ලංකා TV අන්දරය

පළා බබා අපට එපා
සැප්තැම්බර් 19, 2019

80 දශකයේ සිට අද දක්වාම බලයට පැමිණි සියලු රජයන් සවිඥානවකවම ලාංකික ජනතාවගේ පරිභෝජන රටාවන් සහ සංස්කෘතික හර පද්ධතීන් ක්‍රමිකව පරිවර්තනය කිරීම සඳහා රූපවාහිනී මාධ්‍යය රිසි සේ භාවිතා කරනු ලබන වාස්තවික තත්ත්වයට පරිබාහිරව, එම රජයන් විසින් දේශපාලනික වශයෙන් තත්කාලීනව ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් පිළිබඳව ජනතාව ඥානනය කිරීම පිණිස ද රූපවාහිනී මාධ්‍යය යොදා ගනු ලබන්නේ වඩාත් පෘථුල ආකාරයෙනි. 80 දශකයේ බලයේ සිටි රජයට මෙය සුවිශේෂී වන්නේ එම රජය මගින් දියත් කරන ලද පෙළක් දේශපාලන ව්‍යාපෘතීන්ට එරෙහිව පොදු ජනතාවගේ විරෝධය ප්‍රකාශ කිරීමට ඉඩකඩ ලබාදෙන මාධ්‍යයක් ඔවුනට නොතිබූ බැවිනි. පෞද්ගලික මාධ්‍යයන්හි සම්ප්‍රාප්තිය සමඟ අද මේ තත්ත්වය වෙනස් වී යම් ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ජනසන්නිවේදන විෂය ක්ෂේත්‍රය අරබයා ලැබී ඇත යන්න අවිවාදිතය. තමන්ට අභිමත දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයන් අනුව සෑම පෞද්ගලික රූපවාහිනී මාධ්‍යයක්ම අද්‍යතනයේදී හැසිරෙන යථාර්ථය හමුවේදී වුව ද, පවතින රජයන් විසින් බලගන්වනු ලබන දේශපාලන ක්‍රියා පිළිවෙත් අභියෝගයට ලක් කිරීමට එම නාළිකාවන් ඉදිරිපත් වී තිබීම එහි එක් සාධනීය පැතිකඩක් ලෙසට සැලකිය හැකිය.

87 ජූලි මස 29 වන දින ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා විසින් කොළඹදී අත්සන් කරන ලද ඓතිහාසික සාම ගිවිසුමේ එක් පාර්ශවයක් පමණක් සාධරණීයකරණය කිරීම පිණිස තත්කාලීනව බලයේ සිටි රජය කදිම ක්‍රමෝපායන් කිහිපයක්ම භාවිත කළේය. රූපවාහිනී මාධ්‍යය ඒ සඳහා බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නා ලදී. ගිවිසුම පිළිබඳව නිෂ්පාදනය කරන ලද රූපවාහිනී මැදිරි සාකච්ඡා, වාර්තා වැඩ සටහන්වලින් රූපවාහිනියේ ගුවන් කාලය පිරී ගියේය. විෂයාත්මක කරුණු 18 ක් යටතේ දෙපාර්ශවයේ එකකඟතාවය මත අත්සන් කරන ලද ජේ. ආර්. – රජීව් ගිිවිසුම ප්‍රකාරව උතුරු නැගෙනහිර භූමි ප්‍රදේශය දෙමළ ජනතාවගේ ඓතිහාසික වාසභූමිය වශයෙන් පිළිගෙන තිබූ අතර, ඒ ප්‍රදේශවල හටගෙන තිබූ එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නැවැත්වීමේ අරමුණෙන් එහි වෙසෙන ජනතාවට මධ්‍යම රජයෙන් ස්වායත්ත වූ යම් පරිපාලන බලයක් ලැබෙන පරිදි, පළාත් සභා ක්‍රමයක් ඇති කිරීමට ද ශ්‍රී ලංකා රජය එකඟ වී තිබිණ. මෙය සෙසු ප්‍රදේශවල ජනතාවට බලපැවැත්වීම සඳහා ද කෙටුම්පත් සැකිසිනි. මාක්ස්වාදය කරපින්නා ගෙන තමන්ගේ දේශපාලනික භාවිතයේ නියැළෙමින් සිටි වාමාංශික පක්ෂ ඉහත ගිවිසුම හේතුවෙන් ආස්ථාන දෙකට බෙදී ගියේය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන තව සංවිධාන කිහිපයක් ‘පළා බබා අපට එපා’ කියමින් පළාත් අනුව බලය විමධ්‍යගත කිරීමට සක්‍රීයව විරුද්ධ වූ අතර ලංකා සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ සහ අලුතෙන් දේශපාලනයට අවතීර්ණව සිටි ශ්‍රී ලංකා මහජන පක්ෂය, රජය විසින් හඳුන්වා දෙන ලද මෙම දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටියේය.

එම පක්ෂයේ නායක ජනප්‍රිය නළු විජය කුමාරණතුංගයන් දේශපාලනික වශයෙන් ජනාධිපති ජේ. ආර්. සමඟ ඒ වන විට පසමිතුරු වී සිටිය ද, කොන්දේසි විරහිතව ජේ. ආර්. – රජීව් ගිවිසුම වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. මෙයින් බලයේ සිටි රජය රූපවාහිනී මාධ්‍යය යොදා ගනිමින් එහි උපරිම ඵල නෙළා ගත්තේය.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.