මල් විසීරිලා වගේ තාරකා සිරී

ඔක්තෝබර් 3, 2019

මල්වින්න වලව්වෙන් අසාධාරණයක් සිදුවුනා නම් සිදුවුණේ කුමාරි මල්වින්නට පමණක් යැයි, මුලදී සිතුනද, එය වැරදිය. නන්දන පමණක් නොව, නන්දනගෙ සොහොයුරු පාලිතට හා ඔහුගේ බිරිඳ වූ අනුලාටද එම අසාධරණය එකිනෙකාට වෙනස් අන්දමට සිදුවී තිබුණි. නමුත් කුමාරිට මුහුණ පාන්නට සිදුවූයේ අන් අයට වඩා සංකීර්ණ වූ සිදුවීම් මාලාවකටය. සියල්ලෝම සිතුවේ කුමාරි මේ කිසිවක් නොදන්නා බවකි. එහෙත් එක් අවස්ථාවකදී ඇය පැවසූ අන්දමට, මේ සියල්ලම ඇය දැනගෙන තිබුණේ ඇයට වයස අව්රුදු 10 ක් පමණ වන විටය.

තිස්ස අබේසේකර හරිම සූක්ෂම ලෙස තම තිරනාටකය හරහා කුමාරි හා නන්දන මල්වින්නගේ ඇතුළන්තයට රිංගා ගත්තද, ඔහු ඒවා එකවරම එළියට දැම්මේ නැත. පටලන්නට උවමනා වූ හැම තැනකම ඔහු මුලින්ම පටලා දැමීය.ඒ පැටලීම් ටිකෙන් ටික ගලවන්නට තිස්ස විසින් දැමූ චරිතයයි නන්දන මල්වින්න.

නන්දන අව්රුදු 20ක්ම එංගලන්තයේ පදිංචි වී සිට ලංකාවට එන අවස්ථාවකිනි තිස්ස අබේසේකර ගේ 'මහ ගෙදර' චිත්‍රපටය පටන් ගැනුණේ.

මහ ගෙදර පදිංචිව සිටින එකිනෙකා අප හඳුනා ගන්නේද නන්දන මහගෙදරට පය ගැසූ වේලාවේදීය. නන්දනගේ මවවූ මල්වින්න කුමාරිහාමි, ඔහුගේ අයියා පාලිත,ඔහුගේ බිරිඳ අනුලා, ⁣නන්දනගේ නැගෙණිය කුමාරි පමණක් නොව අද්භූත චරිතයක් වූ අප්පුහාමිද එලෙස අප හඳුනා ගත් අයය.

දැන් අපට ඕනා වෙන්නේ මේ මුහුණවල් තුළ සැගවී තිබෙන අද්භූත පෙනුමේ අර්ථයන් සොයා ගැන්මටය. ඒවා සොයන්නට පැමිණි නන්දන මල්වින්නගේ මුහුණේද මේ අද්භූත පෙණුම තිබුණි.

නන්දනගේ පැමිණීම , කුමාරිට විශාල ලෙස සතුටුවීමට නම් කාරණයක් නොවීය. තම අයියා අවුරුදු 20කට පසු දැකීමේ ආශාව හැරෙන්නට වෙනයම් ප්‍රීතියක් ඇයට නොවීය. ඇයට ඊට වඩා දේවල් ගැන සිතන්නට තිබුණි.

තිස්ස අබේසේකර තම තිරනාටකය මගින් මොවුන් තුලට රිංගවූ ගුප්ත බව, පිටාරය ගලන්නට ඉඩ හැරියේ ප්‍රේමසිරි හරහාය. ප්‍රේමසිරි අසහනාකාරි පන්තියක එක් පුරුකක් විය. එහෙයින්දෝ ඔහු විමුක්ති අරගලයකට සම්බන්ධ වී එය මෙහෙයවන්නෙක් ද විය. තිස්සට ඕනවූයේ 'ටෙරරිසම්' තුළින් තම කථාව ව්‍යාප්ත කිරීමය. ඔහු ප්‍රේමසිරි හා කුමාරිව එයට සම්බන්ධ කර ගත්තේ ඒ නිසාය. එහෙත් කුමාරි මෙ⁣ම ආණ්ඩූ විරෝධි කණ්ඩායමට සම්බන්ධ බවක් චිත්‍රපටයේ කොතැනකවත් පෙන්වන්නේ නැත. ඇය කරන එකම වරද එම විමුක්ති අරගලය මෙහෙයවන එක් නායකයෙකු වූ ප්‍රේමසිරි ගේ ප්‍රේමවන්තියක් වීම පමණි.

