සක්විති නික්ම ගිහින් අසුන එලෙසින්මය...

ඔක්තෝබර් 3, 2019

ගාමිණි මහතා ස්වකීය අභිනන්දන උලෙළේදී පැවැත් වූ ආන්දෝලනාත්මක දේශනයේ දී (මෙය එතුමාගේ අවසන් දේශනය විය) මා ගැන කළ ඇගැයීම මගේ ඉදිරි ගමනට ඉමහත් ආශීර්වාදයක් විය. උපහාර උලෙළ සාර්ථකව නිම වී දෙසතියක් ගත විය. කිසිදු ඇමතුමක් ගාමිණි මහතාගෙන් මට ලැබුණේ නැත. මගේ කෘතිය ගැන ඔහුගේ මතය කෙබඳුදැයි දැන ගැනීමට මම නොඉවසිල්ලෙන් බලා සිටියෙමි. අපේක්ෂා කළ පරිදිම දිනක් ඔහු දුරකථනයෙන් මා ඇමතුවේය.

“තමා මේ පොතෙන් කර තිබෙන්නේ සුළුපටු දෙයක් නොවේ. මිනිසෙක් අශ්වයෙක් පිට නැඟලා විශාල උස ගේට්ටුවකින් ඒ අශ්වයා සමඟ උගේ කකුල් හතර ගේට්ටුවේ නොවැදී උඩින් සාර්ථකව අනෙක් පැත්තට පැන්නාක් වැනි දෙයක් මේක. මේ පොතේ තමා මා ගැන දරන අලුත් මතය (ගාමිණි ආසියානු සිනමාවට යථාර්ථවාදී රූපණය හඳුන්වා දුන් පුරෝගාමී රූපණවේදියා බව) කෙතරම් සත්‍යයක් වුවත් ඔබ තවම හිසේ කෙස් පැහිලා නැති පොඩි කොල්ලෙක්. ඒ නිසා ඒ මතය බොහෝ දෙනා දැන්ම පිළිගන්නේ නැති බවක් අඟවාවි. නමුත් ඔබේ කෙස් පැසුණු කාලෙක ඔවුන් මෙය පිළිගනීවි” යැයි පැවසුවේය. මේ අරභයා අවසානයේ එතුමා පැවසූ කියුම අර්ධ සත්‍යයක් විය. එනම් ගාමිණි මහතා සිතූ සේම මගේ නව මතවාදය තහනම් වචනය කොට ගෙන එය විචාරයට ලක් නොකොට බොහෝ උගත්තු විචාරකයෝ ඔහු ගැන කතා කළහ; ලිපි ලියූහ. එහෙත්, ගත වූයේ මඳ කලකි. මෙරට අග්‍රගණ්‍ය සිනමාවේදියාණන් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් “Sunday Observer”  පුවත්පතට (2004 ජූලි 18 වැනිදා) මේ පොත ගැන ලියූ විචාරයෙන් (මෙහි සිංහල පරිවර්තනය සිළුමිණ පුවත්පතේ 2004 අගෝස්තු 15 වැනිදා පළ විය) මගේ මතය සත්‍යයක් බව තහවුරු කළේය. මේ ලිපි දුටු ගාමිණි මහතා “මේ පෙතෙන් මා යළිත් උපත ලැබූ බව” දුරකථනයෙන් මට පැවසුවේය.

“මේ පොත කියවන්න, කියවලා ඔයගොල්ලො මට දැන් සලකනවාට වඩා තවත් වැඩියෙන් සලකන්න. මමවත් දැනගෙන සිටියේ නැහැ, මගෙන් මේ රටට, ලෝකයට මේ වගේ සේවයක් ඉටු වෙලා තිබෙන බව” යැයි තම දූ දරුවන් අමතා ගාමිණි මහතා පැවසූ බව මට පසුකලෙක කීවේ ඔහුගේ දියණියක වන තනුජා ෆොන්සේකා සොහොයුරියයි. මේ ග්‍රන්ථය එළිදැක් වූ දිනට පසුව ගාමිණි මහතා ජීවත් වූයේ මස 6 ක් හා දින 8 ක් පමණකි.

