කොහේද කොහේද අපේ ලොවක්

සැප්තැම්බර් 12, 2019

1890 කාල වකවානුවට අයත් පසුබිමක් ගෙන,1947 වර්ෂය තුළ රචිත, ළමා ගවේෂණාත්මක කථාන්තරයක් 1976 වර්ෂයේ චිත්‍රපටයකට නැංවීම එතරම්ම පහසු කටයුත්තක් යැයි සිතිය නොහේ. කථාව ලියූ මාර්ටින් වික්‍රමසිංහ මෙය ඇත්තටම හැඳීන්වූයේ 'චිල්ඩ්රන් ඇඩ්වෙන්චර්' කථාවක් ලෙසය. එය චිත්‍රපටයට නැංවූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ද මෙය හැඳීන්වූයේ 'චිල්ඩ්රන් ඇඩ්වෙන්චර්' චිත්‍රපටයක් ලෙසටය.

මාර්ටින් වික්‍රමසිංහ ලියූ මේ ළමා ගවේෂන ⁣කෘතිය වූ 'මඩොල් දූව' කියවන තෙක්, ලංකාවේ සිංහල පොත් කියවන අය ළමා ගවේෂණ ගැන දැනන් සිට්යේ නැත. ලෙස්ටර් ටද මෙය චිත්‍රපටයකට නගන්නට සිතුණේ එතෙක් 'චිල්ඩ්රන්' ඇඩ්වෙන්චර්' චිත්‍රපටයක් කිසිවෙක් සිංහලෙන් නොකෙරූ නිසා වන්නට ඇත.

වික්‍රමසිංහගේ කල්පිතය, කෙතරම් දුරකට ගොස් තිබුණාදැයි මුලින් දැණුනේ පාඨකයාට බව ඇත්තකි. 'මඩොල් දූවට' පාඨකයන් මනසින් කී දහස් වරක් යන්නට ඇත්ද?. උපාලි ගිනිවැල්ල, හා ජින්නා මෙන් එකී පාඨකයන්ද මඩොල්දූව තුළ කොතෙක් කල් ජීවත් වන්නට ඇත්ද?, 1947 සිට 2019 වන තෙක් අවුරුදු 72කට වඩා කාලයක් පරම්පරාවෙන්, පරම්පරාවට පාඨකයන් එසේ, එහී ජීවත් වන්නට ඇත. මතු පරම්පරාව නම් මඩොල් දූවට යන්න උත්සහා නොකරන බව ඇත්තය. මඩොල් දූවේ ගිනිවැල්ලලා, ජින්නලා මෙන්ම ටින් ටින් කථාමාලාවේ ටින් ටින් ලා, ස්නොවිලා ජංගල් බුක් හී මෝග්ලිලා යට කරගෙන, ස්පයිඩර්මෑන්ලා, ඇක්වාමෑන්ලා, ඇවෙන්ජර්ස්ලා ඊළඟ පරපුරේ වීරයන් වෙද්දි ගිනිවැල්ලලා, ජින්නෙලා, දඟදාසලා ට්‍රැක් එකෙන් ඉබේටම විසිවීම වෙනම කථාවකි.

:"පානාතිපාතා වේරමනී සික්කා පදම් සමාදියාමි" කියන පදේ තේරුම නිවැරදිව,පියා වූ ධර්මසිංහ ඉස්කෝලෙ මහත්තයා තම දරුවන්ට කියා දෙන විට එය මහත් උජාරුවෙන් අසා සිටි හාමිනේ, යළි ධර්මසිංහ ඉස්කෝලේ මහතා 'කා⁣මේසු මිච්චාතාරා වේරමනී සික්කාපදම් සමාදියාමි' කියන පදය දරුවන්ට උගන්නද්දී එහී තේරුම කියා ගන්නට නොහැකිව ඇඹරෙන විට, ඉස්කෝලේ මහතාගේ කුඩා ඇට්ටර කොලු පුතා එය හාර හාර අහන විට, හාමිනේ හෙමින් සීරුවේ එතනින් මාරු වෙන්නෙත්, ඉස්කෝලේ මහතා එයට උත්තර දීම දින නියමයක් නොමැතිව කල් දැමීමත් ලෙස්ටර් තම චිත්‍රපටයට හොඳට ග්‍රහණය කර ගෙන තිබුණි. ඇට්ටර කොලු පැංචාට එයට පිළිතුර සොයා ගැන්මට තිබුණු එකම විකල්පය, තම නිවසේ නැවතී සිටි ඌටත් වඩා ඩබල් ඇට්ටර උපාලි ගිනිවැල්ලය. 'කාමයසු මිච්චාතාරා.....' කියන වචනයේ තේරුම කොලු පැංචා ගිනිවැල්ලගෙන් අසන විට ඔහු කියන්නෙ 'එය කුණුහරුපයක්' බවය.

