මේ අවදියෙන් සිටිය යුතු වෙලාවයි...

සැප්තැම්බර් 26, 2019

දිනය මීට පසළොස් වසරකට එපිට එනම් වර්ෂ 2004 සැප්තැම්බර් 30 වැනිදාය. ම විසින් දිගු කලක් පුරා රචනා කරන ලද “ශ්‍රී ලාංකේය සිනමා වංශය” ග්‍රන්ථයෙහි සෝදුපත් (ර්‍ථපධධට) බලමින් සිටි අවධියයි, ඒ. ඊට පෙර දිනයෙහි මැදියම ද ඉක්මවා නිදි වරමින් එකී කාර්යයෙහි නියැළී සිට වෙහෙසට පත් වූ මම එදින අලුයම අවදි නොවූයෙමි. හිමිදිරි පාන්දර අප නිවසෙහි දුරකථනය නාද වූයෙන් රිසීවරය එස වූයේ මා පියාණන්ය. ඇමතුවේ ගාමිණි ෆොන්සේකා සූරීන්ය.

මා අවදි වී ඉක්මනින් ලක ලැහැස්ති වී කාර්යාලයට පිටත් වීමට සැරසෙද්දී තාත්තා මෙසේ කීවේය.

“දැන් කතා කළේ ගාමිණි අන්කල්. කෝ මගේ කොල්ලා කියල පුතා ගැන ඇහුවා. මං කිව්වා ඊයේ රෑ දෙගොඩ හරියෙ වෙනකන් සිනමා වංශය පොතේ වැඩ කරල තවම නිදි කියලා. එහෙනම් පුතාට කියන්න මේ නිදා ගන්න ඕන වෙලාව නෙවෙයි. නැගිටලා ඉන්න ඕන වෙලාව කියලා කිව්වා. ගාමිණි අන්කල්ට හොඳටම හෙම්බිරිස්සාව, කට හඬත් වෙනස් වෙලා. මට දුක හිතුණා. මං කිව්වා හොඳ කොත්තමල්ලි එකක් හදාගෙන බීලා විවේක ගන්න කියලා. ග්‍රෙගරි පෙක් ලංකාවට ආපු වෙලාවෙත් හෙම්බිරිස්සාව හැදිලා කොත්තමල්ලි බීලා හොඳ වුණා කියලා මං මතක් කළා. ඔයා ඔෆිස් යන්න කලින් දැන් ගාමිණි අන්කල්ට කෝල් කරන්න.”

මම අත් ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙමි.

“දැන් ගාමිණි අන්කල්ට කෝල් කළොත් මට ඔෆිස් යන්න බැරි වේවි. මං හවස ගෙදර ඇවිත් රෑට නිදහසේ කෝල් කරන්නම් තාත්තේ” යැයි කියමින් මම ඉක්මනින් කාර්යාලයට පිටත් වූයෙමි. ගාමිණි ෆොන්සේකා සූරීන් සමඟ දුරකථනයෙන් කතා කරන්නට නම් අඩුම ගණනේ පැයක පමණවත් කාලයක් මා මිඩංගු කළ යුතුය. ඒ සෑම අවස්ථාවකදීම එතුමා මට රිසීවරය තබන්න යැයි කියා නැවත අමතන්නේ මගේ දුරකථන බිල ගැන සිතීම නිසාම පමණක් නොවේ. එතුමාට නිදහසේ මා සමඟ ස්වකීය සිතුම් පැතුම් බෙදා හදා ගැනීම ද අවැසි හෙයිනි. එතුමාගේ ජීවිතයේ අවසන් සමය වන විට තමා සමීප ලෙස ඇසුරු කළ, අතිශයින් ආදරය කළ මිතුරන් දෙතුන් දෙනාගෙන් මම ද එක් අයකු වීමි. ගාමිණි සූරීන් ලියූ කවි සංකල්පනා, ගීත කුරුටු ගෑ සැණින් මට ඇසෙන්නට කියවීම ඔහුගේ සිරිතකි. විටෙක බුදු දහමෙන් පටන් ගෙන හින්දු සමය, කිතුනු සමය හරහා අනේකවිධ දර්ශනවාද, ආගම් අරභයා කතා කරන එතුමෝ කලාව, දේශපාලනය, ජ්‍යෝතිෂ්‍යය, ආයුර්වේදය යනාදී නොයෙකුත් විෂයන්ට ඉක්බිතිව අවතීරණ වෙති. ඒ සංලාප ඔස්සේ මා ජංගම විශ්වවිද්‍යාලයකට ප්‍රවිෂ්ට වූවා වැන්න.