මගේ කෘතිය ජනගත වී ආසන්න දිනක එතුමා මට හමු විය. “තව තව හොඳ දේවල් තමාගේ පොතේ තිබුණේ...” යැයි පවසමින් ඔහු අමුතු සිනහවක් පෑවේය. එතුමා ඉන් අදහස් කළ දේ මට වහා වැටහිණ. එනම් 1983 වසරේ ගාමිණි, සුමිත්‍රාවන්ගෙන් දුරස්ථ වූ කල පටන් 2004 වසර දක්වා ගෙවුණු 21 වසරක කාලයේ මේ යුවළ එකට සිටින සේයාරුවක් කිසිදු පුවත්පතක හෝ සඟරාවක පළ නොවුණි. මගේ කෘතියෙහි ඔවුන්ගේ මංගල සේයාරුව මතු නොව ඒ සුන්දර අතීතයේ බොහෝ සේයාරූ දිගු කලකට පසුව පළ වී තිබුණි. මා එසේ පළ කළේ එතුමාගේ කිසිදු පූර්ව විමසීමකින් තොරව හුදෙක් මගේ අභිමතය පරිදිය. එය ගාමිණි මහතා මට මුවින් නොකීවාට යටි සිතෙන් අපේක්ෂා කළ අප්‍රමාණ ප්‍රේමයක් බව මම ඒ වන විට එතුමාගේ සිත් මඩිය කියවා පසක් කොට ගෙන සිටියෙමි. ගාමිණි-සුමිත්‍රා යුවළගේ සේයාරූ යළිත් පුවත්පත්වල පළවීමට පටන් ගත්තේ ඉන්පසුවය.

ගාමිණි ෆොන්සේකා නමැති මහා රූපණවේදියා මුල්වරට සැබෑ ලෙසින් මට දැක ගන්නට ලැබුණේ 80 දශකයේ මුල් භාගයේ පැවති සරසවිය සම්මාන උලෙළකදීය. එතුමා උපත ලබා ඇත්තේ 1936 මාර්තු 21 වැනිදාය. මා උපන්නේ හරියටම ඊට හතළිස් වසරකට පසු එනම් 1976 මාර්තු 21 වැනිදාකමය. අහඹු ලෙස හෝ ගාමිණි ෆොන්සේකා වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවකුගේ ජන්ම දිනය දා උපත ලැබීමට මම භාග්‍යය ලැබුවෙමි. එය වඩා සුවිශේෂ කරුණක් වන්නේ පසුකලක එතුමාගේ කලා දිවිය අලළා මා අතින් ලියැවුණු ශාස්ත්‍රීය ග්‍රන්ථය ඒ ජන්ම දිනය සමරමින් එළිදැකීම හේතුවෙනි. ෆොන්සේකා මහතා පිළිබඳව විධිමත් පර්යේෂණයක් කළ හැකි ආස්ථානයකට මා පත් කළ කුසල කර්මයම එතුමා උපත ලැබු දිනයෙහි උපදින්නට මා හට වරම් දුන්නේය. උපන් දිනය දා මා ගාමිණි මහතාට සුබ පැතු කල්හි එතුමා “ඔබටත් එසේම වේවා” යි පැවසූ අයුරු කිසිදා අමතක නොවේ.

ඔහු තම ජීවිතයේ 50 වැනි වියට එළඹීම නිමිති කොට (1986 මාර්තු 21) කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවති විශේෂ පින්කමට තාත්තා මා ද (දස හැවිරිදි) කැටුව ගියේය. ඉන් නොබෝ දිනකට පසුව ගාමිණි මහතාගේ ජාඇල නිවසෙහි පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට අපට ඇරැයුම් ලැබිණ. එතුමා සමීපව දැක ගැනීමට මට අවකාශ ලැබුණේ මේ අවස්ථාවේදීය.

