මමී එයාගේ නම

විශාරද මල්කාන්ති නන්දසිරි මතක පොත දිගහරී
සැප්තැම්බර් 19, 2019

ඇය පිළිබඳ හඳුන්වන්නට මට තවත් බොහෝ දේ කිව හැකිය. එහෙත් මේ සියල්ලටම වඩා ඈ මහාචාර්ය සනත් නන්දසිරි ශූරින් ගේ ජීවිත රිද්මය හඳුනා ගත් ආදරණීය ගැහැනිය වූ මල්කාන්ති නන්දසිරි ලෙසින් හඳුන්වා දෙන්නට මා සිත කැමැත්තක් විය.

ඈ මල්කාන්ති නන්දසිරි වන්නට ප්‍රථම මල්කාන්ති පීරිස් වූවාය. ආදරය කැටිකොට ගත් පවුලක වැඩිමහල් දියණිය ලෙස මෙලොව එළිය දුටු ඇයට සහෝදර සහෝදරියන් පස් දෙනෙකු සමඟ ගෙවී ගිය සුන්දර ළමා කාලයක් හිමි වූවාය.අදටත් ආදරයෙන් සැමරිය හැකි එවන් අතීතයක සුන්දර මතක ඈ සිත කලඹන අපූරුව මට මහත් අසිරියක් විය.

“ මගේ පුංචි කාලේ ජීවිතේ මතක් වෙනකොට අදටත් මගේ ඇස් වලට කඳුළු එනවා.අම්ම තාත්ත එක්ක ගත කරපු ජීවිතේ මතක්වෙන කොට මට දුකයි සතුටුයි දෙකම එක විදියට දැනෙනවා.මම මගේ ගෙදර තනියම ජීවත් වුණ කෙනෙක් නොවෙයි . මට සහෝදර සහෝදරියන් රැසක් හිටියා.මගේ ළඟම ලොකු මල්ලී කුමාර් පීරිස් හිටියා.ඊළඟ නංගී නිර්මලා නංගී . ඇය මට වැඩිය අවුරුදු හයක් විතර බාලයි.ඒකට හේතු වුණේ ඒ අතර මට මල්ලි කෙනෙකුයි නංගී කෙනෙකුයි හිටියා. ඒ දෙන්නම පුංචිම පුංචි කාලේ වියෝ වුණා.මට එතකොට අවුරුදු හතරක් පහක් විතර ඇති.නිර්මලා නංගී ළඟට තමයි නිරංජලා නංගී ඉපදුණේ.ඊට පස්සේ සකුන්තලා නංගී. අපේ පවුලේ බාලයා මනෝජ් මල්ලී.අපේ පවුල දැඩි විදියට ආගමට බැඳීලා හිටියා ඒ නිසා වැඩිපුරම හිටියේ පල්ලියේ තමයි.“

ඈ අතීතය සමරනුයේ මහත් භක්තියකිනි. මේ පවුලේ ජීවන ගමන් මගේ පෙර ගමන් කාරිය වූයේ වැඩිමලී වූ මල්කාන්තීය.ඇය මූලික අධ්‍යාපනය ලබනුයේ නුගේගොඩ ශාන්ත ජෝශප් කන්‍යාරාමයෙනි.පසුව විද්‍යා විෂයයන් හැදෑරීම පිණිස ඇය කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු කළාය.ඇගේ පාසල් ජීවිතේ නොමැකෙන මතක සටහන් රැසක් ඇත්තේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදීය.මල්කාන්තිගේ පියා හැරිසන් පීරිස් ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකි. එවකට කතෝලික මුද්‍රණාලයෙන් මුද්‍රණය වූ “ කැතලික් මැසෙන්ජර්‘‘ පුවත්පතෙහි ප්‍රධාන කර්තෘවරයාය. එකල කතෝලික පුවත්පතක ප්‍රධාන කර්තෘ ධූරයක් කිසිවිටෙකත් සාමාන්‍ය පුද්ගලයෙකුට හිමිවන්නේ නැත. එහෙත් හැරිසන් පීරිස් ඉතාමත් බැතිමත් කතෝලිකයෙකු වූ බැවින් සහ කතෝලික ධර්මය පිළිබඳ වූ මනා අවබෝධය නිසා ඔහුට මෙම ධූරය හිමිවිණ.මෙම පුවත්පතේ කර්තෘ ධූරය ඔහු වසර තිස්පහක් හතළිහක් වැනි දීර්ඝ කාලයක් පූරා උසුලා ඇත.

