නිල්ල නඟන ස්වර්ණ කිකිණි රාවේ නිල්ල සොයා

සැප්තැම්බර් 19, 2019

ලෙනින් මොරායස්ල, නීල් රුපසිංහලා, ජෝ දේව් ආනන්දලා, යසපාලිත නානායක්කාරලා, වෙන වෙනම ශානර යටතේ විනෝදාත්මක චිත්‍රපට නිර්මාණය කළහ. සේන සමරසිංහද අයිති වන්නේ එම ශානරයටම වුවද, ඔහු අන් අයගෙන් තරමක වෙනස් රීතියක් අනුගමනය කරන්නට විය. ඔහු වැඩි බරක් දුන්නේ සුමියුරු තනු යොදා ගැයුණු ගීතවලටය. සරත් දසනායකගේ සංගීතයටය. එච්.ආර්.ජෝතිපාල හා මිල්ටන් මල්ලවආරච්චි ගේ ගායනා වලටය. ඔහුව ඔසවා තැබුවේ නම් මේ අයය. ගාමිණී ෆොන්සේකාට මුවාවී සේන ගොඩ යන්නට තැත් කළේ නැත. තැත් නොකළේද නැත. ඔහු විවිධ කථා තේමා තුළට ගාමිණීගේ රංගනය එක්කළේ ,මියුරු ගීතත් මුසු කරමිනි.

ගාමිණී,ජෝතිපාල,මිල්ටන් මල්ලවආරච්චි,සරත් දසනායක, එක මිටට ගෙන, ඔහුගේ චිරාගත සම්ප්‍රදාය මෙවර ඉදිරිපත් කළේ වෙනස් තේමාවක් තුළිනි. "කස්තුරි සුවඳ" චිත්‍රපටය ඔහුව ඉහළට ඔසවා වෙනම අනන්‍යතාවයක් ලබා දුන් නිසා, ඔහුට ඔහුගේ දෙවන චිත්‍රපටය එයටත් වඩා ඉහළින් කරන්නට වුවමනා වූ සේම, ගීත වලද හිතට දැනෙන වෙනසක් කිරීමට උවමනා විය. ඔහු 'රිස්ක්' එකක් ගත්තේය. ඒ වන විට ගාමිණී ෆොන්සේකාට එච්.ආර්.ජෝතිපාලගේ හඩ නැතිවම බැරි කාලයයි. ජෝතිපාලගේ හඩ ගාමිණීට ගැලපුණේ හරියට ගාමිණී ගීත ගයනවා වගේය. ඔහු මුලින්ම නිෂ්පාදනය කළ, මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ 'සදහටම ඔබ මගේ', චිත්‍රපටයේ ජෝතිපාල විසින් ගැයූ 'අමර පෙම් ලතාවේ','දෑසේ මාගේ සැතපෙනා', වැනි ගීත මෙන්ම, සේනගේ මුල්ම අධ්‍යක්ෂණය වූ 'කස්තුරි සුවඳ'හී ජෝතිපාල විසින් ගාමිණී වෙනුවෙන් ගැයූ, 'පාට පොදක් තිලකලා','ලස්සන ලෝකෙක ඉපදීලා', 'හද විමන් දොරින්', මෙන්ම 'මල් වයසේ', ගීත ගාමිණීට ලබා දුන්නේ පුදුමාකාර ජවයකි.

එහෙත් සේන,තම දෙවැනි චිත්‍රපටය වූ 'නිල්ල සොයා' හී ගාමිණී වෙනුවෙන් ගයන සියලුම ගීත ගැයීමට තෝරා ගත්තේ මිල්ටන් මල්ලවආරච්චිවය. ඒ වන විට මිල්ටන් මල්ලවආරච්චි ගාමිණී වෙනුවෙන් මින් පෙර අවස්ථා දෙකකදී ගී ගයා තිබුණි. ඒ 'ආදරේ හිතෙනවා දැක්කම' චිත්‍රපටයේ 'මගෙ ජිවිතයම වටහා ගන්නට' යන ගීතය සහ 'සැණකෙළිය', චිත්‍රපටයේ 'සමනල රෑනක් සේ', 'රැයක් උපද්දා' වැනි ගී කීපයකි. ⁣එම ගීත නම් දැඩි ලෙස ජනප්‍රිය විය. ඇතැම් විට සේන ඒවා අධික්ෂණය කරන්නට ඇත. මිල්ටන් මල්ලවආරච්චි ගාමිණීට ගීත ගැයීම අවධානමක් නොවන බව සේන පසුව තීරණය කරන්නට ඇත.

