දිනමිණේ දර්ශගේ සිතුවම් දැක්ම

ඔක්තෝබර් 3, 2019

දශක 02 කට අධික කාලයක් පුවත්පත්කලාව සමඟ චිත්‍ර ශිල්පියෙකු, ලේඛකයෙකු ලෙස කටයුතු කළ දර්ශ කපුගේ විසින් පවත්වනු ලබන සිතුවම් සහ පුවත්පත් කාටුන් දැක්ම ‘දර්ශගේ සිත්තම්‘ නමින් ඔක්තෝබර් 08 සහ 09 යන දෙදින පානදුර නගර ශාලාවේදී පැවැත්වෙයි. ලේක්හවුස් ආයතනයෙන් නිකුත්වන ‘දිනමිණ‘ සහ ‘සිළුමිණ‘ පුවත්පත්හි කාටුන් ශිල්පියෙකු‍, චිත්‍ර ශිල්පියෙකු‍, ලේඛකයෙකු ලෙසද කටයුතු කරන දර්ශ එම කාටුන් නිර්මාණද සමඟ දශක දෙකකට අධික කාලයක් පුවත්පත් සඳහා නිර්මාණය කළ චිත්‍ර අතරින් තෝරාගත් සිතුවම් සහ වෙනත් මාධ්‍යද භාවිතා කරමින් ඇඳී සිතුවම් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙයි. එදිනම ඔහුගේ නමින් නිළ වෙබ් අඩවියද විවෘත වීම සිදුවෙයි. මේ ඒ පිළිබඳ සහ ඔහුගේ කලා ජීවිතය පිළිබඳ දැක්වූ අදහස් කිහිපයකි.

මම ඉගෙන ගත්තේ ඇල්පිටිය ආනන්ද විදුහලෙන්. පාසල් යන අවදියේ සිටම මා චිත්‍ර ශිල්පයට දස්කම් දැක්වුවා. ඒ නිසාම පාසලේත් ප්‍රදේශයේත් විවිධ කලාකටයුතු වලට කුඩා කළ සිටම මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

පාසල් අවධියේදීම එක දවසේ චිත්‍ර කතා 02 ක් 1989 වසරේදී පමණ ‘රැජින‘ කාන්තා පුවත්පතෙහි පළවුණා. එය තමයි පුවත්පතක මගේ නිර්මාණයක් මුලින්ම පළවීම. පුවත්පත් කලාවේදී තිලක් සේනාසිංහ මහතා එයට මට උදව් කළා. එයින් මගේ විශ්වාසය සහ උවමනාව තවත් වැඩිවුණා. ඒ නිසාම ඒ අවධියේදීම ‘රස‘ සිනමා පුවත්පතෙහි නළු නිළියන්ගේ රුව සිතුවමට නගා පළකරවාගන්නට මා හට අවස්ථාව ලැබුණා.ඒ 1991 වසරේදී. එම විශේෂාංගය හරි ජනප්‍රිය වුණා. එහි කර්තෘ වුණු අර්නස්ට් වඩුගේ මහතාගේ උදව් ඇතිව මට එම ප්‍රකාශන ආයතනයෙහි චිත්‍ර ශිල්පියෙකු ලෙස පූර්ණකාලීනව සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා. 

එයින් ප්‍රකාශයට පත්වුණු ‘සුවඳ‘ යොවුන් පුවත්පතෙහි ‘සුලෝචනා‘ නමින් චිත්‍ර කතාවක් අඳීන්න අවස්ථාව ලැබුණා. 1992- 1993 වගේ කාලයකදි.එය තරුණ තරුණියන් අතර බොහෝ සේ ජනප්‍රිය වුණා. මට චිත්‍රශිල්පියෙකු ලෙස එයින් නමක් හදාගන්න පුළුවන් වුණා. ඉන් පසු ‘ජීවිතය‘ පුවත්පතටත්, මෑත කාලීනව නිකුත් වුණු ‘ඉරිදා සියදෙස‘ පුවත්පතටත් මා චිත්‍ර කතා නිර්මාණය කළ අතරම පුවත්පත් සඳහා ලේඛකයෙකු ලෙසත් කටයුතු කළා. ‘රස‘ ප්‍රකාශන ආයතයෙහි වසර 10 ක් පමණ සේවය කර ඉන් ඉවත්වී පසුකාලීනව විවිධ පුවත්පත් හා සම්බන්ධවී වැඩ කළා.