“ අපේ ඩැඩා ඉංග්‍රීසි භාෂාවෙන් මාධ්‍ය කලාව කරපු කෙනෙක්. ඒ වගේම ඔහු කවියෙක්.කවි පොත් හතක් විතර ප්‍රකාශයටත් පත් කරලා තිබෙනවා.දෙකක විතර නම් මට මතකයි. එකක් “ සෙරීන් මෙඩෝනා“ . අනෙක ‘ සිලෙක්ටඩ් පොයට්රි“.දේවාර් සූරියසේන, ඩී.බී ධනපාල වැන්නෝ අපේ ඩැඩා ගේ හොඳ මිත්‍ර යෝ .අපේ අම්මා රෙජිනා පීරිස්. ඇය ඉතාම හොඳ ගෘහණියක්. ඒ වගේම ගුණ යහපත් මවක්. හරිම ධෛර්යවන්තයි. දරුවෝ හය දෙනෙක් හදලා ඔවුන්ට යහපත් ජීවන මාර්ගයක් පාදලා දෙන්න හැම විටම උත්සාහ කළා.අපේ පවුලෙ කවුරුත් කලාවට සම්බන්ධ නොවුණට අපේ ගෙදර තිබුණා පියානෝ එකක්. තව ජපන් මැන්ඩලීන් එකක් තිබුණා අපේ මමීට හොඳට මැන්ඩලීන් එක වාදනය කරන්න පුළුවන්.ඩැඩා එකෝඩියන් එක ගහනකොට අපි හයදෙනාම එකතුවෙලා ගීතිකා කියනවා.අපේ අම්මා සංගීතයට පුදුම ඇල්මක් තිබුණ කෙනෙක්. අපේ ගෙදර කුස්සියේ සවිකරලා තිබුණා රේඩියෝ ෆියුෂන්.ඒක උදේ ඉඳන් රූවෙනකම්ම වැඩ. මාසෙටම රුපියල් දහයයිද විස්සයි ද අය කළේ.ඒක උදේ ඉඳන් රෑවෙනතුරුම දාලා තියෙන්නේ. මමී කුස්සියේ උයන්නේ ඒක අහගෙන තමයි.“

මල්කාන්තී ඇතුළු දරුවන් සියලු දෙනාද මේ නිවසේ ජීවත් වනුයේ උදේ සවස ඇසෙන මේ සංගීත හඬ අසමිනි.කුඩා මල්කාන්තිද නිරන්තරයෙන්ම සිංදු මුමුනන්නට වූවාය. ඇය වැඩිපුරම මුමුනන්නට වූයේ රුක්මණී දේවියගේ ගීතය. ඇගේ හඬ අසා සිටින ඇගේ මව සිය දියණිය ගේ හැකියාව ගැන පුදුම වූවාය.රුක්මණී දේවී ගැයූ “ මා ඔබේ සුදා, දෙවා ගිනි මවා“ වැනි ගීත ඈ ගයද්දී මව මහත් ආදරයෙන් සිය දියණිය ගේ හැකියාව ගැන ආඩම්බර වූවාය.

“ අපේ අම්මා මගේ හැකියාව හඳුනාගෙන හිටි නිසා අම්මා “ ආධුනික පැය“ කියලා වැඩසටහනකට අයදුම් පත්‍රයක් යොමු කරලා තිබුණා.එතකොට මට වයස අවුරුදු දහයයි. මම ඔඩිෂන් එකට ගියා. මට හිතා ගන්නවත් බැරි විදියට මම තමයි වැඩිම ලකුණු අරගෙන තිබුණේ. අම්මම තමයි මාව එක්කරගෙන ගියේ.මම එතකොට මයික් එකටවත් උස නැහැ. මට අද වගේ මතකයි එදා නිවේදන කටයුතු කලේ ආරියදාස පීරිස් මහත්මයා.ආරියදාස අය්යා මාව වඩාගෙන තමයි මයික් එකට උස්සලා කතා කලේ.ඒ තරඟයේ ප්‍රථම ස්ථානය ලැබුණට පස්සේ මට තෑගි ගොඩාක් හම්බවුණා මතකයි.ඒ තරඟයෙන් ජයග්‍රහණය කළ අයට ගුවන් විදුලි සංස්ථාවේ “ ජයග්‍රාහී පෙළපාලිය“ කියලා වැඩසටහනක් දුන්නා.ඒකට ගීතයක් ගායනා කරන්න මට ගීතයක් හදා ගන්න කෙනෙක් වත් ඒ දවස්වල අපි දැනගෙන හිටියේ නෑ. අපේ මමී කළේ“ දෙවා ගිනි මවා දුක් “ සින්දුවට වෙන වචන ලියුවා.මම ඒ ගීතය තමයි ජයග්‍රාහක පෙළපාලියට ගායනා කළේ. ඒකෙන් ජයග්‍රහණය කළාම වැඩ සටහනක් දෙනවා ‘ තරු හමුව“ කියලා.ඒකට ගීත හයක් ගායනා කරන්න තිබුණා. අලුත් තනු අලුත් පද.කොහොම හරි ඒකට ගීත හදා ගන්න බැරි වුණා. ඒ වුණාට අපේ අම්මා මාව එක එක වැඩ සටහන් වලට ගෙනියන එකනම් නැවැත්තුවෙ නෑ.ඔය අතරෙදි තමයි දවසක් අම්මට කරුණාරත්න අබේසේකරයන් හමු වී කියල තියෙන්නේ ඔය තැන තැන ගෙනියන්නෙ නැතුව ගුවන්විදුලියෙ ළමා මණ්ඩපයට ගේන්න කියලා.එතැනින් පස්සෙ තමයි මගේ ජීවිතේ අලුත්ම පිටුව පෙරලුණේ.