“ගාමිණි අයියේ, මේ මගේ පුතා උපන්නෙත් මාර්තු 21 වැනිදාමයි” කියමින් තාත්තා හඳුන්වා දුන් කල ගාමිණි මහතා මුල්වරට මා දෙස බැලුවේය. සුපුරුදු සිනහවෙන් මා හට සංග්‍රහ කළ එතුමා “ආ... බලමු මේකාගේ අත” යැයි කියා මගේ සුරත ගෙන එහි රේඛා පරීක්ෂා කොට බලා අනාවැකියක් කීවේය. ඒ අනාවැකිය මෙහිදී සඳහන් නොකරන්නේ එය මා පිළිබඳ ආත්ම වර්ණනාවක් විය හැකි බැවිනි.

මේ මහා රංගවේදියාගෙන් මා ලැබූ ප්‍රථම ආශීර්වාදය එය විය.

තාත්තා විසින් සංස්කරණය කරන ලද “හෙළ සිනමාවේ සක්විති” ග්‍රන්ථය 1986 අප්‍රේල් 9 වැනිදා එළි දුටු දිනයත්, ඉන් නොබෝ දිනකට පසු අප එවක පදිංචිව සිටි දෙමටගොඩ මහල් නිවාසයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට ගාමිණි මහතා හා එකී ග්‍රන්ථය මුද්‍රණය කළ අභාවප්‍රාප්ත ලක්ෂ්මන් ලොකුමාන මහතා සහභාගි වූ අවස්ථාවත් මගේ සුවිශේෂ සැමරුම් අතර තිබේ.

මා කලක් ප්‍රකාශන සංස්කාරක ලෙස සේවය කළ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කළ වකවානුවේ එහි ප්‍රධාන නිලයකට සම්මුඛ පරීක්ෂණයකින් පසුව තාත්තා තෝරා ගෙන තිබේ. එහෙත් පසුව තාත්තාට එය අහිමිව ගියේ ෆොන්සේකා මහතා සමඟ ඔහු පැවැත් වූ සමීප මිත්‍ර සබඳතාව එකල එහි බලධාරින්ට වහ කදුරක් වූ බැවිනි. මේ සිද්ධිය තාත්තා ලියූ “කොස්ගස් හන්දිය” කෘතියෙහි සඳහන් වේ. ගාමිණි මහතා කෙරෙහි මගේ දෙමවුපියන් තුළ පැවතියේ අසීමිත ගෞරවාදරයකි. 1989 දී මගේ මවු බලවත් සේ රෝගාතුර වූ අවස්්ථාවේ එතුමා ඊට සුදුසු විශේෂඥ වෛද්‍යවරයකු ද (වෛද්‍ය බෙන් සෙල්වදොරේ) නිර්දේශ කරමින් අපට පිහිට වූයේය. සෑම අවස්ථාවකදීම එතුමා සමඟ කතාබස් කිරීමට මම විශාල ඇල්මකින් පසු වුණෙමි.

එතුමා කෙබඳු ගති පැවතුම් ඇති පුද්ගලයකුදැයි මම විමසීමි. ඔහු යම් කෙනෙක් සමඟ ලෙහෙසියෙන් මිතුරු නොවන, තමාගේ හිතට අල්ලන තුරු කතාබස් නොකරන, තාත්තාට කෙතරම් සමීප මිත්‍රයකු වුවත් ඒ හේතු කොට මා සමඟ මිතුරු නොවන ගණයේ පුද්ගලයකු බැව් මට ක්‍රමයෙන් පසක් විය. ගාමිණි මහතා ක්ෂේත්‍රය තුළ කළ කී දෑ ඇසීමෙන් හා දැකීමෙන් අදීන කලාකරුවකු ලෙස ඔහු අනුදත් සෘජු ප්‍රතිපත්ති පිළිබඳව මා තුළ බලවත් පැහැදීමක් ඇති විණ.