මුල් කාලයේ කාටුන් ශිල්පියෙකු වන්නට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මා තුළ තිබූ එම හැකියාව වඩාත් මතුකරගන්නට මට හැකියාව ලැබුණා. කොහොමත් ලැබුණු ඕනෑම දෙයක් කෙටිකලකින් ග්‍රහණය කරගැනීමේ හැකියාව මට තිබුණා. මේ නිසාම මා නිර්මාණය කළ කාටුන් සමාජය තුළ ඉක්මනින් ජනප්‍රිය වුණා. පසුකාලීනව ‘දිනමිණ‘ පුවත්පතෙහි ප්‍රධාන කාටුන් ශිල්පියා වන්නට මට හැකියාව ලැබුණා. ‘සිළුමිණ‘ පුවත්පතෙහිද දේශපාලනඥයන් කාටුන් ලෙස සිතුවම් කරන්නට මට අවස්ථාව ලැබුණා. මෙයින් වඩාත් පාඨකයා අතරට යන්නට මට හැකියාව ලැබුණා.

දීර්ඝ කාලයක් මා සිතේ තිබුණු සිහිනයක මල්පල ගැන්වීමක් තමයි මගේ‘ දර්ශගේ සිත්තම්‘ සිතුවම් දැක්ම. මෙහිදී මා පුවත්පත් සදහා නිර්මාණය කරන ලද සිතුවම් වගේම කාටුන් නිර්මාණ සමග වෙනත් චිත්‍ර ඉදිරිපත් කරනවා. ඒ ඔක්තෝබර් මස 08 සහ 09 දෙදින පානදුර පුරහලේදීය. පෙරවරු 9.30 සිට රාත්‍රී 9.30 දක්වා මෙය පැවැත්වෙනවා. තෙල් සායම්, ඇක්‍රිලික්, දිය සායම්, පැස්ටල් වැනි විවිධ මාධ්‍ය මෙහිදී භාවිතා කළා. සම්පූර්ණ සිතුවම් 250 කට වැඩි එකතුවක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙනවා. එක් මාධ්‍යකට සහ රාමුවකට සීමා නොවී, විවිධාංගයෙන් යුතු නිර්මාණ විශාල ප්‍රමාණයක් ඇතුළත් වීම මේ ප්‍රදර්ශනය නැරඹීමට එන අයට අලුත් අත්දැකීමක් වෙයි. මෙය සාර්ථක කරගැනීමට පානදුර වත්මන් නගරාධිපති නන්දන ගුණතිලක මහතා මා හට විශේෂ සහයෝගයක් ලබාදෙනවා.

ඔක්තොබර් 08 වැනි දිනම මාගේ නමින් නිල වෙබ් අඩවියක් විවෘත වීමක්ද සිදුවෙනවා. මේ හරහා ඉන් පසු මගේ හැකියාව සමග ලෝකය පුරා වඩාත් පුළුල්ව විකාශය කරන්නට මා බලාපොරොත්තු වෙනවා. චිත්‍ර ශිල්පියෙකු ලෙස වඩාත් අත්දැකීම් ලබමින් මගේ හැකියාව අන්තර්ජාතික මට්ටමට රැගෙන යාම මගේ ඊළඟ ඉලක්කයයි.

Comments

සුමිත් ජයන්ත ඩයස් (තහවුරු වී නොමැත)
දර්ශ කපුගේ කියන්නෙ දක්‍ෂයෙක්...!!! මා ඔහුට සුභ පතමි...!!!
සෙන, 10/05/2019 - 23:53

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.