60 දශකයේ එක්තරා දිනයක මල්කාන්ති පීරිස් වූ ඇය ළමා මණ්ඩපයට බඳවා ගන්නා ලද්දේ කරුණාරත්න අබේසේකරයන් හා සරත් විමලවීර විසිනි.මේ අවදිය වනවිට ගීත ක් ගායනයට අමතරව ඇය ළමා රංග පීඨයේ නාට්‍ය සඳහාද දායකත්වයක් දැක්වූවාය.ළමා මණ්ඩපයේ එකල ඉතාම ජනප්‍රිය ගායිකාවක බවට පත්වූ ඇයට වයස අවුරුදු 16 ක් වුවද ළමා මණ්ඩපයෙන් ඉවත් වීමට සිත් නොවීය.“ පැල්පතට මගේ සඳ එළිය අරන්‘‘-ඩී.ඩී ඩැනී වැනි ගීත එකල ළමා පිටියේ අතිශයින්ම ජනප්‍රිය විය.සමන් මලී ගුණසිංහ,විජිත කුසුම් ලියනගේ, චන්ද්‍රානි මානෙල් කල්දේරා,ගාමිණී රොඩ්රිගො,යසපාල පෙරේරා ලාලනි සෝමසිරි, රුපා ඉන්දුමතී වැනි අය එකල ළමා පිටියේ මල්කාන්ති ගේ සමකාලීනයෝ විය.එකල මල්කාන්ති සමඟ යුග ගී ගායනයට එක් වූයේ යසපාල පෙරේරාය. වත්මනෙහිද ඔහු මල්කාන්තිගේ පවුල සමඟ සමීප සබඳතා පවත්වන්නෙකි.

“ මම ළමා මණ්ඩපයෙන් අයින් වෙනකොටම ආරංචි වුණා ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණය තියෙනවා කියලා. ඒකට ඉදිරිපත් වූනාම මට මුලින්ම ලැබුණෙ සී ග්‍රේඩ් එකක්.සී ශ්‍රේණියේ වැඩසටහන් දෙකයි මට කරන්න ලැබුණේ ආපහු පරීක්ෂණයක් තියෙනවා කියලා ඒකට ඉදිරිපත් වුණා.ඒකෙන් මට ඒ ශ්‍රේණිය ලැබුණා.සරල ගී වැඩ සටහන් මම හිතන්නේ දැන් හතළිහක් පණහක් කරල ඇති.ජනප්‍රිය ගීත බොහොමයක් බිහි වුනේ එතැනින් තමයි.“