මගේ කුලුඳුල් ග්‍රන්ථය වූ “අද්‍යතන සිනමාවේ ලිංගික ප්‍රවණතාව” (1999) හි පිටපතක් තාත්තා අත එතුමා වෙත යැවීමට මට අවශ්‍ය විය. එහෙත් ෆොන්සේකා මහතා එය ඉතා ඉක්මනින් කියවා බලා ඒ පිළිබඳව යමක් පවසතැයි මම සිහිනයකිනුදු නොසිතුවෙමි. නොබෝ දිනකින් මට දුරකථන ඇමතුමක් ලැබිණ. ඒ ගැඹුරු ස්වරය මම හඳුනා ගතිමි.

“අර පොත හොඳා, හැබැයි මීට පස්සෙ පොත් ලියනකොට උගතුන්ට විතරක් නෙවෙයි හැමෝටම කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ලියන්න”

මගේ පොත පිළිබඳ එතුමාගේ විචාරයෙහි එලෙස ඔවදනක් ගැබ් වී තිබිණ.

2000 වසරේ අග භාගයේදි විනීතා කරුණාරත්න අධ්‍යක්ෂණය කළ ජාතික රූපවාහිනියේ විකාශය වූ “සෙනෙහසේ නවාතැන” වැඩසටහන සඳහා මම ෆොන්සේකා මහතාව සම්බන්ධ කොට ගතිමි. එහි පිටපත ලියා මෙහෙයවන ලද්දේ මා විසිනි. ඉන් දස වසරකට ඉහත එනම් 1990 දී මා පියාණන් පිටපත ලියා මෙහෙය වූ (ජනක මල්ලිමාරච්චි අධ්‍යක්ෂණය කළ) “ශිල්පී සඳැල්ල” රූපවාහිනී වැඩසටහන සඳහා ද එතුමා සහභාගි වූයේය.

“ සෙනෙහසේ නවාතැන” රූගත කරනු සඳහා ගාමිණි මහතාගේ ජාඇළ නිවසට ගිය අවස්ථාවේ සිගරට්ටුවක් දල්වා ගත් ඔහු මගෙන් මෙසේ ඇසුවේය.

“දැන් මොනවද තමා මගෙන් අහන්නේ” මම වැඩසටහනේදී ඔහුගෙන් ඇසීමට අපේක්ෂා කළ ප්‍රශ්න එක දිගට කියාගෙන ගියෙමි.

“ම්... හොඳයි, අපි වැඩේ කරමු. හැබැයි මම ඔයාගෙ “සර් නෙවෙයි, අන්කල්” ඔහු එසේ කීවේ මා එතුමන්ට “සර්” කියා ඇමතූ හෙයිනි.

“ඒ වුණත් සර්, අපි පිදිය යුත්තන් පුදන්න ඕනෑ නේද?” එවිට මා කීයෙන්,

“පිදිය යුත්තෝ? කොහෙද එයාලා ඉන්නේ” යැයි විහිළුවක් කරමින් ගාමිණි මහතා ඇසුවේය.

සෙනෙහසේ නවාතැන විකාශය වී නොබෝ දිනකින් පසුව මම ෆොන්සේකා මහතා හමුවීමට ජාඇළ ගියෙමි.

“How is the Programme” එතුමා මගෙන් විමසීය.

“I think we have done well, sir”  මම පැවසීමි. එවිට එතුමා “No dear, I think it is an unusual interview”  යනුවෙන් සඳහන් කරමින් වැඩසටහන පිළිබඳව ස්වකීය ප්‍රසාදය පළ කළේය.

එදින ෆොන්සේකා මහතා දෙවැනි වර මගේ සුරත ගෙන එහි රේඛා පිරික්සා බැලීය. වසර 14 කට ඉහත මුල්වරට මගේ අත බැලූ අවස්ථාවට වඩා එදින මා දුටු එකම වෙනස එතුමා ඒ සඳහා උපැස් යුවළක් පැලැඳ ගැනීමය. ගාමිණි මහතා මා පිළිබඳව කී දෙවැනි අනාවැකිය ද ආත්ම වර්ණනාවක් විය හැකි බැවින් මම නොදක්වමි.