මාර්ටින් වික්‍රමසිංහ ඒ සුළු පද කීපයකින් ගත් උපරිමය, ලෙස්ටර් තම චිත්‍රපටයට අභරණයක් කර ගති. මඩොල් දූව චිත්‍රපටය ගැන ඇති මතකය කිසිවකගෙන් ඇසුවිට ඔහු කියන්නෙ, ' 'අර කාමේසු මිච්චාතාරා' උගන්නන්න ගිහිං ධර්මසිංහ ඉස්කෝලෙ මහත්තයා ඇන ගත්ත ඇන ගැනිල්ල ගැනය. මාර්ටින් වික්‍රමසිංහගේ ලිවීමත්, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණයත්, ස්පයිඩර් මෑන්ලා, ඇක්වාමෑන්ලා, ඇවෙන්ජර්ස්ලා පරද්දන්නේ මෙන්න මේ වගේ තැන්වලදීය.

කථාව ගෙතීයන්නේ උපාලි ගිනිවැල්ල තුළිනි. ඌ නොම්මර එකේ ඇට්ටර කොලුවෙකි. උපාලිගේ නිවසේ වැඩකාරකම් කරන ජින්නාද උපාලිගේ ඇට්ටර වැඩ වලට තකට තකය. හොරුන්ගේ සෙල්ලම කරන්නට ගොස්, එහි සිටි මහලු කාන්තාව දැලකින් පටලවා තැබීමත්, වැදි සෙල්ලම කරන්නට ගොස් දියගෙනෙන්නට ආ තරුණියකගේ කකුලකට ලී දුනු ඊතලයකින් විද තුවාල කර පසුව ඇයව වැදිරංචුවක් සේ කැලයට ඔසවාගෙන ගොස් කැලේ පාරින් ගෙදරට යන පාරට දැමීම ක්‍රිමිනල් අපරාධයක් සේය, ගමේ මුදලාලි කෙනෙක් වූ උපාලි ගිනිවැල්ලගේ පියා සැලකුවේ. උපාලිට ටික වේලාවක් දඬුකඳේ සිටින්නට සිදුවූයේද ඒ නිසාය.

මාර්ටින් වික්‍රමසිංහට මඩොල්දූව නවකථාව තුළින් මුළින් පෙන්වන්නට උවමනා වී ඇත්තේ ගමේ කොලු කුරුට්ටන්ගේ දඟකාර කම්ය. ඒකාලෙ හැටියට ගමේ කුරුට්ටන්ට සෙල්ලම් කරන්නට කැලේ ඇරෙන්නට දැං වගේ 'චිල්ඩ්රන් පාක්' තිබුණේ නැත.එහෙයින් ඔවුන් බොහෝ විට ක⁣ළේ ගමේ ආශ්‍රිත සෙල්ලම් වූවද ඒවා මගෝඩි සෙල්ලම් විය. 'පල් හොරු ' සෙල්ලම, 'වැදි සෙල්ලම', යැයි හැඳීන් වූවද ඒවා සෙල්ලම්ම නොවේ. තනිකරම ක්‍රිමිනල් කේසස්ය.

