චිත්‍රපටයක රූපයට 50 නම් ශබ්දයටත් 50යි

සැප්තැම්බර් 19, 2019

අප තිරය පිටුපස ලිපි මාලාවෙන් කතාබහ කරන්නේ සිනමා හා රූපවාහිනී ක්ෂේත්‍රවල තිරය ඉදිරියේ පෙනී සිටින්නන් වෙනුවෙන් තිරය පිටුපස සිට මහඟු මෙහෙයක් කරන ශිල්පින් ශිල්පිනීන් පිළිබඳවය. එහිදී බොහෝ විට අපට හමු වන්නේ එක් විශේෂ දක්ෂතාවක් සහිත පුද්ගලයන්ය. එහෙත් මෙවර අපේ කතා නායකයා සිනමා, ගුවන්විදුලි මෙන්ම රූපවාහිනී යන ක්ෂේත්‍රත්‍රයේම ශබ්ද තාක්ෂණය මෙන්ම, කැමරාකරණය, සංස්කරණය, දෙවැනි අධ්‍යක්ෂ ආදි සියලු කාර්යයන්හි අත්දැකීම් බහුල අයෙකි. වෙස්ගත්තෝ, සිහින ලොවක්, වල්මත්වූවෝ වැනි චිත්‍රපට රැසක් මෙරට සිනමා ලෝලීන් වෙනුවෙන් නිෂ්පාදනය මෙන්ම සංස්කරණය කළ ඔහු ඔබට මතක නම්... ඒ ප්‍රවීණ සිනමා ශිල්පී ලාල් දිසානායකය.

ඔහු හමුවීමට අප ගියේ 'ද ටර්නිං පොයින්ට්' ආයතනයටයි. සුපුරුදු කෙළිලොල්බවින් යුතුව අප පිළිගත් ඔහු කාර්යාල කාමරයට අප කැඳවාගෙන ගියේ ඔහුගේ පළමු සිනමා අත්දැකීම සත්සමුදුර පිළිබඳ රස කතාවලින් අප සිනාගස්වමිනි.

'මගේ පුංචි කාලේ මෙහෙමනේ. මම ගියේ සෙන්ට් ජොසෆ්ස් කොලේජ් එකට. මමයි මල්ලිලා දෙන්නයි ළඟ ළඟ පන්තිවල. මම එස්එස්සී කරද්දි ලොකු මල්ලි ප්‍රෙප් එකේ. අනෙක් මල්ලි ඊට පහළ පන්තියේ. මම ඉස්කෝලෙ යන කාලේ ඉගෙන ගන්නවාට වඩා පිස්සු නැටුවා. හැබැයි ගොඩක් ස්පෝර්ට්ස් කළා. ඕ ලෙවල් ෆේල් වුණත් මාව ඉස්කෝලෙ තියාගන්න හැදුවේ මම ක්‍රිකට් ගහපු නිසා. ඒත් තාත්තා කැමති වුණේ නැහැ. ඒ කාලේ විභාගෙ ෆේල්වෙන ඔක්කොමලා වගේ යන ආයතන තුනක් තිබුණා. පෙම්රොක්, ස්ටැෆර්ඩ් සහ මම ගිය ඇලෙක්සැන්ඩ්‍රා. හැබැයි ලස්සන වැඩේ කියන්නේ, මාත් එක්ක හිටියේ කවුද දන්නවද? අද සිලෝන් තියටර්ස් සභාපති, රොයල් එකේ ප්‍රින්සිපල්ගේ පුතා, අද ඒඑම්ඩබ්ලිව් සභාපති, එයාගේ අය්යා වගේ අද හොඳම තැන්වල ඉන්න අය. ඇලෙකසැන්ඩ්‍රා ඉන්න කාලෙ තමයි මගේ තාත්තා (වෛද්‍ය ලීනස් සී. දිසානායක) සත් සමුදුර පටන් ගත්තේ. එතකොට අපේ ආයතනය තිබුණේ දිසානායක ෆිල්ම් කම්පනි කියලා නෙවෙයි. සදිසි කියලා. සකලසූරිය -සුමිත්ත අමරසිංහගේ මාමා, දිසානායක- ම‌ගේ තාත්තා, සිල්වා - නිම්වළල්ල කරපු රංජිත් ලාල්ගෙ තාත්තා. ඒ තුන්දෙනා‌ගෙ නම්වලින් තමයි සදිසි හැදුණේ. ඒකෙන් මුලින්ම කරන්න ගිය චිත්‍රපටිය සීගිරි කාශ්‍යප. ඒක කළානම් තාමත් කරනවා. අපේ තාත්තට එහෙම බැහැ. කරනවා නම් වැඩක් එකදිගට ඉවර කරන්න ඕනා. ඊළඟට මූදු පුත්තු චිත්‍රපටයක් හදන්න ගියාම ගුණසේන ගලප්පත්තිට අධ්‍යක්ෂණය කරන්න ඕන කියපු නිසා ඒකත් නැවතුණා. හැබැයි ඒක නිසා තමයි සිරිල් වික්‍රමගේ එහෙම අඳුනගන්න ලැබුණේ. ඊට පස්සේ තමයි සිරි ගුණසිංහ, වසන්ත ඔබේසේකර අඳුනගෙන සත්සමුදුර හැදුවේ. ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ තමයි ඒකෙ කැමරාකරණය වගේම සංස්කරණයත් කළේ. ඒ චිත්‍රපටය හදද්දි මාව කොටහේනේ රෙඩියෝ ලැබ් එකේ ඉලෙක්ට්‍රිකල් වැඩ එහෙම ඉ‌ගෙන ගන්න දාලා තිබ්බෙ. තාත්තා ෆිල්ම් එක පටන් ගත්තා මමත් ගියා. තාත්තත් බැලුවේ මට මොනවාම හරි උගන්වන්න ඕනෙනේ. නැත්නම් පිස්සු නටනවානේ. ඉතින් මම මුලින්ම කළේ ක්ලැපර් එක ගහන වැඩේ.

