මේ චිත්‍ර මා ආදරය ප්‍රකාශ කරන එක් විදියක්

සමීර ශාක්‍ය
සැප්තැම්බර් 12, 2019

සමීර ශාක්‍ය කියන්නේ චිත්‍ර ශිල්පියෙක්. ඒත් ඔහු ටිකක් වෙනස් විදියක චිත්‍ර ශිල්පියෙක්. අප එහෙම කියන්නේ ඔහු අඳීන සමහර චිත්‍ර පිළිබඳත්, ඒවා අඳීන්න භාවිත කරන අමුද්‍රව්‍ය පිළිබඳත් වෙනස්ම විදියට හිතන නිසා. ඒ විතරක් නොවෙයි ඒ තමන්ට හිතෙන දේ අනුව ක්‍රියාවට නංවන නිසා. ඔහුව බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ලේවලින් චිත්‍ර අඳීන චිත්‍ර ශිල්පියා විදියට.

"ලේවලින් අඳීනවා කියන අදහස මගේ සිතට ආවේ පෞද්ගලික වේදනාවක් පිට කරගන්නයි. මගේ පෙම් සබඳතාව බිඳී යෑම හේතුවෙන් ඇගේ රුවයි මා මුලින්ම ලේවලින් චිත්‍රයට නඟන්නේ. පස්සේ කාලයේ ඒ කළ වැඩේ වැදගත්කමක් නැති බව මට හැඟී ගියත් ඒ ආරම්භය මා වෙනත් කාර්යයක ඇරැඹුමක් කරගත්තා. ඒ කාර්යය කොයිතරම් හොඳට කරන්න ඕන ද කියලා සිතුවා නම් ඒ පිළිබඳ වසර දෙකක පමණ කාලයක් මා හැදෑරුවා. ඒ හැදෑරීමෙන් පසුවයි මා මුල්වරට විජය කුමාරතුංග මහත්තයාගේ රූපය ලේවලින් චිත්‍රයට නඟන්නේ. හරියටම 2016 වසරේ පෙබරවාරිවලට යෙදී තියෙන ඔහුගේ අනුස්මරණ දිනය වෙනුවෙන්. ඔහුව අඳීන්න හේතුව නම් නළුවකු විදියට ඔහුට මගේ සිතේ තිබුණු කැමැත්තයි. ඒත් ඒ කාර්යය එතරම් ජනප්‍රියතාවට පත්වේ යැයි මා සිතුවේ නැහැ. හැබැයි ඒ චිත්‍රය රූපවාහිනියේ පවා පෙන්නන තරම් හැමෝම එයට ආදරය කළා. ඊළඟට මාස හතකින් පසුවයි එච්.ආර්. ජෝතිපාල මහත්තයාව ඇන්දේ. එයටත් වසර දෙක හමාරකට පස්සෙයි මේ චිත්‍රය වන ලසිත් මාලිංගගේ රූපය චිත්‍රයට නැඟෙන්නේ.

ඔහුව ලේවලින් චිත්‍රයට නඟන්න යන යෝජනාව ගෙනෙන්නේ මගේ චිත්‍රවලට ආදරය කරන රසික පිරිසක්. මම මෙතෙක් චිත්‍රවලට නැඟුවේ කලාකරුවන්. ඒත් ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩකයකු වුවත් ඔහුව අඳීන්න කියන්නේ ඇයි ද යන්න මා සිතුවා. ඒ වගේම ඔවුන් කියූ පමණින්ම මා මාලිංගව චිත්‍රයට නඟන්න සිතුවේ නැහැ. මා ඔහු ගැන දන්න දේට වඩා දෙයක් ඔහුගේ චරිත ස්වාභවයේ තිබෙනවා ද යන්නත් සොයා බැලුවා. එතකොටයි මට දැනගන්න ලැබුණේ ඔහු කෙළින් කතා කරන, මිනිසුන්ට උදව් කරන මනුෂ්‍යකමින් පිරුණු චරිතයක් බව. ඒ නිසයි මා ඔහුව චිත්‍රයට නැඟුවේ.

මා මේ චිත්‍ර අඳීන විට අනෙක් ශිල්පීන් චිත්‍ර අඳීනවා වගේමයි. ලේ අරගෙන පින්සල්වලිනුයි අඳීන්නේ. මා මෙහෙම දෙයක් කරන්නේ යම් මත්ද්‍රව්‍යයක් අරගෙන නොවෙයි. මා නිර්මාංශිකයි. ඒ වගේම පිස්සුවක් නිසාත් නොවෙයි මා මෙය අඳීන්නේ. මේ මගේ ආදරය ප්‍රකාශ කරන එක් විදියක් පමණයි. සමහරු ලේවලින් ලියන්නේ ලියුම්. මා අඳීන්නේ චිත්‍රයි.

සමහරු අහන්නේ ලේවලින් චිත්‍ර අඳීන්න පුළුවන් ද කියලා. වෛද්‍ය උපදෙස් මත ලේ ලබා ගනිමිනුයි මා මේ කාර්යයේ නිරත වන්නේ. මට වුවමනා විදියට ඒ චිත්‍ර ඇඳීම සිදු කරන්නේ නැහැ. නිතරම ලේවලින් චිත්‍ර ඇඳීිම සිදු කරන්නේත් නැති බව කියන්න ඕනෑ. ඒ නිසාමයි මා ඒ සියලු දේ වීඩියෝවකට නඟලා තිබෙන්නේ. ඒ සියලු දේ යූ - ටියුබ් ගිය කෙනකුට බලන්න පුළුවන්.

ඒ වගේම මේ කාරණයත් පැවැසිය යුතුයි. මා රංගනයට වගේම කලා අධ්‍යක්ෂණය වගේ දේවල්වලටත් කැමැතියි. යම් හැදාරීමක් මඟින් ඒ අංශවලට පිවිසීමටයි මා සිතාගෙන සිටින්නේ. මේ දවස්වල අලුත් අයට ගීත රචනාත් ලබා දෙන බව පැවැසිය යුතුයි.

තිලානි ශානිකා 
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.