ලංකා TV අන්දරය

ටයි මහත්තයාගේ වටිනා කණ්ණාඩිය
ඔක්තෝබර් 10, 2019

1987 ජූලි ගිවිසුම හේතුවෙන් තවත් රසවත් සිද්ධියක් රූපවාහිනී පරිශ්‍රය තුළ සිදු විය. සාම ගිවිසුම පිළිබඳව වෙනත් රූපවාහිනි වාර්තා වැඩසටහනක් නිෂ්පාදනය කිරීම පිණිස සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයෙන් ජාතික රූපවාහිනියට පවරා තිබිණ. මෙය නිර්මාණය කිරීම සඳහා රූපවාහිනිය තෝරා ගන්නා ලද්දේ ඒ වන විට ටෙලි නාට්‍ය නිර්මාණකරණයෙන් නමක් දිනා සිටි පරාක්‍රම නිරිඇල්ලයන්ය. එම වැඩ සටහනේ සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කිරීම පිණිස පරාක්‍රම විසින් ලියුම්කරුව තෝරා ගෙන සිටිය ද, ලියුම්කරු ඒ වන විට ටයි මහතාගේ සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ බැවින්, ටයි මහතාගෙන් මේ සඳහා අවසර ලබා ගන්නා ලෙස පරාක්‍රමට පැවැසීය. පරාක්‍රම ප්‍රධාන පාලක මැදිරියේ සංස්කරණ කටයුත්තක නියැළී සිටි ටයි මහතා ඉදිරියේ පෙනී සිට අවශ්‍ය කාරණය ඔහුට පැවැසීය. ටයි මහතා එයින් කෝපයට පත් වී පරාක්‍රමට අසභ්‍ය වචනයෙන් පවා බනින්නට වූයේ 87 ගිවිසුම පිළිබඳව ඔහුගේ නොසතුට ද පිට කරමිනි. පරාක්‍රම තුෂ්නිම්භූතව බලා සිටිය ද, වචනයක් හෝ ටයි මහතාට එරෙහිව කතා කරන්නට පෙලඹුණේ නැත. ටයි මහතාගේ දෙසාබෑම අඩු නොවූ තැන පරාක්‍රමගේ කේන්තිය ඉහවහා ගියේය. ඔහු ඉදිරියට පැන ටයි මහතා පැලඳ සිටි උපැස් යුවළ අතින් ඇද ගලවා එය තම ඇඟිලිවලින් මිරිකමින් එතැනින් නික්මුණේය. පරාක්‍රම ලොබිය දිගේ පැමිණ තම සුරතේ තදින් මිරිකාගෙන සිටි උපැස් යුවළ පිළිගැනීම් කවුන්ටරයේ මේසය මත තබා නාට්‍ය අංශය වෙත පිය නැගුවේය. ඔහු එසේ කරන්නට ඇත්තේ ‘රුපියල් දෙදාහක් වටින මගේ කණ්ණාඩි කුට්ටමට මොනවත් කරන්න එපැයි’ කියමින් ටයි මහතා ඔහු පසුපස එන අයුරු දැක ඔහුගේ කේන්තිය පහව ගොස්, ක්ෂණිකව හදවතේ උපන් අනුකම්පාව නිසා විය හැකිය.

Add new comment