පෙර කී 2004 සැප්තැම්බර් 30 වැනිදා දිනය වෙත මම යළිත් මනසෙන් පිවිසෙමි. එවක මා සේවය කළේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රකාශන සංස්කාරක ලෙසිනි. දහවල අසුනට බර වී යමක් ලියමින් සිටි මට මා සේවය කළ ප්‍රචාරක අංශයේ සගයකු වු දයානන්ද රත්නසිරි සොයුරා ඉතා කලබලයෙන්, මානසික පරිපීඩිත මුහුණකින් මවෙත එනු ඈතදීම මම දුටුවෙමි. ගාමිණි සූරීන් මා සමඟ පැවති සමීප ඇසුර රත්නසිරි හොඳින් දැන සිටියේය.

“නුවන් . . . නරක ආරංචියක් . . . ගාමිණි ෆොන්සේකා මහත්තයා . . . ඔහුට කියා ගත හැකි වූයේ එපමණකි. නැගිට්ටා නොව එකවර අසුනින් මට නැගිටුණි.

එකෙණෙහිම කාර්යාලය මා වටා භ්‍රමණය වී උඩු යටි කුරු වන්නාක් මෙන් මට දැනුණි. දුරකථනය වෙත පා නැඟූ මම එතුමාගේ ජාඇළ නිවසට (2236988) ඇමතීමට උත්සාහ කළෙමි. ඒ අංකය කාර්යබහුලය. ඉක්බිති මගේ නිවසට ඇමතූ විට රිසීවරය එසවූයේ අම්මාය. “අම්මේ . . . ගාමිණි අන්කල්. . .” මට කියා ගත හැකි වූයේ එපමණකි. “පුතා කලබල නොවී ගෙදර එන්න” යැයි කියා පමණක් අම්මා පැවසුවාය.

මා මෙකල භාවිත කරන මගේ මෝටර් රථය එවක තිබුණේ නැත. එහෙයින් මා කාර්යාලයේ සිට දෛනිකව නිවසට ගියේ පොදු ජන ප්‍රවාහන සේවයෙනි. එදින මට බස් නැවතුම්පොළ ගැනවත් නිනව්වක් නොතිබුණි. “හිස ඇරුණු අත යනවා” යන්නෙන් කුමක් අදහස් වන්නේදැයි මට ප්‍රත්‍යක්ෂ වූයේ එදිනය. එලෙස ගමන් කරද්දී අසල නවතා තිබූ වාහනයකින් මගේ නම කිහිපවරක් කිසිවකු විසින් අමතන ලදුව මට ඇසිණ. ඒ මගේ පරපුරේ සුප්‍රකට පූරකයකු වූ උදිත චන්දිමාල් සොහොයුරාය. “මොකෝ මේ අවුලකින් වගේ. ඔයා දැන් ගෙදරද යන්නේ. මාත් මොරටුව පැත්තට තමයි යන්නේ. මං ඔයාට ලිෆ්ට් එකක් දෙන්නම්. ඔයාට වගේම මගේ ආච්චිටත් හරිම කනගාටුයි ගාමිණි මහත්තයාගේ වෙන්වීම ගැන” යැයි ඔහු කීවේය. උදිත සඳහන් කළේ තම ආච්චි අම්මා වූ එවක ජීවත්ව සිටි විදෙස්ගත වූ ප්‍රවීණ නිළි ශාන්ති ලේඛා මහත්මිය ගැනය. එදින උදිත මා නිවසටම ගොස් ඇරලීම ගාමිණි මහතාගේ ආශීර්වාදයෙන්ම සිදු වූවකැයි අදත් මම විශ්වාස කරමි.