ගිනිවැල්ලව ආණ්ඩුමට්ටම් කිරීම පහසු කරුණක් නොවන බවක් මුදලාලිට තේරුණු නිසා ඔහු ගිනිවැල්ලව ධර්මසේන ඉස්කෝලේ මහත්තයාට භාර දුන්නෙ, මූව කෝවක දාලා හරි මකවලා දෙන ලෙසය. එහීදී ගිනිවැල්ල ඊටත් වඩා මගෝඩි වැඩ කළේ ඉස්කෝලේ මහත්තයාගේ ළමයි දෙදෙනාත් හවුල් කර ගෙනය. කැම මේසෙදි ව්‍යාංජ දමන දීසියේ ගෙම්බෙක් දමා එය වසා ඉස්කෝලෙ මහත්තයා කන තැනම තැබූවේ, අමුතුම ආතල් එකක් ගන්නටය. ඉස්කෝලේ මහත්තයාද හරි බැරි ගැහී කෑමට ඉදගෙන ව්‍යංජන දීසිය අරින විටම ගෙම්බා එළියට පැන්නේය. හාමිනේ කෑ ගහගෙන දිව්වාය. ඉස්කෝලේ මහත්තයාට පැන්න මල කොච්චරද කිව හොත්, ඔහු ගිනිවැල්ලව අල්ලාගෙන කාමරයකට දමා දොරඟුලු දා කීවේ, මුළු දවසේම සිර අඩස්සියේ සිටින ලෙසටය. හාමිනේද තම දරුදෙදෙනාව අනිත් කාමරයට දමා අඟුල ලෑවේ, ගිනිවැල්ලට දුන් දඬුවමම ඔවුන්ටත් දිය යුතු නිසාය. එම කාමර දෙකට මැදින් තවත් දොරක් දොරඟුලු දමා තිබුණද, ගිනිවැල්ල එම දොර කඩා එහා කාමරේ සිටි දෙදෙනාව ඔහු සිටි කාමරයට ගත්තේය. ඒ අරගෙන නිකං හිටියේද නැත. එම කාමරයේ තිබූ අල්මාරියේ යතුර හොයාගෙන අල්මාරිය ඇර හාමිනේගේ අලුත්ම සාරි දෙකක් ගෙන එය ඉරා ඔන්චිල්ලාවක් බැඳ, ඉස්කෝලේ මහතාගේ කුඩා දියණියව එය මත නංවා පද්දන්නට විය. එය දුටු හාමිනේට එලොව පොල් පෙනෙන්නට විය. මේ පෝරිසාදයාව තවත් තියා ගතහොත් විශාල විනාසයක් සිදුවන බව කී ඇය, ඉස්කෝලෙ මහත්තයාට කියා ගිනිවැල්ලව වහා ඔහුගේ ගමටම පිටත් කර හැරීය.

වික්‍රමසිංහ තම කෘතියෙන් කුඩා ළමුන්ව නැළෙව්වේ නැත. උන්ගේ දඟකාරකම් ගෙනහැර පෑය පෝරිසාද වැඩ ලෙසය. එයට හොඳම උදාහරණය 'කජු කොල්ලය' සෙල්ලමය. එය සෙල්ලමක් වුනාට තනිකරම මංකොල්ලයකි. එය අයත්ව තිබුණේ උපාසක අප්පුටය. උපාසක අප්පු නැති දිනයක ගිනිවැල්ල, ජින්නා, දඟදාස, රණදේව,සිරිපාල ඇතුළු 'ගැන්සිය' කජු වත්තට පැන, සම්පූර්ණයෙන්ම සුද්දෙ දෙනවිට අනේපේක්ෂිතව උපාසක අප්පු පැමිණීය. වැඩේ අතටම මාට්ටු විය. අවසානයේ කොලුරෑන උපාසක අප්පුට ගුටි බැට දී බේරි පලා ගියෝය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට තම නිර්මාණය තුළදී හුරතල් ළමා ලෝකයක් සමඟ ගනුදෙනු කිරීමට ලැබුණේ නැත. ඔහුට ලැබූණේ පෝරිසාද රැළකි. මඩොල් දූවේ ළමයිව නළවනවාට වඩා ලෙස්ටර්ට ඉස්මතු කරන්නට සිදු වූයේ ඔවුනගේ දඟකාරකම්ය. ඒවාද අයි.ආර්.සී. ගණයේ දඟවැඩය.