මේ අවදිය වනවිට මල්කාන්තිට සිය ඉරණම්කරු වූ සනත් නන්දසිරි නම් කඩවසම් තරුණයා මුණ ගැසී හමාරය. එහේ එය දෙදෙනා අතර වූ හිතවත් කමක් පමණක් විය. ඒ හමු වීම ද සංගීතය නිසාම සිදු වූවක් විය. විමලධර්ම ජයවීර අධ්‍යක්ෂණය කළ වෙසක් නාට්‍යයක ගීත ගායනා කිරීමට මල්කාන්තී තෝරා ගත්තාය. ඒ සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූයේ ඉන්දියාවේ සිට ආ පිරිසකි. සිය මවත් සමඟ මල්කාන්තිද ගීත පටිගත කරන්නට ගියාය. උස සුදු කඩවසම් තරුණයෙකු පලසක් මත හිඳගෙන සර්පිනාවක් වයමින් සිටියේය. මල්කාන්ති පීරිස් ඔහු ඉදිරියේ වාඩි කොට ගීත පුහුණු වන්නට වූවාය.මේ සියලු දෙනාම කතා කළේ වෙනත් භාෂාවකිනි.එහෙත් මල්කාන්තිට ‘ වාඩිවෙන්න නංගී ‘ යැයි ඇමතුවේය.ඔහු ගේ සර්පිනා වාදනයට මල්කාන්ති වශී වූවාය. කෙදිනකවත් අසා නැති මෙවන් වාදනයක් ඉදිරිපත් කරන්නා කවුරුදැයි ඇයට හිතා ගන්නට බැරිවිය. කොහෙන් පාත් වූ දෙවි කෙනෙක්දැයි සිතමින් ඔහු කෙරෙහි අති විශාල ගෞරවයක් සිතතුළ උපදවා ගත්තීය.පටිගතකිරීම් නිම වී නිවෙසට පැමිණි කළ මල්කාන්ති ගේ මවද මේ ගීත වලට වශී වී තිබුණාය. “ පුතේ ඒ ගීත ටික නම් පුදුම ලස්සනක් කවුද පුතේ ඒ සර්පිනාව ගහපු කෙනා යැයි විමසුවාය. අනේ මමී ඒ ගොල්ල ඉන්දියාවෙ ඉඳන් ආපු කට්ටියක් . දැක්කෙ නැද්ද අර මොකක්ද භාෂාවකින් කතා කළේ යැයි පැවසුවාය.මොකක්ද පුතේ නම? යැයි නැවතත් මල්කාන්තිගේ මව විමසුවාය.මට මතක නෑ මමී..... මොකක්ද නමක් කිවුවා.... ආ......විශාරද......එයාගේ නම විශාරද මමී. යැයි මල්කාන්ති පැවසුවාය.

එදා විශාරද ලෙසින් හැඳීන් වූ ඔහු අද ඇය ගේ ආදරබර සැමියා වන මහාචාර්ය සනත් නන්දසිරිය.

“ වෙසක් නාට්‍යය නරඹන්නට එන්න කියලා ඔහු මට ආරාධනා කළා. මමත් අම්මමත් එක්ක වෙසක් නාට්‍යය නරඹන්න ගියා. එතැනින් ඇතිවුණ හිතවත්කම තමයි ආදරයක් දක්වා දුර දිග ගියේ ඇත්තටම මුලින්ම මට ඔහු කෙරේ ඇතිවුණේ අතිවිශාල ගෞරවයක් . ඒ ගෞරවය අද මේ මොහොත දක්වාම ඒ විදියටම තියෙනවා.ඒ හමුවීමෙන් පස්සේ ඔහු අපේ ගෙදර යන්න එන්න පටන් ගත්තා.ඔහුට වැඩ සටහනක් හම්බවුණ හැටියේ අපේ ගෙදරට ඇවිත් මාව එක්කන් යනවා.අන්න ඒ වගේ ඔහු ගේ ගීත නාටක වගේ දේවල් වලට මම සම්බන්ධ වුණා.ඒ ඇතිවුණ හිතවත්කම මත අපි දෙන්නට දෙන්න ගොඩාත් ළං වුණා. අපි දෙන්නගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කර ගත්තා. ඔය අතරෙදි තමයි එයාට සරල ගී වැඩසටහනක් ලැබෙන්නේ.

මිහිරාවී......

ලොව ගී රජ දහනේ නැළවෙමි 
මා මිහිරේ ඔබෙ පා සෙවණේ ගී ගයනෙමි

.........................

මේ මල්කාන්ති ගායනා කළ පළමු සරල ගීතයයි. එදා දුන් පොරොන්දුව සේම අදද ඇය ඔහු ගේ පා සෙවණේ ගී ගයමින් නැලවෙන්නීය.ප්‍රේමකීර්තිද අල්විස් මේ ගීතය රචනා කලේය.