ගාමිණි මහතා නිසැකවම එදින තමා මිය යන බව දැන සිටින්නට ඇත. එතුමා මගේ ජීවිතයේ ඉදිරියට තිබෙන අභියෝග කල්තියා අනාගත වක්තෘවරයකු සේ දැනුම්වත් කොට ඒවාට නොසැලී මුහුණ දිය යුතු ආකාරය ගැන ද කියා දුන්නේය.

එතුමා මිය යෑමට සතියකට පෙර ජාඇළ නිවසේ එක් පසෙක වහලය කඩා වැටීමත්, ඒ ආසන්න දිනවල රාත්‍රියේ ඔහු නිදන විට තම සමීප සුරතලා වන සුනඛයා වරින්වර එතුමාගේ යටිපතුල් ලෙවකා ඉව ඇල්ලීමෙනුත් මෙය දැනෙන්නට ඇත. ඇසට නොපෙනෙන විවිධ සියුම් බලවේග ගැන ගැඹුරු වැටහීමක් ගාමිණි මහතාට තිබූ බව දන්නේ ඔහු සමීපව ඇසුරු කළ අල්ප දෙනෙකු පමණි. එතුමා ඒ දිනවල බහුලව කතා කළේ පුනර්භවය ගැන බව මට පැවසුවේ දම්මිත්ය.

2004 සැප්තැම්බර් 30 වැනිදා උදෑසන ඔහු තමා සමීප මිතුරන් ලෙස සැලකූ අල්ප දෙනාගේ නිවෙස්වලට දුරකථන ඇමතුම් ලබා දී ඇත. ඒ අනුව අප නිවසට ද කතා කොට තාත්තා ලවා පෙර කී සදුපදේශය මට දුන්නේය. මඳ අසනීප ගතියකින් සෙම් පීඩා විඳිමින් සිටි ගාමිණි මහතා එදින දහවල් තම සමීප උපස්ථායක ජයලත් ද සමඟ දිවා ආහාර ගෙන සුරතල් සතුන්ට ද කෑම කවා පුවත්පත් රැගෙන ඒමට ජයලත්ට නියම කළේය. ඔහු පුවත්පත් රැගෙන එනවිට ගාමිණි මහතා උඩුමහලේ තම නිදන කාමරයේ සයනයේ ඇල වී දෙනෙත් පියාගෙන සිටියේය.

“සර්, මෙන්න පත්තර” යැයි කී ජයලත් එය ඇඳ මත තැබු විට ඔහු දෙනෙත් වසාගෙනම “හ්ම්” යනුවෙන් පවසා ඔහුට එතැනින් යෑමට අවසර දුන්නේය. නිසි වේලාවට අවදි නොවූ හෙයින් ජයලත් සොයා බලන විට මේ මහා කලාකරුවා නින්දෙන්ම මිය ගොස් තිබිණ. මරණයට හේතුව නින්දෙන්ම ඔහුට නොදැනී පැමිණි හෘදයාබාධයකි. (ඉඪතඥදබ ඩ්ඥචපබ ඒබබචජඬ) එක්තරා අතකින් සිතන විට මෙය බොහෝ මිනිසුන්ට ලේසියෙන් නොලැබෙන සැනසිලිදායක මරණයකි.

එතුමා මිනිස් සිංහයකු ලෙස ඉපදී එලෙසින්ම ජීවත් වී ඒ අනුවම මිය ගිය මහා කලාකරුවෙකි. ඔහුගේ “පරසතු මල්” චිත්‍රපටයේ තමාම රැඟූ බොනී මහත්තයාගේ චරිතය අවසානයේ, සයනයේ ඔහු මිය ගොස් සිටින විට දේහය අසල සමීප සේවක අමාරිස් (ඩී. ආර්. නානායක්කාර) වැලපුණාක් මෙන් ගාමිණිගේ දේහය ඉදිරිපිට ප්‍රිය උපස්ථායක ජයලත් වැලපුණේය. ජීවිතය ද එක් අතකින් සිනමාව වැන්න. නොඑසේ නම් සිනමාව ද විටෙක ජීවිතය වැන්න.