හැබැයි එතකොට තාත්තා එඩිටිං ටේබල් එක එහෙම ගෙනත් තිබුණේ අපේ වෝඩ් ප්ලේස් එකේ ගෙදරට. ඩොක්‌ට නිහාල්සිංහ ෆිල්ම් එක එඩිට් කරද්දි මම තමයි ඇසිස්ටන්ට්‍. ක්ලැපර් එක ගහන ගමන් වගේම සංස්කරණය කරන අතර මම හැම දේම බලාගත්තා ඒ වගේම වැඩේ අල්ලගත්තා. ඇත්තෙන්ම අපි ඒ චිත්‍රපටයෙදි ගොඩාක් වැරදි කෙරුවා. කොටින්ම කිව්වොත් අර සින්දු කෑල්ලක් තියෙන්නෙ කොට ගවුමටා කියලා. ඒක ෂූට් කරලා ඉවරවෙලා අහනවා සින්දුව කෝ කියලා. මොනවා කරන්නද ඊටපස්සේ සින්දුව රෙකෝඩ් කරලා ඩබ් කරලා ලූප් කපලා ඇමුණුවා.'

මම මුව අයාගෙන අසා සිටියෙමි. මොහොතකිනි මට ඒ බව මතක් වූයේ. එවර පැනයක් ඇසූවෙමි.

'ඒත් ඉතින් හරිනේ?' ඔහු සිනා සී පිළිතුරු දෙයි.

'ඔව් හරි ගියා. හැබැයි අපි ඒකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේ තව එකක් කියන්නද? සිනිඳු සුදු මුතු තලාවේ සින්දුව රෙකෝඩ් කරන්න ගියාම ඔකෙස්ට්‍රා එකේ විසි ගාණක් ඉන්නවා. මුළු රෑම මහන්සිවෙලත් හරි ටේක් එකකට යන්න බැහැ එක්කෙනෙක් පොඩි හරි වැරැද්දක් කළාම සින්දුව නතර කරනවා. මර්වින් රොද්‍රිගූ ඒකේ සවුන්ඩ් රෙකෝඩිස්ට්. ඕගොල්ලො දන්නවාද ඒ සින්දුවේ ජොයින්ට් 14ක් තියෙනවා කියලා. ටේප් එක කපලා තමයි ඇලෙව්වේ.'

මම පුදුමයෙන් කියමි. 'අද තමයි ඒ කතාව අපේ පාඨකයෝ දැනගන්නවා ඇත්තෙ. තවත් රස කතා ඇතිනේ ඒ වගේ.?'

