කොළඹට අහිමි යාපනයේ දී දුටු විශිෂ්ට සිනමා

සටහන් 2
සැප්තැම්බර් 26, 2019

යාපනය සිනමා උලෙළේ තරගකාරි අංශයට අයත් නොවූ චිත්‍රපට අතර වඩාත් කැපී පෙනෙන චිත්‍රපටයක් වූයේ ට්‍රාන්සිට් චිත්‍රපටයයි. ක්‍රිස්ටින් පෙට්සෝල්ඩ් විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටයට පාදක වනුයේ 1942 වසරේ රචනා කරන ලද නවකතාවකි. ඒ ඇනා සීගර්ස් නම් ජර්මානු ලේඛිකාවගේ කෘතියකි. ට්‍රාන්සිට් බර්ලින් සිනමා උලෙළේ රන් වලසා සම්මානය සඳහා තරග වැදි චිත්‍රපටයකි. නවකතාව දෙවැනි ලෝක මහා සංග්‍රාම සමය පාදක කර ගත්ත ද ට්‍රාන්සිට් සිනමා කෘතිය එබඳු කාලවකවානුවක් නියෝජනය නොකරයි. කෙනෙකුගේ අනන්‍යතාව කුමක්ද? සැබෑව සහ ජීවිත අරගලය හරහා සිනමාකරු ප්‍රේක්ෂකයා බඳවා ගන්නා ට්‍රාන්සිට් චිත්‍රපටයට පාදක වනුයේ පැරීසියේ සරණාගතයකුව පලා යන්නට තැත් කරනා ජෝර්ජ් නම් පුද්ගලයකු වටාය. චිත්‍රපටය විකාශනය වනුයේ එහි මූලික චරිත හා බද්ධ නොවන පුද්ගලයකු ගේ හඬින්ය. ජෝර්ජ් පෙනී සිටිනුයේ සිය දිවි නසා ගත් ලේඛකයකුගේ නමින්ය. ඔහු අත ඇත්තේ වයිඩල් නම් ලේඛකයා විසින් අවසන් වරට රචනා කරන ලද කෘතියෙහි අත් පිටපතය. ඒ පිටපත ජෝර්ජ් අතින් ලැබෙනුයේ අවන්හලක සේවකයකුටය. පූරකයා වනුයේ ඔහුය. තමා හා සෙසු සරණාගතයන් එතැනම රැඳී සිටිය දී ඔහුට එරටින් පලායන්නට වීසා ලබා ගත හැකි වනුයේ ලේඛකයාගේ අනන්‍යතාව ඔහු විසින් සොරකම් කරනු ලබන හෙයින්ය. එහෙත් ඔහුට නිරන්තරයෙන් මුණ ගැසෙන සුරූපි යුවතියක් ඔහුගේ සිතුවිලි වෙනස් කරනු ලබයි. ඇය මියගිය ලේඛකයාගේ භාර්යාවයි. ඔහු මිය ගිය වගක් ඇය දන්නේ නැත. තමා සමඟ දුම්රියේ එන තවත් සරණාගතයකු ද මිය යන්නේ ඔහුගේ භාර්යාව සහ දරුවා අතරමං කරවමිනි. ඔවුන් සොයා ගන්නා ජෝර්ජ් ගේ සබඳතාවන් බිඳ වැටෙනුයේ ඔවුන් එරටින් පිටමංව යන තැනින්ය. සරණාගතයන් වුව ද නොවුව ද සමාජය තුළ පෙනෙන මුහුණට වඩා නොපෙනෙන ආගන්තුකයන් ව සිටින මිනිස්සුන්ගේ ඉච්ඡාභංගත්වය සිනමාකරු ගොඩ නගන්නේ හීන් නූලක ගමන් විලාසයක් ඉස්මතු කරවන ව්‍යයාමයක් සිහිපත් කරවමිනි.

මෙවර යාපනය උලෙළේ දී තරගකාරී අංශය වෙන්වූයේ සිනමාකරුවෙකුගේ මුල්ම සිනමා කෘතියටයි. මෙවර එම සම්මානය දිනා ගත්තේ ප්‍රදීපන් රවීන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සවුන්ඩ්ලස් ඩාන්ස් නම් චිත්‍රපටයටයි. ප්‍රදීපන් වෙනුවෙන් මේ සම්මානය ලබා ගත්තේ මෙරට වසන ඔහුගේ මව්පිය යුවළයි. මේ චිත්‍රපටය මෙන්ම සුබා සිවකුමාරන්ගේ හවුස් ඔෆ් මයි ෆාදර් යන චිත්‍රපට යුගලම යාපනයේ උපත ලැබ වර්තමානයේ යුරෝපයේ වාසය කරන දෙදෙනෙකුගේ චිත්‍රපට විය. මේ අතරින් හවුස් ඔෆ් මයි ෆාදර්ස් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සඳහා නාමයෝජනා දිනා ගත්තේය.