ම විසින් රචනා කොට 2004 වසරේ මුල්වරට පළ කරන ලද 2012 වසරේ යළිත් මුද්‍රණය කෙරුණු “ගාමිණි : විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා” ග්‍රන්ථය එතුමා ජීවත්ව සිටියදී මට ලබා දිය හැකි වූ උසස්ම උපහාර යැයි මම සිතමි.

මේ ග්‍රන්ථය 2004 මාර්තු 22 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්විණ. ගාමිණිගේ 68 වැනි ජන්ම දිනය (එනම් ඔහු ජීවමාන කල සැමරූ අවසන් උපන් දිනය) යෙදී තිබුණේ එදිනට පෙර (මාර්තු 21 වැනිදාය) දිනයෙහිය. ඒ නිමිති කොට ඔහුට උපහාර පිණිස “ගාමිණි ෆොන්සේකා අභිනන්දන ප්‍රණාම උලෙළ” මාර්තු 22 වැනිදා අති උත්කර්ෂවයෙන් පැවැත්විණ.

මා ලියූ ග්‍රන්ථය එළිදැක්වීමට ප්‍රථම ගාමිණි මහතාගේ බිරිය සුමිත්‍රා ෆොන්සේකා මහත්මියට හා පුත් දම්මිත් ෆොන්සේකා සොහොයුරාට මම පොරොන්දුවක් දුන්නෙමි. එනම් මේ ග්‍රන්ථයේ එක් පිටපතක් එදින උලෙළ අවසානයේ සියලු දෙනා පුදුමයට පත් කරමින් සුමිත්‍රාවන් විසින් ගාමිණි මහතාට පිරිනැමිය යුතු බවත්, මා ඊට මැදිහත් වන බවත්ය. 1983 වසරේ දිනක ගාමිණි මහතා රත්මලානේ නිවසෙන් පිට වී ගිය තැන් සිට ඔහුගේ කාමරයේ සුළු හෝ වෙනසක් සිදු නොකොට ඒ වනතෙක් පවත්වා ගෙන ගිය බවත්, යළිත් ඔහු කෙදිනක හෝ ඒ නිවසට පැමිණේ යැයි තමා අපේක්ෂාවෙන් සිටින බවත් ඇය මා හට ඒ කාමරය ද පෙන්වා පැවසුවාය. සුමිත්‍රාවන්ගේ මේ කියුම මා තුළ බලවත් සංවේගයක් ඇති කළේය. විවිධ හේතූන් මත එක් කලක දී දුරස්ථ කරන ලද මේ අඹුසැමි යුවළ යළිත් සමීප කිරීමට මගේ ග්‍රන්ථය ශක්තිමත් පාලමක් වේ යැයි මම සිතුවෙමි. එහෙත්, දෙනෝදාහක් මැද වේදිකාවේ මෙයට ගාමිණි මහතා කෙබඳු ප්‍රතිචාරයක් දක්වාවි ද යන බිය සුමිත්‍රා මහත්මියගේත් දම්මිත්ගේත් මතු නොව මා සිත තුළත් පැවතිණ. එහෙත්, චේතනාව හොඳ නම්, පවිත්‍ර නම්, තමන්ට සේම අන්‍යයන්ටත් යහපතක් වේ නම් කවර බාධකය පැමිණියත් එය තුට්ටුවකටවත් නොතකා ඉදිරියට යෑමට ආත්ම ශක්තියක් මට තිබුණි.