'සත් සමුදුර තිරපිටපතේ හැටියට සංස්කරණය කරලා තාත්තාට එන්න කීවා. මීගමුවෙ ඉඳන් ඇවිත් බැලුවා. එඩිටිං ටේබල් එකේ ඉඳන් සුද්ද සිංහලෙන් බනින්න ගත්තා. මොකද? චිත්‍රපටිය පැය 4යි විනාඩි 10ක් දිගයි. කේන්තියටම තාත්තා කිව්වා අධ්‍යක්ෂවත්, සහාය අධ්‍යක්ෂවත් ගෙන්නන්න එපා. විසිකරලා දානවා පිටපත. කපනවා මේ උලව්ව කියලා. නිහාල්සිංහ මහත්තයා ඉඳගත්තා කැපුවා කැපුවා කැපුවා. අපි අලුත් එකක් හැදුවා පැය දෙකට. ඔන්න 1967 හොඳම චිත්‍රපටය ඇතුළු ඕගොල්ලන්ගේ සරසවිය සම්මාන අටක් හම්බුණු චිත්‍රපටය හැදුණු හැටි.'

එහෙනම් ඒකෙ තව රස කතා ඇති?

කියන්න නම් පුළුවන්. හොඳද මන්දා. කමක් නෑ. පළමුවෙනි වතාවට අපට සම්මාන අටක් ලැබුණම හිත රිදුණු කට්ටියක් හිටියානේ. ඊට පස්සේ ෆිල්ම් ක්‍රිටීක්ස් ඇන්ඩ් ජර්නලිස්ට්ස් ඇසෝසියෙෂන් (ජ්ඛ්බ්ඛ්) කියලා එකක් පටන් ගත්තනේ සම්මාන උලෙළක්. ඒ අය චිත්‍රපට තුනක් නිර්දේශ කරලා ඒවාට තමයි සම්මාන දෙන්නේ. ඒ තුනටත් සත්සමුදුර තේරුණා. ඒත් ආරාධනා පත්‍ර එවද්දි තාත්තට අම්මව එක්කන් එන්න බැරි වෙන්න එක ආසනයයි එවලා තිබුණේ. ඒ වුණාට තාත්තා අම්මව එක්කගෙන ගියා. සත්සමුදුරට මුකුත් නෑ. කොහොම හරි චිත්‍රපට සංස්ථාව පිහිටෙව්වනේ. අපේ තාත්තලා එහෙම තමයි ඒ වෙනුවෙන් සටන් කළේ. ඔහොම අවුරුදු 25ක් විතර ගියාට පස්සේ සංස්ථාවෙන් හොඳම චිත්‍රපට 10ක් තේරුවානේ. ඒ දහයට සත් සමුදුර තියෙනවා.

ඔහු සම්බන්ධ වූ චිත්‍රපට සියල්ලේ රසකතා කීමට වෙනම පුවත්පත් කන්තෝරුවක් දැමිය යුතුයැයි මට සිතේ. ඒ අතර ප්‍රධාන නිර්මාණ කීපයක් සටහන් කර ගතිමි. ලාල් දිසානායක ප්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කළ පළමුවැනි චිත්‍රපටය නිම්වළල්ලයි. ඒ 1969 වසෙර්ය. එම වසරේම ඔහු චිත්‍රපට උපකරණ කුලියට දීමේ ආයතනයක් දිසානායක ෆිල්ම කම්පනි නමින් ඇරැඹුවේය‍. උපතින්ම කතෝලික බැතිමතකු වූ ඔහුට පාප් වහන්සේගේ ලංකාගමනය ආවරණය කිරීමට ලැබීම ඒ වසර මහත් භාග්‍යවත් වසරක් බවට පත් කළේය. වෙස්ගත්තෝ නිෂ්පාදනයට මෙන්ම සංස්කරණයටද ඔහු අතගැසුවේ එම වසරේදී වීම විශේෂයකි. ලංකාවේ ප්‍රථම වරට 'නාග්‍රා 3' දර්ශනතල ශබ්ද පටිගත කිරීමේ ක්‍රමය හඳුන්වාදීමත් සමඟ දකුණු ඉන්දියානු චිත්‍රපටවලින් අපට උරුම වූ ශබ්දාගාර ක්‍රමය උඩුයටිකුරු කරන්නට ලාල් දිසානායක තරුණයාට හැකි විය. සිහින ලොවක් චිත්‍රපටය නිෂ්පාදනයෙන් සහ සංස්කරණයෙන් පසු ඔහු වල්මත්වූවෝ නිෂ්පාදනයටත්, කැමරාකරණයටත්, සංස්කරණයටත් යොමු විය. ලංකාවේ චිත්‍රපට ශබ්ද පරිපාලනය සම්බන්ධ කඩඉම් බොහොමයක පුරෝගාමියා වූයේ ඔහුය. ‍

