝවිට විදෙස් රටක සිනමාකරුවෙක් වෙනුවෙන් වෙන් වෙනවා. නමුත් අපි තෙවැනි සිනමා උලෙළේදී ධර්මසේන පතිරාජයන්ගේ සිනමා නිර්මාණ ඒ වෙනුවෙන් දායකකර ගත්තා. එලෙසින්ම මෙවර සිනමා උලෙළේදීත් අපි ප්‍රසන්න විතානගේගේ ප්‍රත්‍යවලෝකන සිනමා දැක්මක් පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔහුගේ සිනමා කෘති හයක් තිරගත කිරීමට නියමිතයි. මෙවර ප්‍රත්‍යවලෝකන සිනමා දැක්මේ විදෙස් රට වන්නේ බ්‍රසීලයයි

මෙම අන්තර්ජාතික සිනමා උලෙළ සඳහා යාපනයේ සිනමා ශාලා පහසුකම් වෙන්වෙන්නේ කොහොමද?

මෙවරත් චිත්‍රපට තිරගත කිරීමට මෙන්ම පුහුණු වැඩමුළු, සාකච්ඡා වෙනුවෙන් මැජෙස්ටික් සිනමා සංකීර්ණය, යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශ්‍රවණාගාරය, බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ යාපනය අමෙරිකන් කොනර් හි ඉඩ පහසුකම් වෙන් කෙරෙනවා.

සහයෝගය දක්වන්නට එක්වන ආයතන මොනවාද?

යාපනය විශ්වවිද්‍යාලය, සිලෝන් තියටර්ස් සමාගම, බ්‍රිතාන්‍ය කවුන්සිලය, ජර්මන් සංස්කෘතික ආයතනය, යාපනයේ අමෙරිකන් කෝනර් වැනි ආයතන සුපුරුදු පරිදි මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.