ලංකා TV අන්දරය

රූපවාහිනී ඉතිහාසයේ මූසලම
ඔක්තෝබර් 3, 2019

1987 ඔක්තෝම්බර් මස 05 වන දින ඒ මූසල රාත්‍රිය එළඹී තිබිණ. උදේ සිට රූපගත කිරීම් කටයුතුවල නියැළී සිට රූපවාහිනී කණ්ඩායම ඇඟපත සෝදාගෙන විවේක ගැනීමට හමුදා කඳවුර වෙතට පැමිණ සිටියේය. අඳුරු රාත්‍රියේ විග්නේෂ්වරන්ගේ ඉල්ලීම මත ඔහුව ඇරලීම සඳහා ඔහුගේ නිවෙස පිහිටා තිබූ කන්කසන්තුරය – යාපනය මාර්ගයේ මයිලඩි හන්දිය බලා රියදුරු කරුණාපාල වෑන් රථය පදවමින් සිටියේය. මතුව තිබූ භීෂණකාරී වාතාවරණය යටතේ තම සහෝදර රියැදුරු කරුණාපාලව තනි කිරීමට ඉංජිනේරු රේණුක සහ සෙසු සගයන්ගේ සිත් ඉඩ දුන්නේ නැත. ප්‍රින්ස් සහ රන්ජන් නවාතැනෙහි නැවතී ඇත්තේ ඔවුනට පැවරී තිබූ දෛනික රාජකාරී කටයුත්ත ඒ වනවිට නිමා වී නොතිබූ බැවිනි. විග්නේෂ්වරන්ව ඔහුගේ නිවෙසට බස්සවා වාහනය නැවත හමුදා කඳවුර වෙත ධාවනය වෙමින් තිබිණි. එකවරම වාහනය එන පෙරමඟට කඩාවැදුණු ත්‍රස්තවාදීහු රූපවාහිනී කණ්ඩායමේ එක් එක් සාමාජිකයින් වාහනයෙන් බිමට බස්සවා, අසල තිබූ කැලෑ රොදට ඇදගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළහ. සියලුම සාමාජිකයින් ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණි ජාතික රූපවාහිනියට අයත් වෑන් රථය ත්‍රස්තවාදීන් විසින් පැහැර ගෙන යන ලදී. පසු කලෙකදී එම වෑන් රථය ප්‍රභාකරන්ගේ පරිවාර රථයක් වශයෙන් පාවිච්චි කර ඇත්තේ එහි තිබූ සුවිශේෂ ගුණාංගයන් සහ නව්‍යතාවය හේතුවෙන් විය හැක.

පෙර පිනක් පළ දෙමින් දෝ රන්ජන් සහ ප්‍රින්ස් මරණයෙන් බේරුණු අතර, ඔවුහු අද දවසේ ද ජාතික රූපවාහිනියේ රාජකාරි කටයුතුවල නියැළෙති. රේණුක, ගාමිණී, නිලන්ත සහ කරුණාපාල යන සිව් දෙනාම දරිද්‍රතාවයෙන් පෙළුණු පවුල්වලින් පැමිණි අය වූහ. මොවුන් පිළිබඳව ජාතික රූපවාහිනිය වෙනුවෙන් කරන ලද වාර්තා වැඩසටහන නිර්මාණය කිරීමට ලියුම්කරුට සිදුවූ බැවින්, ඔවුනගේ පවුල් පසුබිම පිළිබඳව නිසි අධ්‍යයනයක් කිරීමට ද ඒ තුළින් හැකි විය. ගුරුවරුන් දෙපළක් වූ රේණුකගේ දෙමව්පියෝ ඔහු නැති සොවින්ම ඉතා කෙටි කලකදී ජීවිතයෙන් සමුගත්හ. මේ ශෝචනීය සිද්ධියත් සමඟම විග්නේෂ්වරන් රාජකාරී කටයුතු සඳහා නැවත රූපවාහිනියට වාර්තා නොකළේය. ඔහු පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ ප්‍රවීණ රූපවාහිනී කණ්ඩායමක ඝාතනය පිළිබඳව අප නොදත් තොරතුරු රැසක් ඓතිහාසිකව ශේෂ කරමිනි.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.