මල්වින්න වලව්වේ කුමාරි මල්වින්න, වලව්ව වත්තේ පොල්කඩන අන්දි⁣රිස්ගේ පුතා සමඟ පෙම් කෙලින්නේ 'සෙක්ස්' වලට පමණක් යැයි මුලදී සිතන්නට අබේසේකර ප්‍රේක්ෂකයන්ව පෙළඹුවේය.

එය පැහැදිලිවූයේ නන්දන රට ඉදන් ආ දවසේ රැයේම කුමාරි ,ප්‍රේමසිරි ව වලව්වට ගෙන්වාගෙන ඉස්තෝප්පුවේ පුටු ඇන්දේ ඉඳගෙන මුහුණ සිඹීමෙන්ය. එය මාට්ටු වෙන්නේ අප්පුහාමිටය. අප්පුහාමි මරාවේශවී ප්‍රේමසිරි සමඟ ගෝරියට පැටලෙන විටය එය නන්දන දකින්නේ. හැම පැටලීමක්ම තමන්ට විසදිය හැකියයි නන්දන මුලින් සිතුවද, මුන් නන්දනවත් අබිබවා බොහෝ දුර ගොස් ඇති බවත්, ඔහුට මේවා විසඳනවා තබා, ඇගිල්ලක්වත් ගැසීමට මුන් ටික ඉඩ තබා නැති බවක් නන්දනට තේරුණේ මෙම සිදුවීමෙන් පසු ඔහු ප්‍රේමසිරිට අවවාදයක් දෙන්නට හදන විට⁣ය.

'ඔය කරපු දේ වැරදියි කියලා මං කියන්නෙ නැහැ. ඒත් ඒක කරනකොට ශීලාචාර විදියට කෙරෙන්න ඕනා'

කුමාරිගේ මූණ ප්‍රේමසිරි විසින් සිප ගැනීමේ සිද්ධියට නන්දන එසේ කීවද,

ප්‍රේමසිරි ඇසුවේ වලව්වෙ අප්පලා, පුතාල ගමේ ගෑනුන්ගෙ ගෙවල් වලට ගිහිං වල් වැඩ කරන කොට ඒවා ශීලාචාරද කියාය.

"වලව්වෙ අප්පලා පුතාලා ගමේ ගෙවල්වලට ගිහිං ගෑනුත් එක්ක සංවාසෙ යෙදුනේ කාමර ඇතුලේ. නැතිව කාටත් පේන්න ඉස්තෝප්පුවල නෙවෙයි.'

නන්දන එසේ කීමෙන් ප්‍රේමසිරි මෙල්ල විය. එතැනදී පෙනුණේද වලව්වේ අප්පුලා හා පොල් කඩන මිනිසාගේ පුතාගේ වෙනසය.

තිස්ස අබේසේකර⁣ තෝරා ගත් චරිත කීපය අභ්‍යන්තරව අධ්‍යනය කළහොත් මේ හැම කෙනාටම බලපෑ තිබුණේ වලව්වේ මහ ළමාතැනිගේ අනිසි ලිංගීක සම්බන්ධකමය. නමුත් තිස්ස මුලින්ම අපට පෙන්වන්නේ වලව්වෙ හාමුවූ ඩැනියෙල් මල්වින්නගේ වලත්ත කම්ය. ඔහු පුතාට කාර් රථයේ සිටින්නට කියා කැලේ පාර දිගේ ගොස් රිංගන්නේ හොර අඹුවකගේ නිවසකටය. පොඩි කොලුවාද ඇට්ටරයෙකි. කාර් එකට වී සිටින්නට කීවාට, ඌ ද කාර් එකේ සිට නලියෑවේ, අප්පච්චි හොරාට මාරු වුණේ මොනවාටදැයි කියා දැනගන්නටය. අප්පච්චි හොර අඹුවගෙන් සමුගන්නා අන්දම කුඩා කොලු පැටියා හැංගී බලා සිටියේය. අවසානයේ එම සිදුවීම්ද ඩැනියල්ගේ මරණයට හේතුවක් විය.

ඩැනියල් කිසිවෙකු විසින් මරනු ලැබුවා යැයි ⁣සිතුවිල්ලක් මතුකෙරුවද, එය ඔප්පු කිරීමට නොහැකි විය. හේතුව ඩැනියල් මිය යන විට ඔහුගේ මිනිය තිබුණේ බාල්කේ ලණුවකින් එල්ලීය. එහෙයින් ඔහු සිය දිවි හානි කරගත්තා යැයි පිළිගන්නට සිදුවිය.