'මියුරුපෙම් මදිරාවේ 
නුහුරු රස දැණුනා වේ 
තත්සරේ රැව් දිදී 
පුරවන්න මා දෙසවන් මිහිරෙ'

දෙතොල් පෙති පුබුදාලා 
පියුම් පැහැ විහිදාලා 
දෙනෙත හී නිල්මිණී 
ලෙළවන්න මා නළවා සොඳුරේ"

"නිල්ල සොයා" හී කාන්තා චරිත දෙකක් තිබුණි. එකක් නිල්මිණීය, අනෙක් චරිතය මීනාය. ඒ මේ ආත්මේ චරිතයන්ය. ඉහත ආත්මයක්ද තිබුනි.ඒ ආත්මේ චරිත දෙක වූයේ සීතා හා සුමනාය. ප්‍රධාන පිරිමි චරිතද දෙකකි. මේ ආත්මේ නන්දන වූ අතර ඉහත ආත්මයේ එය ධර්මේ විය. ඒ චරිත දෙකම රඟපෑවේ ගාමිණීය. සේන නිල්මිණී හා සීතාගෙ චරිතයන්ට මාලිනී ෆොන්සේකාවද, මීනා හා සුමනාගේ චරිතයන්ට ගීතා කුමාරසිංහව තෝරා ගත්තද එය එසේ වූයේ නැත. ඒ කාලයේ මේ හැම ප්‍රධාන නළු නිළියන්ව එක ප්‍රොජෙක්ට් එකකට ගන්නවා කියන එක ලේසි නැත. සැලසුම් කළ පරිදි මාලිනී, හා ගීතා එම චරිතවලට එකතු වුණා නම් චිත්‍රපටය මල් වෙඩි වගේ තිබෙන්නට ඉඩ තිබුණි. නමුත් පසුව තෝරා ගත් අය නම් පුස් වෙඩි වගේය.

සේන සමරසිංහ ,දිලිප් කුමාර්, වෛජයන්තිමාලා රඟපෑ ආත්ම දෙකක කථාවක් රැගත් ඉතාමත් ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ 'මධුමති' බලන්නට ඇත. නිල්ල සොයා වස්තු බීජය මධුමතී හරහා ඉපදෙන්නට ඇත. නිල්ල සොයා නරඹන විට, නන්දනට අහම්බෙන් දකින පන්සල හා පහන් කොත ඔහුව ඉහත ආත්මයට රැගෙන යයි. අපිව 'මධුමති' ළඟට රැගෙන යයි.

සේන සමරසිංහගේ මනෝ චින්තනය පාවි පාවි ගොස් හරි අමුතුම තැන්වල නවති. ලියුමක් ආවේ නැතැයි කියා තැපැල් කරුට අල්ලගෙන ගුටිබැට දෙන නන්දන පසුව තේ ව්‍යාපාර කරන විශාල ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩලයකට තෝරා ගනී. සාමාන්‍යයෙන් සිනමාව යනු මායාවත්,යථාර්තයත් සමාන්තරව යෑමක් වූවද, සේනගේ චිත්‍රපට නම් තනිකරම මායාවක් විය. 'නිල්ල සොයා'ද මායා ගනයට අයත් චිත්‍රපටයක් විය. නන්දනට රැකියාව ලැබුණු පසු දුෂ්ටයන් දෙදෙනෙක් මුණ ගැසේ. එක්කෙනෙක් අලීය. අනිත් කෙනා අලීගේ 'බොස්' දිසාය. එලෙසම නන්දනට පෙම්වතියන් දෙදෙනෙක්ද හමුවෙයි. එක්කෙනෙක් දෙමළ තරුණියක් වූ 'මීනා'ය. ඇයට සිංහල කථා කීරීම නුහුරුය. සිංහල වචන ඇය දන්නේ ඉතාමත් ස්වල්පයකි. එහෙත් ඇයට සිංහල සින්දු කියන්න නම් හොදට පුළුවන. අලි, නන්දන සමඟ ගෝරි වලට පැටලෙන්නේ අලි ට්‍රයි කරන කෙල්ල වූ මීනා සමඟ නන්දන යාළු වූ නිසාය. දිසා නන්දන සමඟ පැටලෙන්නේ නන්දන , දිසා විවාහ වෙන්නට යන නිල්මිණී සමඟ යහළු වී ඇතැයි සිතාය.