එදින මා ඔහුගේ දෙපා නමැඳ නිවසින් පිටත්වන අවස්ථාවේදී ගාමිණි මහතා  “Come here, you are my son” යැයි කියමින් මා තුරලු කොට ගත්තේය. සැබැවින්ම එවක් පටන් එතුමා මට සැලකුවේ තමාගේ දරුවකු පරිද්දෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව සඳහා මා ගාමිණිගේ රූපණවේදය අධ්‍යයනය කිරීමට ව්‍යාවෘත වූ සමයේ එතුමාගේ නිවසට මම කීපවරක් ගියෙමි. සිගරට්ටුවකින් භාගයක් උරා එය ඇඟිලි දෙකින් කරකවා වීසි කොට නැවත සිගරට්ටුවක් දල්වා ගනිමින් ගාමිණි මහතා මුළු දවසම මා සමඟ කතා කළේය. ඔහු මට සංග්‍රහ කළේ ද පියකු පරිද්දෙනි.

විටෙක එතුමා තම මුවට ඇඟිලි තබා මා දෙසවන් හී දෝංකාර දෙන විසිල් නාදයක් නිකුත් කරනු දක්නට ලැබේ. ඒ හඬින් නිවසේ සේවකයකු හෝ සේවිකාවක පැමිණ මා හට ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීම ස්වභාවයකි. නොඑසේ නම් ගාමිණි මහතාට ප්‍රාණය මෙන් ආදරය කළ “මැගී” හෝ ඒ වර්ගයේ සුරතල් සුනඛයකු පැමිණ එතුමාගේ පාද ස්පර්ශයෙහි පහස විඳිමින් මහත් ස්නේහයෙන් දැවටෙන අයුරු දැක්ක හැකිය.

2002 වසරේ හාදයාබාධයකින් පීඩා ලැබ රෝහල් ගත වූ ගාමිණි මහතාට “බයිපාස්” සැත්කමක් කිරීමට වෛද්‍යවරුන් සූදානම් වූ නමුත් ඔහු තරයේ එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ “ටිකට් එක ආදාට තමා යා යුතු” බවය.

මගේ ග්‍රන්ථය මුද්‍රණය සඳහා සූදානම් කෙරෙමින් තිබිණ.

මෙතෙක් අප අතින් ඉටු නොවුණු යුතුකමක් එතුමා වෙනුවෙන් ඉටු කළ යුතුව තිබිණ. මේ ජාතික වස්තුව රැක දෙන ලෙස මම දෛනිකව බුද්ධ වන්දනා කොට දෙවියන්ට පින්දී ඉල්ලා සිටියෙමි. කලාකරුවකුට උපහාර දැක්විය යුත්තේ ඔහු හෝ ඇය ජීවත්ව සිටින විටදීය.

එවර ගාමිණි මහතා සුවපත් වීම ජාතියේ භාග්‍යයකි. එතුමා සුවපත් වීමෙන් පසු ඔහු බැලීමට ගිය අවස්ථාවේ මම මෙසේ ඉල්ලීමක් කළෙමි.

“සර් අපට ආදරේ නම් ආයෙ කවදාවත් සිගරට් බොන්න එපා”

“සර් අයිති සර්ට නෙවෙයි, මේ රටට, මේ ලෝකයටම. සර්ගේ වටිනාකම සර් තවම දන්නෙ නැද්ද?” එවිට මා ඇසූ කල ගාමිණි මහතා සිනාසෙමින් නිහඬව සිටියේය. ඔහුගේ දෙනෙතට කඳුළු පිරී ඇති බව මම දුටිමි. මගේ කෘතිය මුද්‍රණය වන තෙක් කියවීමට නොඉල්ලීමෙන් එතුමා මගේ ස්වාධීනත්වයට ගරු කළේය.

එතුමා පිළිබඳ ග්‍රන්ථයක් මා ලියන වග ඇසූ ආනන්ද අබේනායක මහතා (ගාමිණිගේ දියණිය තනුජා හා විවාහ වූ) මට වැදගත් කරුණක් හෙළි කළේය. ඒ අනුව මම සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය (ගාමිණිගේ බිරිය) හමුවීමට ගියෙමි.

