හත් ඉලව්වේ දැන් මං මළාම මුන් මොකක්ද ගහන්නේ

සැප්තැම්බර් 19, 2019

19 වැනි සියවසේ අග අපරදිග විද්‍යා හා තාක්ෂණික ප්‍රගමනයත් සමඟ ප්‍රාරබ්ධ වූ සිනමාව නමැති කලා මාධ්‍යය ඉක්බිතිව යුරෝපයේත් ආසියාවේත් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත විය. ඊට පෙරදිග අධ්‍යාත්මය කාවැද්දූ ප්‍රාචීන මහා සිනමා කවීහු තිදෙනෙක් පහළ වුහ. අකිර කුරොසව (1910 -1998) සත්‍යජිත් රේ (1921 – 1992) හා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් (1919 – 2018) නම් වූ මේ පෙරදිග මහා සිනමා කවීන් ත්‍රිත්වය ලෝක සිනමා සිතියමට තමන් නියෝජනය කළ ජපානය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඈ දේශයන් ඇතුළත් කළහ. සැබැවින්ම ඔවුන්ගේ ඇවෑමෙන් පෙරදිග මහා සිනමා කවියන් බවට පත් වීමට මේ රටවල් ත්‍රිත්වයෙහිම කිසිදු අනුප්‍රාප්තික සිනමාකරුවකු මෙතෙක් සමත් වී නොමැත. සත්‍යජිත් රේ පිළිබඳ බොහෝ ග්‍රන්ථ ලියැවී තිබේ. ඇන්ඩෲ රොබින්සන් විසින් විරචිත “SATYAJIT RAY : THE INNER EYE” නමැති ග්‍රන්ථයද මේ අතර වැදගත් වේ. එහි පසු පිටෙහි දක්නා ලැබෙන්නේ ජපානයේ මහා සිනමා කවි අකිර කුරොසව රේ අරභයා පළ කළ කියුමකි.

“නිහඬ නමුත් ගැඹුරු නිරීක්ෂණය, මානව වර්ගයා අවබෝධ කොට ගැනීම හා ආදරය කිරීම ඔහුගේ සියලු සිනමා කෘතිවල චරිතවලින් මූර්තිමත් කෙරේ. ඒවා මා මනස අභ්‍යන්තරයෙහි ප්‍රශස්ත අයුරින් කා වැදී ඇත. රේ මහතා සුන්දර හා ගෞරවනීය මිනිසෙකි. ඔහු සිනමා කලාවේ පතාක යෝධයකු බැව් මට හැඟේ”.

ලාංකේය අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1966 දී ප්‍රචාරය වූ ගුවන් විදුලි වැඩසටහනකදී රේ සහ ඔහුගේ සිනමා භාවිතය අරභයා අදහස් ප්‍රකාශ කළේය. පසුව ඒ අදහස් උපයුක්ත කොට ඔහු “SATYAJITH RAY” නම් වූ මාහැඟි ලිපිය ලීවේය. ම විසින් පරිවර්තනය කරන ලදුව 2006 දී පළ වූ “ලෙස්ටර් විරචිත ලේඛන සංහිතා” කෘතියට එකී ලිපිය ද ඇතුළත් විය. එහිදී ලෙස්ටර් රේ ගැන පැවසූ කියුමක් මේය.

“ජීවිතය විනිවිද දැකීමට රේ දැක් වූ ප්‍රතිභාවට සම කළ හැකි සිනමාකරුවකු අදත් නැහැ. ප්‍රංශ නවරැල්ලේ කොල්ලන්ගේ සැඟවුණු කැමරාවන්ට ජීවිත ග්‍රහණය කොට ගෙන පියාඹා යා හැකි වුවත් එය මේ අරභයා රේ පළට කළ ප්‍රතිභානයට සමාන වන්නේ නෑ. ඔහුගේ චිත්‍රපටයක් විශේෂයෙන් “අපූ ත්‍රිත්වය” හෝ “තීන් කන්‍යා” හෝ “චාරුලතා” හී හොඳම දර්ශන නරඹන විට වහලේ පියැසි කොනින් ඇද වැටෙන දිය බිඳක් මෙන් කැමරාව ජීවිතය මත පතිත වන බව ඔබට සෑමවිටකම දැනෙන්නට පුළුවන්. එසේම නොදැනුම්වත්ව අල්ලා ගත් මේ ජනතාවගේ වඩාත් සියුමැළි, තාවකාලික, හැඟීම් සියුම් ලෙස වෙනස් වන ආකාරය සදහටම ඔහු ග්‍රහණය කොට ගන්නා බව පෙනෙනවා”.