ප්‍රදීපන් 1981 වසරේ ජූලි මස 12 වැනි දින යාපනයේ දී උපත ලද්දෙකි. 2009 වසරේ දී ඔහු විසින් නිර්මාණය කරන ලද අ මැන්ගෝ ට්‍රී ඉන් ද ෆ්‍රන්ට් යාඩ් කෙටි චිත්‍රපටය එවර බර්ලින් සිනමා උලෙළේ තිර ගත කළ අතර දෙවැනි කෙටි චිත්‍රපටය ෂැඩෝෂ් ඔෆ් සයිලන්ස් කාන් සිනමා උලෙළේ තිර ගත විය. ඔහුගේ මුල්ම වෘත්තාන්ත චිතපටය වනුයේ නිශ්ශබ්ද නටනම් හෙවත් සවුන්ඩ්ලස් ඩාන්ස් චිත්‍රපටයයි. වසර ගණනාවක් මුළුල්ලේ ගෙවුණු උතුරේ ත්‍රස්තවාදී යුද්ධය අවසාන සමයේ එනම් 2009 වසරේ දි සරණාගතයකුව ප්‍රංශයේ නීති විරෝධිව රැකවරණය සෙවූ ශිවා නම් තරුණයකු වටා ගෙතුණ චිත්‍රපටයකි. ඔහු තම පවුල හා සම්බන්ධවන්නට නොහැකිව ළතැවෙයි.

සුබා සිවකුමරන් ගේ හවුස් ඔෆ් මයි ෆාදර්ස් චිත්‍රපටය එකිනෙකට යාබද එහෙත් එකිනෙකා හා යුද වැදි ගම්මාන දෙකක් වටා ගෙතුණකි. මේ යුද්ධය නතර වන්නට නම් මේ ගම්මාන දෙකෙන්ම යුවළක් අසල වනාන්තරයට යා යුතුවෙයි. ඒ අනුව සිංහල තරුණයකු සහ දෙමළ තරුණියක වනාන්තර ගත වෙයි. මේ වනාන්තරය විවිධ අද්භූත කාරණා පිරි එකකි. සිනමාකරුවන් සිය ජීවිත අත්දැකීම් පරිණත ලෙස සිනමා කලාවේ සටහන් කරනු ලැබීම සුලබය. බොහෝ සැබෑ සිනමා නිර්මාණ ලෙස අප අත් විඳීනුයේ ඔවුන්ගේ ජීවිතය අත් විඳී ස්වරූපයයි.

පසුගිය සමයේ තම උපන් බිම අතහැර වෙනත් රටක පදිංචියට ගොස් තමා ලද ජීවිත හැඟිම් හා අත්දැකීම් සිනමා නිර්මාණ ලෙස දැනෙන්නට සැලැස්වූ ලොව පුරා සිනමා නිර්මාණ අපමණය. එහෙත් ලාංකික සිනමාකරුවන් දෙපළකගේ චිත්‍රපට යුගලම මා දකිනුයේ අතිශය කබල් චිත්‍රපට හැටියටය. සිනමාකරුවන් තම ජීවිත අත්දැකීම් ග්‍රහණය කරවන්නට සලස්වන ආකාරය විවිධය. එහි සිනමාකරු බිහි කරන විලාසය ඇතුළත මතු විය යුත්තේ නිර්ව්‍යාජ ආකල්පයකි. සිනමාකරුවා ලෝකයාට ප්‍රේරණය කරනුයේ එයයි. එසේ නොකොට තම අත්දැකීම් වමාරන්නට නැතහොත් මළ පහ කරවන්නට තැත් කරන්නේ නම් එය ව්‍යාජ ආත්ම ප්‍රකාශනයකි. ප්‍රදීපන් රවීන්ද්‍රන් මඳ වශයෙන් ද සුබා සිවකුමාරන් උපරිමයෙන් ද සිය නිර්මාණ හරහා කර ගෙන ඇත්තේ එයයි. එයටත් වඩා පුදුමය නම් කැමරාකරණය නාභි ගත නොවුණ රූප රාමු පද්ධතියක් කර්කශ සමාජ වටාපිටාවක් ඉස්මතු කරවන්නට තැත් කිරීමක් හැටියට ඇතැමුන්ට පෙනී යාමයි. එය වඩාත්ම දැනෙනුයේ ට්‍රාන්සිට් වැනි චිත්‍රපටයක් හා සසඳද්දිය. මේ කවර රටක වුව මානවයා මුහුණ පාන ගැටළු වල පොදු එකඟතාවක් පවතින බව අප අමතක නොකළ යුතුය.