පාලිත යනු මහගෙදර පවුලේ වැඩිමහල් පුත්‍රයාය. පාලිත අනුලා හා විවාහ වී සිටියද ඔහු තදින්ම බීමට ඇබ්බැහී වී සිටියේය. එයට හේතුව ලෙස අබේසේකර පෙන්නුවේ, මහගෙදර තුල සිදුවුනු ගුප්ත සිදුවීම් සියල්ල ඔහු දන්නා බවකි. නමුත් ඒ කිසිවකට ඔහු ක්‍රියා මාර්ගයන් නොගෙන ඔහේ බිබී සිටින්නේය. ගෙදරට නයෙක් එන බව කීමත්, එම නයා කිසිවෙකුට හිංසා නොකරන බව කීමත්, ඒ නයා තමාගේ මිය ගිය පියා බව කීමත් තුළින් අබේසේකර අර සිංහල පැරණි වලවිවල තියෙන සම්ප්‍රදායි බොළද කථා ඈදා ගනියි.

අනුලා, පියානෝවාදිකාවියක් බව අපට අඟවයි. එලෙසම කුමාරි හැරෙන්නට ඒ ගෙදර සියල්ලම සංගීතයට ලැදී ගී ගැයීමට හැකි අය බව අපට පෙන්වයි. උමතුවෙන් මෙන් කාමරයකට කොටුවුනු ළමා තැනීද, අනුලාගේ ගීය අසා එතැනට පැමිණ ඒ ගීයට හවුල් වෙන්නේ ඉස්සර දක්ෂ ගායිකාවක් බව හඟවමිනි.

"නිල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා

නිල් නෙළුම් නිදා වැටෙයි
මානෙල් මල් පිපේ 
ස්සනයි පුරා හඳේ 
රැස් විහිදිලා"

චිත්‍රපටයේ සතුටින් සිටින එකම රූපරාමුව මෙය විය. පවුලේ මව සහ පුතුන් දෙදෙනා හා ලේලිය එකට එකතු වුණද, අබේසේකර කුමාරිව එතැනට එකතු නොකරන්න තිබුණු හේතුව ප්‍රේක්ෂකයන්ට වැටහෙන්නේ පසුවය.

'මගේ කන්‍යභාවය නැතිවුණේ මං ඉස්කෝලෙ යන කාලෙමයි' කුමාරි කිසිදු ලැජ්ජාවකින්, තොරවය ප්‍රේමසිරිට කියන්නෙ.

එහෙත් නන්දන විසින් ප්‍රේමසිරි කුමාරිව විවාහ කරගන්නට කැමතිද කියා අසන විට ප්‍රේමසිරි කියන්නෙ කුමාරි තමාට ආදරය නොකරන බවත්, ඇයට අවශ්‍ය තමා වැනි පොල් කඩන මිනිසෙකුගේ පුතෙක් සමඟ යහළුවී තම මවට, හා අප්පුහාමිට රිඳවන්නට බවය.

එක් අතකට එය ඇත්තක් විය හැකියැයි සිතෙන්නෙ කුමාරි ගේ කාමරයේ තිබූ එල්විස් ප්‍රෙස්ලිගේ පෝස්ටර් දකින විටය. නිසැකයෙන්ම ඇය එල්විස් ප්‍රෙස්ලි⁣ රසිකාවියක් විය . එහෙව් චරිතයක් වත්තෙ පොල් කඩන මිනිහෙකුගෙ පුතෙක් සමඟ පෙම් කෙළියිද?.

කුමාරි හා විවාහ වෙනවාදැයි නන්දන අසන විට තමාට හරි හමන් රැකියාවක් නැතිබවත්, තමා රැකියාවක් කිරීමට බලාපොරොත්තුන් නැති බවක් ප්‍රේමසිරි කියන විට නන්දන තුෂ්නිම්භූත විය.

තමා කන්‍යභාවය කෙ⁣ළෙසගත් කෙනෙකැයි කියා ප්‍රේමසිරිට තමා හා සංවාසයේ යෙදීමට පහසු කෙරුවද, ඇය කන්‍යාවියක්යැයි, ප්‍රේමසිරි දැන ගත්තේ ඇය සමඟ සංවාසයේ යෙදුණු පසුවය. තමා බොරු කීවේ තමාට ප්‍රේමසිරි සමඟ ශරීරීක සම්බන්ධතාවක් ගෙන යෑමට අවශ්‍ය නිසා බව කී ඇය, ඔහුට ඇත්තටම ආදරය කරන බවක් කීවේ එතෙක් ප්‍රේමසිරි සිතා සිටි සිතුවිලි සුනු විසුණු කරමිනි.