සුරංචියා ගමට ආවේ නාට්‍යංගනාවියක් සමඟය. ගිනිවැල්ලගේ ගැන්සිය සුරංචියා සමඟ එකතු වූයේ සුරංචියා හා ඇනීගේ අරුමෝසම් සුක්කුරුත්තන් වැඩ නිසාය. සුරංචියා පැමිණියේ ගමේ නාඩකමක් පෙන්වීමටය. එයට පොස්ටර් ඇලවීමට භාර වූයේ ගිනිවැල්ල හා ඔහුගේ ගැන්සියටය. නාඩගම, ටිකට් වලටය. ගමේ උං ටිකට් මිලදී ගත්තේ නාඩගම බලන්න තිබූ ආසාවටමය. සුරංචියා ටිකට් ටික විකුණා ගත්තේ ගිනිවැල්ලගේ ගැන්සිය හරහාය. අවසානයේ නාඩගම පෙන්වන්නට ඔන්න මෙන්න තිබ්යෙදී පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක් පැමිණ සුරංචියාව අත් අඩංගුවට ගත්තේ ඔහු පොලිසිය හොයන පල් හොරෙකු නිසාය. අන්තිමයේදී ගමේ උංට නාඩගමත් නැත, ටිකට් වලට ගෙවූ මුදලුත් නැත. එහෙත් පසුව ආරංචි වූයේ අර පොලිස් කොස්තාපල් වරු දෙදෙනාද සුරංචියා⁣ විසින් ගෙන ආ බොරු කොස්තාපල් වරු දෙදෙනෙක් බවය. සුරංචියලා ගොඩ ගියහ.

මාර්ටින් වික්‍රමසිංහ ගේ මඩොල් දූව කෘතිය මෙතරම් ජනප්‍රියවන්නට හේතුව, ඔහු සුරංගනා කථා නොකියා, ගම්වල යථාර්ථය පෙන්වන්නට ගිය නිසා විය හැක. ලෙස්ටර්ද එය හරි හැටි අවබෝධ කර ගෙන තිබුණි.

ගිනිවැල්ලගේ ජීවිතයේ හැරවුම් ලක්ෂණය වූයේ, උපාසක අප්පුගේ කජු කොල්ලයෙන් පසුවය. උපාසක අප්පුට අඩම්තේට්ටම් කර තුවාල කෙරූ නිසා කොයිවේලේ හෝ පොලිසිය පැමිණ ගිනිවැල්ලේ හා ජින්නාව කුදලාගෙන යන බව ඔවුනට දැනුණි. ඔවුන් දෙදෙනා නිවසින් පැන ගියේ ඒ හෙයිනි.

උපාලි ගිනිවැල්ලගේ හා ජින්නාගේ 'ඇඩ්වෙන්චරය' පටන් ගන්නේ මෙතැන් සිටය. ඔවුන් ඉබාගාතේ ගොස් නතර වන්නේ පොඩි රාළහාමිනම් ගොවියෙකුගේ නිවසේය. පොඩිරාළහාම් කසාද බැඳලද, ඔහුට දරුමල්ලෝ සිටිනවාදැයි මාර්ටින් වික්‍රමසිංහට හෝ ලෙස්ටර්ට අදාළ වී නැත. හැබැයි පොඩිරාළහාමි හිටියේ නම් තනිවමය. එහෙයින් ගිනිවැල්ලට හා ජින්නාට කරදරයක් නැතිව පොඩිරාළහාමි සමඟ ගොවිතැන් කරමින් සිටීමට හැකිවිය. පොඩිරළහාමිටද, මුන් දෙන්නා ආවේ කොහෙන්ද, මුංගේ අම්ම අප්පා කව්ද, ⁣මුං මොකක් හෝ මගෝඩි වැඩක් කර පැන ආපූ උන් දැයි අදාළ වී නැත.

මඩොල් දූව තිබුණේ පොඩි රාලහාමිගේ නිවසේ ඉදිරිපස ගඟෙන් එගොඩය. එයට යා යුත්තේ පාරුවෙනි. මඩොල් දූව ඝන කැලයකි .එය හොල්මන් විමානයක් යැයි ප්‍රචලිතව තිබුණේ ඇතැම් රාත්‍රියන් හී හිස මත ගිනිදැල්වෙන ගිනි යක්ෂයෙක් ඇවිදින බව ගම්මුන් දැක තිබෙන හෙයිනි. දිනක් ගිනිවැල්ල හා ජින්නා පාරුවෙන් මඩොල්දූවට ගියහ. මෙම කැලය හැකිතාක් දුරට එළිකර ගතහොත් වගා කළ හැකියැයි ගිනිවැල්ලට සිතුණි. එතැන් පටන් ඔහු ජින්නා හා පොඩි රාළහාමිව එකතු කරගෙන මඩොල් දූවේ වඟාකළෝය.