'අපි ඔන්ලොකේෂන් රෙකෝඩින් පටන් ගත්තේ 1975 විතර. වෙන කවුරුත් නෙවෙයි ඒක යෝජනා කළේ ගාමිණී ෆොන්සේකා මහත්තයා. පටන්ගත්තේ බාඳුරා මල් චිත්‍රපටියෙන්. මොකද දර්ශන තලයෙදි රඟපාන වෙලාවේ කියනවා වගේ හැඟීම්බරව දෙබස් කවද්දි කියන්න අමාරුයි. ඊට වඩා ඒවෙලේම දෙබස් පටිගත කිරීම සාර්ථකයි කියලා. ඊටපස්සේ සාගරයක් මැද, එක්ටැම්ගේ මේ චිත්‍රපටි ඔක්කොම ඔන්ලොකේෂන් රෙකෝඩින් කියලා දන්නවාද? මම ගාමිණිත් එක්ක චිත්‍රපට 15-20ක් විතර කළා ඒ විදිහට. දැන් අලුතෙන් ට්‍රැක් අටක් තිබ්බට අපි සිංගල් ට්‍රැක් බැලන්ස් කරලා කළේ මික්සර් දාලා. ඒ කාලේ අපි කොච්චර ඒ ගැන දැනගෙන හිටියද කීවොත් රජිනිකාන්ත් රඟපාපු කේ. බලාජි අධ්‍යක්ෂණය කරපු 'තී' චිත්‍රපටයට ශබ්ද උපකරණ වගේම ඉංජිනේරුවො දුන්නේ අපි. ඒ ගැන බලාජි මහත්මයා සතුටු වුණ තරම කීවොත් මට එයාගේ සුජාතා ෆිල්ම්ස් සහ මහරාජා ඕගනයිසේෂන්වලට අයිති ශබ්දාගාරවල හඬකැවීම් සහ ශබ්ද මිශ්‍රණ ක්‍රම සකස් කරලා දෙන්න වුණා. මම 89 ඔස්ට්‍රේලියා ගියාට පස්සේ කවුරුත් ඒ ක්‍රමය කළේ නැහැ. ඒක එහෙමම නැවතුණා. මම දැන් අලුතෙන් ගෙනත් තියෙනවා ඇම්බියන්ස් (පරිසර ශබ්ද) රෙකෝඩ් කරන්න. ඒක ඩොල්බි ඇට්මොස් ක්‍රමයට කෙළින්ම හරවන්න පුළුවන්. ගාඩි චිත්‍රපටය බලනකොට හොඳට අහලා බලන්න ඒ අවට පරිසරයේ ශබ්ද කොයිතරම් අපි ප්‍රයෝජනයට අරන් තියෙනවාද කියලා. අපේ බොහෝ අයට තේරෙන්නේ නැති දේ තමයි ශබ්දවලින් කොයි තරම් චිත්‍රපටය පිරෙනවාද කියන එක ගැන.'