කුමාරි ගෙදර මුරට සිටින අප්පුහාමිට දාව වලව්වෙ ළමාතැනීට ඉපදුණු දියණියක් බව හෙළි කරන්නේ අව්රුදු 20ක් එංගලන්තයේ සිට පැමිණි නන්දනය. එය මෙතෙක් සැඟවුණු විශාල රහසක් එළි කෙරුවාක් ලෙසය නන්දන කීවේ. එහෙත් එම සිදුවීම කුමාරි දැනගත්තේ තමාට අවුරුදු 10දී බව කුමාරි කී පසුවය නන්දනට දැනු⁣ණේ තමා දන්නේ මොනවාද කියා. තම මව මුරකරු සමඟ අනිසි සම්බන්ධයක් පවත්වාගෙන ගියේ තම පියා ගමේ වෙනත් ගැහැනුන් අස්සේ රිංගන නිසා විය හැකි බව කුඩා කල සිටම නන්දනට වැටහී තිබුණි. එහෙත් තාත්තා වැරදි කෙරුවට අම්මා වැරදි කළ යුතු නැතැයි තාත්තා සිතූ නිසා, ඔහු අම්මාට නිතරම ගුටිබැට දෙන්නට විය.

අනුලාට පාලිතගෙන් නොලැබුණු ළෙන්ගතු කම නන්දනගෙන් ලැබෙන ඉඟියක් අබේසේකර අපට පෙන්වන්නේ අනුලාගෙ අත උඩින් නන්දනගේ අත තබමිනි.

කිසිවකට නොකියන කථාවක් නන්දන විසින් අනුලාට කියන්නේ ඇයිදැයි එක්වරම නොවැටහේ. අන් අතකට එම කථාව මේ සුරංගනා කථාවක් ⁣හෝ ප්‍රේම කථාවක් හෝ නොවේ. ඉතාමත් භයානක ක්‍රිමිනෙල් කථාවකි. මහගෙදර චිත්‍රපටයේ උච්චතම ජවනිකාව එය වේ.

ඒ තම පියා වූ ඩැනියෙල් මල්වින්න සිය දිවි නසා ගත්තා නොව, නන්දන විසින් කුඩාකාලයේදී තම මවගේ කීමට පියාගේ බීම වීදුරුවට වසදී මැරූ බවකි. මෙම මිනීමැරුම පොඩි නන්දන ලවා කරවීමට මුල් හවුල්කරු වී ඇත්තේ අප්පුහාමිය. වස පෙවුණු ඩැනියල්ගේ මිනිය, තමා විසින් ගෙල වැලදා ගත් සිය දිවි හානි කරගැන්මක් ලෙස පරිවර්තනය කළේ අප්පුහාමිය. ඔහු එම මල සිරුර ඇදගෙන ගොස් බාල්කෙ ලණුවක් බැද, මැරුණු ඩැනියෙල්ගේ බෙල්ල එම ලණුවේ එල්ලා එය එල්ලී මැරුණු ලෙස නිර්මාණය කළේය.

ආණ්ඩු විරෝධි කැරැල්ලේ සටන මෙන්ම රජය විසින් එය මැඩපවත්වන ආකාරය, අබේසේකර විසින් පෙන්වූයේ අවස්ථා කීපයකින්ය. ප්‍රේමසිරි අතුරුදහන් කරවීම, කුමාරිව සොයා යුධ හමුදාව මල්වින්න වලව්වට පැමිණීම, මෙන්ම නන්දනව ක⁣ට උත්තරයක් ගැනීම සදහා පොලීසියට රැගෙන යාම, වැනි සිදුවීම් තුළින් අබේසේකර මේ කැරැල්ලේ ක්‍රියා කාරිත්වයත්වය පෙන්වීය.

කැරැල්ලත් සමඟම මල්වින්න වලව්වට අතීශයින්ම නරක දසාවක් ලබන්නට විය. කුමාරි ගඟට පැන දිවි නසා ගැන්මෙන් එය ඇරඹිණි. කුමාරි දිවි නසා ගැන්මට නිශ්චිත හේතුව දන්නේ නම් කුමාරිම පමණි. එහෙත් අබේසේකර අපට ඒත්තු ගැන්වූයේ, ඇය, ප්‍රේමසිරි අතුරුදහන් වූ නිසා ,හෝ පොලිසිය ,යුද්ධ හමුදාව ඇයත් ත්‍රස්තවාදි කල්ලියේ කෙනෙක් කියා සිතා ඇය පසුපස එළවීම, නැත්නම් ඇය වලව්වේ කුමාරිහාමිගේ කුසෙන් ඉපදුනේ එහි මුරකරුට දාවා නිසාද යැයිද, ඉන් අතරින් ඕනෑම දෙයක් තෝරා ගැන්මට අබේසේකර අපට ඉඩදුණි. එහෙත් අපට තේරුම් ගිය අන්දමට නම් ඔය කිසිදු හේතුවකට නොවේය කුමාරි දිවි හානී කර ගත්තේ.