"අපේම අපේම අපේ ලොවක් 
අපේම අපේම අපේ රටක් 
මුර කාවල් නැති,වැට කොටු බැමි නැති 
අපේම අපේම නවා තැනක්"

ගිනියකා අහුවුණේද මෙහී වගා කරන විටය. ඒ හදිසි කෝපයකින් මිනීමැරුමක් කර පොලීසීයෙන් බේරීම සඳහා ආරක්ෂාවට සැඟවී සිටින බාලප්පු නම් මිනිසෙකි. ⁣ගිනි කබලක් ඔළුවේ තබාගෙන රෑට එහාට මෙහාට සක්මන් කරන්නේ ඔහු බවත්, මෙහි හොල්මන් තිබෙන බව පිට මිනිස්සුන්ට ඇඟ වීමට එසේ කරන බවත්, එවිට කිසිවෙක් මඩොල් දූවට නොඑන බවත් බාලප්පු ගිනිවැල්ලලාට කීය.

චිත්‍රපටය 'ෆැන්ටැසියක්' බවට පත් වන්නේ එතැන් සිටය. පෙරකදෝරු මහත්තයා සහ ඔහුගේ මුළු පවුලම මඩොල්දූවට පැමිණීම, ගිනිවැල්ලලාගේ වගා කෙරූ එළවලු වලින් සපිරි ප්‍රණීත ආහාර වේලක් ඔවුනට භුක්ති විදීමට සැලැස්වීමත්, ගමේ ආරච්විල ගිනිවැල්ලල රජයට අයිති ඉඩම් අනවසරයෙන් වගා කරන නිසා අධිකරණයේ නඩුවක් ගොනු කිරීමත්,පෙරකදෝරු මහතා විසින් එයට මැදිහත් වී, රජයට අවුරුද්දකට සුළු ගානක් ගෙවා වගා කිරීමේ අයිතිය ගිනිවැල්ලලාට පවරා ගැනීම,වැනි නාට්‍යමය ස්වරූපය පොතේ හා චිත්‍රපටයේ ක්‍රමානුකූලව සිදු වුණි.

පුංචි මහත්තයා වැනි චරිතයක් හදිසියේම මඩොල්දූවට කඩා පාත්වී, ගිනිවැල්ලලා සමඟ එකතු කිරීම තුළින් වික්‍රමසිංහ කුමක් අදහස් කරාදැයි නොතේරේ. ලෙස්ටර් එය ෆැන්ටැසියක් සේ යොදා ගන්නට ඇත්තෙ, එම චරිතය හරයක් නොවූ නිසා විය හැකිය. ගිනිවැල්ල නැවත ගමට යන්නේ තාත්තාගේ අසනීපය සැලවූ පසුය. යළි ගමටගියේ අර ගෙදරින් පැන ආ පෝරිසාද කොලුවා නම් නොව. ඒ වන විට ගිනිවැල්ල ළමා ලෝකෙන් යොවුන් ලෝකෙට පියමං වී තිබූ අතර, හික්මීම මෙන්ම හැදියාවෙන්ද පරිපූර්ණ වී තිබුණි. එමෙන්ම ආර්ථීක අතින්ද සවිමත් වී තිබුණි.

නැවත ගිනිවැල්ල මඩොල් දූවට ගියේ පියාගේ මළගමින් පසුවය. පියාගේ මළගමට ගිනිවැල්ලගේ ගැන්සිය වූ දඟදාස, සිරිපාල, රණ දේව ඇතුළු කැල එක සොහොයුරන් මෙන් එකතුවී උදව් කළෝය. ජින්නාට එකතු වීමට නොහැකි වූයේ ඔහු සිටියේ මඩොල් දූවේ නිසාය

දැන් සියල්ලෝම අර දඟකාර කම්වලින් මිදී යොවුන් වියට එලැඹෙමින් සිටියහ.