ගාමිණි මහතා මෙවැනි ග්‍රන්ථයක් මා ලියන බැව් දනිතත් එදින ඔහුට පිළිගන්වන තෙක් මේ ග්‍රන්ථය කෙබඳුදැයි කිසිවක් දැන සිටියේ නැත. නියමිත දිනය එළඹිණ. පොත ප්‍රකාශයට පත් කළ ප්‍රේම් දිසානායකයන් මට පිරිනැමූ මේ ග්‍රන්ථයේ මුල් පිටපත මම කලාකරුවන් වට කොට ගෙන වේදිකාවේ සිටි ගාමිණි මහතාට දෙපා නැමද ගෞරවයෙන් පිරිනැමූවෙමි. ඉනික්බිතිව වේදිකාවෙන් පහතට බැස ප්‍රේක්ෂකාගාරයෙහි සිටි සුමිත්‍රාවන්ට මගේ පොතේ පිටපතක් පිරිනමා ඇයටත් දම්මිත්ටත් වේදිකාවට ආරාධනා කළ මුත් ඔවුන් මඳක් පැකිළෙනු පෙනිණ. දම්මිත්ගේ හදවතේ ගැස්ම ද මට දැනිණ. කෙසේ හෝ ඔවුන් කැටුව මම පෙරමුණ ගතිමි. ඔවුන් සමඟ වේදිකාවට නැඟ මඳක් පසෙකට වී සිටින්නට මා ඔවුන්ට නියම කොට මේ සුවිශේෂ අවස්ථාව නිවේදනය කරන ලෙස උලෙළෙහි පූරක කාර්යයෙහි නියැළී සිටි ප්‍රවීණ රූපණවේදී ජයලත් මනෝරත්නයන්ගෙන් මම ඉල්ලා සිටියෙමි. ඔහු ඊට මැළි වූයේ මේ කාර්යයෙහිදී ගාමිණි මහතාගේ ප්‍රතිචාරය කෙබඳු වේද යන බිය ඔහු තුළ ද පැවති බැවිනි. ඉනික්බිතිව මම වේදිකාවේ සිටි ගාමිණි මහතාගේ පැරැණිතම මිතුරකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතාට මේ කරුණ පැවසීමි. ඔහු ද එක්වරම කැලඹිල්ලට පත්වනු පෙනිණ. මම දැඩි තීරණයක් ගතිමි. එනම් එහි නිවේදන කාර්යය මවිසින් ම ඉටු කළ යුතු බවය. ඊට මා සූදානම් වී මයික්‍රෆෝනය අසලට යත්ම ගමගේ මහතා මා වළක්වා ඒ කාර්යය භාර ගත්තේය. “මෙන්න දැන් සුවිශේෂ අවස්ථාවක්. ගාමිණි මහතාගේ ආදරණීය බිරිඳ සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය, නුවන් නයනජිත් කුමාර ලියූ ග්‍රන්ථය එතුමන්ට පිරිනමන අවස්ථාව.”

ඇය දම්මිත් සමඟ වේදිකාවට පිය නැඟ ගාමිණි මහතාට මගේ කෘතිය පිරිනමා (මේ එකම ග්‍රන්ථය එකම පුද්ගලයකුට දෙවරක් පිරිනැමූ අවස්ථාවකි) ඔහුගේ දෙකම්මුල් මහත් සෙනෙහසින් සිප ගත්තාය. ඊට ප්‍රතිචාර ලෙස ඔහු තමා ඇඳ සිටි කෝට් කමිසයේ පැලඳි රෝස මල ගලවා ඇයට දී ඉක්බිතිව මගේ පොත අත් දෙකෙන් ඔසවා ප්‍රේක්ෂකාගාරයට පෙන්වීය. මෙය උලෙළට සහභාගි වූ කොයි කාටත් අතිශය සංවේදී හැඟීම් දනවන දර්ශනයක් මැ විය. මම ජය ගතිමි. චේතනාව යහපත් වූ පරිදි ප්‍රතිඵලය ද යහපත් විය.

ඉතිරි කොටස ලබන සතියට...

Add new comment