නන්දන මිය යන්නේ ඔහුගේම මවගේ පිහි පහරවල් වලට ගොදුරුවීය. මව සත්තකටම උමතු යැයි අපිට හැඟෙන්නේ එවිටය. පියාගේ මිනිවල ළඟ වික්ශෝප වෙන නන්දනව එතැනට පිහියක් අමෝරාගෙන උමතුවෙන් එන ඔහුගේ මවට පේන්නේ තම සැමියාවූ ඩැනියල් ලෙසය. එක පාරක් නන්දනට කියා මරා දැමූ ඩැනියෙල්ව නැවත මැරූවේ කුමාරිහාමිගේ උමතුවය. නමුත් සත්‍ය ලෝකය තුළදී එයට ගොදුරු වූයේ නන්දනවය.

තිස්ස අබේසේකර මේ කථාන්තරය ඛේදවාචකයන්ට හරවමින් අර ගුප්ත චරිත වල යථාර්ථය පෙන්විය. ත්‍රස්තවාදින් අප්පුහාමිව ගෙන ගොස් වෙඩි තියා මැරුවේ ප්‍රේමසිරි ගැන හමුදාවට ඔත්තු දුන්නේ අප්පුහාමි යැයි සිතාය. ඒ කෙසේ වෙතත් මහගෙදර නැවත ගොඩ නැගෙන්නේ පාලිත හා අනුලා තුලින්ය.

විශිෂ්ඨ තිර රචනයක් ලියා මනා සැලසුමකින් තිස්ස අබේසේකර 'මහගෙදර' නම් වූ තම නිර්මාණය ඉදිරිපත් කර තිබුණි. විජය කුමාරණතුංග ගේ දක්ෂතම රඟපෑමක් මහගෙදර තුළින් දැක ගත හැකිවිය. ඔහු මනා සංයමයකිනි එහී රඟපා තිබුණේ. එමෙන්ම ගීතා කුමාරසිංහ තම රංගන ජීවිතයේ කළ උසස්ම රඟපෑම මේ කුමාරි මල්වින්නගේ චරිතයයි. සෝමලතා සුබසිංහගේ රඟපෑම් තුළ බොහෝ විට පෙනුණේ නාට්‍යමය ස්වරූපයකි. ශ්‍රියාණි අමරසේන සුපුරුදු අහිංසකාවමය. ධම්ම ජාගොඩව, ප්‍රේමවන්තයෙක් සේ දැණුනේ නැත, කැරලි නායකයෙක් ලෙසද දැණුනේද නැත. දයා අල්විස් රවනවා, ගොරවනවාය. කැරලි සංවිධානයේ සාමාජිකයෝ හරියට මැක්ඩොනල්ඩ් එකේ ඉස්සරහා ඉන්න ජිම් පප්පලා වගේය. තිස්ස අබේසේකරගේ අධ්‍යක්ෂණය, තිරනාටකය හා දෙබස් දැනුණා මිස පාලිත ලෙස කළ රඟපෑම නම් දැනුණා මදිය.

'මහගෙදර' කථාවට අනූකූලවූ ගුප්ත බව

කැමරාව හා සංගීතය තුළින් හරි අපූරුවට මවා පා තිබුණි. 'මහ ගෙදර' 1983 වසරේ 'සරසවිය' සමිමාන කීපයකටම හිමිකම් කීවේය. එහිදී 'හොඳම චිත්‍රපටය හා හොඳම අධ්‍යක්ෂණය හිමිවූයේ 'මහ ගෙදරටය'. එම වසරේ ජනාධිපති සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබූවෙිද 'මහ ගෙදරය'. තිස්ස අබේසේකර හොඳම තිර රචකයා හා ගීතා කුමාරසිංහ හොඳම සහය නිළිය ලෙස සම්මාන ලැබුවේ 'මහගෙදර' චිත්‍රපටය වෙනුවෙනි.

චන්ද්‍රසිරි ගනේගොඩ විසින් නිෂ්පාදනය කළ "මහ ගෙදර", 1982 ජනවාරි 29වනදා සිට තිරගත කිරීම ආරම්භ කළේය.

"මල් විසීරිලා වගේ
තාරකා සිරී
ලස්සනයි පුරා සඳේ
රැස් විහිදිලා"

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ) 
ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.