ආචාර්ය ලෙස්ටර් දෙස් විදෙස් කෘතහස්ත කලාකරුවන්ගේ මෙහෙවර අගය කොට ඉංග්‍රීසි භාෂාවෙන් පුවත්පත්වලට, සඟරාවලට ලියූ මෙවැනි සාරගර්භ ලිපි ලේඛන විරලව හෝ දක්නට ලැබිණ. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් අරභයා ඔහුගේ ලිපියක දක්නා ලැබුණු කියුමක් මවිසින් රචනා කරන ලද “නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස” (2012) කෘතියෙන් උපුටා දක්වනු වටී. “මෙරට සිනමා ඉතිහාසයෙන් එක් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු තෝරන්න යැයි මට පැවසුවොත් මා අනිවාර්යයෙන්ම තෝරන්නේ ඩී. බී. නිහාල්සිංහයි. ඔහුට කලාව, කර්මාන්තය යන මේ දෙකම ගැන ඉහළම අවබෝධයක් තිබුණා. එසේම එය පරිපාලනය කළ යුතු ආකාරය ගැන විශිෂ්ට දස්කමක් තිබුණා. එක් පුද්ගලයකු තුළ මේ සියලු දස්කම් පිහිටා තිබෙන්නේ ඉතා කලාතුරකින්”.

අනෝජා වීරසිංහ ප්‍රතිභාපූර්ණ රූපණවේදිනියක බව මෙරට මතු නොව විදේශිකයන් අබිමුව ද මුල්වරට විදාරණය කොට පෙන්වා දෙන ලද්දේ “මල්දෙණියේ සිමියොන්” චිත්‍රපටයෙන් ඩී. බී. නිහාල්සිංහ විසිනි. මෙරට ගේය කාව්‍ය සාහිත්‍යයෙහි විශිෂ්ටයකු වූ ආචාර්ය අජන්තා රණසිංහයෝ ඈ අරභයා වරක් මෙසේ ලියූහ.

“අනෝජා විසින් නිරූපිත ඇතැම් චරිතයන් චිරාත් කාලයක් නිරුපද්‍රිතව පවතින සේ ග්‍රන්ථාරූඪ කළා වූ සම්භාව්‍ය සාහිත්‍ය කෘතීන් වැන්න. ඒ සඳහා ඇය විසින් පුදන ලද කැපවීම හා වැය කරන ලද මානසික ශ්‍රමය තුළින් ජනනය වන ප්‍රාණය අකාලයේ මියයා නොදෙන්නකි. පරපුරෙන් පරපුරට යුගයෙන් යුගයට නිශ්චිත සාමාජික විෂයක් පරිද්දෙන් සර්වකාලීන හා විශ්ව සාධාරණ වන්නකි”. (සරසවිය - 20 වැනි සම්මාන උලෙළ සමරු කලාපය, සංස්කරණය - ඒ.ඩී.රන්ජිත් කුමාර)

ශ්‍රේෂ්ඨ කලාකරුවන් ජීවමානව සිටියදී මතු නොව මියගිය කල්හී ද ඔවුන් අරභයා අනර්ඝ ආලෝචනා (Insights), අව්‍යාජ කියුම් ඉස්මතු විය. සාහිත්‍ය කලාවේ මෙරට පහළ වූ අග්‍රේසර කලාකරුවන්, ප්‍රාඥයන් අල්පයෙන් ප්‍රමුඛයකු වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1996 දී අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ ප්‍රවීණ මාධ්‍යවේදී බෙනඩික්ට් දොඩම්පෙගමයන් ඔහු අරභයා පළ කළ මේ කියුම පසුකලක මා හට පවසන ලද්දේ කෘතහස්ත සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන් විසිනි.

“ඔය මියගියේ ජීවිතය පිළිබඳ ලංකාවේ මහා නවකතාව ලියන්න හිටපු මනුස්සයා. නමුත් ඔහුට එය ලියා තබන්න මියයන තුරු ඕනෑකමක් තිබුණේ නැහැ”.

ලාංකේය සිනමාවේ අග්‍රගණ්‍ය නළු, සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා රූපණවේදියාණන් අභාවප්‍රාප්ත වී එළඹෙන සැප්තැම්බර් 30 වැනිදාට 15 වසරක් සපිරේ. ඔහු මියගිය සමයේ සිදු වූ අපූර්ව සිදුවීමක් ඒ සමඟ මා හට සිහිපත් වේ. එනම් ෆොන්සේකා සූරීන් මියගිය දින පටන් අවසන් කටයුතු සිදු කෙරුණු දිනය දක්වා වරින්වර අඛණ්ඩව විකාශය කිරීමට කිසියම් රූපවාහිනී නාළිකාවකින් ඔහුගේ රුව සහ චිත්‍රපට රැඟුම් රැගත් රූප පෙළක් උපහාර පිණිස විකාශය කෙරිණ. එහිදී ඊට පසුබිමෙන් යොදා ගනු ලැබුවේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් “නිධානය” සිනමා කෘතිය උදෙසා නිර්මාණය කළ ප්‍රශස්ත තේමා සංගීත ඛණ්ඩය වේ. ගාමිණිගේ මේ රූප රාමු පෙළ එවක ජීවත්ව සිටි කේමදාස මාස්ටර්ගේ නෙත ගැටෙමින් තමා නිර්මාණය කළ සංගීත ඛණ්ඩය ද ඒ සමඟම සවනත වැකිණ. මාස්ටර් එකෙණෙහිම තම නළලට අත්ල තබමින් මෙසේ කියා ඇත. “හත් ඉලව්වේ . . . ගාමිණි මළාම මේක ගැහැව්වා නම්, දැන් මං මළාම මුන් මොකක්ද ගහන්නේ”.