නිල්මිණීටද නන්දන දුටු ගමන්ම මොනවදෝ වුණි. අපට නම් මොනවාදෝ වූයේ චිත්‍රපටයේ මුල් දර්ශන නැරඹු වේලේ සිටය. නිල්මිණී, දිසා සමඟ විවාහ වීමට දිනත් දාගෙන තිබුණද, ඇය නන්දන සමඟින් මනස් ලෝකය තුල ගීත ගයමින්, නටමින් 'ආතල්' ගනී.

'යව්වන උයනේ, පියුම් තටාකේ 
බිඟුවැල් පෑහේ- මා ඔබ පෑහේ 
අත්හැර ඉඟිලෙමු පෙම් ලොව 
පෙම් සිත් හඬවනා 
දැන් අපි යමු වෙන රටකට 
පෙම් සඳ පායනා"

ගාමිණි ෆොන්සේකාට, තමාට රිසිසේ ගීතවලට නැටීමට නිදහස ලැබුනා සේය. ඒ නැටුම් තුල , බටහිර හෝ දේශිය ආර වෙන් වෙන්ව නොතිබුණද, ගාමිණී තම අත පය එම සංගීතයට හා ගීතයට උචිත අන්දමට, තමාගේම ශෛලයට රඟන්නට විය. ඒවා 'ගාමිණී ස්ටයිල් ඩාන්ස් වූවද, ප්‍රේක්ෂකයන් ට එය අල්ලා ගියේය.

නන්දන, හා නිල්මිණී අතර ඇතිවී යන සබඳතාවය ප්‍රේක්ෂකයන්ට වැටහෙන්නේ පෙර ආත්මයත් එයට සම්බන්ධ වූ පසුවය. මේ ආත්මයේ 'සෙට්' එකම පෙර ආත්මයෙත් ඉපදී තිබුණි. නන්දන, නිල්මිණි,හා මීනා වෙනුවට ධර්මෙ, සීතා,හා සුමනාද, ඊට අමතරව මේ ආත්මේ දිසා සහ අලී වෙනුවට, හාමු මහත්තයා හා සෝමෙද ඉපදී තිබුණි. ධර්මෙ ,සිතා සහ සුමනා යන දෙදෙනා සමඟම විවාහ වන්නට බලාසිට්යේ එකල තිබූ එකගෙයි කෑමේ සම්ප්‍රදායට අනුකූලවය.

හාමු මහත්තයා ,ධර්මේ සමඟ කෝන්තරයක් තිබුණි. ඒ, හාමු මහත්තයා, ගමේ අහිංසක ගැහැනුන් තම වලව්වට ගෙන්වාගෙන කරන නොහිබිනා වැඩ නැවැත්වූ නිසාය. කොටින්ම හාමුගේ 'ආතල්' එක කඩන නිසාය. එහෙයින් හාමු මහත්තයා කල් යල් බලා සිටියේ ධර්මෙගෙන් පළිගැනීමටය. දිනක් ධර්මෙ එලෙස හාමු මහත්තයා සහ ඔහුගේ සගයා ගමේ අහිංසක ගැහැනුන්ව ගෙන්වා අවලම් වැඩ වලට පොලඹන්නට හදන විටම, ධර්මෙ එතනට පැන ඔවුන්ව බේරා, හාමු මහත්තයාට හා සගයාට හොම්බට ඇන, සගයාගේ අතේ තිබූ තුවක්කුවද රැගෙන ගියේය. හාමු මහත්තයා ධර්මෙ සමඟ ඇති වෛරය තිව්ර වන්නට වූයේ මෙතැන් සිටය.

ධර්මෙ සීතාව හා සුමනාව විවාහ කර ගන්නා දිනය පැමිණීය.