ඔහු ඊළඟට විවිධ අධ්‍යක්ෂවරුන් පිළිබඳ රසකතා පේළියක් කියාගෙන ගියේය. නැවත ශබ්ද වෙත ආවේය. 'ස්ටූඩියෝ රෙකෝඩින් පටන් ගත්තේ කවුරු හින්දද දන්නවද? 1980 සරත් දසනායක අලුතෙන්ම සංගීත අධ්‍යක්ෂණයට ඇවිත් දිනුම් කණුව චිත්‍රපටයේ සංගීතය කරද්දි මම ඇහුවා දසේ, මට පුළුවන්ද මගේ පොඩි නාග්‍රා එක ගෙනත් ඔයාට කරදරයක් නොවෙන විදිහට රෙකෝඩ් කරන්න කියලා. හා කිව්වාම මම පොඩි මයික් හතරක් දාලා හෙඩ් ෆෝන් ගහගෙන ඒ අනුව බැලන්ස් කරලා පැත්තක ඉඳන් රෙකෝඩ් කළා. දසේ කිව්වා ප්‍රධාන රෙකෝඩින් එකට පස්සෙ මේකත් අහලා බලන්න ඕනෙ කියලා. පස්සේ ඒක හොඳයි කියලා දසේ මට කීවා ලාල් උඹ පටන් ගනින් රෙකෝඩින් කියලා. මම නුගේගොඩ නෙලූ ස්ටුඩියෝ එක කළ මගේ යාළුවා නෙලූ ප්‍රනාන්දු එක්ක එකතුවෙලා පටන්ගත්තා. ඒ පටන්ගත් පාර මුකුත් නෑ ජෝතිපාලගේ කැසට් සියයට අනූපහකටත් වඩා ගහන්න ඇත්තේ එහේ. ප්‍රේමදාස මහත්තයාගේ සේරම ගම්උදා රෙකෝඩින් අපි. ඉන් පස්සෙ ලංකාවේ කරපු චිත්‍රපට සියයට අනූනවයක්ම වගේ සින්දු රෙකෝඩ් කළේ එහේ. ඔය ඉංග්‍රීසි සංගීත ප්‍රසංග ආවේ කැට්ස්, එවීටා, සෝං ඇන්ඩ් ඩාන්ස් එහෙම කියලා. ඒවා ඔක්කොමේම පටිගත කිරීම් වගේම සජීවී ශබ්ද පරිපාලන කටයුතු මුලින්ම කළේ අපි. 82 රූපවාහිනිය මුලින්ම ආවට පස්සේ කරපු යශෝරාවය, පළිඟු මැණිකේ, තාරාදේවි වගේ ටෙලි නාට්‍යවල ඔන්ලොකේෂන් පටිගත කිරීම් කළෙත් අපි. කැරවෙල්ලි ඉන්ටනැෂනල් ටීවී කියලා ප්‍රංශ ටෙලිවිෂන් ආයතනයෙන් සති 10ක් පුරා කරපු වැඩසටහන් මාලාවේ ශබ්ද ඉංජිනෙරුවා වුණෙත් මම. ඩොනල්ඩ්ස් වීඩියෝ ප්‍රඩක්ෂන් පටන්ගත්තනේ ඩොනල්ඩ් ස්ටූඩියෝවලටම අල්ලලා. ඒකේ ප්‍රධාන උපදේශකයා වගේම ශබ්දාගාරය සකස් කළෙත් මමම තමයි. ටික කාලයක් යද්දි අර ජූලි කලබල නිසා සිලෝන් ස්ටූඩියෝ එක ගිනි තිබ්බනේ. 86 වෙද්දි මම ඒක කුලියට අරන් වැඩේ ලොකුවට කරගෙන ගියා. පස්සේ අපේ තාත්තත් නැති වුණා, ‌ජේවීපී කලබලත් ආවා මම දරුවන්වත් අරගෙන ඕස්ට්‍රෙලියා ගියා. බිරිඳ ජෙනට්, වැඩිමල් පුතාත් ලාල්, එයා කම්පියුටර් උපාධිධාරියෙක්. දුව ටරීටා උපාධිධාරිනියක් පිටරට පාසල් පුස්තකාලයාධිපතිනයක්. ඇන්ජලෝ එයාගේ මහත්තයා. ඒ දෙන්නට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම ඔස්ට්‍රේලියා යනවා මෙහෙ එනවා. හැබැයි මගේ ශබ්දාගාරය "ඕඩියෝ ඉමේජ් නමින් මෙහෙ දිගටම වැඩ කළා.'