කේමදාස සූරින් මරණ මංචකයේදී අවසන් වරට පැවසූ වචනය ද පසු කලෙක මට දැන ගැනීමට ලැබිණ.

“මුන් කවදාවත් මාව තේරුම් ගන්නේ නැහැ”.

එතුමා ඉන් අදහස් කරන්නට ඇත්තේ ස්වකීය ධී ශක්තිය හා මහා කලා මෙහෙවර මෙරට කිසිවකු වටහා නොගත් බවද?

මෙරට ස්වතන්ත්‍ර සුභාවිත ගී කලාවේ පුරෝගාමියා වූද ලංකා ජාතික ගීයේ නිර්මාතෘවරයා වූ ද ආනන්ද සමරකෝන් සූරීන් 1962 අපේ‍්‍රල් 5 වැනිදා අකාලයේ මියගියේ සිය සිවි නසා ගැනීමෙනි. එය ඉතා අභාග්‍යසම්පන්න සිද්ධියකි. අවසන් ගෞරව දක්වනු පිණිස ඔහුගේ දේහය තැන්පත් කෙරුණේ කොළඹ කලා භවනේදීය. මියගිය කලාකරුවකුගේ දේහයක් කලා භවනේ තැන්පත් කළ පළමු අවස්ථාව මෙය වේ. සර්වකාලීන කියුමක් රැගත් මේ අපූර්ව සිදුවීම මා හට හෙළි කරන ලද්දේ කෘතහස්ත ගුවන් විදුලි ශිල්පී, ප්‍රවීණ ලේඛක, මා ගුරුදේව කරුණාරත්න අමරසිංහ සූරීන් විසිනි. එවක තරුණයකු වූ අමරසිංහ මහතා මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සමීපව ඇසුරු කළේය. ඒ ආසන්නයේ දිනෙක ඔහු වික්‍රමසිංහයන්ගේ නිවෙසට ගොස් ඇත. වික්‍රමසිංහයන් ඉංග්‍රීසි බසින් ලිපියක් ලියමින් සිටියේය. එහි මාතෘකාව මෙසේ විය.

“We are the nation of funeral undertakers”

“මේ මොකක්ද ඔබතුමා ලියන්නේ” කරුණාරත්න අමරසිංහයෝ ඇසූහ.

“කරුණාරත්න, මං ඊයේ ගියා ආනන්ද සමරකෝන්ගේ ආදාහනයට. කලා භවනේ ඉඳලා බොරැල්ල කනත්ත දක්වා දේහය රැගෙන යන විට මාත් ඒ පසුපස ගියා. එහෙම යනකොට මට පේනවා, දේහය සහිත පෙට්ටිය වට කරගෙන බොරු ශෝකයක් මවාගෙන ඒක අල්ලන් යන්නේ සමරකෝන් ජීවත්ව ඉන්න කොට ඔහුට අපහාස, උපහාස, වධ හිංසා කළ, කැපිලි කෙටිලි දාපු කුහකයෝ රැළක්. අනේ මුන් වගේ මිනිස්සු. මං මේ ඒ සිදුවීම ලියන්නේ. මාතෘකාව තමයි “We are the nation of funeral undertakers” යැයි වික්‍රමසිංහ මහතා පැවසුවේය. මේ වූ කලී වසර 57 කට ඉහත එනම් 1962 වසරේ සිදු වූ සිදුවීමකි. අද්‍යතනයෙහි මෙබඳු සිදුවීම් වර්ධනය වී ඇතැයි මට සිතේ. මෙය බොහෝ කලාකරුවන් අරභයා පාරම්පරික යථාර්ථයක් බවට පත් වී ඇති සෙයකි. එය ජාතියේ අභාග්‍යයකි. කෙසේ නමුදු වික්‍රමසිංහයන්ගේ මේ කියුම සර්වකාලීන වේද? “We are the nation of funeral undertakers”

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.