'කෙල්ලේ, මා ආදර කෙල්ලෙ 
මල් හී මට වැදුණා කෙල්ලේ 
සොයං සොයං ආවේ 
හොරෙන් හොරෙන් ආවේ 
කිරිල්ලියක් වාගේ 
පියාඹලා ආවේ'

එතැනට පොලිස්කාරයන් පැමිණ ධර්මෙව කුදලාගෙන ගියේ හාමුට හිරිහැර කිරීම හා තුවක්කුවක් හොරකම් කිරීම නිසාය. එහෙත් ධර්මෙව කුදලාගෙන යන අතරමග, ඔහු පොලිස් කාරයන්ට ගුටි බැට දී, කෙසේ හෝ සීතා හා සුමනා සොයා ආවද, හාමු හා සගයා ඔවුන් දෙදෙනාව පැහැර ගෙන යමින් සිටියේ ඔවුන් දෙදෙනාව තම තමන් සතු කර ගැන්මටය. එතනදී සිදුවූ වෙඩි හුවමාරුවකින් හාමු විසින් සුමනා හා සීතාට වෙඩි තබා ධර්මෙටද වෙඩි තැබීය. මෙය සිදුවූයේ අර පන්සල ළඟය. එක ආත්මයක් නිම වූයේ ඒ අයුරිනි.

දැන් ඔවුනට එක් දෙයක් පැහැදිලිය.

ඔවුන් සියල්ලම නැවත ඉපදී ඇත්තෙ, එදා හාමු, දැන් දිසාගේ ආත්මයෙන් ආත්මයට එන පළිගැනීමට බිලිවීමටය. නන්දනට එක දෙයක් පැහැදිලිය. දිසා මේ පලිගැනීමේ වෛරය තම සිත තුලින් ඉවත් කර නොගතහොත්, මේ පලිගැනීම තව ආත්ම ගණනාවකට යන බවය. එහෙයින් මෙය මෙතැනින් නතර කර ගත යුතුය. එය නතර කර ගත හැක්කේද දිසා මෙය තේරුම් ගෙන පලිගැනීම සිතෙන් අයින් කර ගත හොත්ය.

එදා වැඩ බිමේ උත්සවයකි. එහී මීනා හා නන්දන මෙන්ම නන්දනගේ සගයන් ගී ගයමින් නටන්නට වූයේ දිසා හා ඔහුගේ පෙම්වතිය වූ නිල්මිණී ඉදිරියේය.

'පෙම් පෙම් නද පාවේ 
මධු සඳ පානේ 
පූදින මල් ගානේ 
නිල් වරලා, මල් ගවසා 
පෙම් සිලිලාරේ රස උතුරා...

එයද නිම වූයේ විශාල ගුටි බැට හුවමාරුවකිනි . මේ පිටුපස සිටිනුයේ දිසා බව නන්දන දැනගත්තද, ඒවා ඔප්පු කිරීමට නිසි කාලය එනතෙක් නන්දනට සිටින්නට සිදු විය.

නිල්මිණීට, නන්දන ගැන දැඩි බැදීමක් ඇතිවන්නට පටන් ගන්නේ ඔය අතරෙදීය. ඒ බැදීම පෙර සසරේ සිට අවා සේය

"සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ 
ඈත බවේ හෝ 
මා ඔබ හමුවී තිබුණා 
හමුවී දෙඩුවා 
හිනැහී, හැඩුවා'

⁣සේන සමරසිංහට අවශ්‍යව තිබුණේ ඉහත ආත්මයකින් ,මේ ආත්මයට එන ආදරයත්, වෛරයත් අතරින් ආදරය මේ ආත්මය තුළ රඳවා ගෙන වෛරය නැති කර දැමීමටය. මීනා ට සිදුවන්නේ මේ ආත්මයේදීත් මිය යෑමටය. දිසා තම වෛරය අත් හැරගෙන තම ජීවිතය පුජා කරන්නේ තවත් ආත්මයකට මෙම කථාව මේ අයුරින් රැගෙන නොයෑමටය. නිල්මිණීටද දිසා වෙඩි තැබුවද, ඇය මැරී වැටුණද, සේන සමරසිංහගේ හාස්කම් නිසා යළි නැගිට්ටාය. නිල්මිණි ප්‍රාර්ථනා කල ලෙස ඇයට නන්දනව අයිති විය.

මේවා මහ පුදුම චිත්‍රපටය. එක අතකට අප ගැනත් පුදුමය. ඒ අප මේවා පළමුවන 'රිලිස්' එකේම හතර පස් පාරක් බලන නිසාය. ඉන්පසු අවුරුදු විස්ස තිහ පහුවුණද, නැවතත් ඩී.වී.ඩී. පට හොයාගෙන නැවත නැවතත් බලන නිසාය. ඒ සේන සමරසිංහගේ 'මැජික්'ය. අප ඒ ඇස්බැන්දුමට අසුවේ. ප්‍රේක්ෂකයා රඳවා ගැනීම පමණක් නොව, තව තුන් හතර පාරක් පිචර් හෝල් එකට ගෙන්වීමේ ශාස්ත්‍රයද සේන දැනගෙන සිටියේය.