ඔහුගේ විදෙස්ගත වීම වාසියකට හරවා ගැනීමට ඔහුට හැකි විය. 90 දශකය වන විට ලංකාවේ රූපවාහිනිය නැඟී සිටීමත්, සිනමා ශාලා විනාශ වීමත් නිසා දේශීය සිනමාව දැඩි අර්බුදයකට ලක්වද්දී ලෝක සිනමාව ඩිජිටල්කරණ විප්ලවය අරඹා තිබිණි. රූපවාහිනී, සිනමා මෙන්ම සියලු ශබ්ද පටිගත කිරීම්, පසුනිෂ්පාදන කටුයුතු වැනි සෑම ක්ෂේත්‍රයක්ම පරිගණක තාක්ෂණය විසින් ආක්‍රමණය කිරීමේ යුගය ඇරඹිණි. ලාල් දිසානායක මහතා මෙල්බන් නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයට අයත් චැනල් 31 රූපවාහිනියේ ප්‍රධාන පාලක මැදිරියේ ස්වේචඡාවෙන් සේවය කරමින් ඒ සියලු තාක්ෂණික දැනුම උකහා ගත්තේය. ලාල් දිසානායක, සුරේෂ් දිසානායක, ඇන්තනි පේජ්, අජන්ත කුරේ එක්ව 'ද ටර්නිං පොයින්ට්' ආයතනය බිහි කළේ ඒ අත්දැකීම් අනුසාරයෙන් මව්බිම පෝෂණය කිරීමටය. එෆ් එම් නාළිකාසමඟ රූපවාහිනී ක්ෂේත්‍රය ඉදිරියටම යද්දී තම නව දැනුම ලාල් දිසානායකට මහත් ආශිර්වාදයක් මෙන්ම වාසිදායක වූයේ රූපවාහිනී, ගුවන්විදුලි වෙළෙඳ දැන්වීම්, චිත්‍රපට හඬකැවීම් ආදි සියල්ල නව ක්‍රමයට අනුගත වීම නිසාය.

'ඔස්ට්‍රේලියාවේ ඉදන් මම ඔක්කොම දේවල් ගෙනත් අලුතෙන් ශබ්දාගාරය පටන් අරන් වෙළෙඳ දැන්වීම් කරමින් කාලයක් හිටියා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් යුගය ඇරඹුණා. මම පාර කැපුවා. අනෙක් අය මාව අනුගමනය කළා. මම තමයි බ්ලැක් මැජික් කියන වීඩියෝ කැප්චර් කාර්ඩ් එක ලංකාවට හඳුන්වලා දුන්නෙ. අපි ඉදිරියටම ගියා. හැරිලා බලන්නවත් වෙලාවක් තිබුණේ නෑ. මතකද දීපා මෙහ්තා ලංකාවේ කරපු වෝටර් චිත්‍රපටය. ඒකේ ශබ්ද ඉංජිනේරුවාත් මම. ලංකාවේ ශබ්ද පටිගත කිරිම් අංශයේ බොහෝමයක් දේවල් මුලින්ම ගෙනාවේ මම. අදටත් මම අලුත් දේ හොයනවා. රටවල්වල ගිහින් බලලා ඒවා ගේනවා. ඒක මගේ ආසාව. ඔය සව්සිරිපායේ ශබ්දාගාරය හදන්න උපදෙස් දුන්නෙත් මම. ටයිටස් තොටවත්ත මහත්තයා කාටූන්, විදෙස් චිත්‍රපට හඬකවද්දි ඒ ශබ්දාගාර අවශ්‍ය විදිහට සැකසුවේ මම ශබ්ද උපදේශක විදිහට රූපවාහිනියේ වැඩ කරද්දි. ඒ වගේම ඒ තාක්ෂණය අලුත් අයට උගන්වන්නත් මට පුළුවන් වුණා. 2011දි ලංකාවේ මුල්ම වතාවට රෙඩ්වන් 4කේ කැමරාවකින් ගත් දර්ශනයක් සංස්කරණය කරන්න මට වාසනාව ලැබුණා. ඒ ප්‍රවීණ නිළිය නීටා ප්‍රනාන්දු සහ යෝලැන්ඩා වීරසිංහ නිෂ්පාදනය කරපු ස්වර චිත්‍රපටයේ සංස්කාරක සහ ශබ්ද ඉංජිනේරුවා විදිහට. 2013 කාලෙ මම යුනිවොටෙක් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විෂය මාලා සම්පාදන මණ්ඩලයේ සාමාජිකයෙක් වගේම දේශකයෙක් හැටියටත් කටයුතු කළා. කැලණිය විශ්වවිද්‍යාලයෙත් බාහිර කථිකාචාර්යවරයෙක් හැටියට මේ ශබ්ද පරිපාලනය පිළිබඳ දැනුම බෙදා දෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි දුකයි කියන්න ඒ හැම තැනම ශබ්ද උගන්වන්න තියෙන්නේ සිද්ධාන්ත. ඒත් මේ විෂයය ප්‍රායෝගිකයි. අපි ඉගෙන ගත්තේ එහෙම.'