යාපනය උලෙළේ තරගකාරි චිත්‍රපට අතර භූතානයේ චිත්‍රපටය THE RED PHALLUS නිර්මාණය කරන ලදදේ ටාශි ගිල්ට්සන් විසින්ය. මේ චිත්‍රපටය සිනමා උලෙළේ දී හඳුන්වා දෙන ලද්දේ එහි සංස්කරණ ශිල්පී සමන් ඇල්විටිගල විසින් වීම විශේෂයකි. භූතාන චිත්‍රපටයේ අධ්‍යක්ෂ භූතානයෙන් වුව නිෂ්පාදක නේපාලයෙනි. සංස්කරණය ශ්‍රී ලංකාවෙනි. බූසාන් උලෙළේ ෆ්‍රිපෙස්කි සම්මානයෙන් ද මෙම චිත්‍රපටය පුද ලැබ තිබිණ.

බංග්ලා දේශයෙන් තරග වැදුණු සින්සර්ලි යුවර්ස් ඩකා චිත්‍රපටය සිනමාකරුවන් එකොළොස් දෙනෙකු විසින් තනන ලද කෙටි චිත්‍රපට එකතුවකි. එයට පාදක වනුයේ ඩකා නගරයේ සිදුවීම්කි. පිලිපිනයෙන් තරග වැදුණු එම්.එල්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ බෙනඩික්ට් මික් විසින්ය. එය යුද නීතිය පිළිබඳ මතකාවර්ජනය මිය නොගිය එහිම ජිවත් වන පැරණි හමුදා නිලධාරියකු වටා ගෙතුණකි. පිලීපීනයේ මාකෝස් පාලන සමයේ යුද නීතිය පිළිබඳ පසුකාලිනව නිබන්ධනයක් ලියන්නට යන විශ්ව විද්‍යාල සිසුවකු වටා එය ගෙතූවකි.

කෙසේ වෙතත් මේ ලිපිය අවසන් කරන්නට මත්තෙන් තවත් විශිෂ්ට සිනමා අත්දැකීමක් ගැන ලිවිය යුතුය. ඒ අශෝක ආතාවුදහෙට්ටි නිර්මාණය කළ කන්දක් සේමා චිත්‍රපටයයි. අනෙක අශෝක හඳගම නිර්මාණය කළ කෙටි චිත්‍රපටයක් වූ ටෝකිං එබවුට් ලව් චිත්‍රපටයයි. මේ චිත්‍රපට යුගලම අපූර්වතම සිනමා අත්දැකීම් වූ බව කිව යුතුය.

ප්‍රසන්න විතානගේ සිනමා ප්‍රත්‍යාවලෝකන දැක්ම ප්‍රේක්ෂකයන්ගේ විශාල ආකර්ෂණයකට ලක්වූවක් විය. අපේ සිනමාව බිහි කළ විශිෂ්ට රංගවේදිනියක වන ස්වර්ණා මල්ලවාරච්චි යාපනය සිනමා උලෙළේ දී බුහුමන් ලැබීම එම උලෙළට ලැබුණු චමත්කාරයක් මෙන්ම ඉහළ ඇගයීමක් විය. ළිං මැඩි සිනමා බලධරීන් ඉන්නා රටක මෙබඳු සිනමා උලෙළක් පැවැත්වීමේ දුෂ්කර රාජකාරිය ඉතා මැනවින් ඉටු කරමින් හා එය ජාතික කර්තව්‍යයක් සේ සිතා කටයතු කරන අනෝමා රාජකරුණාටත් අපේ ප්‍රණාමය පුදකරමි. එයට දායක වූ හැමට පින්සිදු වේවායැයි සිනමාලෝලියකු ලෙස මම පතමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.