‘ මේ කාලයේ මම ගී ප්‍රසංග වලට සහභාගී වී ගීත ගායනය දිගටම කරගෙන ගියා.මම වැඩියෙන් ගායනා කළේ රුක්මණී දේවියගේ සුජාතා අත්තනායකගේ ගීත තමයි. අනුන්ගේ ගීත කීවට ඒ කාලේ ප්‍රේක්ෂකයෝ මට හරියට ආදරේ වුණා.මේ කාලේ වෙනකොට ඔහු හිටියේ අම්පාර උහන විද්‍යාලයේ ගුරු පත්වීමක් ලැබිලා ගිහින් . මගේ හිතට ලොකු තනිතමක් පාලු ගතියක් දැනෙමින් තිබුණා.ඔය කාලෙ තමා දයා අක්කා මට ‘ සහසක් පැතුමන් ගීතය හදලා දුන්නේ.

සහසක් පැතුමන් ඉපදී මිය යන 
ඉතිරිව ගිය එක ලැතුම දරාගෙන 
ඇහළ මහක අඩ සඳ පෑයූදා 
මතකද සිරි දළදා වැන්දා

මේ ගීතය ජනප්‍රිය වූවායින් පසුව දයාද අල්විස් විසින්ම එයට පිළිතුරු ගීතයක්ද ලියා දුන්නේය.

දෝතට ගත් සමන් පිච්ච මල් මිටක් විලස සිතමින් 
ආදරයෙන් මා රැක ගත මැන මගේ හද සනසවමින්.....

අදටත් මේ මියුරු ගීත වල රසය කොයි තරම්දැයි දැනෙන්නේ යළි යළිත් මේවා රසවිඳීන විටය.ඒ විතරක්ද මහ සයුරේ... දිය ගැඹරේ, බඹරු නොදුටු මලක් පිපිලා ගෙයි මැද සාලේ වැනි ගීත තවමත් අමරණීයයි.

“ මේ ගීත ගායනා කරන කොට අපි විවාහ වෙලා නෑ. අපේ සම්බන්ධයට එයාලගේ ගෙදරින් හොඳටම විරුද්ධ වුණා. ඒකට ප්‍රධාන හේතුව වුණේ මම කතෝලික එයා බෞද්ධ වීම. පස්සෙ පස්සේ එයාලගේ ගෙදරින් කැමැත්ත ලැබුණා. ඒ අනුව 1971 දෙසැම්බර් 18 වැනිදා අපේ ජීවිතේ සතුටුම දවස උදා වුණා.ඔහුත් සමඟ එක වහලක් යටට ආවට පස්සේ එතැන් පටන් අපි දීර්ඝ නිර්මාණ චාරිකාවකට එක් වුණා.

ඒ දීර්ඝ නිර්මාණ චාරිකාව පුරා රැඳුනු නිර්මාණ ගොන්න අතිවිශාලය. සීත රෑ වසන්තේ, දූ දරුවන් අප අතහැර යාදෝ, හමුවෙමු සුවබර තවත් සැදෑවක, මිහිරාවී..,සහසක් පැතුමන්,බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි වැනි ගීත රුසක් අපිට දායාද කළේය. මල්කාන්තිගෙන් පෙර ගමන් විවරණ ලබමින් සහෝදර සහෝදරියන් රැසක් ඇය මෙරට කලාවට දායාද කළාය.ඇය පසුපස යමින් ඇගේ වැඩිමල් නැගණිය නිර්මලා රණතුංගත් ඉන්පසු නිරංජලා සරෝජිනීත් පසුව සකුන්තලා පීරිස් හා මනෝජ් පීරිස් මෙරට කලා කෙත පෝෂණයට එක් වූයේය.මේ සියළු දෙනාට ඇය අත්වැලක් වූවා සේම අදටද මේ සියළු දෙනාටම මවක ගේ ආදරණීයත්වය කිළිණ කරන්නී ඇයයි. ඇගේ දියණිය අනුරාධාට සේම පරම්පරා දෙකක් ඉක්ම යමින් ක්ෂේත්‍රයට පිවිසි සෙව්වන්දිලාටද පූර්වාදර්ශ සැපයූ ආදරණීය ගැහැනිය ඇයයි. මහාචාර්ය සනත් නන්දසිරි ගේ සෙවණ ඇය රැකි ඇයට සෙවණ සැලසූ මහා නුග රුක වූවා සේම මහාචාර්ය තුමන් සිය පණටත් වඩා සුරකින ආදරණීය මිහිරාවිය වන්නේ ඇයයි.

ඔබ සදා ඔහු පා සෙවණේ ගී ගයන මිහිරාවියයි......

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.