ලෙස්ටර් විසින් සොයා ගත් අජිත් ජිනදාස උපාලි ගිනිවැල්ලගේ චරිතයට නිවැරදිම තේරීම විය. අජිත්ගේ ආකර්ෂණය, හුරුබුහුටි එමෙන්ම ඔහු විසින් චරිතයට අනුකූලුව කරන දඟකාර කම් අතරට මුසුවුනු ඇට්ටර, හා පෝරිසාද පෙනුම, මාර්ටින් වික්‍රමසිංහ තෙළි තුඩින් මැවූ උපාලි ගිනිවැල්ලව පූර්ණව සක්‍රීය කළේය. අජිත් ජිනදාස නොසිටියා නම් 'මඩොල් දූව' චිත්‍රපටයට කුමක් වේදැයි සිතාගැන්මටත් නොහැකිවන තරමටම අජිත් චිත්‍රපටය පිරවුයේය.

මඩොල්දූව කෘතිය කියවෙන විට උපාලි ගිනිවැල්ල ලෙස මැවෙන කාලවර්ණ, ගමේ කොලු රූපය, චිත්‍රපටය තුල අජිත් පැමිණ, දෑසට ප්‍රිය, වර්ණවත්, ආකර්ෂණීය පුද්ගලයෙක් ලෙස අප චින්තනය වෙනස් කළේය. මඩොල් දූව චිත්‍රපටයේ සාර්ථකත්වයට අජිත් ගේ රූපය මෙන්ම රංගනයද බෙහෙවින්ම බලපෑවේය.

ජෝ අබේවික්‍රම, ධර්මසේන ඉස්කෝලේ මහතාය. මුදලාලි මෙන්ම උපාලිගේ පියා වූයේ ඩේවිඩ් ධර්මකීර්තිය. සෝමලතා සුබසිංහ මුදලාලිගේ දෙවනි බිරිඳය. ට්‍රිලිෂියා ගුණවර්ධන ඉස්කෝලේ මහත්තයාගේ බිරිඳය. එස්.ඒ.ජේම්ස්, පොඩි රාලහාමිය. ධම්ම ජාගොඩ බාලප්පු වූ අතර සුරංචියා උපාලි අත්තනායක විය. ශාන්ති ලේඛා ඇනී බොතේජුය. උපාසක අප්පු පූජිත මෙන්ඩිස් විය. මාපා ගුණරත්න පෙරකදෝරු මහතාය. දමයන්ති ෆොන්සේකා ඔහුගේ දියණියයි. පුංචි මහත්තයා දයා අල්විස්ය. පද්මසේන අතුකෝරල ජින්නා වූ අතර, ජයන්ත ප්‍රේමකුමාර දඟදාස විය. මියුරිසමරසිංහ, සෝමරත්න දිසානායක, සිරිල් කොතලාවල, නන්දන හෙට්ටිආරච්චි(ළමා), රෝයි කීර්තිලාල්(ළමා), සංජීව දිසානායක (ළමා), හැරී විමලසේන, රින්ස්ලී වීරරත්න, වික්ටර් වික්‍රමගේ, සෙසු චරිත රඟපෑහ .

මාර්ටින් වික්‍රමසිංහගේ නව කථාව, තිරනාටකයට පරිවර්තන කළේ පිලිප් කුෙර්ය. සුනිල් ආරියරත්න දෙබස් හා ගීත ලිවීය. සංගීතය ප්‍රේමලාල් දන්වත්ත ගෙනි. ගී තනු ඩබ්ලියු ඩී අමරදේවගෙනි.ගී ගායනා වික්ටර් රත්නායකගෙනි. නීලා වික්‍රමසිංහ කවි ගායනා කළාය. එම්.එස්.ආනන්ද කැමරාව මෙහෙයවූ අතර, සුමිත්‍රා පීරිස් හා ග්ලැඩ්වින් ප්‍රනාන්දු සංස්කරණය කළහ.

ලෙස්ටර් ජේම්ස් පිරීස් ගේ අධ්‍යක්ෂණයෙන් සක්‍රීය වූ 'මඩොල් දූව' චිත්‍රපටය නිෂ්පාදනය කළේ උපසේන මාරසිංහ වූ අතර එය කුන්ඩන්මාල්ස් ඉදිරිපත් කිරීමක් විය. 'මඩොල් දූව' 1976 අප්‍රේල් 02වනිදා සිට රිදී තිරය වර්ණවත් කළේය.

"අපේ ලොවයි මඩොල් දූව 
අපේ රටයි මඩොල් දූව 
අපේ ගමයි මඩොල් දූව 
අපේ බිමයි මඩොල් දූව"

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ) 
ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.