2015 වන විට ඔහුගේ වෘත්තීය දිවියේ අඩසිය වස සම්පූර්ණ විය. ඒ ගමන දක්වා ඔහු මෙහෙය වූ දෛවය සැකැසුණේ හයහතර තේරෙන වයසේ සිටමය.

' පොඩි කාලෙ ඉඳලම මට හැමෝම වදේ දානවා උඹ කවදා හරි ඉගෙන ගන්නේ ටේප් එකකින් කොහොමද රෙකෝඩ් කරන්නේ කියලා විතරයි කියකිය. මොකද මගේ වැඩේම ටේප් රෙකෝඩරයක් තියාගෙන සෙල්ලම් කරපු එක. ඒත් චිත්‍රපට කරන්න ආව‌ට පස්සේ මම හැමදේම ඉගෙනගත්තා. ඒ වුණත් මම මේ ශබ්ද පැත්තම අල්ලගෙන දුවන්නේ මොකද අපේ චිත්‍රපටවල ශබ්ද පරිපාලනය තමයි සවුත්තුම. ජේ ආර්. ජයවර්ධන මහත්තයා දිනුව වෙලාවේ ඉස්සෙල්ලම ආවේ එෆ්එම්99 එක. එතකොට කම්පියුටර් මුකුත් නෑ‍. ස්ටීරියෝ කියන්නේ මොකක්ද කියලා මෙහෙ අයට හඳුන්වලා දෙන්න ටේප් එක හදලා දෙන්න වුණේ මට. ඒ කාලෙ ඉඳලත් කවුරුත් සවුන්ඩ් කියන එක ගණන් ගත්තෙ නැහැ. දැන් එනවා අලුත්ම ක්‍රමයක් හරි පොඩි හතරැස් කොටුවක් වගේ. මයික් එකයි, ට්‍රාන්ස්මීටරෙයි ඔක්කොම ඒකෙ. රිසීවරයත් ඒ තරම්මයි කැමරාවට හයිකරගන්න පුළුවන්. මා ගාව තියෙනවා මයික්‍රෆෝන් ජාති 12ක් විතර. මම තව ගෙනත් තියෙනවා ජෝබි කියලා උපකරණයක් ඕනෙම කැමරාවකට හයි කරන්න පුළුවන්. අපේ අය ශබ්ද ගැන ගණන් ගන්නෙම නෑනේ. හැබැයි ගාඩි චිත්‍රපටිය බැලුවාම ඇස් ඇරෙයි කට්ටියගෙ. මම පළමුවෙනි වතාවට සරසවි ස්ටූඩියෝ එක ඇතුළට ගියේ සත්සමුදුරේ සින්දුවක් රෙකෝඩ් කරන්න. එතකොට හිටිය අයට දැන් මොකද වෙලා තියෙන්නේ. අපේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මැනුවල් එකක් කවදාවත් කියවන්නේ නැහැ උපකරණයක. කවුරුහරි කරන දෙයක් බලාගෙන කරනවා. සමහරවිට ඉංග්‍රීසි දැනුමේ අඩුකම වෙන්න පුළුවන්. හැබැයි තාක්ෂණය මාරු වුණ ගමන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ නිසා අලුත් අයට මම කියන්නෙ අනිවාර්යයෙන් මැනුවල් එක කියවන්න. දැන් තියෙන්නේ ඈත ඉඳන් වයිෆයි මඟින් ඇප් එක හරහා වැඩ කරන්න. මගේ ආසාව ලංකාව පුරාම පාරිසරික ශබ්ද ඔක්කෝම පටිගත කරන්න. මා ළඟ අවුරුදු ගාණක් තිස්සෙ ගෙනාපු සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඕනතරම් තියෙනවා. ලංකාවේ ලොකුම ලයිබ්‍රරිය තියෙන්නේ මා ගාව. හැබැයි ලංකාවේ ශබ්ද වෙනයිනේ. මම උදේ හතරට නැඟිටලා අලුත් තාක්ෂණය මොනවද හඳුන්වලා දීලා තියෙන්නේකියලා බලනවා. අද කාලේ වෙලා තියෙන්නේ මේ වැඩේ රස්සාවක් කරගෙනනේ තියෙන්නෙ. ඉතින් බූම් මයික් එකක් අල්ලගෙන ඉද්දි අත් රිදෙනවා. මේකට ආසාව, උණ තියෙනවා නම් අත් රිදෙන්නේ නැහැ. හරිනම් චිත්‍රපට සංස්ථාව මේවට මැදිහත් වෙන්න ඕනා. ඒවා කරන්නෙ කොහොමද අපි 7.1 තාක්ෂණය තරංගනී ශාලාවට හයි කරන්න ඔක්කොම හරි ටෙන්ඩර් පටිපාටියට කරලා, ධ්වනි පද්ධතිය (එකොස්ටික්) පිටරටින් නියමිත විදිහට සැලසුම් කරවලා, ඉන්දියාවෙනුත් ගෙනත් නිර්දේශ ගත්තට පස්සෙ එක නිලධාරියෙක්ගේ පෞද්ගලික ලාබ ප්‍රයෝජනය නිසා වැඩේ කඩාකප්පල් කළා. තිබුණු සල්ලි ආපහු භාණ්ඩාගාරයට ගියා. නැත්නම් අපි අදවෙද්දි ශබ්ද පරිපාලනයට ඉන්දියාවට යන්න ඔ්නෙ නැහැ. මේ හැමදේකින්ම වැටෙන්නෙ සිනමා කර්මාන්තය. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කටවහගෙන ඉන්න අයත් වැරැදියි.'