“මං ගාමිණිගේ පින්තූර ඉල්ලුවට කාටවත් දෙන්නෙ නැහැ. නමුත් ඔයාව මට විශ්වාසයි” කී ඇය එතෙක් කිසිවකු උදෙසා විවෘත නොවූ කළුවර ලීයෙන් කළ පෙට්ටගම විවෘත කළාය. අසල සිටි දම්මිත් ද දැඩි අවධානයකින් ඒ දෙස බලා සිටියේ ඔහුට ද කලකින් එහි තිබූ දුර්ලභ ඡායාරූප දැකගත නොහැකි වූ නිසාය. ගණනය කිරීමකින් තොරව එතුමිය මේ ඡායාරූප විශාල සංඛ්‍යාව මට භාර කරද්දී “තාත්තාගේ හොඳම පින්තූර Collection  එක දැන් තියෙන්නේ ඔයා ළඟ” යැයි දම්මිත් කීවේය. මම ඒ සියලු සේයා රූ වෙනත් ඡායාරූප ද සමඟ මගේ ග්‍රන්ථයට ඇතුළත් කොට ඉතා සුරක්ෂිතව යළිත් සුමිත්‍රා මහත්මියට පැවරුවෙමි.

2004 වසරේ අවසන් වරට ගාමිණි මහතා සිය ජාඇළ නිවසේදී හමු වූ දිනය මහත් සංවේගයක් දනවමින් මා හට සිහිපත් වේ. මා ඒ වන විට එළිදැක්වීමට සූදානම් වෙමින් සිටි “ශ්‍රී ලාංකේය සිනමා වංශය” ග්‍රන්ථයට එතුමා අනර්ඝ පෙරවදනක් ලියා දුන්නේය. එය ගාමිණි මහතා තම 68 වසරක ශ්‍රේෂ්ඨ ජීවන සමය තුළ ග්‍රන්ථයක් උදෙසා ලියූ ප්‍රථම හා එකම පෙරවදන විය.

ඒ ග්‍රන්ථයේ සෝදුපත් පෙරළා බැලූ එතුමා මේ පිළිබඳ අතිශයින් සතුටට පත්ව එය හැකි ඉක්මනින් එළිදක්වන්න යැයි මට කීවේය. (‘ශ්‍රී ලංකේය සිනමා වංශය’ ග්‍රන්ථය එළි දුටුවේ 2005 වසරේදීය. ඒ වන විට ගාමිණි මහතා ජිවිතයෙන් සමුගෙන තිබිණ). එදින ගාමිණි මහතාගේ දෙපා නමැද මා සමුගත් අවස්ථාවේ ඔහු නිවස ඉදිරිපිට තිබූ සමන් පිච්ච මල් ගසෙන් මල් කඩා මා අත තැබුවේය. ඔහුගේ දෙනෙතෙහි කඳුළු පිරී තිබෙනු මම දුටිමි. හුදෙකලාව වසන වරෙක සිංහයකු විටෙක සංවේදී කුඩා දරුවකු බඳු මේ මහා කලාකරුවා තනිකොට යාම මට මහත් වේදනාවක් ගෙන දුන්නේය. මම අවසන් වරට වාහනය පසුපස වීදුරුවෙන් ජාඇළ නිවසේ සමන්පිච්ච මල් ගස ළඟ සෘජුව සිටගෙන සිටින ප්‍රතාපවත් මේ මහා රූපණවේදියා දෙස බැලූවෙමි. ජීවමානව මා එතුමා දුටු අවසන් වතාව එය විය.

ගාමිණි ෆොන්සේකා රංගේශයාණන් කීර්තිශේෂභාවෝපගත වී පසුගිය 30 වැනිදාට 15 වසරකි. එනම් සිනමා සක්විති නික්ම ගොසින් වසර පහළොවකි; තවමත් ඒ අසුන හිස්ව එලෙසින්මය.

“මේ අවදියෙන් සිටිය යුතු වේලාවයි” ගම්භීර හඬෙන් එතුමා මට දුන් අවසන් උපදෙස මගේ දෙසවන, දිවි ඇති තුරා දෝංකාර දෙනු නිරනුමානය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.