සේනගේ චිත්‍රපට හා ප්‍රේක්ෂකයන් දැඩිව බැඳුණු තවත් හේතුවකි සරත් දසනායක මවන තත්සරය. මිනිසුන් වශීවූයේ මේ සංගීතයට හා ගීත වලටය.දසනායක, සේන සමරසිංහගේ චිත්‍රපටවලට පමණක් සේන විසින් 'ස්ලෝගන්' කරන චිරාගත සම්ප්‍රදායනු ශෛලයට, සංගීත හා ගීත ඉදිරිපත් කළේය. 'නිල්ල සොයා' හිට් වීමට බෙහෙවින් බලපෑයේ මේ සංගීතය හා ගීතයන්ය. මිල්ටන් මල්ලවආරච්චි සිංහල සිනමා නිත්‍ය ගායකයෙක් වූයේද මෙම චිත්‍රපටයෙන් පසුවය. ඒ හැරෙන්නට 'නිල්ල සොයා' හි වෙන යමක් තිබුණාද කියා නම් දෙවරක් නොව තුන්හතර වරක්ම සිතිය යුතුවේ.

සම්ප්‍රදායික නළු පෙම්වතා, නිළි පෙම්වතියට අමතරව තවත් නිළි පෙම්වතියක්, එමෙන්ම දුෂ්ටයා, හා විකටයාට අමතරව තවත් සපොටිව් විකටයෙක් 'නිල්ල සොයා' හී නොඅඩුව තිබුණි. වෙනසකට වූයේ මොවුන් සෙට් එකම ආත්ම දෙකකම සැරි සැරීමය. සේන වට්ටෝරු ක්‍රමය හිට් කරන්නටය, මේ ආත්ම දෙකක හුටපටය ගෙන ආ⁣යේ. කොහොමෙන් කොහොමෙන් හරි 'නිල්ල සොයා' හිට් විය.

ගාමිණී ෆොන්සේකාට ,මහා දෙයක් මෙහි කරන්නට තිබුණේ නැත. හැබැයි ඔහුට ඔහුගේම නැටුම් ශෛලය නම් තව තවත් ප්‍රචලිත කිරීමේ 'චාන්ස්' එක ලැබුණි. මානෙල් වානගුරු චරිත තුනක් කළාය. ඒ නිල්මිණි, මීනා, සහ සීතා ලෙසය. මානෙල් වානගුරු වැනි නිළියකට චරිත 3ක් භාර දීම මොන තරම් 'රිස්ක්'එකක්දැයි දැයි සේනට නොදැනුණු එක පුදුම විය යුතුම කරුණකි. බන්ධු සමරසිංහ, විමල් කුමාරද කොස්තා ⁣මිනිස්සුන්ව හිනස්සන්නට දාන 'ට්‍රයි' එක දුටු විට, අපට කෑ ගසා අඩන්නට සිතේ. රෙක්ස් කොඩිප්පිලි , සේනක පෙරේරා සුපුරුදු දුෂ්ටයන්ය. දක්ෂ නළුවෙකු වූ සෝමසිරි දෙහිපිටිය 'සෙමි' ජෝකර් කෙනෙක් කර තිබුණි. රත්නාවලී කැකුණුවල, අරුණ ශාන්ති, මාටින් ගුණදාස, කුසුම් පෙරේරා, රිචඩ් වීරක්කොඩි, චන්දි රසිකා සෙසු චරිත රඟපෑහ.

සරත් දසනායකගේ සංගීතයට ම්ල්ටන් මල්ලවආරච්චි, හා ඇන්ජලින් ගුණතිලක ගීත ගායනා කළ අතර, මෙහි තිරනාටකය සෝමපාල ලීලානන්ද ගෙනි. ඩැනි ඩබ්ලියු පතිරණ කැමරාව මෙහෙයවිය.

'නිල්ල සොයා' පියසේන ද සිල්වා හා සේන සමරසිංහගේ නිශ්පාදනයක් වූ අතර එය තිරගත කළේ 1976 නොවැම්බර් 12 වෙනි දිනය.

'නිල්ල නඟන ස්වර්ණ කිකිණි රාවේ 
හිත පුරා 
එරන් වන් පුතුන්, එරන්වන් ළඳුන් 
මන්දහාස දී ඇදී ඒ.'

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ) 
ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.