ඉන්පසු ඔහු අප ඔහුගේ ශබ්දාගාරය වෙත රැගෙන ගියේය. අලුත් අලුත් උපකරණ පිළිබඳ විස්තර කළේය. නිර්මාණයකට ශබ්ද කෙතරම් වැදගත්ද? මගේ ප්‍රශ්නය විය.

අපේ රටේ විතරයි ශබ්දපරිපාලනය, මිශ්‍රණය, බාහිර ශබ්ද එකම පුද්ගලයා කරන්නෙ. පිටරට එහෙම නැහැ. අනෙක ලොකේෂන් යන්න කලින් අපි දන්නවා නම් මොනවගේ තැනකටද යන්නෙ කියලා අවශ්‍ය උපකරණ යොදාගන්න පුළුවන්. ඒ බව දන්න අධ්‍යක්ෂවරු කීපදෙනයි ලංකාවේ ඉන්නෙ. චිත්‍රපටයකට රූපය හා ශබ්දය සියයට පනහ පනහ වටිනවා. උදාහරණයකට ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන බලන්න සබ්වූෆර් එකෙන් අර ශබ්ද ටික නොදුන්නොත් හුළං බැස්සා ව‌ගේ නෙවෙයිද? පින්තූරෙ වැඩි කරන්න පුළුවන් ගුණාත්මකබව විතරයි. ඒ්ත් ඩොල්බි ඇට්මොස්වල ස්පීකර් 64 වෙනකල් යන්න පුළුවන්. ඒක අපේ අය පිළිගන්නකල් අපේ ශබ්ද තාක්ෂණය ඔහොමම තියෙයි.

අපි කවදාවත් ඉගෙනගෙන ඉවරවෙන්නේ නැහැ. තාක්ෂණය අලුත්වෙනවානේ. චිත්‍රපට කළාට මගේ සැඟවුණු පැත්ත දේශපාලනය. තාත්තත් දේශපාලනය කළා. ඒ්ත් මම ඒව‌ට පැටලුණේ හොඳම යාළුවා විජේ කුමාරණතුංග හින්දා. විජයව මැරුවේ අපි සිලෝන් ස්ටුඩියෝ එකේ විජය රෙකෝඩිංවලට එනකල් බලා ඉද්දි. මම කතෝලික. ආගම කියන්නේ එක දෙයක්. ඒ විශ්වාසය තමන්ගාව තිබුණාම ඇති. අපි කරන දේ ගැන හිතේ විශ්වාසයෙන් අධිෂ්ඨානයෙන් කරනවා නම් ඉදිරියට යතැහැකියි. මම මේ ශබ්ද ඉංජිනේරු කතාවම දිගටම කරලා ඒක පවත්වාගන්න පුළුවන් පිරිසක් බිහිකරලා තමයි කවදා හරි ඕස්ට්‍රේලියාවට යන්නෙ. මම හිතන්නේ වැඩ කරනකල් ප්‍රශ්නයක් නැහැ. නැවැත්තුවාම තමයි ප්‍රශ්නෙ. මම තාම ලොකේෂන් යනවා. තමන්ට තමන් ගැන විශ්වාසය තියෙන්නයි ඕනෙ. ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.